මහාවංශය – විසිහතරවෙනි පරිච්ඡේදය

0
5


1. හස්ති ශිල්පයෙහිත්, අශ්ව ශිල්පයෙහිත්, කඩු ශිල්පයෙහිත් ඉතා දක්ෂ වූ ඉතා හොඳින් පුහුණුව ලැබූ ඒ ගැමුණු රාජ පුත්‍රයා ඒ දිනවල මාගම වාසය කළා.

2. රජ්ජුරුවෝ තිස්ස කුමාරයාව දීඝවාපියෙහි වාසය කෙරෙව්වා. බලසේනාවන් ද ලබාදීලා ඒ පැත්තෙන් රුහුණ දෙසට සිදුවෙන්ට පුළුවන් දෙමළ ආක්‍රමණය වළක්වන්ට ජනපදය ආරක්ෂා කෙරෙව්වා.

3. ආක්‍රමණික දෙමළුන් හා යුද්ධ කරන්ට සුදුසු කාලය බලමින් සිටි ගැමුණු කුමාරයා තමන්ගේ බල සේනාවත් රැගෙන දෙමළුන් සමග යුද්ධයට යන්ට ඕනෑ කියලා රජ්ජුරුවන් සමග කතා කෙරෙව්වා.

4. රජ්ජුරුවෝ ගැමුණු කුමාරයාව රැකගන්ට ඕනෑ නිසා ‘මහාවැලි ගඟෙන් මේ පැත්ත තිබ්බාම අපට සෑහේ’ කියලා යුද්ධයකට යන එක වැළැක්කුවා. ගැමුණු කුමාරයා තුන් වතාවක් ම රජ්ජුරුවන් සමග මේ ගැන කතා කෙරෙව්වා. ඒ හැම අවස්ථාවේ ඒක වැළැක්කුවා.

5. ‘මගේ පියාණන් පිරිමියෙක් වෙලත් මේ ගැන කියන්නේ නෑ නොවැ. ඒ නිසා මේ ස්ත්‍රී අලංකාරයන් පළඳින සේක්වා’ කියලා පිය රජ්ජුරුවන්ට ස්ත්‍රී ආභරණ පිටත් කෙරෙව්වා.

6. රජ්ජුරුවන්ට ගැමුණු කුමාරයා ගැන හොඳට ම කේන්ති ගියා. ‘හදාපියව් රත්තරනින් මාංචුවක්. මං ඒකෙන් මේකාව සිර කරන්ට ඕනෑ. වෙන විදිහකින් රැකගන්ට බෑ’ කියලා නියෝග කළා.

7. පිය රජ්ජුරුවන් කිපුණු බව දැනගත් කුමාරයා කඳුරටට පලාගියා. ස්ත්‍රී පළඳන යැවීමෙන් පියා කෙරෙහි දුෂ්ට වූ නිසා ම ඔහුට ‘දුටුගැමුණු’ කියන නම හැදුනා.

8. ඊටපස්සේ රජ්ජුරුවෝ මහානුග්ගල චෛත්‍යයේ වැඩ කටයුතු පටන් ගත්තා. චෛත්‍යය කර්මාන්තය අවසන් වුනාට පස්සේ රජ්ජුරුවෝ සංඝයාව රැස් කෙරෙව්වා.

9. සිතුල් පව්වෙන් භික්ෂූන් වහන්සේලා දොළොස් දාහක් වැඩියා. ඒ ඒ තැන භික්ෂූන් වහන්සේලා තවත් දොළොස් දාහක් වැඩියා.

10. රජ්ජුරුවෝ චෛත්‍ය පූජා මහෝත්සවය අවසන් වුනාට පස්සේ සංඝයා වහන්සේ ඉදිරියේ සියලු යෝධයන් රැස් කෙරෙව්වා. එදා හැමෝගෙන් ම දිවුරුම් ගත්තා.

11. ‘යම් හෙයකින් මගේ පුත් කුමාරවරුන් අතර කෝළාහලයක් හටගත්තොත් ඒ කිසි අර්බුදයකට මැදිහත් වෙන්නේ නෑ කියා සියලු දෙනා ම සංඝයා ඉදිරියේ සපථ කරව්’ කියලා කියා සිටියා. ඔවුන් එසේ ම දිවුරා සිටියා. මව් බිසවත් කඩොල් ඇතාත් තිස්ස කුමාරයාගෙන් ඉල්ලලා චූළංගනී පිටියේදී ගැමුණු කුමාරයාත් තිස්ස කුමාරයාත් අතර යුද්ධයක් හටගත්තා. මේ දිවුරුම් දීම නිසා යෝධයන් සටන් කිරීමෙන් වැළකී සිටියා.

12. කාවන්තිස්ස රජ්ජුරුවෝ විහාර හැට හතරක් කෙරෙව්වා. තමනුත් හැට හතර වර්ෂයක් ජීවත් වෙලා අභාවයට පත්වුනා.

13. විහාර මහා දේවිය රජ්ජුරුවන්ගේ ශරීරය ආවරණය කරගත් වාහනයකින් ගෙන්වා ගෙන තිස්සමහාරාමයට පමුණුවා සංඝයා වහන්සේට දැනුම් දුන්නා.

14. පිය රජ්ජුරුවන්ගේ අභාවය ඇසූ තිස්ස කුමාරයා දීඝවාපියේ සිට ඇවිත් තමන් ඉතා හොඳාකාරව පිය රජ්ජුරුවන්ගේ ශරීරය පිළිබඳ ආදාහන කටයුතු කළා.

15. මහා බල ඇති තිස්ස කුමාරයා විහාර මහා දේවී මෑණියන්වත් කඩොල් ඇතාත් අරගෙන සහෝදර දුටුගැමුණු කුමාරයාට භයින් ඉක්මනින් ම දීඝවාපියට ගියා.

16. දුටුගැමුණු කුමාරයාට පිය රජ්ජුරුවන්ගේ අභාවය පිළිබඳ ප්‍රවෘත්තිය දැනුම් දීම පිණිස සියලු ඇමතිවරු රැස්වෙලා ලිපියක් සකසා දූතයෙකුව පිටත් කෙරෙව්වා.

17. දුටුගැමුණු කුමාරයා ගුත්තිලට ඇවිත් මාගමට චරපුරුෂයන් යවලා සත්‍ය තොරතුරු සොයා බලා දැනගත්තා. ඊටපස්සේ මාගමට ඇවිත් තමන් රුහුණු රාජ්‍යයෙහි අභිෂේක කළා.

18. තමන් ළඟට විහාර මහා දේවී මෑණියන්වත් කඩොල් ඇතාවත් එවන්ට කියලා සහෝදර තිස්ස කුමාරයාට දූතයන් මගින් ලියුම් යැව්වා. තුන් වතාවක් ම ලියුම් යවලත් මෑණියන්වත් කඩොල් ඇතාත් නොලැබුනු නිසා යුද්ධ කරන්ට පිටත් වුනා.

19. චූලංගනිය පිටියේ දී දෙන්නා අතර මහා යුද්ධයක් හටගත්තා. ඒ යුද්ධයේදී දුටුගැමුණු රජ්ජුරුවන්ගේ සේනාවට අයත් දහස් ගණන් මිනිස්සු මැරී වැටුනා.

20. දුටුගැමුණු රජ්ජුරුවොත් තිස්ස අමාත්‍යයාත් දීඝථූනිකා නම් වෙළඹත් කියන තුන් දෙනා විතරක් පලාගියා. තිස්ස කුමාරයා ඔවුන් පසුපස ලුහුබැන්දා.

21. එතකොට ඉර්ධිබලලාභී භික්ෂූන් වහන්සේලා ඒ සහෝදර කුමාරවරුන් දෙන්නා අතර මහා කන්දක් මැව්වා. ඒ කන්ද දැකපු තිස්ස කුමාරයා මේක භික්ෂූන් වහන්සේලාගේ හාස්කම් ක්‍රියාවක් ය කියලා නැවතුනා.

22. දුටුගැමුණු රජ්ජුරුවෝ කප්කදුරු ගඟෙහි තිබුනු ජීවමාල නැමැති තොටට ආවා. රජ්ජුරුවෝ ‘අපට හරි බඩගිනියි නොවැ’ කියලා තිස්ස අමාත්‍යයාට කිව්වා.

23. එතකොට තිස්ස අමාත්‍යයා බත් දමන ලද රන් තලියක් තම උතුරු සළුව අස්සෙන් එළියට රැගෙන දුන්නා. සංඝයාට පූජා කිරීමෙන් පස්සේ භෝජන අනුභව කිරීම අපගේ
දුටුගැමුණු රජ්ජුරුවන්ගේ සිරිත නිසා ඒ බත කොටස් හතරකට බෙදුවා.

24. ‘තිස්සය, සංඝයා වහන්සේ නමක් උදෙසා දානයක් තියෙනවා’ කියලා කෑ ගහලා කියන්ට කිව්වා. තිස්ස අමාත්‍යයාත් කෑ ගහලා එහෙම කිව්වා. ඒ ශබ්දය දිව්‍ය ශ්‍රවණයෙන් අසන්ට ලැබුනු, රජ්ජුරුවන්ට පන්සිල් දී තිබෙන,

25. ගෝතම නමැති රහතන් වහන්සේ පුවඟු දිවයිනේ වැඩ සිටියා. උන්වහන්සේ කුටුම්බිකපුත්තතිස්ස නමැති තෙරුන්ට රජ්ජුරුවන්ගේ දානය පිළිගැනීමට වඩින්ට කිව්වා. කුටුම්බපුත්තතිස්ස තෙරුන් වහන්සේ ජීවමාල තොටට අහසින් වැඩියා.

26. තිස්ස අමාත්‍යයා තෙරුන් වහන්සේගේ අතින් පාත්‍රය අරගෙන අපගේ රජ්ජුරුවන්ට දුන්නා. රජ්ජුරුවෝ සංඝයාට වෙන්කළ කොටසත් තමන්ට වෙන් කළ කොටසත් යන මේ කොටස් දෙකම පාත්‍රයට පූජා කළා.

27. තිස්ස අමාත්‍යයාත් තමන්ගේ කොටස පූජා කරගත්තා. දීඝථූනිකා වෙළඹත් තමන්ගේ කොටස ගන්ට කැමති වුනේ නෑ. තිස්ස අමාත්‍යයා ඇගේ බත් කොටසත් පාත්‍රයට පූජා කළා.

28. අපගේ රජ්ජුරුවෝ බතින් පුරවන ලද පාත්‍රය තෙරුන් වහන්සේ අතට පිළිගැන්නුවා. උන්වහන්සේ ඉක්මනින් අහසින් වැඩම කොට ගෝතම රහතන් වහන්සේට දුන්නා.

29. උන්වහන්සේ ඒ පාත්‍රයෙන් ගත් බත් කුඩා පිඬු වශයෙන් ගෙන දන් වළඳමින් සිටි පන්සියයක් භික්ෂූන් වහන්සේලාට පිළිගැන්නුවා. ඒ භික්ෂූන් වහන්සේලා වළඳා ඉතිරිව තිබූ බතින්,

30. පාත්‍රයක් පුරවලා රජ්ජුරුවන් වෙනුවෙන් අහසට දැම්මා. අහසින් පැමිණි පාත්‍රය දුටු තිස්ස අමාත්‍යයා එය රැගෙන රජ්ජුරුවන්ට අහරකිස කෙරෙව්වා.

31. තමාත් අනුභව කළා. වෙළඹටත් අනුභව කෙරෙව්වා. රජ්ජුරුවෝ තමන් ඇඳ සිටි සන්නාහය හෙවත් සැට්ටය නවලා දරණුවක් වගේ සකස් කරලා ඒ මත පාත්‍රය තබලා අහසින් ම යැව්වා.

32. දුටුගැමුණු රජ්ජුරුවෝ මාගමට ගිහින් ආයෙමත් සැට දහසක බලසේනාවකුත් රැගෙන යුද්දෙට ගිහින් තමන්ගේ සහෝදර තිස්ස කුමාරයා සමග යුද්ධ කළා.

33. රජ්ජුරුවෝ දීඝථූනිකා වෙළඹගේ පිට මත සිටියා. තිස්ස කුමාරයා කඩොල් ඇතාගේ පිටේ සිටියා. සහෝදරයන් දෙදෙනා එකිනෙකාට විරුද්ධව යුද්ධ කරන්ට රණබිමේ සූදානම්ව සිටියා.

34. රජ්ජුරුවෝ තෝමරය දමා ගසන්ට සිදුරක් සොයමින් ඇතා වට කරලා වෙළඹගේ පිටින් වළල්ලක හැඩයට වේගයෙන් දිව්වා. එහෙමත් සිදුරක් සොයාගන්ට බැරිතැන ඇතාගේත් තිස්ස කුමාරයාගේත් උඩින් වෙළඹව පන්නවන්ට අදහස් කළා.

35. ඇතාත් සහෝදරයාත් උඩින් වෙළඹව පැන්නුවා. ඇතාගේ පිට වසා තිබුනු සම් සැට්ටය සිදුරු වන ලෙසට තෝමරයෙන් දමා ගැසුවා.

36. ඒ යුද්ධයේ දී තිස්ස කුමාරයාගේ දහස් ගණන් මිනිස්සු යුද්ධ කරද්දී මරණයට පත්වුනා. ඔහුගේ මහා බලය බිඳිලා ගියා.

37. ‘මාගේ පිට උඩින් ස්ත්‍රී සතෙකුව පැන්නුවේ මේ ඇත්ගොව්වාගේ අදක්ෂකම නිසා ය’ කියලා කඩොල් ඇතාට හොඳට ම කේන්ති ගියා. තිස්ස කුමාරයාව බිම වට්ටවන්ට ඇඟ සොලව සොලවා එක්තරා රුකක් වෙත ගියා.

38. තිස්ස කුමාරයා ගහට ගොඩ වුනා. කඩොල් ඇතා තමාගේ ස්වාමියා වන දුටුගැමුණු රජ්ජුරුවෝ ළඟට ගියා. ඇතා පිට නැගපු දුටුගැමුණු රජ්ජුරුවෝ පලායන තිස්ස කුමාරයාගේ පිටිපස්සෙන් පැන්නුවා.

39. තිස්ස කුමාරයා පලා ගිහින් ළඟ තිබුනු විහාරෙකට රිංගුවා. එහි සිටින මහා තෙරුන් වහන්සේගේ කුටියට රිංගුවා. තම සහෝදරයාට භයින් එහි තිබුනු ඇඳක් යට දිගා වෙලා සිටියා.

40. මහ තෙරුන් වහන්සේ කුමාරයාව පිටත පෙනෙන්නේ නැතිවෙන්ට බිමට පාත්වෙන ලෙසින් ඇඳ මත සිවුරක් දිගහැරියා. තිස්ස කුමාරයාගේ පියවර සටහන් ඔස්සේ ආපු රජ්ජුරුවෝ ‘කොහේද ඉන්නේ තිස්සයා?’ කියලා ඇහැව්වා.

41. ‘මහරජ්ජුරුවෙනි, ඔබගේ සහෝදර කුමාරයා ඇඳ මත නැහැ නොවැ’ කියලා මහතෙරුන් වහන්සේ පිළිතුරු දී වදාළා. එතකොට රජ්ජුරුවන්ට තේරුනා එහෙනම් තිස්සයා ඉන්නේ ඇඳ යට ය කියලා. රජ්ජුරුවෝ එතැනින් නික්ම ගියා.

42. රජ්ජුරුවෝ විහාරයට පිටතින් හතර වටින් ම රැකවල් දැම්මෙව්වා. තිස්ස කුමාරයාට පැනගන්ට විදිහක් නෑ. ඒ නිසා තිස්ස කුමාරයාව ඇඳක හාන්සි කරවා උඩින් වැහෙන්ට සිවුරක් දැම්මා.

43. තරුණ භික්ෂූන් වහන්සේලා හතර නමක් ඒ ඇඳේ පා හතරින් ඔසොවාගෙන අපවත් වූ භික්ෂුවක් ගෙනියන විදිහට විහාරයෙන් පිටතට අරගෙන ගියා.

44. බැහැරට අරගෙන යන්නේ මේ තිස්ස කුමාරයාව තමයි කියලා රජ්ජුරුවෝ තේරුම් ගත්තා. ඊට පස්සේ රජ්ජුරුවෝ මෙහෙම කිව්වා. ‘එම්බා තිස්සයෙනි, තෝ මොකද මේ කුලදේවතාවුන්ගේ හිස මතින් ගෙනියන්නේ?’

45. මං කුලදේවතාවුන් අතින් තෝ ව බලහත්කාරයෙන් පැහැර ගැනීමක් කරන්නෙ නෑ. ඒ නිසා එම්බා තිස්ස, තෝ හැමදාමත් තාගේ කුලදේවතාවුන්ගේ ගුණ සිහිකරපන්’ කියලා.

46. දුටුගැමුණු රජ්ජුරුවෝ එතැනින් ම මාගම වඞ්ඪමාන පුරයට ගියා. මෑණියන් කෙරෙහි මහත් ගෞරවාදරයෙන් යුක්තව තම මව් වන විහාරමහා දේවිවත් මාගමට ම කැඳවා ගත්තා.

47. ධර්මයෙහි පිහිටුවාගත් සිතින් යුතු දුටුගැමුණු රජ්ජුරුවෝ අවුරුදු හැට අටක් වැඩ සිටියා. විහාරයනුත් හැට අටක් කෙරෙව්වා.

48. භික්ෂූන් වහන්සේලා විසින් විහාරයෙන් බැහැරට පිටත් කරවපු තිස්ස රාජපුත්‍රයා එතැනින් ම වෙස් වළාගෙන දීඝවාපියට ගියා.

49. කුමාරයා ගෝධගත්තතිස්ස තෙරුන් වහන්සේ බැහැදකින්ට ගියා. ‘ස්වාමීනී, මෑණියනුත් කඩොල් ඇතාවත් තුන් වතාවක් ම ඉල්ලලා නුදුන් නිසා මගේ අතිනුයි මේ අපරාධය වුනේ. මං සහෝදරයාව කමා කරවාගන්ට කැමතියි.’

50. සංඝයාට වතාවත් කරන කෙනෙකුගේ වේශයෙන් තිස්ස කුමාරයාව රැගෙන පන්සියයක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන ගෝධගත්තතිස්ස තෙරුන් වහන්සේ රජ්ජුරුවන් මුණගැහෙන්ට මාගම වැඩියා.

51. පඩිපෙළ මුදුනේ තිස්ස කුමාරයාව නවත්තලා තෙරුන් වහන්සේ සියලු සංඝයා වහන්සේලා සමඟ රජමැදුරට වැඩම කොට අසුන් ගත්තා. රජ්ජුරුවෝ,

52. කැඳ, අවුළුපත් ආදිය උන්වහන්සේලාට පිළිගැන්නුවා. එතකොට මහතෙරුන් වහන්සේ පාත්‍රය වසාගත්තා. ‘ඇයි ස්වාමීනී, අද මේ කැඳ අවුලුපත් පිළිගන්නේ නැත්තේ?’ ‘මහරජ්ජුරුවෙනි, අපි තිස්ස කුමාරයාව එක්කරගෙන ආවා.’

53. ‘කොහේද ඔය හොරා ඉන්නේ?’ ‘මහරජ්ජුරුවෙනි, කුමාරයා අසවල් තැන ඉන්නවා’ කියා වදාළා. එතකොට විහාර මහා දේවිය ඉක්මනින් ගිහින් සිය පුත්‍රයාව මුවා කරවාගෙන සිටගත්තා.

54. රජ්ජුරුවෝ තෙරුන් වහන්සේට මෙහෙම කිව්වා. ‘ස්වාමීනී, ඔබවහන්සේලා කෙරෙහි අපගේ ඇති දාසභාවය දැන් ඔබවහන්සේලාට වැටහෙනවා නේද? ඉදින් ඔබවහන්සේලා මේ කලහය විසඳන්ට සත්හැවිරිදි සාමණේර නමක්වත් අප වෙත එවා වදාළා නම්,

55. මේ ජනයාගේ විනාශයවත් කෝලාහලයවත් මෙහෙම සිද්ධ වෙන්නේ නෑ’ ‘මහරජ්ජුරුවෙනි, එසේය. මෙය සංඝයාට වූ අපගේ දෝෂයක්. සංඝයා ඊට සුදුසු වූ දඬුවමක් කරන්නේය.’

56. ‘ස්වාමීනී, ඔබවහන්සේලා මෙහි වැඩම කළ කාරණය ඉෂ්ට වෙනවා. එනිසා අපගේ කැඳ අවුළුපත් පිළිගන්නා සේක්වා!’ කියලා අපගේ දුටුගැමුණු රජ්ජුරුවෝ කැඳ, අවුළුපත්වලින් සංඝයා වහන්සේව වළඳවලා සහෝදර තිස්ස කුමාරයාව ළඟට කැඳවාගත්තා.

57. සංඝයා වහන්සේලා මැද්දේ ම වාඩිවෙලා සහෝදර තිස්ස කුමාරයා සමඟ එකට ම කැඳ, අවුළුපත් අනුභව කළා. ඊටපස්සේ සංඝයා වහන්සේලා පිටත් කෙරෙව්වා.

58. යුද්ධයක් කරද්දී ආහාරපාන සුලභ වෙන්ට ඕන නිසා තිස්ස කුමාරයා කුඹුරු අස්වද්දන්ට දීඝවාපියට ම පිටත් කෙරෙව්වා. තමාත් අඬබෙර හසුරුවා හැමතැන ම කුඹුරු අස්වැද්දෙව්වා.

59. ඔය විදිහට නානා කරුණු මුල්කොට වැඩි වෙවී යන වෛරය පවා සත්පුරුෂයෝ සන්සිඳුවා ගන්නවා. ඔය ගැන සිතන කවර නම් බුද්ධිමත් මනුෂ්‍යයෙක් අදත් කෙසේ නම් මෛත්‍රී කරුණා ගුණ පතුරුවා තම සිත ශාන්ත නොකර ගනියි ද!

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි සහෝදර කුමාරවරු දෙදෙනාගේ යුද්ධය නම් වූ විසිහතරවෙනි පරිච්ඡේදය යි.

The post මහාවංශය – විසිහතරවෙනි පරිච්ඡේදය appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here