මහාවංශය – විසිදෙවෙනි පරිච්ඡේදය

0
8


1. එළාර රජ්ජුරුවන්ව මරවා දුටුගැමුණු රාජපුත්‍රයා ලංකාවේ රජ බවට පත්වුනා. එහි විස්තර කියවෙන අනුපිළිවෙළ කථාව මෙයයි.

2. දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ දෙවෙනි මලණුවන් වූ මහානාග නමැති යුවරජ්ජුරුවෝ සහෝදර රජ්ජුරුවන්ට ප්‍රිය මනාපව සිටියා.

3. දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ දේවිය අඥානකම නිසා තමන්ගේ පුත්‍රයාට රාජ්‍යය ලබාදීමේ ආශාවෙන් නිතරම කල්පනා කළේ මහානාග යුවරජ්ජුරුවන්ව මරවන්ටයි.

4. දවසක් වළස්වැව කරවමින් සිටි මහානාග යුවරජ්ජුරුවන්ට දෙන්ට කියලා අඹ ගොඩක් මත විෂ පොවාපු පැහැපත් අඹයක් තියලා පිටත් කෙරෙව්වා.

5. ඇයගේ ළදරු කුමාරයාත් යුවරජ්ජුරුවන් සමඟ ගිහින් හිටියේ. අඹ භාජනය විවෘත කළ ගමන් උඩින් තිබුනු ඒ විෂ පොවාපු පැහැපත් අඹය අනුභව කිරීමෙන් ළදරු කුමාරයා මරණයට පත්වුනා.

6. එතකොට මහානාග යුවරජ්ජුරුවෝ තමන්ගේ පණ රැකගන්ට තම බිරිඳයි බලසේනාවයි සමග රුහුණට පලා ගියා.

7. මහානාග රජ්ජුරුවන්ගේ මෙහෙසිය ගර්භණීව සිටියේ. ඈ යටාල වෙහෙරේ දී පුත් කුමාරයෙකුව බිහි කළා. රජ්ජුරුවෝ පුත් කුමාරයාට තම සහෝදර රජ්ජුරුවන්ගේ තිස්ස යන නම තැබුවා.

8. එයින් ගිය මහානාග ක්ෂත්‍රියයා සතුරු උවදුරු නැති මුළු රුහුණු ජනපදයට ම අධිපති වෙලා මහාභෝග සම්පත් ඇතිව මහගම රජබවට පත්වුනා.

9. ඒ මහානාග රජ්ජුරුවෝ තමන්ගේ නමින් නාග මහා විහාරය කෙරෙව්වා. උඩුකදුරු විහාරය ආදී තවත් බොහෝ විහාරයන් කෙරෙව්වා.

10. රුහුණේ මාගම රජකම් කළ මහානාග රජ්ජුරුවන්ගේ ඇවෑමෙන් ඔහුගේ පුත් කුමාරයා වන යටාලතිස්ස රුහුණේ ම රජවුනා. ඊළඟට යටාලතිස්ස රජ්ජුරුවන්ගේ පුත් කුමාරයා වන ගෝඨාභය කුමාරයා රජබවට පත්වුනා.

11. ගෝඨාභය රජ්ජුරුවන්ගේ පුත් කුමාරයා කාවන්තිස්ස කුමාරයා නමින් ප්‍රසිද්ධියට පත්වුනා. ගෝඨාභය රජ්ජුරුවන්ගේ ඇවෑමෙන් ඒ කාවන්තිස්ස රාජපුත්‍රයා රුහුණේ රජබවට පත්වුනා.

12. ඒ ශ්‍රද්ධාවන්ත කාවන්තිස්ස රජ්ජුරුවන්ට අගමෙහෙසිය වුනේ විහාරදේවී නම් රාජ කන්‍යාවයි. ශ්‍රද්ධා සම්පන්න වූ ඈ කැළණි රජ්ජුරුවන්ගේ දියණියයි.

13. කැළණි රජ්ජුරුවොත් තිස්ස යන නමින් යුතු ක්ෂත්‍රිය රාජවංශිකයෙක්. කැළණිතිස්ස රජ්ජුරුවන්ගේ දේවිය සමඟ අයථා සම්බන්ධයක් නිසා රාජ උදහසට ලක් වූ රජ්ජුරුවන්ගේ මලණුවන් වන,

14. ආර්ය උත්තිය නමැති කුමාරයා රාජ භයින් පළාගියා. ඔහු ගිහින් මුහුදු වෙරළ අසළ පෙදෙසක වාසය කළා. ඔහු වාසය කළ ප්‍රදේශයත් ඔහුගේ නමින් ව්‍යවහාර වුනා.

15. දවසක් ඔහු රහස් ලියුමක් සකසා භික්ෂු වෙස්ගත් මිනිසෙකු අත කැළණිතිස්ස රජ්ජුරුවන්ගේ දේවිය වෙත පිටත් කළා. භික්ෂු වෙස්ගත් මිනිසා ගිහින් රාජ මාළිගයේ දොරටුව අසළ සිටියා.

16. සැමදා රාජ මාළිගයේ දන් වළඳන රහතන් වහන්සේ නමක් සිටියා. භික්ෂු වෙස්ගත් මිනිසාත් රහසේ ම තෙරුන් වහන්සේ පිටුපසින් රජගෙදරට ඇතුළු වුනා.

17. අපගේ රහතන් වහන්සේ දානෙ වළඳද්දි ඒ සමඟ ඔහුත් ආහාර අනුභව කොට රජ්ජුරුවන් සහ රහතන් වහන්සේ එළියට වඩිද්දී දේවිය බලා සිටිය දී රහස් ලියුම බිම අතහැරියා.

18. යමක් බිම වැටුනු ශබ්දයෙන් නැවතී ඒ හොර ලියුම බලා ප්‍රඥාවෙන් තොරව අපගේ රහතන් වහන්සේ ගැන කිපුනා.

19. ක්‍රෝධ සිතින් යුතුව අපගේ රහතන් වහන්සේවයි අර භික්ෂු වෙස්ගත් පුද්ගලයාවයි මරවලා මුහුදට වීසි කෙරෙව්වා. රහතන් වහන්සේව නිරපරාදයේ ඝාතනය කරවූ කාරණයෙන් දෙවියෝ කෝප වුනා.

20. මුහුද ගොඩගලා ඒ ප්‍රදේශය යට කළා. එතකොට රජ්ජුරුවෝ ඉතා යහපත් ගතිගුණ ඇති මනා රූප සෞන්දර්යයෙන් යුක්ත දේවී නමැති තමන්ගේ දියණිය,

21. රන් සැළියක වාඩි කරවා ඒ රන් සැළියේ ‘මේ රාජ දියණියකි’ කියා ලියලා එහි දී ම ඉක්මනින් මුහුදට මුදා හැරියා.

22. මුහුදට දමාපු ඒ සැළිය එතැනින් රුහුණ දෙසට ගිහින් ලංකා විහාරය ළඟින් ගොඩට ආවා. සැළියෙන් බිමට ගොඩ වූ ඇයව කාවන්තිස්ස රජ්ජුරුවෝ තමන්ගේ රජ ගෙදරට කැඳවාගෙන ගොස් රාජ මහේෂිකාව හැටියට අභිෂේක කළා. විහාරය ළඟින් ගොඩබිමට ආ නිසා ඇයට විහාරදේවී යන නම ලැබුනා.

23. කාවන්තිස්ස රජ්ජුරුවෝ තිස්සමහාවිහාරය, සිතුල්පව්ව, ගමිට්ඨවාලි විහාරය, කුටාලි විහාරය ආදී විහාරයන්,

24. කරවා රතනත්‍රය කෙරෙහි මහත් පැහැදුනු සිතකින් යුක්තව හැම අවස්ථාවේදී ම සංඝයා වහන්සේට සිව්පසයෙන් ඇප උපස්ථාන කළා.

25. ඒ දිනවල කෝටපබ්බත නම් විහාරයේ හැම තිස්සේ ම නොයෙකුත් පින්කම් කරන ඉතා සිල්වත් සාමණේරයන් වහන්සේ නමක් සිටියා.

26. උන්වහන්සේ ආකාස චෛත්‍ය මළුවට පහසුවෙන් නැගගන්ට පුළුවන් විදිහට පියගැටපෙළෙහි ගල් පුවරු තුනක් තැබුවා.

27. සංඝයා වහන්සේගේ පරිභෝගයට පැන් ගෙනඒම ඇප උපස්ථාන කිරීම ආදී වත් කළා. නිතර ඇති වූ කයේ වෙහෙස නිසා උන්වහන්සේට බලවත් රෝගාබාධයක් හටගත්තා.

28. කෙළෙහිගුණ දත් භික්ෂූන් වහන්සේලා ගිලන් වූ සාමණේරයන්ව සිවි ගෙයකින් තිස්සමහාරාමයේ සිලාපස්සය පිරිවෙනට කැඳවාගෙන ඇවිත් ඇප උපස්ථාන කළා.

29. හැම කල්හි ඒ විහාරදේවියත් සිල්වත්ව වාසය කරමින් රජගෙහි මනාව පිළියෙළ කළ උදය වරුවේ බත සංඝයා වහන්සේට මහා දානයක් විදිහට පූජා කරගෙන,

30. සවස් වරුවේ සුවඳ මල් බෙහෙත් සිවුරු රෙදි ආදිය ගෙන්වාගෙන ආරාමයට ගිහින් සුදුසු ආකාරයෙන් සංඝයාට සත්කාර කළා.

31. එදාත් විහාරදේවිය ඒ ආකාරයෙන් ම සංඝෝපස්ථාන කරලා මහතෙරුන් වහන්සේ සමීපයට ගොස් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. ධර්ම දේශනය කරන තෙරුන් වහන්සේ විහාරදේවියට මෙකරුණ පැවසුවා.

32. ‘පෙර කරන ලද පින්කම් වල අනුසස් බලෙන් ඔබතුමියට මෙවැනි මහා සම්පත් ලැබිලා තියෙන්නේ. එනිසා දැනුත් අප්‍රමාදීව පින්කම් ම යි කරගන්ට ඕනෑ.’

33. එසේ වදාළ විට විහාරදේවී මෙය පැවසුවා. ‘අනේ ස්වාමීනී, මේ සැප සම්පත්වලින් මේ ලෝකයේ ඇති ඵලය කුමක්ද? අනේ අපට දරු සම්පත් නැති නිසාවෙන් අපගේ සම්පත් වඳයි.’

34. එතකොට ෂඞ් අභිඥාලාභී මහරහතන් වහන්සේ ඇයට දරු සම්පතක් ලැබෙන බව දැකලා ‘දේවියනි, අර ගිලන් සාමණේරයන්ව බැහැදකින්ට’ කියා වදාළා.

35. ඇය ගිහින් අපවත් වෙන්ට ළං වී සිටි සාමණේරයන්ට මෙය පැවසුවා. ‘පින්වත් සාමණේරයන් වහන්ස, මාගේ පුතෙක් වෙන්ට ප්‍රාර්ථනා කළ මැනව. අපට බොහෝ සම්පත් තියෙනවා.’

36. මිනිස් ලොව උපදින්ට සාමණේරයන්ගේ කැමැත්තක් නැතිබව දැනගත් නුවණින් යුක්ත වූ විහාර දේවිය නැවතත් සාමණේරයන්ට සොඳුරු මල් පූජාවක් කරලා තමන්ගේ පුතෙක් වෙන්ට කියලා ඉල්ලා සිටියා.

37. එහෙමත් මිනිස් ලොව අකමැති වූ සාමණේරයන් වහන්සේ නමින් උපායෙහි දක්ෂ විහාරදේවිය නොයෙකුත් බෙහෙත් ඖෂධ සිවුරු පිණිස වස්ත්‍ර සංඝයාට පූජා කරලා නැවතත් තමන්ගේ පුතෙක් වෙන්ට ප්‍රාර්ථනා කළ මැනව කියලා ආයාචනා කළා.

38. එතකොට සාමණේරයන් වහන්සේ රජපවුලේ උපදින්ට අධිෂ්ඨාන කරගත්තා. ඊටපස්සේ විහාරදේවිය උන්වහන්සේ සැතපී සිටින ස්ථානය නොයෙක් අයුරින් සරසලා සාමණේරයන්ට වන්දනා කරලා යානාවක නැගී පිටත් වුනා.

39. ඒ ආත්මභාවයෙන් චුත වූ සාමණේරයන් වහන්සේ රථයේ ගමන් කරමින් සිටි දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තා. යමෙක් තම කුසෙහි පිළිසිඳ ගත් බව තේරුනු ඇය රථය නැවැත්තුවා.

40. රජ්ජුරුවන්ට ඒ කාරණය දැනුම් දුන්නා. නැවතත් රජ්ජුරුවන් සමඟ සිලාපස්සය පිරිවෙණට ගිහින් රජ්ජුරුවොත් දේවියත් සාමණේරයන් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු කරවා

41. සන්සුන් සිත් ඇතිව ඒ පිරිවෙනේම වාසය කරමින් භික්ෂු සංඝයා වහන්සේ උදෙසා හැම කල්හි මහා දන් පැවැත්තුවා.

42. මහා පින් ඇති විහාර දේවියට මේ ආකාර වූ දොළ දුකක් හටගත්තා. ඉස්බක (රියන් එකසිය හතළිහක) ප්‍රමාණයේ මහා මී වදයක් තමන්ගේ හිස අද්දරින් තබාගෙන,

43. ශෝභාසම්පන්න යහනක වම් ඇලයෙන් සැතපී දොළොස් දහසක් භික්ෂූන් වහන්සේලාට පූජා කොට ඉතිරි වූ,

44. මී පැණි අනුභව කරන්ට සිතුනා. ඒ වගේ ම එළාර රජ්ජුරුවන්ගේ යෝධයන් අතුරෙන් ප්‍රධාන යෝධයාගේ හිස සින්ද කඩුව සෝදලා ගත් ජලය,

45. ඒ යෝධයාගේ හිස මත වාඩිවෙලා බොන්ටත් සිතුනා. අනුරාධපුරයේ මහනෙල් විලෙන්,

46. ගෙනාපු මහනෙල් මල් මැලවෙන්ට කලින් පළඳින්ටත් සිතුනා. තමන්ගේ මේ දොළ දුක විහාරදේවිය කාවන්තිස්ස රජ්ජුරුවන්ට කිව්වා. රජ්ජුරුවෝ නිමිති කියන අය ගෙන්වලා එහි තේරුම ඇසුවා.

47. එය ඇසූ නිමිතිකාරයෝ මෙහෙම කිව්වා. ‘දේවයන් වහන්ස, දේවීන් වහන්සේගේ කුස පිළිසිඳගෙන ඉන්න පුත් කුමරා ලක්දිව දෙමළ බලය නැති කරලා ලංකාව එක්සේසත් කරනවා. බුද්ධ ශාසනය බබුලුවනවා.

48. මෙබඳු ආකාරයේ මී වදයක් පෙන්වා දෙන යමෙක් ඉන්නවා නම් රජ්ජුරුවෝ ඔහුට මෙබඳු ආකාරයේ වස්තුව දෙනවා කියලා කාවන්තිස්ස රජ්ජුරුවෝ අඬබෙර ගස්සවලා මාගම්පුරයේ ප්‍රසිද්ධ කළා.

49. ගොළු මුහුදේ වෙරළාසන්නයේ කොළොම් වැල් ගාලක මුනින් නවන ලද එක්සිය හතළිස් රියනක් (ඉස්බක්) පමණැති මහා ඔරු කඳක මී පැණියෙන් පිරී ගිය මහා මී වදයක් තියෙන බව දැනගත් ජනපදවැසි මනුෂ්‍යයෙක් කාවන්තිස්ස රජ්ජුරුවන්ට එය දැනුම් දුන්නා.

50. ඉතා සතුටු වූ රජ්ජුරුවෝ විහාරදේවියත් එතැනට කැඳවාගෙන ගියා. ඒ ඔරුකඳ ඇතුල් කොට අලංකාර මණ්ඩපයක් කරවා මී වදය තමා හිස තබා ඇති තැන ඉහළින් තබ්බවා දේවිය යහනක සතප්පවා දකුණු අතින් සංඝයා උදෙසා මී පැණි පූජා කරවා දේවියටත් වැළඳෙව්වා.

51. අනිත් දොළදුක සන්සිඳුවන්ට කාවන්තිස්ස රජ්ජුරුවෝ වේළුසුමන නම් යෝධයාව ඒ කාරණයට යෙදෙව්වා.

52. වේළුසුමන යෝධයා අනුරාධපුරයට ගිහින් එළාර රජ්ජුරුවන්ගේ මංගල අශ්වයාගේ අස්ගොව්වා සමඟ මිත්‍රත්වයක් ඇති කරගත්තා. හැම කල්හි ඒ මංගල අශ්වයාගේ නැහැවීම් ආදී උපස්ථාන කටයුතු ත් කළා.

53. අස්ගොව්වා තමන් හා මහත් විශ්වාසයෙකින් බැඳුනු බව දැනගත් යෝධයා උදෑසනින් ම මහනෙල් මලුත් කඩාගෙන, කඩුවත් අතැතිව කොළම් ගං ඉවුරේ තබා සැකයක් නැතිව,

54. එළාර රජ්ජුරුවන්ගේ වාහ නම් ආජානේය සෛන්ධව අශ්වයා නාවන්ට පිටතට ගෙන යන ආකාරයෙන් කොළම් ගං තෙරට ගෙනිහින් ඒ අසු පිට නැගලා මහනෙල් මලුයි කඩුවයි අතට අරන් ‘මං රුහුනේ කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ වේළුසුමන නම් ඇමැතියා යි’ කියලා උස් හඬින් කියලා පලාගියා.

55. මෙය අසන්ට ලැබූ එළාර රජ්ජුරුවෝ වේළුසුමන යෝධයාව අල්ලා ගන්ට නන්දිසාරථී නමැති මහා යෝධයාව පිටත් කෙරෙව්වා. ඔහු මංගල සම්මත සිරිගුත්ත නැමැති දෙවෙනි ආජානේය සෛන්ධව අශ්වයා පිට නැගී වේළුසුමන යෝධයා පිටුපසින් ලුහුබඳින්ට පටන් ගත්තා.

56. එතකොට වේළුසුමන යෝධයා නුගහල නමැති ප්‍රදේශයට ඇවිත් පාරෙන් අයින් වෙලා වන ලැහැබකට මුවාවෙලා අශ්වයාගේ පිට මතම හිඳගෙන කඩුව කොපුවෙන් ඇදගෙන දික් කළා.

57. වේගයෙන් එන අශ්වයාගේ පිටේ උන්නු යෝධයාගේ හිස වෙන්වෙලා ගියා. අශ්වයන් දෙන්නාත්, නන්දිසාරථී මහා යෝධයාගේ හිසත් අරගෙන වේළුසුමන යෝධයා සවස් වෙද්දී මාගම්පුරයේ වඞ්ඪමාන නගරයට ගියා.

58. විහාරදේවී කැමැති පරිද්දෙන් තමන්ගේ දොළදුක සන්සිඳුවා ගත්තා. කාවන්තිස්ස රජ්ජුරුවෝ වේළුසුමන යෝධයාට සුදුසු පරිදි සත්කාර ලබාදුන්නා.

59. විහාරදේවී සුදුසු කාලයේ දී ධන්‍ය පුණ්‍ය ලක්ෂණ ඇති උතුම් පුත් කුමරෙක් බිහි කළා. ඒ පිළිබඳ රජ පවුල තුළ මහත් ආනන්දයක් ඇති වුනා.

60. ඒ කුමාරයාගේ පුණ්‍යානුභාවයෙන් කුමාරයා උපන් දවසේ ම නොයෙක් මැණික් වර්ගයන්ගෙන් පිරුණු නැව් සතක් ඒ ඒ තැනින් මාගම්පුර වරායට ආවා.

61. ඒ කුමාරයාගේ ම පුණ්‍ය තේජසින් ඡද්දන්ත කුලයේ ඇතෙක් ඇත් පැටියෙකු ගෙනවිත් මෙහි තබා ගියා.

62. තොටු විල් ඉවුරේ පඳුරු අස්සේ ඉන්න ඇත් පැටියාව දැකපු කණ්ඩුල නමැති මාළු මරන්නෙක් එවෙලේ ම කාවන්තිස්ස රජ්ජුරුවන්ට දැනුම් දුන්නා.

63. රජ්ජුරුවෝ ඇත් ගොවුවන් පිටත් කරවා ඒ ඇත් පැටියාව ගෙන්වා ගෙන පෝෂණය කළා. කණ්ඩුල නමැති තැනැත්තා මොහුව පළමුවෙන් දැක්ක නිසා ඒ ඇත් පැටියාට ‘කණ්ඩුල’ යන නම තැබුවා.

64. ඒ වගේ ම රත්තරන් භාජන ආදියෙන් පිරීගිය නැව් මෙහි ඇවිත් තියෙනවා කියලා රජ්ජුරුවන්ට දැනුම් දුන්නා. රජ්ජුරුවෝ ඒවාත් ගෙන්නා ගත්තා.

65. පුත් කුමාරයාගේ නම් තබන මංගල්ලෙට රජ්ජුරුවෝ දොළොස් දහසක් භික්ෂූන් වහන්සේලාට ආරාධනා කළා.

66. රජ්ජුරුවෝ මෙහෙම සිතුවා. ‘ඉදින් මාගේ පුත්‍රයා ලංකාදීපේ පරසතුරු කටුකොහොල් ඉවත් කරලා ලංකාරාජ්‍යයේ හිමිකරු වෙලා උතුම් බුද්ධ ශාසනය බබුළුවනවා නම්,

67. භික්ෂූන් වහන්සේලා එක්දහස් අට නමක් ශාලාවට පිවිසෙත්වා! උන්වහන්සේලා සියලු දෙනා උඩු අතට හරවා ගත් පාත්‍රා ඇතිව සිවුරු පොරොවත්වා!

68. ඇතුළට වඩිද්දී පළමුවෙන් ම දකුණු පාදය උළුවස්සෙන් ඇතුළට තබත්වා! එක් කුඩයකින් යුක්ත වූ පසුම්බියෙන් පෙරහන්කඩය පිටතට ගනිත්වා!

69. ගෞතම නම් තෙරුන් වහන්සේ පළමුකොට පුත් කුමරාව පිළිගනිත්වා! උන්වහන්සේ ම උතුම් තිසරණ පන්සිල් දෙන සේක්වා!’යි සිතින් අධිෂ්ඨාන කළා. ඒ හැම දෙයක් ම සිතූ පරිදි වුනා.

70. සියලු නිමිති දැකපු රජ්ජුරුවෝ ඉතාමත් සන්තෝෂයට පත්වුනා. භික්ෂු සංඝයා වහන්සේලාට කිරිබත් දානය පූජා කරගෙන පුත් කුමාරයාට නම තැබුවා.

71. මාගමේ නායකත්වයත්, තම පිය රජ්ජුරුවන් වන ගෝඨාභය රජ්ජුරුවන්ගේ අභය නාමයත් යන දෙක එකතු කොට කුමාරයාට ‘ගාමිණී අභය’ යන නාමය තැබුවා.

72. කුමාරයාගේ නම් තැබීමේ උත්සවයෙන් නව දිනකට පස්සේ රජ්ජුරුවෝ මාගමට ගියා. එහි දී විහාරදේවිය සමඟ එකට හැසිරීම හේතුවෙන් ඇය නැවත ගර්භණියක් වුනා.

73. සුදුසු කාලයෙහි තව පුත් රුවනක් ලැබුනා. කාවන්තිස්ස රජ්ජුරුවෝ ඒ දෙවෙනි කුමාරයාට තිස්ස යන නම තැබුවා. මේ රජදරුවන් දෙන්නා මහත් ගරු බුහුමන් සහිතව වැඩුනා.

74. දරු දෙන්නාට ඉඳුල් කට ගෑවීමේ මංගල්‍යය දවසේ ඉතා ආදරයෙන් යුක්තව පන්සියයක් වූ භික්ෂු සංඝයා වහන්සේට කිරිබත් දානය පූජා කරගෙන,

75. උන්වහන්සේලා භාගයක් වැළඳූ පසු ඉතිරි වූ කිරිබත් ටික ටික ගෙන්වා ගෙන ඒවා රන් තැටියක දමලා රජ්ජුරුවෝ විහාර මහා දේවියත් සමඟ,

76. ‘දරුවෙනි, ඉදින් ඔයාලා මේ ගෞතම බුදු සසුන අත්හරිනවා නම් මේ අනුභව කරන ආහාරය දිරවන්ට එපා!’ කියලා දරුවන්ට කිරිබත් කැව්වා.

77. ඒ අදහස තේරුම් ගත් රාජකුමාරවරු දෙන්නා අමෘතයක් ලැබූ කලක සෙයින් මහත් සතුටු සිතින් ඒ කිරිබත් අනුභව කළා.

78. ඒ කුමාරවරුන් දහ දොළොස් හැවිරිදිව ඉන්න කොට ඒ කුමාරවරුන්ගේ අදහස් විමසා බැලීම පිණිස කලින් වගේම භික්ෂූන් වහන්සේලාව වළඳවලා උන්වහන්සේලා ඉතිරි කළ ඉඳුල්බත්,

79. රන් තැටියෙන් ගෙන්නවාගෙන දරුවන් ඉදිරියෙහි තබා ඒ කිරිබත කොටස් තුනකට බෙදලා කාවන්තිස්ස රජ්ජුරුවෝ මෙහෙම කිව්වා.

80. ‘දරුවෙනි, අපගේ කුලදේවතාවුන් වන භික්ෂූන් වහන්සේලා දුටු විට අපි කලකිරී ඉවත බලන්නේ නෑ කියලා මේ බත් කොටස අනුභව කරන්ට ඕනෑ.

81. සහෝදර දෙන්නා වන අපි නිතරම එකිනෙකාට ද්‍රෝහී නොවී වාසය කරනවාය කියලා සිතා ඊළඟ බත් කොටසත් අනුභව කරන්ට ඕනෑ.’

82. එතකොට කුමාරවරු දෙන්නා අමෘතය වගේ සිතා ඒ බත් කොටස් දෙක ම අනුභව කළා. ‘දෙමලුන් එක්ක යුද්ධ කරන්ට යන්නේ නෑ’ කියලා මේ තුන්වෙනි කොටස අනුභව කරන්ට ඕනෑ’ කියලා,

83. රජ්ජුරුවෝ කිව්වාම තිස්ස කුමාරයා අතින් ගත් බත් පිඬ රන් තැටියට ම දැම්මා. ගාමිණී කුමාරයා බත් පිඬ රන් තැටියේ අත්හැරලා තමන්ගේ ඇඳට ගියා.

84. අත් පා වකුටු කරගෙන ඇඳේ වැතිරිලා සිටියා. විහාර දේවිය ගැමුණු කුමාරයා ළඟට ගිහින් කුමාරයාව සතුටු කරවමින් මෙහෙම කිව්වා.

85. ‘පුතේ, අත්පා දිග හැර ඇඳෙහි සුවසේ නිදාගන්නේ නැත්තේ ඇයි?’ ‘මහවැලි ගඟෙන් එහා පැත්තේ ඉන්නේ බලෙන් රට අල්ලාගත් දෙමෙල්ලු! මේ පැත්තේ තියෙන්නේ ගොළු මුහුද.

86. ඉතින් මං කොහොමද අත්පා දිගහැරලා සැනසිල්ලේ ඇඳේ වැතිරිලා ඉන්නේ?’ කියලා ගැමුණු කුමාරයා උත්තර දුන්නා. ඔහුගේ අදහස තේරුම්ගත් කාවන්තිස්ස රජ්ජුරුවෝ නිශ්ශබ්ද වුනා.

87. ගැමුණු කුමාරයා ක්‍රමයෙන් වැඩෙද්දී වයස අවුරුදු දහසයක් වුනා. පිනෙන්, යසපිරිවරින්, ධෛර්ය සම්පන්න බවින්, තේජෝබල පරාක්‍රමයෙන් යුක්ත වුනා.

88. සත්වයෝ නොයෙක් අයුරින් සැලෙන ඉතා ඉතා සැලෙන උත්පත්තිගති ස්වභාවයෙන් යුක්තයි. තමන් තමන් රැස්කරන්නා වූ පුණ්‍ය බලයෙන් සාමණේරයන් වහන්සේ මැනවින් සිත පිහිටුවා ගෙන යළි මිනිස් ලොව මනා ස්වභාවයෙන් උපන් අයුරින් කැමැති පරිදි උතුම් උපතකට යන්ට පුළුවනි. ඔය විදිහට නුවණින් කල්පනා කරන බුද්ධිමත් කෙනා මහත් ආදරයෙන් යුක්තව පින් රැස් කරගන්ට ඕනෑ.

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි ගැමුණු කුමාරයාගේ උපත නම් වූ විසිදෙවෙනි පරිච්ඡේදය යි.

The post මහාවංශය – විසිදෙවෙනි පරිච්ඡේදය appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here