මහාවංශය – නවවෙනි පරිච්ඡේදය – Sri News

0
8

1. පඬුවස්දෙව් රජ්ජුරුවන්ගේ රාජමහේසිකාව වන භද්දකච්චායනා පුත් කුමාරවරුන් දස දෙනෙක් බිහිකළා. එක් දියණියකුත් බිහිකළා. සියල්ලන්ට ම වැඩිමහලු වූයේ අභය කුමාරයා ය. බාල දියණිය චිත්‍රා කුමරිය ය.

2. වේදයෙහි පරතෙරට ම ඉගෙනගත් බ්‍රාහ්මණවරු චිත්‍රා කුමරිය දැක අනාවැකියක් කිව්වා. ඇයගේ පුත්‍ර කුමාරයෙක් රාජ්‍යය අල්ලාගැනීම පිණිස සිය මාමාවරුන්ව ඝාතනය කරවන බවයි.

3. මේ අනාවැකිය දැනගත් සහෝදර කුමාරවරු බාල නැගණිය මරවන්ට ඕනෑ කියලා නිශ්චය කළා. නමුත් වැඩිමහල් අභය කුමාරයා ඔවුන්ව ඒ ක්‍රියාවෙන් වැළැක්කුවා. චිත්‍රා කුමරිය යොවුන් වියට පත් වූ විට එක්ටැම් ගෙයක සිරකොට තැබුවා.

4. රජ්ජුරුවන්ගේ ශ්‍රී යහන් ගබඩාවෙන් පමණක් ඒ එක්ටැම් ගෙයට යන්ට පුළුවන් විදිහට දොරටුවක් කෙරෙව්වා. කුමරියට උපස්ථාන පිණිස ඒ එක්ටැම් ගෙයි එක් දාසියක තැබ්බෙව්වා. එක්ටැම් ගෙයට පිටතින් රැකවල් පිණිස අතරක් නැතිව රාජ පුරුෂයන් සියයක් රැඳෙව්වා.

5. යම් විදිහකින් ඒ චිත්‍රා කුමරියව මිනිස්සුන්ට දකින්ට ලැබුනොත් ඇගේ රූපශ්‍රීය නිසා ඈව දකින මිනිස්සු උමතු වෙලා යනවා. එනිසා ඇගේ චිත්‍රා නමට උපපදයකුත් එකතු වුනා. ‘උන්මාදචිත්‍රා’ යන නම ලැබුනා.

6. දඹදිව පණ්ඩුශාක්‍ය රජ්ජුරුවන්ගේ මෙහෙසිය වන සුසීම දේවිය යනු භද්දකච්චානා දේවියගේ මෑණියෝ ය. තම දියණිය ලංකාවට පිටත් කොට හැරිය පුවත ඇසූ ඈ දියණියගේ සැපදුක් බලාගෙන එන්ට කියලා සිය පුතුන් සත් දෙනාගෙන් වැඩිමහල්ලා වූ ගාමිණී කුමරු එහි නවත්වාගෙන අනිත් සය දෙනා ම මෙහාට එව්වා.

7. ඔවුන් මෙහි ඇවිත් ලක්රජු වන පණ්ඩුවාසුදේව රජ්ජුරුවන්ව බැහැදැක්කා. තමන්ගේ බාල නැගණිය වන භද්දකච්චානා දේවිය දුටු අවස්ථාවෙහි ඇය හා එක්ව තුටු කඳුළු වැගිරෙව්වා.

8. රජ්ජුරුවන්ගෙන් ඉතා හොඳින් සත්කාර සම්මාන ලැබුනා. රජුගේ අනුමැතියෙන් ලංකාවේ නොයෙක් තැන් බලන්ට චාරිකාවේ ගියා. ඒ ඒ ප්‍රදේශවල තමන් කැමති ආකාරයට නිවාස තනාගත්තා.

9. රාම කුමාරයා තමන් පිණිස සකසාගත් භූමිය රාම ගෝණය නමින් හැඳින්වුනා. ඒ වගේ ම උරුවේල ගම්මානය උරුවේල කුමාරයා නමිනුත් අනුරාධ ගම්මානය අනුරාධ කුමාරයා නමිනුත් හැඳින්වුනා.

10. ඒ වගේ ම විජිතගම විජිත කුමාරයා නමින් හැඳින්වුනා. දීඝායුගම දීඝායු කුමාරයා නමින් හැඳින්වුනා. රෝහණ කුමාරයා විසූ ප්‍රදේශය රුහුණ නමින් හැඳින්වුනා.

11. අනුරාධ කුමාරයා වැවක් කෙරෙව්වා. ඒ වැවට දකුණු පැත්තෙන් රජගෙයක් කරවා එහි වාසය කළා.

12. පණ්ඩුවාසුදේව මහරජ්ජුරුවෝ තමන්ගේ ජ්‍යෙෂ්ඨ පුත් කුමාරයා වන අභය කුමාරයාව කල්යල් බලා උපරාජ පදවියෙහි අභිෂේක කෙරෙව්වා.

13. දීඝායු කුමාරයාට දීඝගාමිණී කියලා පුත් කුමරෙක් සිටියා. උන්මාද චිත්‍රා කුමරිය ගැන ඔහුටත් අසන්ට ලැබුනා. ඈ මොන වගේ රූප සෝභාවකින් හෙබි කුමරියක්දැයි සිය දෑසින් ම ඇයව දැකගන්ට දැඩි කුතුහලයක් හටගත්තා.

14. එතකොට දීඝගාමිණී කුමාරයා ගෝපකචිත්ත සහ කාලවේල යන දාසයන් දෙදෙනාත් සමග උපතිස්ස ගමට ආවා. පඬුවස්දෙව් මහරජුන්ව බැහැදැක්කා. රජ්ජුරුවෝ යුවරාජ අභය කුමාරයා සමග රාජ උපස්ථානයට සම්බන්ධ වීම පිණිස දීඝගාමිණී කුමරුට යුවරාජ පදවියක් දුන්නා.

15. එක් දවසක් උන්මාදචිත්‍රා කුමරිය එක්ටැම් ගෙයි දැල් කවුළුව ඉදිරියේ සිටගෙන පිටත බලාගෙන සිටියා. එතකොට ඇයට දීඝගාමිණී කුමාරයාව දකින්ට ලැබුනා. ඔහු කෙරෙහි තමන්ගේ සිත ඇලී ගියා. ඇය සිය දාසිය ඇමතුවා.

16. ‘දාසිය, අර තරුණයා කවුද?’ කියා ඇසුවා. ඔහු උන්මාදචිත්‍රා කුමරියගේ මාමා කෙනෙකුගේ පුත් කුමාරයෙක් බව දාසියගෙන් අසන්ට ලැබුනා. එතකොට ඈ තමා වෙතින් නොයෙක් තුටු පඬුරු දීඝාගාමිණී කුමරුට යැවීම පිණිසත් ඔහුගෙන් ලැබෙන තුටු පඬුරු තමා වෙත ගෙන්වා ගැනීම පිණිසත් දාසියව යොදවා ගත්තා. එකිනෙකා මුණගැසෙන්ටත් දාසිය සමග සැලසුම් කළා.

17. දීඝගාමිණි කුමාරයා රාත්‍රියෙහි කඹ ඉණිමගක් ගෙන එහි අග කොක්කක් අමුණා ඒ කොක්ක දැල් කවුළුව වෙත වීසි කළා. එය කවුළුවෙහි ඇමිණුනා. එතකොට කඹේ එල්ලී උඩට නැග්ගා. දැල් කවුළුව සිදුරු කරගෙන එක්ටැම් ගෙයට ඇතුල්වුනා.

18. උන්මාදචිත්‍රා කුමරිය සමඟ රාත්‍රිය ගත කරලා පාන්දරින්ම පිටත් වෙලා යනවා. ඔය විදිහට නිතර වාසය කළා. ඇතුළතින් වූ සිදුර පිටතට පෙනුනේ නැති නිසා ඔවුන්ගේ සම්බන්ධය ප්‍රකට වුනේ නෑ.

19. මේ ඇසුර නිසා උන්මාදචිත්‍රා කුමරිය ගැබ්ගත්තා. ගැබ මෝරා ගියා. දාසිය විසින් මේ කාරණය මව්බිසව වන භද්දකච්චානා දේවියට දැනුම් දුන්නා. එතුමිය තම දියණිය කැඳවා මෙහි විස්තර විමසුවා.

20. මව්බිසව උන්මාදචිත්‍රා කුමරිය ගැබ්ගෙන ඇති බව රජ්ජුරුවන්ට සැළකළා. රජ්ජුරුවෝ තමන්ගේ පුත් කුමාරවරුන් රැස්කොට මෙය පැවසුවා. ‘ඒ දීඝගාමිණී කුමාරයාත් පෝෂණය කළයුත්තේ අප විසින් නොවැ. ඒ නිසා තොපගේ නැගණිය ඔහුට ම දෙමු.’

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here