මහාවංශය – පළමුවෙනි පරිච්ඡේදය

0
5


01. අපගේ භාග්‍යවතුන් වහන්සේ පරම පාරිශුද්ධත්වයට පත්වූයේ තමන් වහන්සේ තුළ පැවැති රාගාදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කිරීම නිසයි. එසේ ම දඹදිව ඉතාමත් ම පාරිශුද්ධ වංශ පරම්පරාව වන ශාක්‍ය වංශයේ ය උන්වහන්සේ ජන්ම ලාභය ලැබුවේත්. අපගේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට එම උතුම් වංශ පරම්පරාවෙහි ශ්‍රේෂ්ඨ සිදුවීම් ගැන විස්තර සමගින් ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ වංශය පිළිබඳ ව පරම්පරා කථාව වන මහාවංශය පවසමි.

02. ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව මෙයට කලින් පුරාණ හෙළඅටුවා කළ අපගේ පැරණි අටුවාචාරීන් වහන්සේලා විසින් සකස්කොට තිබුනද ඒ සීහළට්ඨකථා මහාවංශයෙහි සමහර තැන්වල විස්තර ඕනෑවටත් වඩා වැඩිය. විස්තර කළයුතු ඇතැම් තැනක තිබෙන්නේ ගොඩාක් ම කෙටි විස්තර යි. කලින් කියූ දෙය නැවත නැවත කීමේ පුනරුක්ති දෝෂත් එහි නොයෙක් තැන්වල දකින්ට තිබුණා.

03. එනමුත් මේ මහාවංශයෙහි ඕනෑවටත් වඩා කරන විස්තරත්, අවශ්‍යයෙන් කිවයුතු විස්තර තිබෙද්දී ඒවා ගොඩාක් කෙටියෙන් කීමත්, කියූ දෙය නැවත නැවත කීමේ පුනරුක්ති දෝෂත් ඉවත් කළා. එමෙන් ම මෙහි සඳහන් කරුණු සුවසේ මතකයේ තබාගන්ට පුළුවන් විදිහට සකස් කළා. තෙරුවන් පිළිබඳ විස්තර කරද්දී ශ්‍රද්ධාවෙන් යුතු පහන් සිතක් ඇතිකර ගන්ටත්, නොයෙක් කරදර විපත් ගැන කියවෙන තැන්වල සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කොට සංවේගය ඇතිකරගන්ටත් සුදුසු විදිහට සකස් කළා. එමෙන් ම මේ දක්වා ම අතරමග කඩාකප්පල් වීමක් නැතුව ආචාර්ය පරපුරෙන් දිගට ම හොඳින් පවත්වාගෙන ආ සත්‍ය තොරතුරු මෙහි ඇතුළත් කළා.

04. එනිසා අප භාග්‍යවතුන් වහන්සේ ලක්දිව වැඩමවීම, ධර්ම සංගායනා, මිහිඳු මාහිමියන් වැඩමවීම, මහබෝ මහසෑ පිහිටුවීම වැනි තැන් කියවෙද්දී සිත පහන් කරගන්ට ඕනෑ. භාග්‍යවතුන් වහන්සේගේ රහතුන් වහන්සේගේ පිරිනිවන් පෑම, රජවරුන්ගේ මරණ ආදී තැන් කියවෙද්දී සංවේගයත් ඇතිකරගන්ට ඕනෑ. අන්න ඒ අයුරින් හොඳින් කන් යොමාගෙන මේ මහාවංශය අසාගෙන ඉන්ට ඕනෑ.

05. තුන්ලොව දිනූ අප භාග්‍යවතුන් වහන්සේ අතීතයෙහි මුලින් ම සුමේධ නම් ඉර්ධිමත් තවුසෙක් ව සිටියා. ඒ කාලයේ දීපංකර නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙලා සිටියා. උන්වහන්සේව බැහැදුටු අපගේ සුමේධ තවුසාට ඒ සම්බුදු රජුන්ගෙන් නියත විවරණ ලැබුනා. එතකොට තමාත් ලෝක සත්වයාව සසර දුකින් මුදවාගන්ට ඕනෑය යන අදහසින් බුදුබව පිණිස ඉතා දැඩි ලෙස අධිෂ්ඨානයක් ඇතිකර ගත්තා.

06. ඒ දීපංකර බුදුරජුන්ගේ පිරිනිවීමෙන් පසු එක් අසංඛෙය්‍ය කාලයක් ගෙවී ගියා. ඊට පස්සේ කොණ්ඩඤ්ඤ නමින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයෙහි පහළ වුනා. ඒ කාලයේ අප මහා බෝසතුන් විජිතාවී නම් සක්විති රජෙකුව සිටියදී ඒ කොණ්ඩඤ්ඤ බුදුරජුන්ගෙනුත් අනාගතයෙහි සම්බුදු වන බවට නියත විවරණ ලැබුවා. ඒ කොණ්ඩඤ්ඤ බුදුරජුන් පිරිනිවන් පෑවාට පසු නැවත එක් අසංඛෙය්‍ය කාලයක් ගෙවී ගියා. ඊට පස්සේ ඇති වූ කල්පයේදී මංගල, සුමන, රේවත සහ සෝභිත යන බුදුවරුන් සතර නමක් ම පහළ වුනා. එයින් මංගල බුදුරජුන් දවස අප මහ බෝසතුන් සුරුචි නමින් බ්‍රාහ්මණයෙකු වී ඒ බුදුරජුන්ගෙන් නියත විවරණ ලැබුවා. සුමන නම් බුදුරජුන් දවස අතුල නම් නාරජෙකු වී ඒ බුදුරජුන්ගෙන් නියත විවරණ ලැබුවා. රේවත නම් බුදුරජුන් දවස අතිදේව නම් බ්‍රාහ්මණයෙකු වී ඒ බුදුරජුන්ගෙනුත් නියත විවරණ ලැබුවා. සෝභිත නම් බුදුරජුන් දවස අජිත නම් බ්‍රාහ්මණයෙකු වී ඒ බුදුරජුන්ගෙනුත් නියත විවරණ ලැබුවා.

07. ඒ සෝභිත බුදුරජුන්ගේ පිරිනිවන් පෑමෙන් පසු එක් අසංඛෙය්‍ය කාලයක් ගෙවී ගියා. නැවත ඇති වූ කල්පයෙහි අනෝමදස්සී, පදුම, නාරද යන බුදුවරුන් තුන් නම පහළ වුනා. අනෝමදස්සී නම් බුදුරජුන් දවස අප මහ බෝසතුන් මහානුභාව සම්පන්න යක්ෂ සේනාධිපතියෙකු ව සිට ඒ බුදුරජුන්ගෙන් නියත විවරණ ලැබුවා. පදුම නම් බුදුරජුන් දවස අප මහ බෝසතුන් ඒ බුදුරජුන් වැඩසිටි වනයෙහි සිංහරාජයෙක් ව ඉපිද සිටියදී උන්වහන්සේගෙන් නියත විවරණ ලැබුවා. නාරද නමින් බුදු කෙනෙකුන් ලෝකයෙහි පහළ වූ කාලයෙහි අප මහ බෝසතුන් අභිඥාලාභී ඍෂිවරයෙකු ව සිට උන්වහන්සේගෙන් අනාගතයෙහි බුදු වන බවට නියත විවරණ ලැබුවා. ඒ නාරද බුදුරජුන්ගේ පිරිනිවීමෙන් පසු මෙයට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර නම් බුදු කෙනෙක් ලෝකයෙහි පහළ වුනා. ඒ බුදුරජුන් දවස අප මහ බෝසතුන් ජටිල නමින් බ්‍රාහ්මණයෙකු ව ඉපිද ඒ බුදුරජුන්ගෙන් නියත විවරණ ලැබුවා. පදුමුත්තර බුදුරජුන්ගේ පිරිනිවීමෙන් පසු කල්ප තිස් දහසක් ගෙවී ගියා. එයින් පසු ඇති වූ කල්පයෙහි සුමේධ, සුජාත නමින් බුදුවරු දෙනමක් පහළ වුනා. සුමේධ නම් බුදුරජුන්ගේ කාලයෙහි අප මහ බෝසතුන් උත්තර නමින් තරුණයෙකු ව සිටියදී ඒ බුදු සසුනෙහි පැවිදිව නියත විවරණ ලබාගත්තා.

08. ඒ සුමේධ බුදුරජුන්ගේ පිරිනිවීමෙන් පසු සුජාත නමින් බුදු කෙනෙක් පහළ වුනා. ඒ කාලයෙහි අප මහ බෝසතුන් සක්විති රජෙකුව ඉපිද ඒ බුදු සසුනෙහි පැවිදි වුනා. ඒ බුදුරජුන්ගෙනුත් නියත විවරණ ලැබුවා. ඒ සුජාත බුදුරජුන්ගේ පිරිනිවීමෙන් පසු මෙයින් කල්ප එකසිය දහ අටකට කලින් පියදස්සී, අත්ථදස්සී, ධම්මදස්සී යන නමින් බුදුවරයන් වහන්සේලා තුන් නමක් ලෝකයෙහි පහළ වුනා. එයින් පියදස්සී නම් බුදුරජුන්ගේ කාලයෙහි අප මහ බෝසතුන් කාශ්‍යප නම් බ්‍රාහ්මණයෙකු ව සිට උන්වහන්සේගෙන් නියත විවරණ ලැබුවා. අත්ථදස්සී බුදුරජුන් පහළ වූ කාලයෙහි අප බෝසතුන් සුසීම නම් ඉර්ධිමත් තවුසෙකු ව සිටියදී ඒ බුදුරජුන්ගෙන් නියත විවරණ ශ්‍රී ලබාගත්තා. ධම්මදස්සී බුදුරජුන් පහළ වූ කාලයෙහි අප මහ බෝසතුන් සක්දෙව් රජව ඉපිද උන්වහන්සේගෙන් නියත විවරණ ලබාගත්තා. ඊට පස්සේ මෙයින් අනූ හතර කල්පයකට පෙර සිද්ධත්ථ නමින් බුදු කෙනෙක් පහළ වුනා. එකල අප මහ බෝසතුන් මංගල නම් ඉර්ධිමත් තවුසෙකු ව සිටියදී ඒ බුදුරජුන්ගෙන් නියත විවරණ ලැබුවා. මෙයින් කල්ප අනූ දෙකකට පෙර තිස්ස, ඵුස්ස නමින් බුදුවරු දෙනමක් ලෝකයෙහි පහළ වුනා. එයින් තිස්ස නම් බුදුරජුන්ගේ දවස සුජාත නම් මහ ඍෂිවරයෙකු ව සිටියදී ඒ බුදුරජුන්ගෙන් නියත විවරණ ලබාගත්තා. ඵුස්ස නම් බුදුරජුන් පහළ වූ දවස අප මහ බෝසතුන් විජිතාවී නමින් රජෙකුව සිට ඒ බුදු සසුනෙහි පැවිදිව උන්වහන්සේගෙන් නියත විවරණ ලබාගත්තා.

09. මෙයින් අනූ එක් කල්පයකට පෙර විපස්සී නමින් බුදුරජ කෙනෙක් ලෝකයෙහි පහළ වුනා. එකල අප මහ බෝසතාණන් අතුල නමින් නාරජෙකු ව සිට ඒ බුදුරජුන්ගෙන් නියත විවරණ ලබාගත්තා. මෙයින් කල්ප තිස් එකකට පෙර සිඛී, වෙස්සභූ නමින් බුදුරජ දෙනමක් ලෝකයෙහි පහළ වුනා. සිඛී නම් බුදුරජුන් පහළ වූ දවස අප මහ බෝසතුන් අරින්දම නම් රජෙකුව සිට නියත විවරණ ලබාගත්තා. වෙස්සභූ නම් බුදුරජුන් පහළ වූ කාලයෙහි අප මහ බෝසතුන් සුදර්ශන නම් රජෙකුව සිට නියත විවරණ ලබාගත්තා. එයින් පසු මේ මහා භද්‍ර කල්පය පහළ වුනා. මේ කල්පයෙහි කකුසඳ, කෝණාගමන, කාශ්‍යප සහ ගෞතම යන බුදුරජාණන් වහන්සේලා පහළ වුනා. කකුසඳ බුදුරජුන් පහළ වූ දවස අප මහ බෝසතුන් ඛේම නම් රජෙකුව ඉපිද ඒ කකුසඳ බුදු සසුනෙහි පැවිදිව ඒ බුදුරජුන්ගෙන් නියත විවරණ ලැබුවා. ඊළඟට පහළ වූ කෝණාගමන බුදුරජුන් දවස අප මහ බෝසතුන් පර්වත නමින් රජෙකු ව සිට ඒ කෝණාගමන බුදු සසුනෙහි පැවිදිව ඒ බුදුරජුන්ගෙන් නියත විවරණ ලබාගත්තා.

10. ඊළඟට පහළ වූ කාශ්‍යප නම් වූ සුගත බුදුරජුන්ගේ කාලයෙහි අප මහ බෝසතුන් ජෝතිපාල නම් බ්‍රාහ්මණයෙකුව ඉපිද ඒ කාශ්‍යප බුදු සසුනෙහි පැවිදිව ඒ බුදුරජුන්ගෙන් නියත විවරණ ශ්‍රී ලබාගත්තා. මේ අයුරින් සම්බුදුවරයන් වහන්සේලා සූවිසි නමකගෙන් නියත විවරණ ශ්‍රී ලබාගත්තා. උන්වහන්සේලා විසින් ඒකාන්තයෙන් ම මේ මහෝත්තමයා ශ්‍රී සම්බුද්ධත්වයට පත්වන බවට අනාගත වාක්‍ය ප්‍රකාශ කරන ලද ඒ අපගේ මහාවීරයන් වහන්සේ,

11. දස පාරමී, දස උප පාරමී, දස පරමත්ථ පාරමී යන සමතිස් පාරමී ධර්මයන් සම්පූර්ණ කොට උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට පැමිණියා. උත්තම වූ ගෞතම බුදුරජාණන් වහන්සේ නමින් ලොවෙහි ප්‍රකට ව දෙව් මිනිස් ලෝක සත්වයා සසර දුකින් මුදවා වදාළා.

12. දඹදිව මගධ රාජ්‍යයෙහි ගයාවට නුදුරුව නේරංජරා නදිය ගලා බස්නා ඉවුරු දෙපස මහාවැලි තලා ඇති හෙයින් උරුවේලා නම් ප්‍රදේශයෙහි බෝධි මූලයෙහි දී වෙසක් පුන් පොහෝ දිනයෙහි උන්වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වූ සේක.

13. ඒ අපගේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වය තුළින් සියලු බුද්ධකෘත්‍යයන් පිළිබඳව වශීභාවයට පත්ව උත්තම වූ අමා නිවන් විමුක්ති සුවය වින්ද සේක. වින්ද යුතු වූ ඒ උතුම් විමුක්ති සුඛයෙහි මධුර භාවය විඳිමින් එය ලොවට දක්වනු වස් ඒ බෝමැඬ සමීපයෙහි සත් සතියක් වැඩහුන් සේක.

14. ඒ බෝමැඬ ප්‍රදේශයෙන් නික්ම බරණැස් පුරයට ආසන්නයෙහි පිහිටි ඉසිපතන මිගදායට වැඩම කොට දස දහසක් ලෝක ධාතු කම්පා කරවමින් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළ සේක. ඒ ඉසිපතනයෙහි ම වස් සමාදන් වී වැඩහුන් කාලයෙහි සැට නමක් උතුම් අරහත්වයට පත් කළ සේක.

15. තමන් වහන්සේ විසින් බිහිකරන ලද රහත් භික්ෂූන් වහන්සේලා සැට නම බොහෝ ජනයාට හිතසුව පිණිස දෙව් මිනිසුන්ට යහපත පිණිස චාරිකාවෙහි පිටත් කරවා, ඊට පසු උරුවෙල් දනව්වට ආපසු වඩින අතරමග කපු වනයෙහි දී භද්දවග්ගිය යහලු කුමාරවරුන් තිස් දෙනා ද ධර්මය තුළ හික්මවා,

16. ඒ අපගේ ලෝකනාථයන් වහන්සේ දහසක් පිරිවර සහිත වූ උරුවේල කස්සප, නදී කස්සප, ගයා කස්සප යන තුන්බෑ ජටිලයන් දමනය කරනු වස් සීත කාලයෙහි උරුවෙල් දනව්වට වැඩමකොට ඔවුන්ගේ උපනිශ්‍රය සම්පත් මුහුකුරුවමින් වැඩහුන් සේක.

17. දවසක් උරුවේල කස්සප ජටිලයා හට අංග, මගධ යන දෙරටවාසීන් විසින් මහා දානයක් රැගෙන ආවා. එම දානය සඳහා අප භාග්‍යවතුන් වහන්සේ නොවැඩියොත් හොඳය කියා ජටිලයෝ කැමැත්තෙන් හිටියා. එතකොට ඒ බව දැනගත් අප භාග්‍යවතුන් වහන්සේ,

18. උතුරුකුරු දිවයිනට වැඩමකොට එහි පිඬුසිඟා වැඩ දානය ලබාගත්තා. කෙලෙස් සතුරන් මඬින අප මහෝත්තමයන් වහන්සේ අනෝතත්ත විල් තෙර අසල සිරියල් ගල් තලාවෙහි වැඩ හිඳ දන් වැළඳූ සේක. එදින සවස් යාමයෙහි තමන් වහන්සේ,

19. සම්බුද්ධත්වයෙන් නවවැනි මාසයෙහි ඵුස නැකත යෙදුණු දුරුතු පුර පසළොස්වක් දිනයෙහි බුදු සසුනට විරුද්ධ ගති ඇති යක් පිරිස් නමැති කටු කොහොල් හරවා ලංකාද්වීපය පිරිසිදු කිරීම පිණිස තුන්ලොව දිනූ අප මුනිඳාණෝ ලක්දිවට වැඩි සේක.

20. ලංකාද්වීපය වනාහී ගෞතම බුදු සසුන බබලන තැන යැයි අප භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් දන්නා ලද්දේය. ඒ ලංකාද්වීපයෙහි සසුනට විරුද්ධ ගති ඇති යකුන් පිරී සිටිනා හෙයින් ඒ යකුන් ලංකාද්වීපයෙන් බැහැර කළ යුතුය.

21. ලංකාද්වීපයෙහි මැද ඉතා සිත්කලු වූ ගංගා තීරයෙහි යකුන් එක්රැස් වන තැනක් තිබේ. ඒ රම්‍ය වූ භූමිය තුන් යොදුනක් දිගය. එක් යොදුනක් පළලය. එම ස්ථානයෙහි යකුන් රැස්වන බව භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක.

22. ඉතා සරුවට වැඩී ගිය නා වෘක්ෂයන්ගෙන් පිරී ගිය හෙයින් මහානාග වනෝද්‍යානය නම් වූ ඒ යකුන් රැස්වන භූමි ප්‍රදේශයෙහි ලංකාද්වීපවාසී යක්ෂයින්ගේ මහා සභාවක් තිබුණා.

23. සුගත වූ අප බුදුරජාණන් වහන්සේ ඒ මහා යක්ෂ සමාගම තිබූ තැනට වැඩි සේක. යකුන් රැස්වී සිටි ඒ භූමිය මැද එහි ඔවුන්ගේ හිස් මත්තෙහි,

24. මහියංගණ මහා ස්ථූපය දැන් පිහිටා ඇති තැන ආකාසයෙහි වැඩහුන් සේක. ඒ යකුන් හට සංවේගය ඇතිවන ආකාරයෙන් ඉර්ධි බලයෙන් මහාවැසි, සුළං, ඝනාන්ධකාරාදිය දක්වාලූ සේක.

25. භාග්‍යවතුන් වහන්සේ විසින් ඉර්ධියෙන් මවන ලද මහවැසි ආදියෙන් ඉතා බියට පත් වූ ඒ යක්ෂයෝ බුදුරජාණන් වහන්සේගෙන් තම බිය නැති කරන මෙන් ඉල්ලා සිටියා. ලෝක සත්වයාට නිර්භයස්ථානය වූ උතුම් මගඵලනිවන් ලබාදෙන භාග්‍යවතුන් වහන්සේ ඒ බියෙන් පීඩිත යක්ෂයින් හට මෙසේ වදාළා.

26. එම්බා යක්ෂයිනි, මම තොපගේ මේ ඇති වී තිබෙන භයත් දුකත් දුරුකර දමන්නෙමි. තෙපි සමගි සම්පන්නව මෙම ස්ථානයෙහි මට වැඩ හිඳින්නට තැනක් දෙව්.

27. එතකොට ඒ බියට පත්ව සිටි යක්ෂයෝ අපගේ සුගතයන් වහන්සේට මෙසේ කිව්වා. “නිදුකාණන් වහන්ස, අපි හැමෝ ම නුඹවහන්සේට මේ මුළු මහත් ලංකාද්වීපය ම දෙනවා. නුඹවහන්සේ අපට ඇති වී තිබෙන මේ භයෙන් නිදහස් කරන සේක්වා!

28. ඒ යක්ෂයින්ගේ භයත් සීතලත් අන්ධකාරයත් දුරුකළ භාග්‍යවතුන් වහන්සේ බිමට වැඩම කොට ඔවුන් විසින් දෙන ලද භූමියෙහි පත්කඩය අතුරා වැඩහුන් සේක.

29. ඊට පසු භාග්‍යවතුන් වහන්සේ පත්කඩය හාත්පසින් ගිනි ජාලාවන් නික්ම යන ලෙසින් ඉර්ධියක් කොට වදාළා. ලක්දිව පුරා ඒ පත්කඩය පැතිරෙන්ට සැලැස්සුවා. ගිනි ජාලාවෙන් ඇති වූ අධික තාපයෙන් පීඩිත වූ ඒ යක්ෂයෝ තවත් බියට පත්ව ලංකාවෙහි මුහුදු සීමාව දක්වා පසුබැස සිටගෙන සිටියා.

30. ඒ යක්ෂයන් එසේ සිටගෙන සිටිද්දී ලංකාද්වීපයට ගිණිකොණ දිසාවෙන් මුහුද මැද පිහිටි රම්‍ය වූ ගිරිදීප නම් දිවයින ඉර්ධි බලයෙන් ලංකාද්වීපයට ළං කොට වදාළා. ඔවුන් උදෙසා ළං කරන ලද ගිරි දිවයිනට සියලු යකුන් පිවිසි කල්හි ඒ ගිරි දිවයින තිබූ තැනම තබාලූ සේක.

31. අපගේ ලෝකනාථයන් වහන්සේ ලංකාවාසීව සිටි ඒ යකුන් ගිරි දිවයිනට පිටත් කොට හැරිය පසු එම පත්කඩය සාමාන්‍ය තත්වයට හැකිලූ සේක. එකල්හී එම ස්ථානයට දේවතාවෝ රැස්වුනා. ඒ රැස්වූ දේවතාවන් හට භාග්‍යවතුන් වහන්සේ ධර්මය වදාළා.

32. එහි දී නොයෙක් කෙළ ගණන් ප්‍රාණීන් හට උතුම් මාර්ගඵලාවබෝධය ඇතිවුනා. තෙරුවන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය ඇතිව මනාකොට තෙරුවන් සරණ ගොස් උතුම් පංච සීලයෙහි පිහිටියා. ඒ පිරිස ගණන් කළ නොහැකි තරම්.

33. ඒ දේව සමාගමෙහි දී සුමනකූට පර්වතයෙහි අධිගෘහිතව සිටි මහාසුමන දේවේන්ද්‍රයා සෝවාන් ඵලයට පත්වුනා. දෙව්මිනිසුන්ගේ පුද පූජාවන්ට යෝග්‍ය වූ අප බුදුරජාණන් වහන්සේගෙන් තමන් හට වැඳුම් පිදුම් කිරීම පිණිස සුදුසු දෙයක් ඉල්ලා සිටියා.

34. නීල වර්ණයෙන් යුක්ත වූ කිලුටෙන් තොර වූ කෙස් පිහිටියේ යමෙකුගේ සිරසෙහි ද, හේ නීලාමලසිරෝරුහ නම් වේ. එසේ නීලාමලසිරෝරුහ යන නාමය ලද, සියලු ප්‍රාණීන්ට හිතෛෂී වූ භාග්‍යවතුන් වහන්සේ තම සිරස පිරිමැද මිටක් පමණ කේශ ධාතූන් වහන්සේලා දුන් සේක.

35. ඒ මහාසුමන දිව්‍යරාජයා ශාස්තෘන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා උතුම් වූ රන් කරඬුවකින් පිළි අරගත්තා. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිය ස්ථානයෙහි නොයෙක් මැණික් වර්ගයන් රැස්කොට,

36. උසින් මහතින් සත්රියනක් පමණ වූ සෑයක් කරවා ඒ මැද කේශ ධාතූන් වහන්සේලා වඩා හිඳුවා ඉන්ද්‍රනීල මාණික්‍යයකින් එය වැසුවා. නමස්කාරත් කළා.

37. අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ පසු උන්වහන්සේගේ අසිරිමත් බුදු බඳ දැවෙමින් තිබූ චිතකයෙන් සරභූ නම් රහතන් වහන්සේ සිය ඉර්ධි බලයෙන් භාග්‍යවතුන් වහන්සේගේ බෙල්ලෙහි අස්ථි හෙවත් ග්‍රීවා ධාතුන් වහන්සේ ගත් සේක.

38. සරභූ මහරහතන් වහන්සේ අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය නමකි. උන්වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන මහියංගණ චෛත්‍යස්ථානයට අහසින් වැඩම කොට ඒ ධාතූන් වහන්සේ එතැන ම වඩා හිඳුවා,

39. මහා ඉර්ධිමත් සරභූ රහතන් වහන්සේ එම ස්ථූපය ලා කහ පැහැයෙන් යුතු ගල්වලින් මනාකොට වස්සවා දොළොස් රියනක් උසට සෑය කරවා එහි ආරක්ෂාව මහා සුමන දිව්‍යරාජයාට පවරා පෙරළා කුසිනාරා නුවරට වැඩම කළා.

40. පසු කාලයෙහි අපගේ දෙවනපෑතිස් මහරජතුමන්ගේ සහෝදර කුමාරයෙකු වන, මුටසීව රජුගේ පුත්‍රයෙකු වන උද්ධචූළාභය නමැති රාජ කුමාරයා එම ප්‍රදේශයෙහි දී මහියංගණ චෛත්‍යයෙහි ආශ්චර්ය අද්භූත හාස්කම් දැක්කා.

41. ඒ හාස්කම් දැකපු රාජ කුමාරයා මහියංගණ චෛත්‍යය තිස් රියනක් පමණ උසට ගඩොල්වලින් වස්සවා සම්පූර්ණ කළා. එම ප්‍රදේශය අල්ලාගෙන සිටි ආක්‍රමණික දෙමළ යුවරජවරුන් පළවා හරින කාලයෙහි දුටුගැමුණු මහරජතුමාත් මහියංගණ ප්‍රදේශයට සැපත් වී,

42. එම සෑය වන්දනා කරන්ට පැමිණ සෑය වටකොට නැවතත් රියන් අසූවක් උසට අලංකාර කඤ්චුක චෛත්‍යයක් කෙරෙව්වා. මේ මහියංගණ ස්ථූපය ඔය ආකාරයෙන් එහි මනාව පිහිටියා.

43. එදා, ධර්මයෙහි ඉසුරුමත් වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔය අයුරින් ලංකාද්වීපයෙහි දරුණු යකුන් වෙනත් තැනකට පිටත් කරවා සත්පුරුෂ මනුෂ්‍යයන් හට වාසභූමි වන ආකාරයට ලංකාව පිළියෙල කරවා වදාළා. ඒ මහාවීර පරාක්‍රමයෙන් යුතු මුනිඳාණෝ නැවතත් උරුවෙල් දනව්වට වැඩියා.

අප භාග්‍යවතුන් වහන්සේ මහියංගණයට වැඩම කළ විස්තරය අවසන් විය.

44. සියලු ලෝක සත්වයන්ගේ හිතසුව පිණිස යොමුකළ සිත් ඇති, මහා කාරුණික වූ අපගේ ශාස්තෘ වූ ලෝකනාථයන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයෙන් වසර පහක් ගිය තැන සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරද්දී,

45. මහෝදර නමැති නාරජ්ජුරුවන් මෙන් ම චූළෝදර නමැති නාරජ්ජුරුවන් යන මාමාත් බෑණාත් යන දෙදෙනා අතර දෑවැද්දකට ලැබුණු, ඉතා අනර්ඝ වූ වාඩිවීමට ගන්නා මැණික් පළඟක් හේතු කරගෙන,

46. අසූ කෝටියක පමණ මුහුදුවාසී වූත් භූමිවාසී වූත් නාගයන් ආයුධ සන්නද්ධ වී දෙපසින් ම මහා යුද්ධයක් පිණිස එකට රැස්වුනා. ඒ අවස්ථාවෙහි අපගේ සම්බුදුරජාණන් වහන්සේ බක් මාසයෙහි ග්‍රීස්ම ඍතුවෙහි තුදුස්වක පොහෝ දවසෙහි මොවුන්ගේ සටනට සූදානම් වීම දුටු සේක.

47. නාගයන් හට වන විපත දැක උතුම් වූ සුගත් චීවරය පොරවාගෙන පාත්‍රය ද අතින් ගෙන ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් උදෑසනින් ම නාගදීපයට ඉර්ධියෙන් වැඩි සේක.

48. ඒ දවස්වල මහා ඉර්ධිමත් මහෝදර නාරජ්ජුරුවොත් මහා සමුද්‍රයේ යොදුන් පන්සීයක් පමණ වූ තමන්ගේ පිය රජ්ජුරුවන් සන්තක නාග භවනයට අධිපති වෙලා සිටියා.

49. ඒ මහෝදර නාරජ්ජුරුවන්ට තිරච්ඡිකා නමින් නාග මානවිකා නැගණියක් සිටියා. ඒ නාමෙනෙවිය කණ්හාවඞ්ඪමාන නමැති පර්වතයට අධිගෘහිත නාගරාජයාට විවාහ කරලා දුන්නා. ඒ තිරච්ඡිකා නාගිනියගේ පුත්‍රයා හඳුන්වන්නේ චූළෝදර යන නමිනුයි.

50. ඒ නාග මානවිකාවගේ මෑණියන්ගේ පිය නාරජ්ජුරුවන් තම උතුම් මැණික් පළඟ සිය මිණිබිරිය වන තිරච්ඡිකා නාග කන්‍යාවට දීලා මරණයට පත්වුනා.

51. තිරච්ඡිකා නාගිනියගේ සහෝදරයා වන මහෝදර මාමණ්ඩියත් තිරච්ඡිකාගේ පුත්‍ර වන චූළෝදර බෑණාත් අතරයි මේ දරුණු සංග්‍රාමය ඇතිවෙන්ට පටන් ගත්තේ. කණ්ණාවඞ්ඪ පර්වතයට අධිගෘහිත නාගයොත් මහා ඉර්ධි බලයෙන් යුක්තයි.

52. සමිද්ධිසුමන නමැති දෙවියෙක් ජේතවනයෙහි පිහිටි කිරිපලු නුග රුකක් තම සොඳුරු විමානය කරගෙන වාසය කළා. ඒ කිරිපලු රුකත් රැගෙන,

53. තමන් පෙර මනුෂ්‍ය ආත්මයක් ගත කළ ඒ නාගදීපයට ම බුදුරජාණන් වහන්සේගේ අනුමැතියෙන් එදා උන්වහන්සේට ඉහළින් ඒ කිරිපලු නුග රුක ඡත්‍රයක් හැටියට ඔසොවාගෙන පැමිණියා.

54. ඒ දෙවියා පූර්වයෙහි එක්තරා ආත්මයක නාගදීපයෙහි මනුෂ්‍යයෙක් ව වාසය කළා. තමන් අද කිරිපලු නුගරුක පිහිටුවන තැන, ඒ අතීතයේ එක්තරා දිනෙක ඔහු අපූරු දෙයක් දැක්කා.

55. පසේබුදුරජාණන් වහන්සේලා කිහිප නමක් දන් වළඳන ආකාරයයි දැක්කේ. ඒ දැක්මෙන් ඔහුගේ සිත පැහැදීමට පත්වුනා. ගස්වල කොළ අතු කඩලා ඒවායින් පාත්‍රය පිසදැමීම පිණිස උන්වහන්සේලාට පූජා කළා.

56. එසේ පසේබුදුවරයන් වහන්සේලාට වතාවත් කිරීම නිසා ඔහු ඒ පින් බලයෙන් සැවැත් නුවර මනෝරම්‍ය වූ ජේතවනයේ වටා ඇති ප්‍රාකාරයට පිටින් ඇති කිරිපලු නුග රුකෙහි දෙවියක් ව උපන්නා.

57. දේවාතිදේව වූ භාග්‍යවතුන් වහන්සේ ඒ දෙවියාට සිදුවන අභිවෘද්ධියත් කිරිපලු නුගරුක පිහිටන මේ ස්ථානයට සිදුවන යහපතත් හොඳින් දැක වදාරා කිරිපලු නුගරුකත් සමඟ ඒ දෙවියාව මෙහි රැගෙන වැඩියා.

58. මේ මහෝදර චූළෝදර මාමාත් බෑණාත් අතර මහා පිරිවර ද එකතුව ඉස්මතු වී ඇති භයානක යුද්ධය මැද ලෝක නායකයන් වහන්සේ අහසෙහි වැඩසිටියා. අවිද්‍යා අන්ධකාරය දුරලන භාග්‍යවතුන් වහන්සේ ඒ නාගයින්ව දමනය කිරීම පිණිස ඉර්ධි බලයෙන් මහා අන්ධකාරයක් මැව්වා.

59. මවන ලද අන්ධකාරය නිසා ඉතා බියට පත් වූ නාගයන් හට මහත් අස්වැසිල්ලක් ඇතිකරවමින් භාග්‍යවතුන් වහන්සේ ඌර්ණ රෝම ධාතුවෙන් ඉතා සෞම්‍ය වූ ආලෝකයක් නිකුත් කළ සේක. ඔවුන් අපගේ සුගතයන් වහන්සේව ඒ ආලෝකය නිසා හොඳින් දැකගත්තා. ඉතා සතුටට පත්වෙලා ශාස්තෘන් වහන්සේගේ පා කමල් මහත් ශ්‍රද්ධාවෙන් වන්දනා කළා.

60. අපගේ භාග්‍යවතුන් වහන්සේ දෙපාර්ශවයේ ම ඒ නාගයන් හට සමගියට හේතුවන්නා වූ මිහිරි ධර්මයක් වදාළ සේක. ඒ නාගයෝ ප්‍රීතියෙන් පිනාගිය සිත් ඇතිකරගත්තා. අපගේ මහ මුනිඳාණන් වහන්සේට ඒ මහානීය වූ මැණික් පළඟ පූජා කළා.

61. අපගේ ශාස්තෘන් වහන්සේ අහසින් බිමට වැඩි සේක. එහි පූජා කරන ලද උතුම් මැණික් පළඟෙහි වැඩහුන් සේක. එසේ වැඩහිඳ ඒ නාග රජවරුන් විසින් පිළිගන්වන ලද දිව්‍ය වූ ආහාර පානයන්ගෙන් මැනැවින් දන් වැළඳූ සේක.

62. අපගේ ලෝකනාථයන් වහන්සේ ඒ මුහුදුවාසී වූත් පොළොවවාසී වූත් අසූකෝටියක් පමණ වූ භුජගයින් හෙවත් නාගයින් උතුම් තිසරණයෙහිත් පංච සීලයෙහිත් පිහිටුවාලූ සේක.

63. මහෝදර නා රජ්ජුරුවන්ගේ මාමණ්ඩියක වූ කැළණියෙහි අධිපති මණිඅක්ඛික නමැති නාගරාජයාත් යුද්ධය කරනු පිණිස එහි ගොස් සිටියා.

64. බුදුරජාණන් වහන්සේ මුලින් මහියංගණයට වැඩිය අවස්ථාවෙහි වදාළ ධර්ම දේශනාව අසා තිසරණ පංචසීලයෙහි පිහිටා සිටි මණිඅක්ඛික නාගරාජයා එහිදී තථාගතයන් වහන්සේගෙන් මෙබඳු ඉල්ලීමක් කළා.

65. අනේ ලෝකනාථයන් වහන්ස, ඔබවහන්සේ විසින් අපට මහත් අනුකම්පාවකුයි මේ කරන ලද්දේ. ඔබවහන්සේ නොවැඩි සේක් නම් අපි හැමෝ ම අළු වෙලා යන්ට තිබුණා.

66. කිසිවක් කෙරෙහි මමත්වයක් නැති මහා කාරුණිකයන් වහන්ස, මේ කැළණි ප්‍රදේශයෙහි වූ මාගේ නාග භවනට යළිත් වරක් වැඩම කිරීමෙන් මා කෙරෙහි ද වෙන් වශයෙන් ඔබවහන්සේගේ අනුකම්පාව වේවා!

67. භාග්‍යවතුන් වහන්සේට නැවත වඩින්ට කියා මණිඅක්ඛික නා රජුන් කළ ආයාචනය නිශ්ශබ්දව වැඩසිටීමෙන් පිළිගත් සේක. එසේ පිළිගෙන ඒ නාගදීපයෙහි ම රාජායතන චෛත්‍යය නමැති එම කිරිපලු රුක පිහිටුවා වදාළා.

68. අපගේ ලෝකනාථයන් වහන්සේ ඒ රාජායතන කිරිපලු නුගරුකත්, මහානීය වූ මැණික් පළඟත් නාරජවරුන් හට වන්දන මානන කිරීම පිණිස දුන් සේක.

69. නාරජවරුනි, මාගේ පාරිභෝගික චෛත්‍යයට නිසි පරිදි පූජෝපහාර දක්වා, වත්පිළිවෙත් කොට නමස්කාර කරව්. නාගදරුවෙනි, මෙම පුද පූජා වත් පිළිවෙත් තොපට බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි.

70. සියලු ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණා ඇති සුගතයන් වහන්සේ නාගයින් හට මොලොව පරලොව දෙකෙහි හිතසුව පිණිස පවතින මෙවැනි උතුම් අනුශාසනාවන් වදාරා යළි දෙව්රමට පෙරළා වැඩි සේක.

අප භාග්‍යවතුන් වහන්සේ නාගදීපයට වැඩම කළ විස්තරය අවසන් විය.

71. භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන් විසින් කරන ලද ඇරැයුම ඒ මණිඅක්ඛික නාරජ්ජුරුවන්ට මතක් වුනා. එයින් වසර තුනකට පසු වෙසක් මස පුර පක්ෂයෙහි තුදුස්වක් දිනෙක සවස් යාමයෙහි මිනිස් වෙසින් පිරිස් සහිතව දඹදිවට ගියා. ගිහින් අපගේ සම්බුදුරජාණන් වහන්සේ කරා එළඹ භික්ෂු සංඝයා සමඟ තමන්ගේ නාග භවනට වඩින්ට කියා ඇරැයුම් කළා.

72. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත්වෙලා අට අවුරුද්දක් ගත වුනා. ජේතවනයෙහි වැඩසිටි අපගේ භාග්‍යවතුන් වහන්සේ පන්සීයක් රහතන් වහන්සේලා පිරිවර කොටගෙන,

73. ඒ මණිඅක්ඛික නාගරාජයා විසින් ඇරැයුම් කරන ලද දිනයට පසුදා රම්‍ය වූ වෙසක් මාසයෙහි පුන් පොහෝ දිනයෙහි දන් වළඳන වේලාවෙහි අප මුනීශ්වරයන් වහන්සේ,

74. ජේතවනයෙහි ම වැඩසිටියදී මනාකොට සිවුරු පොරොවා දෙපට සිවුර ද ඇතිව පාත්‍රය ද ගෙන ඒ කල්‍යාණි ප්‍රදේශයෙහි වූ මණිඅක්ඛික නාරජ්ජුරුවන්ගේ භවනට වැඩි සේක.

75. කල්‍යාණි චෛත්‍යස්ථානය පිහිටා ඇති භූමියෙහි නාරජ්ජුරුවන් විසින් කරවන ලද මැණික් මණ්ඩපයක මහානීය වූ වැඩහිඳින පළඟ වෙත අප භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ පිවිස වදාළා.

76. පිරිවර සහිත වූ නාගරාජයා ඉතා සතුටු සිතින් යුක්තව දිව්‍ය වූ ඛාද්‍යයෙන් ද, භෝජ්‍යයෙන් ද සඟ පිරිස සහිත වූ ජින නම් වූ ධර්මරාජයන් වහන්සේව මැනැවින් සන්තර්පණය කළා. (හොඳින් දිව්‍ය ආහාරපාන වැළඳෙව්වා)

77. කල්‍යාණි භූමියෙහි දී ලොවට මහත් අනුකම්පා ඇති අප ශාස්තෘන් වහන්සේ මණිඅක්ඛික නාරජු ප්‍රධාන නා පිරිසට මධුර වූ ධර්ම දේශනාවක් පවත්වා වදාළා. ඊටපසු මැණික් මණ්ඩපයෙන් අහසට පැන නැඟී සුමනකූට පර්වත මුදුනට වැඩම කොට වදාළා. ඒ පර්වත මස්තකයෙහි සිය පාද ලාඤ්ඡනය දක්වා වදාළා.

78. ඒ සමන්කුළු පව්ව පාමුලෙහි පන්සීයක් වූ භික්ෂු සංඝයා සමග අප භාග්‍යවතුන් වහන්සේ සුවපහසු වූ ධ්‍යාන සමාපත්ති විහරණයන් පිණිස දවල් කාලයෙහි දිවා විහරණය කොට වදාළා. එතනින් අහස් ගමනින් දීඝවාපියට වැඩියා.

79. ඒ ප්‍රදේශයෙහි දීඝවාපි චෛත්‍යස්ථානය අනාගතයෙහි පිහිටන තැන අප භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ වැඩහුන් සේක. එම ස්ථානය දෙව් මිනිසුන්ගේ පුද පූජාවන්ට සුදුසු වන ආකාරයෙන් ගෞරවයට පත්වනු පිණිස නිරෝධ සමාපත්තියෙන් වැඩසිටියා.

80. ඒ දීඝවාපි චෛත්‍යය පිහිටන ස්ථානයෙන් අහසට පැන නැගුනු ඨානාඨාන නමැති තථාගත බල ඤාණයෙහි දක්ෂ වූ අප මහා මුනීන්ද්‍රයන් වහන්සේ පෙර බුදුවරයන් වහන්සේලා විසින් සමාපත්ති සුවයෙන් වැඩහුන් තැන වූ මහාමේඝ වනයේ මහාවිහාරය පිහිටවිය යුතු තැනට වැඩම කොට වදාළා.

81. ශ්‍රාවක සඟ පිරිස සහිත වූ අප භාග්‍යවතුන් වහන්සේ මහාබෝධිය පිහිටන ස්ථානයෙහි ද, එසේ ම ස්වර්ණමාලී මහා චෛත්‍යය පිහිටන ස්ථානයෙහි ද නිරෝධ සමාපත්තියෙන් වැඩහුන් සේක.

82. ථූපාරාම ස්ථූපය පිහිටන ස්ථානයෙහිත් කලින් අයුරින් ම නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩහුන් සේක. එයින් නැගිට සිලා චෛත්‍යය පිහිටන තැනට වැඩි සේක.

83. එහිදී එක්රැස් වූ දේව සමූහයා හට අවවාද අනුශාසනා කොට වදාළ සියලු යහපත දන්නා සර්වඥතා ඥානයෙන් යුක්ත වූ මහා පරිවාර සම්පත්තියෙන් යුක්ත වූ බුදුරජාණන් වහන්සේ එතැනින් අහසට පැන නැඟී යළි දඹදිව ජේතවනයට වැඩි සේක.

84. මෙසේ අනන්ත වූ අප්‍රමාණ වූ අවබෝධ ඤාණයකින් යුක්ත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලංකාද්වීපයෙහි අනාගතයේ ඉතා යහපත උදාවනු පිණිස අනාගත ඤාණයෙන් බලා වදාරා, තමන් වහන්සේ ලංකාද්වීපයට වැඩි අවස්ථාවෙහි ලංකාවෙහි සිටි අසුරනාගාදී ජනයාට යහපත පිණිස වූ කරුණු ද දැක වදාළ සේක. එමෙන්ම අතිශයින් දයා කරුණා ඇති මහා කාරුණික වූ ලොව එළිය කරන පහනක් බඳු වූ බුදුරජාණන් වහන්සේ ඉතා සුන්දර වූ ලක්දිවට තුන්වරක් වැඩි සේක. අප භාග්‍යවතුන් වහන්සේ තුන් වරක් වැඩමවා වදාළ කාරණය නිසාවෙන් මේ ලංකාද්වීපය සත්පුරුෂ ජනයාගේ ආදර ගෞරවයට පාත්‍ර විය. මේ ලංකාද්වීපයට ධර්මාලෝකයෙන් ඇතිවෙන ආලෝකය තිබේ.

අප භාග්‍යවතුන් වහන්සේ කැළණියට වැඩම කළ විස්තරය අවසන් විය.

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි තථාගතයන් වහන්සේ මෙහි වැඩමවීම නම් වූ පළමුවෙනි පරිච්ඡේදය යි.

The post මහාවංශය – පළමුවෙනි පරිච්ඡේදය appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here