මානය සහ මාන්නය – Sri News

0
3


නිර්මල බුදු දහම ලෝකය පුරා විසිරී පැතිරී ඇත. ථේරවාද නොඑසේ නම් හීනයානය ශ්‍රී ලංකාව, තායිලන්තය වැනි දේශයන් තුළ පාලි භාෂාව මුල් කොටගනිමින් බුද්ධ භාෂිතය සහ බෞද්ධ ඉගැන්වීම් විතරණය කරන කල්හි, මහායාන වජ්‍රයාණ සහ සූත්‍රයාණ වැනි ප්‍රභේදන සංස්කෘත භාෂාව ඔස්සේ ලෝකයේ තවත් ප්‍රබල රටවල් ගණනාවක විකාශනය විය. වර්තමාන ලෝකයට බුදු දහමේ ඒකාබද්ධ ප්‍රකාශනයක අවශ්‍යතාව තදින් දැනෙන බව ඔබට මට නොරහසකි. එනිසා ම පාලි සහ සංස්කෘත භාෂා ඔස්සේ ලොව පුරා ව්‍යාප්ත වූ මුල් බුදු දහම එකම බුද්ධ වචනයක් අභියස සමාධිගත කරවීමේ උත්තරීතර ප්‍රයත්නය ඇරඹෙමින් ඉකුත් වසරේ ආරම්භ වූ ( Pali & Sanskrit International Bhikkhu Exchange Program ) පාලි සහ සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහන 2022 වසරේ සිට 2027 දක්වා බෞද්ධ රාජ්‍යයන් ගණනාවක දී ක්‍රියාත්මක වනු ඇත.

මේ දිනවල එහි දෙවන අදියරේ වැඩසටහන් ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන අතර, ටිබෙටය, ඉන්දියාව, සිංගප්පූරුව, තායිලන්තය, මියන්මාරය වැනි බෞද්ධ රාජ්‍යයන් නියෝජනය කරන විද්වත් භික්ෂූන් වහන්සේලා රැසක් මෙරටට වැඩම කර සිටිති. මීට අමතරව චීනය, ජපානය, මොංගෝලියාව, නේපාලය, භූතානය, මැලේෂියාව, තායිවානය, ලාඕසය සහ කාම්භෝජය වැනි ප්‍රමුඛ රාජ්‍යයන් ද මෙම ඒකාබද්ධ බෞද්ධ ප්‍රකාශනය වෙනුවෙන් පෙනී සිටිති.

ශ්‍රී ලංකාවේ කොළඹ, කළුතර, තිස්සමහාරාමය, කතරගම, මහනුවර, දඹුල්ල සහ අනුරාධපුර යන නගර ආශ්‍රිතව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන භික්ෂු හුවමාරු වැඩසටහන දියත් වන අතර මා එහි දකින එක් සුවිශේෂිතාවක් මෙසේ ඔබ සමග බෙදාගැනීමට අදහස් කළෙමි. ටිබෙටය සහ ශ්‍රී ලංකාව එතරම් සමීප නැති බව සිතන බහුතරයක් සිටිති. නමුත් මෙරට බහුතරයකට ටිබෙටය ආධුනික නැත. ඇස්. මහින්ද හිමියන් නිසා හෝ අප ටිබෙටය පිළිබඳ අසා ඇත්තෙමු. එනමුත් ටිබෙටය සහ ටිබෙට් ජාතිකයන් පිළිබඳ හැදෑරීම, ඔවුන් සමග පවත්වන ඇසුර, ඔවුන්ගෙන් උගත හැකි දෑ මෙන්ම ඔවුන්ගේ කරුණා භාෂණය වැනි දේ ශ්‍රී ලාංකික අපි ආයාසයෙන් හෝ සමීප කරගැනීම අදට වඩා හෙට දවස වෙනුවෙන් අත් කරන වටිනාකම සුවිශේෂී ය. මා මේ දිනවල එම සුවතාවන්, දැනුවත්වීම් සහ ඉගැන්වීම්වලින් පොහොසත් වෙමින් සිටින නිසාවෙන් ම ඉන් බිඳක් ඔබ සමග ද බෙදාගැනීමට සිතුවෙමි.

මානය සහ මාන්නය යනුවෙන් මා මෙම සටහනට මාතෘකා තැබුවේ ටිබෙටයේ ලාමා හිමිවරුන්ගේ ඇති සුවිශේෂිතාව පිළිබඳ ගෙනහැර දැක්වීමේ අටියෙනි. ටිබෙටය බොහෝ උස්ව පිහිටි රටකි. බොහෝ සුන්දර සිසිලසින් පිරි සෞම්‍ය රටකි. එවැනි ම වූ සොඳුරු මිනිසුන් පිරිසක් එනිසා එහි උත්පත්ති ලබා ඇත. ටිබෙටයේ වෙසෙන්නවුන් බෞද්ධයෝ ය. එහෙත් ඔවුන් ප්‍රායෝගික බෞද්ධයෝ ය. ආගමික නායකයා රටේ දේශපාලන නායකයා ලෙස සලකන ලොව එකම රට ටිබෙටයයි. දලයි ලාමා නැමැති සංකල්පය අපට හමුවන්නේ එහිදි ය. වර්තමානයේ ලෝකයේ අධ්‍යාත්මික නායකයා ලෙස පිළිගන්න ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා වහන්සේ අද ජීවත් වෙන්නෙ ටිබෙටයේ නොවුණත් ඇමරිකාව, එංගල්න්තය, රුසියාව වැනි ප්‍රබලයන් ප්‍රමුඛ මුළු මහත් ලෝකයම අදටත් උන්වහන්සේ ටිබෙටයේ නායකයා ලෙස පිළිගන්නවා. කොමියුනිස්ට් චීනයේ මිලේච්ඡ ප්‍රහාර හමුවේ ලේ වැගිරීම් දක්නට අකමැති වූ නිරායුධ දලයි ලාමා වහන්සේ ඇතුළු ටිබෙට් වැසියන් උපන්බිම අතහැර ඉන්දියාවට පැමිණ වර්තමානයේ ජීවත් වුවත්, මුළු ලෝකය තුළම විහිදෙන ඔවුන්ගේ කරුණාවේ දහම පුදුමාකාර ය.

ටිබෙට් හිමිවරු බුදු දහම තුළ නොදත් යමක් නැති තරම් ය. ගෙවුණ කාලය පුරාවට ම මෙන්ම ඉකුත් වසරේ ඇති අත්දැකීම් ඔස්සේ පවා සිතන විට මම ඊට සාක්ෂි දරන්නට සූදානම් ය. සූත්‍ර, විනය සහ අභිධර්ම යන ත්‍රිපිටක ධර්මය මෙන්ම බෞද්ධ ඉගැන්වීම් අනුව යමින් සියලු ඛුද්දානු ඛුද්දක කොටස් පවා මතකයෙන් වදාරන උන්වහන්සේලා බුදු දහම ආගමක් සේ නොසලකයි. බෞද්ධ දර්ශනය අනුව යමින් බෞද්ධ ඉගැන්වීම් ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතේදී පුරුදු පුහුණු කරයි. සොබාදහම තම දහම බවත්, කරුණාව තම දර්ශනය බවත් උන්වහන්සේලා විශ්වාස කරති

මේ දිනවල මා ලබා සිටින ශිෂ්‍යත්වය පුදුම සහගත ය. ටිබෙටයේ සිටි වැඩම කළ භික්ෂුන් වහන්සේලා සොලොස් නමක කණ්ඩායම සහ සිංගප්පූරුවේ සිට වැඩම කළ තවත් ටිබෙට් හිමි නමක් ද වර්තමානයේ මගේ සමීපතම මිත්‍රයන් වී ඇත. උන්වහන්සේ දහහත් දෙනා වහන්සේම ටිබෙට් අධ්‍යාපන ක්‍රමවේදයෙහි ‘ගේෂේ’ යන ස්ථාවරය සමත් කළ භික්ෂූන් වහන්සේ ය. එය අපේ අධ්‍යාපන රටාව සමග සසඳන කළ ආචාර්ය උපාධිය බඳු ය. එනිසා දහම් දැනුමෙන් මෙන්ම විෂය ක්ෂේත්‍රික අවබෝධයෙන් ද උන්වහන්සේ ලා මුදුන්පත් ය.

ලාමා හිමිවරු උණ පඳුරු හා සම ය. බොහෝ උස්ව වැඩෙන්නට වැඩෙන්නට මුදුනතින් යළි යළිත් පහතට නැඹුරු වනු ඇත. උන්වහන්සේලා ප්‍රායෝගික පැවැත්මක් අගයනු ඇතැයි මා පෙර සඳහන් කළේ කිසි විටෙකත් උන්වහන්සේලා අනෙකෙකු මත යැපෙන්නට උත්සුක නොවන බැවිනි. සමාජය සමග සමානාත්මතාවයෙන් උන්වහන්සේලා වෙසෙති. මානය යනු මාන්නය නොවේ. උන්වහන්සේලා දක්නා මානය ඉතා සුපැහැදිලි ය.

අධිමානයෙන් බොහෝ සේ දුරස් වූ උන්වහන්සේලා අභිමානය වුවද සිත් පත්ලේ සඟවා තබා දිවි ගෙවන නිරහංකාර පිරිසකි. නමුත් සරල සංස්කෘතිකම ය සහ අව්‍යාජ දිවි පෙවතක හැසිරෙන ලාමා හිමිවරු තම අධ්‍යාපනයට, භාෂාවට සහ සොබාදහමට අසීමිතව පෙම් කරති. ජීවිතය අවබෝධයෙන් ගෙවති. දුක සහ දුකෙහි ආදීනව දැන සතුටින් දිවි ගෙවති

උන්වහන්සේලාගේ මානය පැහැදිලි ය. මාන්නයකින් තොර ය. උන්වහන්සේලා ධර්ම ගවේෂණයේ යෙදෙති. ධූත මෙහෙවරෙහි යෙදෙති. උපන්බිම ලාමා හිමිවරුන්ට අහිමි විය. උන්වහන්සේ ලා ඉන්දියාවේ ධරම්ශාලා, මුන්ගෝඩ්, බයිලකුප්පෙ වැනි ප්‍රාන්ත ප්‍රදේශාදින්හි වෙසෙති. ශ්‍රී ලංකාව, තායිලන්තය පමණක් නොව ලොව ඕනෑම රටකට ධර්ම ශාස්ත්‍රීය සේවාවන් උදෙසා සතුටින් වැඩම කරති. අත්හැරීම ගැන දේශනා නොකරන මුත් ආදර්ශයෙන් ම සියල්ල අත්හැර පෙන්වති. ටිබෙටයේ ලාමා හිමිවරු මහා පර්වත තරම් දැවැන්ත ය. එහෙත් කපු පුළුන් තරමට සැහැල්ලු ය. ඊට හේතුව උන්වහන්සේලාට රැකීමට පන්සල් නැත, සංවර්ධනය වෙමින් පවතින විහාර සංකීර්ණ නැත, හැදෙමින් පවතින බුද්ධ ප්‍රතිමා හෝ දින පොත් පිරෙන තරමේ වාර්ෂික දාන ලේඛන ද නැත. එනිසා උන්වහන්සේලා මනසින් ම සැහැල්ලු ය. වෙසෙසින්ම තිදොර සංවර ය.

මාන්න ය තාවකාලික ය. මානය ද එසේ ම විය හැක. නමුත් මාන්නයෙන් අත් කරන තාවකාලික වූ සිල්ලර සුන්දරත්වයට වඩා, නිරවද්‍ය මානයකින් ඇති කරන සදාකාලින නිවීම වඩා ශාන්තිදායක ය. එය උන්වහන්සේ ලා තේරුම් ගෙන ඇත. අපට ද තේරුම් කරමින් පසුවනු ඇත

පහතින් මා එක්කරන ඡායාරූප කිහිපය දෙස සාවධානයෙන් බලන්න. උන්වහන්සේලා සමග කල් ගෙවීම කුඩා දරුවන් සමග කල් ගෙවන තරමට සුන්දර ය. මහ මුහුදක් දෙස දෑස් නොපියා බලා සිටින තරමේ සෞම්‍යයක් සහිත ය. එමෙන්ම ඉමක් කොනක් නොපෙනෙන තරමේ විෂය ගණනාවක දැනුමකින් පොහොසත් වීමට ද ඉන් බැඳෙන ඉනිමන් ගව් යොදුන් ගණනක් උසින් දිගු ය.

තවත් එවැනි නැවතුමක දී, මා ඔබ අමතමින් උන්වහන්සේ ලා ඔබ හමුවට වැඩම කරවීමට අපේක්ෂා කරන්නෙමි

අකාශ් තාරුක පෙරේරා



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here