මහාවංශය – දොළොස්වෙනි පරිච්ඡේදය

0
4


1. ගෞතම සම්මා සම්බුදු සසුන බබුලුවාලූ අපගේ ශ්‍රීමත් මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ තුන්වෙනි ධර්ම සංගායනාව සමාප්ත කොට වදාළා. ඊට පසු අනාගතයෙහි බුදු සසුන පිහිටන්නේ කොයි ප්‍රදේශයකද කියා නුවණින් බැලුවා.

2. ඈත පිටිසර රාජ්‍යවල, බුදුසසුන පිහිටන බව උන්වහන්සේට වැටහුනා. ඉල් හෙවත් නොවැම්බර් මාසයේ දී තෝරාගත් ඒ ඒ ප්‍රදේශ වලට ඒ ඒ රහතන් වහන්සේලා බුදුසසුන පිහිටුවීම පිණිස පිටත් කොට වදාළා.

3. කාශ්මීර ගන්ධාර (වර්තමාන ඇෆ්ගනිස්ථාන්) රටට මජ්ඣන්තික මහරහතන් වහන්සේව පිටත් කොට වදාළා. ඒ වගේ ම මහිසමණ්ඩලයට මහාදේව රහතන් වහන්සේ පිටත් කොට වදාළා.

4. වනවාස ප්‍රදේශයට රක්ඛිත මහරහතන් වහන්සේ පිටත් කොට වදාළා. ඒ වගේ ම අපරන්ත නැමැති ප්‍රදේශයට යෝනකධම්මරක්ඛිත මහරහතන් වහන්සේව පිටත් කොට වදාළා.

5. මහාරාෂ්ට්‍ර නැමැති ප්‍රදේශයට මහාධම්මරක්ඛිත මහරහතන් වහන්සේව පිටත් කොට වදාළා. යෝනක ලෝකය හෙවත් ග්‍රීකයන් වසන රටට මහාරක්ඛිත මහරහතන් වහන්සේව පිටත් කොට වදාළා.

6. හිමාල ප්‍රදේශයට මජ්ඣිම මහරහතන් වහන්සේව පිටත් කොට වදාළා. සුවණ්ණභූමි රටට සෝණ සහ උත්තර යන මහරහතන් වහන්සේලාව පිටත් කොට වදාළා.

7. මහා මහින්ද මහරහතන් වහන්සේ ඇතුළු තම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වන ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල නැමැති රහතන් වහන්සේලාට,

8. ‘ඔබවහන්සේලා ඉතා රම්‍ය වූ ලංකාද්වීපයට වැඩම කොට ඉතා සොඳුරු වූ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය පිහිටුවන්නට ඕනෑ’ කියා ඒ මහරහතන් වහන්සේලා පස් නම පිටත් කොට වදාළා.

9. ඒ කාලයේ කාශ්මීර ගන්ධාර ප්‍රදේශයේ මහාඉර්ධිමත් ආරවාල නැමැති නාගරාජයෙක් සිටියා. ඔහු හොඳට පැසුණු ගොයම් මතට අයිස් කැට සහිත කරක නමැති මහා වැස්සක්,

10. වස්සවලා ඒ දරුණු නාගරාජයා අර ගොයම් සියල්ල මුහුදෙහි වැටෙන්ට සලස්සනවා. ඒ නාගරාජයා එදාත් කරක වැස්ස වස්සවද්දී මජ්ඣන්තික මහරහතන් වහන්සේ වහා අහසින් වැඩියා.

11. ඊටපසු හිමාල පර්වත අතර නාගරාජයා අරක්ගෙන සිටි අරවාල නමැති මහවිල මතට වැඩම කොට ජලය මත සක්මන් කිරීම ආදී මහා හාස්කම්වලින් යුක්තව ඉරියව් පවත්වන්ට පටන් ගත්තා. එතකොට ඒ විලෙහි සිටි නාගයෝ හොඳටම කිපිලා අරවාල නාගරාජයාට දැනුම් දුන්නා.

12. එතකොට ඒ අරවාල නාගරජ්ජුරුවෝ හොඳටම කෝප වෙලා හාස්කම් අරමුණු මවා පෙන්වන්ට පටන්ගත්තා. දරුණු සුළි සුළං එව්වා. අහස් ගිගිරුම් සහිත වැසි වැස්සුවා.

13. ඒ ඒ තැනින් භයානක හෙන හඬ පුපුරුවමින් විදුලි කොටන්ට පටන් ගත්තා. මහාගස් ඇද වැටෙන්ට වුනා. කඳු මුදුන්වල පස්කඳු කඩා වැටුනා.

14. නාගයෝ නොයෙක් විරූපී රූප භයජනක විදිහට හතර පැත්තෙන් ම පෙන්නන්ට පටන් ගත්තා. අරවාල නාගරජ්ජුරුවෝ තමන් ම නොයෙක් අයුරින් දුම් දමමින්, ගිනිජාලා පිට කරමින් ආක්‍රෝශ කරන්ට පටන් ගත්තා.

15. එතකොට අපගේ මහරහතන් වහන්සේ ඒ භයජනක සියලු දේවල් තමන්වහන්සේගේ ඉර්ධි බලයෙන් මැඩ පැවැත්තුවා. තමන් වහන්සේගේ උතුම් වූ කිසිවිට බිය තැති නොගන්න නිකෙලෙස් බලය අරවාල නාරජුන්ට පෙන්වමින් මෙය වදාළා.

16. නාරජ්ජුරුවෙනි, ඔහොම නොවෙයි. දෙවියන් සහිත ලෝකයාම ඇවිදින් භයජනක අරමුණුවලින් මාව තැති ගන්නවන්ට හැදුවත් ඒ කාටවත් මාගේ සිතට භය තැති ගැනීම් ඇතුල් කරවන්ට බැහැ.

17. ඉදින් මහා නාගය, ඔබත් මහා සාගරය සහිත, මේ පර්වතයන් සහිත මුළු මහපොළොව ඔසොවලා මාගේ හිස මත්තට දැම්මත්,

18. මාගේ සිතට භය තැතිගැනීම්, සලිතවීම් මොකවත් කරන්ට පුළුවන් වෙන්නේ නෑ. හැබැයි නාරජ්ජුරුවෙනි, එය ඔබට නම් මහා පීඩාවක් වෙහෙසක් පිණිස පවතීවි.

19. එය ඇසූ නාගරාජයා උඩගුවෙන් මත්වී සිටිය ගතිගුණ නැති කරගත්තා. අපගේ මහරහතන් වහන්සේ ධර්මය දේශනා කොට වදාළා. එයින් පැහැදුනු නාගරාජයා තුන් සරණ සහිතව පංච ශීලයෙහි පිහිටියා.

20. ඒ නාරජු වගේ ම අසූහාරදහසක් නාගයෝත්, හිමාලවාසී බොහෝ ගාන්ධර්වයෝ ත් යක්ෂයෝත් කුම්භාණ්ඩයෝත් තුන් සරණය සහ පන්සිල්හි පිහිටියා.

21. එහි සිටි පණ්ඩක නැමැති යක්ෂයෙක් සිය බිරිඳ වන හාරිතා නැමැති යකින්නිය ද පන්සියයක් පුත්‍රයන් ද සමග අපගේ මහරහතන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් වුනා.

22. “දැන් ඉතින් ඉස්සර වගේ ක්‍රෝධය ඇති කරගන්ට එපා! මිනිසුන්ගේ ජීවත් වීම උදෙසා ඇති ගොයම් ආයෙමත් වැසි වස්වලා විනාශ කරන්ට එපා! සත්වයෝ සැපයට කැමතියි නොවැ.

23. සත්වයන් කෙරෙහි මෙත් සිත පැතිරීම කරන්ට. මිනිස්සු සැපයෙන් වසත්වා!”යි මේ ආදී වශයෙන් ඔවුන්ට අනුශාසනා ලැබුනා. ඔවුනුත් ඒ අයුරින් ම පිළිපැද්දා.

24. ඊටපසු නාරජ්ජුරුවෝ තමන්ගේ මැණික් පළඟෙහි අපගේ මජ්ඣන්තික රහතන් වහන්සේව වඩා හිඳුවාගෙන උන්වහන්සේට චාමරයකින් පවන් සලන්ට පටන් ගත්තා.

25. ඒ වේලාවේ කාශ්මීර-ගන්ධාර ප්‍රදේශවැසි මිනිස්සු නා රජ්ජුරුවන්ට පූජාවන් පැවැත්වීම පිණිස එතැනට ආ විට, අපගේ මහරහතන් වහන්සේව දැක්කා.

26. උන්වහන්සේ වෙත ගිහින් ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. මහරහතන් වහන්සේ ඒ මිනිසුන්ට අප භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙසුමක් වන ආසිවිසෝපම සූත්‍රය මුල් කොට ධර්ම දේශනා කොට වදාළා.

27. අසූ දහසක් ජනයාට ධර්මාවබෝධය ඇති වුනා. ලක්ෂයක් පුරුෂයෝ මහරහතන් වහන්සේ ළඟ පැවිදි බවට පත් වුනා.

28. කාශ්මීර ගන්ධාර පෙදෙස්වල බුදු සසුන එතැනින් ආරම්භ වුනා. ඒ මිනිස්සු මේ දක්වා ම තුන් සරණයේ පිහිට ඇතිව වාසය කරනවා. කසාවතින් බබලනවා. (මෙයින් අදහස් කරන්නේ මහාවංශය ලියන කාලය වන ක්‍රි:ව: පස්වෙනි සියවස ය.)

29. මහාදේව රහතන් වහන්සේ වැඩියේ මහිෂ මණ්ඩලයට ය. මහජනතාව මැදට වැඩිය උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරන ලද දේවදූත සූත්‍රය මුල් කොට දහම් දෙසා වදාළා.

30. සතළිස් දහසක් ජනයාට ධර්මාවබෝධය ඇති වුනා. හතළිස් දහසක් පුරුෂයන් උන්වහන්සේ ළඟ පැවිදි බවට පත්වුනා.

31. රක්ඛිත මහරහතන් වහන්සේ වනවාස ප්‍රදේශයට වැඩම කොට අහසේ සිට, එහි රැස් වූ ජනයාට අනමතග්ග සංයුත්තය වදාළා.

32. ඒ දහම් දෙසුම නිසා සැටදහසක් මනුෂ්‍යයන්ට ධර්මාවබෝධය ඇති වුනා. තිස් හත් දහසක් දෙන අපගේ මහරහතන් වහන්සේ ළඟ පැවිදි වුනා.

33. වනවාස ප්‍රදේශයේ පන්සියයක් විහාරයන් ඇති වුනා. අප මහරහතන් වහන්සේ මේ විදිහට ඒ ප්‍රදේශයෙහිත් ගෞතම බුදු සසුන පිහිටුවා වදාළා.

34. ග්‍රීක ජාතික ධම්මරක්ඛිත මහරහතන් වහන්සේ අපරන්ත දේශයට වැඩම කොට ජනයා මධ්‍යයේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළ අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දේශනාව වදාළා.

35. ධර්මය-අධර්මය වෙන් කොට දැකීමෙහි දක්ෂ වූ අපගේ යෝනක ධම්මරක්ඛිත මහරහතන් වහන්සේ එහි රැස්ව හුන් තිස්හත්දහසක් මනුෂ්‍යයන්ට දහම් අමාපැන් පොවා වදාළා.

36. පුරුෂයන් දහසකුත්, ඊටත් වැඩියෙන් ස්ත්‍රීනුත් රාජවංශිකයන්ගෙන් ම නික්මිලා ඇවිත් බුදු සසුනෙහි පැවිදි වුනා.

37. මහාධම්මරක්ඛිත නමැති සංඝඍෂීන් වහන්සේ මහාරාෂ්ට්‍ර ප්‍රදේශයට වැඩම කොට එහි දී වදාළේ මහා නාරදකස්සප යන ජාතක දේශනාව මුල් කරගත් ධර්මයකි.

38. ඒ ධර්මය ඇසූ අසූ සාරදහසක් ජනයාට මාර්ගඵලාවබෝධය ඇති වුනා. දහතුන් දහසක් දෙනා උන්වහන්සේ ළඟ පැවිදි වුනා.

39. මහා රක්ඛිත නමැති සංඝඍෂීන් වහන්සේ යෝනක දේශය හෙවත් ග්‍රීක දේශයට වැඩම කරලා එහි රැස් වූ ජනයාට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක් වන කාලාකාරාම සූත්‍රය මුල් කොට උතුම් ධර්මය වදාළා.

40. එක් ලක්ෂ සැත්තෑදහසක් ජනයාට මාර්ගඵලාවබෝධය වුනා. දස දහසක් දෙනා පැවිදි බවට පත්වුනා.

41. මජ්ඣිම නැමැති සංඝඍෂීන් වහන්සේ කස්සප ගොත්ත, මූලකදේව, දුන්දුභිස්සර, සහදේව යන රහතන් වහන්සේලා සමග හිමාල ප්‍රදේශයට වැඩම කළා. එහි රැස් වූ ජනයාට භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මුල් කොට ධර්ම දේශනා කොට වදාළා.

42. අසූ කෙළක් සත්වයන් හට මාර්ගඵලාවබෝධය ඇති වුනා. එහි වැඩම කළ මහරහතන් වහන්සේලා පස් නම ඒ හිමවත් ප්‍රදේශයේ තිබූ රටවල් පහේම මිනිසුන්ව බුදු සසුන කෙරෙහි පැහැදෙව්වා.

43. ගෞතම සම්මා සම්බුදු සසුන කෙරෙහි පැහැදුන ඒ පුරුෂයෝ ලක්ෂය බැගින් එක් එක් තෙරුන් වහන්සේ ළඟ පැවිදි වුනා.

44. මහත් ඉර්ධිබලයෙන් යුක්ත වූ අපගේ සෝණ මහරහතන් වහන්සේ උත්තර මහරහතන් වහන්සේත් සමඟ සුවණ්ණ භූමියට වැඩම කළා.

45. ඒ දවස්වල එක්තරා රෞද්‍ර දිය රකුසියක් මහා සාගරෙන් ඇවිදින් රජගෙදර උපදින උපදින දරුවන් කාලා යනවා.

46. අපගේ රහතන් වහන්සේලා සුවණ්ණභූමියට වැඩිය අවස්ථාවේත් රජගෙදර කුමාරයෙක් උපන්නා. එතකොට අපගේ රහතන් වහන්සේලා ගැන මිනිස්සු සිතුවේ දිය රකුසන්ගේ යාළුවෝ කියලයි.

47. එහෙම සිතලා උන්වහන්සේලාව ඝාතනය කරන්ට ආයුධත් අත ඇතිව ළඟට එළඹියා. එතකොට ‘පින්වත්නි, මොකද ඔය අවිආයුධ අරගෙන අප දෙසට එල්ල කරගෙන එන්නේ?’ කියලා රහතන් වහන්සේලා ඇහුවා. අහලා ඒ මිනිසුන්ට මෙහෙම කිව්වා.

48. “අපි කුරා කුහුඹියෙකුටවත් හිංසා නොකරන සිල්වත් ශ්‍රමණවරු. රකුසියගේ හිතවතුන් නොවේ” කියලා. එතකොට රකුසියත් පිරිවර සේනාවත් එක්ක සාගරයෙන් නික්මිලා ආවා.

49. පිරිවර සහිත රකුසිය දුටු මහජනයා භීතියට පත්වෙලා මහා හඬින් කෑගැහුවා. අපගේ රහතන් වහන්සේලා ඉර්ධිබලයෙන් රකුසියගේ පිරිසට වඩා දෙගුණයක් වෙන්ට භයානක රකුසන්ව මැව්වා.

50. පිරිස සහිත රකුසිය ව හතර පැත්තෙන් ම වට කරගත්තා. එතකොට රකුසිය සිතුවේ අලුත් රකුසන් පිරිසක් මේ රට අල්ලාගෙන සිටින බවයි. ඒ රකුසන්ට භය වූ රකුසිය පිරිස සහිතව මුහුදට පලා ගියා.

51. අපගේ රහතන් වහන්සේලා ඒ රට හතරවටේ ම ආයෙමත් රකුසියට එන්ට බැරි විදිහට ආරක්ෂාව සැලැස්සුවා. රැස්ව සිටි මහාජනයාට භාග්‍යවතුන් වහන්සේ වදාරණ ලද බ්‍රහ්මජාල සූත්‍රය මුල් කොට දහම් දෙසා වදාළා.

52. බොහෝ ජනතාව උතුම් තිසරණ සහිතව පන්සිල්හි පිහිටියා. සැටදහසක් ජනයාට ධර්මාවබෝධය ඇති වුනා.

53. කුල දරුවන් තුන්දහස් පන්සිය දෙනෙක් බුද්ධ ශාසනයේ පැවිදි වුනා. කුල දියණිවරු එක් දහස් පන්සියයක් පැවිදි වුනා.

54. මේ සිදුවීමෙන් පස්සෙ රජවරු රජගෙදර උපදින පුත් කුමාරවරුන්ට අපගේ සෝණ උත්තර රහතන් වහන්සේලාගේ නම් ගෙන සෝණ, උත්තර කියා නම් තැබුවා.

55. මහා කාරුණික වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ පවා නිතර නිතර සමවැදීමෙන් වෙන් නොවී සිටි ඒ රහත්ඵල සමාපත්තිය නම් අමා සැපය විඳීම පවා අත්හරිමින් අපගේ රහතන් වහන්සේලා ඒ ඒ රට රාජ්‍යයන්ට වැඩම කොට ලෝක සත්වයාට බොහෝ කල් හිත සුව පිණිස කටයුතු සලසා වදාළා. එනිසා ලෝක සත්වයාට හිත සුව සලසන්ට කව්රු නම් ප්‍රමාද වෙත් ද!

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි රහතන් වහන්සේලා විසින් නොයෙක් රටවල් බුදු සසුනට පැහැදවීම නම් වූ දොළොස්වෙනි පරිච්ඡේදයයි.

The post මහාවංශය – දොළොස්වෙනි පරිච්ඡේදය appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here