මහාවංශය – දෙවෙනි පරිච්ඡේදය

0
5


01. අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් මහාමුනීන්ද්‍රයන් වහන්සේ මහාසම්මත රාජ වංශ පරම්පරාවෙහි ම උපන් සේක. මේ මහා කල්පයෙහි මුල් අවස්ථාවෙහි අප බෝසතාණන් වහන්සේ ඕපපාතිකව මනුෂ්‍ය ආත්මයක ඉපිද සිටියා. මහජනයා විසින් උන්වහන්සේව ‘මහාසම්මත’ යනුවෙන් නම් කොට රජකමට පත්කෙරෙව්වා.

02. ඒ මහාසම්මත රජුගේ වංශ පරම්පරාවෙහි රෝජ ය, වරරෝජ ය, එමෙන් ම කල්‍යාණ ය, වරකල්‍යාණ ය වශයෙන් දෙදෙනෙකුත් උපෝසථ ය, මන්ධාතු ය, චරක ය, උපචරක ය යන දෙදෙනෙකුත් වශයෙන් දරුමුණුබුරු පරපුර තිබුණා.

03. ඒ මහාසම්මත රජ පරපුරෙහි චේතිය ය, මුචල ය, මහාමුචල ය, මුචලින්ද ය, සාගර ය, සාගරදේව නමිනුත් තවත් මුණුබුරු පරපුරක් හිටියා.

04. භරත ය, භගීරථ ය, රුචි ය, සුරුචි ය, ප්‍රතාප ය, මහාප්‍රතාප ය ඒ වගේ ම පනාද හා මහාපනාද වශයෙනුත් ඒ මහාසම්මත රාජ පරම්පරාවෙහි මුණුබුරු පරපුරක් හිටියා.

05. සුදර්ශන ය, මහා සුදර්ශන ය යන දෙදෙනාත් නේරු ය, මහානේරු ය වශයෙනුත් අන්තිමට රජකළ අච්චිම රජු වශයෙනුත් කියවෙන්නේ ඒ මහාසම්මත රාජ පරම්පරාවෙහි මුණුබුරන් ගැනයි.

06. මේ මහාසම්මත රාජ පරම්පරාවෙහි විසි අටක් වූ රජවරුන්ට ගණන් කළ නොහැකි තරම් අසංඛෙය්‍ය ආයුෂ තිබුණා. මේ රජවරුන් අතරින් ඇතැම් රජෙක් කුසාවතිය අගනුවර කොට රජකම් කළා. තව රජවරු රජගහ නුවර අගනුවර රජකම් කළා. සමහර රජවරු මිථිලාව අගනුවර කොට රජකම් කළා.

07. ඊට පසු ඒ රාජ පරම්පරාවෙහි රජදරුවෝ සියයක් පමණ වුනා. ඒ සියක් රජවරුන් අතුරින් අන්තිම වූ අරින්දම රජ්ජුරුවන්ගේ පරම්පරාවේ පනස් හය රජ කෙනෙක් අයෝධ්‍යාව අග නගරය කොට රජ කළා. ඒ රජවරුන්ගෙන් අන්තිම වූ දුස්සහ නමැති රජුන් බරණැස අගනුවර කොට දරුපරම්පරා සැටක් වෙනකම් රජපරපුර ඉදිරියට ගියා. ඒ සැටක් රජදරුවන් අතුරින් අන්තිම වූ අජිතජින නම් රජු කපිල නගරය අගනුවර කොට පටන්ගත් රජ පරපුරේ අසූහාර දහසක් රජවරු හිටියා. ඒ සුවාසූ දහසක් රජදරුවන්ගේ අන්තිමයා වන බ්‍රහ්මදත්ත රජුත් හස්තිපුර අගනගරය කොට රජකම් කළා. ඒ රජපරපුරෙහි තිස් හයක් රජදරුවන් හිටියා.

08. කලින් කියූ තිස් හයක් රජපරපුරෙහි අන්තිමයා වන කම්බලවසන රජුත් ඔහුගේ දරුමුණුබුරු දෙතිස් රජ කෙනෙකුත් ඒකචක්ඛු නමැති නගරය අගනගරය කොට රජකම් කළා. ඒ දෙතිස් රජවරුන් අතර අන්තිම වූ මුනින්දදේව නම් රජු වජිරවුත්ති නගරය අගනුවර කොට රාජ පරම්පරා විසි අටක් යනකම් රජකම් කළා. ඒ විසිඅට රජුන්ගෙන් අන්තිමයා වූ සාධීන රජුත් ඔහුගේ දරුමුණුබුරන්ගේ විසි දෙකක් රජවරුත් මධුරා කියන නගරය අගනුවර කොට රජකම් කළා. ඒ දෙවිසි රජුන්ගේ අන්තිමයා වූ ධම්මගුත්ත රජු අරිට්ඨපුර නමැති නගරය අගනුවර කොට රජකම් කළා. ඔහුගේ රජ පරපුරේ රජවරු දහඅටක් හිටියා. ඒ දහඅටක් රජවරුන්ගේ අන්තිමයා වුනේ සිවි නම් රජු ය. ඒ රජු ඉන්ද්‍රප්‍රස්ත නගරය අගනගරය කොට රජකම් කළා. ඔහුගේ පරපුරේ රජදරුවන් දාහත් දෙනෙක් හිටියා. ඒ දාහත් රජුන්ගේ අන්තිමයා වුනේ බ්‍රහ්මදේව රජු ය. ඔහු ඒකචක්ඛු නගරයේ රජකම් කළා. ඔහුගේ රාජ පරම්පරාවෙහි රජවරු පහළොස් දෙනෙක් හිටියා. ඒ පහළොස් රජුන්ගේ අන්තිම රජුගේ නම බලදත්ත ය. ඔහු කොසඹෑ නුවර අග නගරය කොට රජකම් කළා. ඔහුගේ රාජ පරම්පරාවෙහි රජදරුවන් දාහතර දෙනෙක් හිටියා.

09. ඒ දාහතරක් රජුන්ගේ අන්තිම රජුගේ නම හස්තිදේව ය. ඔහු කණ්ණගොච්ඡය අගනුවර කොට රාජ්‍යය කළා. ඔහුගේ පරපුරේ රජදරුවන් නව දෙනෙක් හිටියා. ඒ නවයක් වූ රජපරපුරෙහි අන්තිම රජු වුනේ නරදේව නමැත්තා ය. ඔහු රෝජනුවර රජකම් කළා. ඒ රාජ පරම්පරාවෙහි සත් රජ කෙනෙක් රජකම් කළා. ඒ සත් රජුන්ගේ අන්තිමයා වුනේ මහින්ද යන රජුය. ඔහු චම්පා නුවර රජකම් කළා. ඔහුගේ රාජ පරම්පරාවෙහි රජවරු දොළොස් දෙනෙක් හිටියා. ඒ දොළොස් රජුන්ගේ අන්තිමයා නාගදේව නම් රජු ය. ඔහු මිථිලාව අගනුවර කොට රජකම් කළා. ඔහුගේ පරපුරෙහි රජවරු විසිපස් දෙනෙක් හිටියා. ඒ විසිපස් රජුන් අතුරෙන් අන්තිමයාගේ නම සමුද්‍රදත්ත රජුය. ඔහු රජගහ නුවර රජකළා. ඔහුගේ රජපරපුරේ රජවරු විසිපස් දෙනෙක් හිටියා. ඒ පස්විසි රජුන්ගේ අන්තිම රජු දිවංකර නමැත්තාය. තක්සලාව අගනුවර කොට ඔහු රජකළා. ඔහුගේ පරපුරේ රජවරු දොළොස් දෙනෙක් හිටියා. ඒ දොළොස් රජුන්ගේ අන්තිමයා වූ තාලිස්සර නම් රජු කුසිනාරාවේ රජකම් කළා. ඔහුගේ පරපුරේත් රජවරු දොළොස් දෙනෙක් හිටියා. ඒ දොළොස් රජුන්ගේ අන්තිම රජු වූයේ සුදින්න නමැත්තා ය. තාම්‍රලිප්ති නගරයෙහි ඔහු රාජ්‍යය කළා. ඔහුගේ පරපුරේ රජවරු නව දෙනෙක් හිටියා.

10. ඒ කලින් කියූ රජවරු නව දෙනාගේ අන්තිමයා වුනේ සාගරදේව නම් රජුය. ඔහුගේ පුත්‍රයා වූයේ මඛාදේව රජු ය. ඒ මඛාදේව රජු මිථිලා නුවර රජකම් කළා. ඔහුගේ රජපරපුරේ රජවරු අසූහාර දහසක් සිටියා. ඒ අසූහාර දහසක් රජුන්ගේ අන්තිම රජු නිමි නමින් හඳුන්වයි. ඒ නිමි රජුගේ පුත්‍රයා කළාරජනක ය. ඔහුගේ පුත්‍රයා සමංකර ය. ඔහුගේ පුත්‍රයා අසෝක ය. මේ රාජ පරම්පරාවේ රජවරු අසූහාර දහසක් බරණැස් නුවර ම රජකම් කළා.

11. ඔක්කාක රජ්ජුරුවන්ට එනකල් රජවරු දහසය දෙනෙක් හිටියා. ඒ මෙහෙමයි. කලින් කියූ කළාරජනක රජුගේ අසූහාර දහසක් රජ පරම්පරාවේ අන්තිමයා වුනේ විහාසව කියන රජු ය. ඔහුගේ පුත්‍රයා විජිතසේන රජු ය. ඔහුගේ පුත්‍රයා ධම්මසේන රජු ය. ඔහුගේ පුත්‍රයා නාගසේන රජුය. ඔහුගේ පුත්‍රයා සමථ රජු ය. ඔහුගේ පුත්‍රයා දිසම්පති රජු ය. ඔහුගේ පුත්‍රයා රේණු රජු ය. ඔහුගේ පුත්‍රයා කුස රජු ය. ඔහුගේ පුත්‍රයා මහාකුස රජු ය. ඔහුගේ පුත්‍රයා භරත රජු ය. ඔහුගේ පුත්‍රයා දශරථ රජු ය. ඔහුගේ පුත්‍රයා රාම රජු ය. ඔහුගේ පුත්‍රයා විළාරත රජු ය. ඔහුගේ පුත්‍රයා චිත්තරංසි රජු ය. ඔහුගේ පුත්‍රයා අම්බරංසි රජු ය. ඔහුගේ පුත්‍රයා සුජාත රජු ය. ඔහුගේ පුත්‍රයා ඔක්කාක රජු ය. මේ සියලු රජදරුවෝ බරණැස් නුවර ම යි රජකම් කළේ. ඔය විදිහට කලින් කියූ දීර්ඝායුෂ ඇති රජවරු විසිඅට දෙනාගේ පටන් ඒ රජපරම්පරාවේ පහළ වූ දෙලක්ෂ පනස් දෙදහස් පන්සිය තිස්නව දෙනෙක් වූ මහා රජ පරම්පරාවේ අන්තිම රජු වූයේ ඔක්කාක රජු ය.

12. කලින් කියූ කාළාරජනක රජුගේ දහසයක් වූ රාජපරම්පරාවේ අන්තිමයා වූයේ ඔක්කාක රජු යි. ඒ ඔක්කාක රජුට ඔක්කාමුඛ, කරකණ්ඩ, හත්ථිනික, සිනිපුර නමින් රාජපුත්‍රයන් සිව් දෙනෙක් හිටියා. පියා, සුප්පියා, නන්දා, විජිතා, විජිතසේනා නමින් රාජදියණිවරු පස් දෙනෙක් හිටියා. මේ නවදෙනා බරණැස් නුවර අත්හැර ගොස් තමන්ගේ ම නගරයක් කපිලවස්තු නමින් ආරම්භ කොට රජපරපුරක් ඇති කළා. ඒ ඔක්කාක රජුගේ රාජපරපුර නිපුර ය, චන්දිම ය, චන්දමුඛ ය, සිවි ය, සංජය ය වශයෙන් දරුමුණුබුරු රජපරපුරක් හිටියා.

13. ඒ ඔක්කාක රජ පරපුරේ ම වෙස්සන්තර මහරජු ය, ජාලි රජු ය, සිංහවාහන රජු ය, සිංහස්වර රජු ය වශයෙන් රජපරපුරක් හිටියා.

14. ඒ ඔක්කාක රජවරු නව දෙනාගේ අන්තිමයා වූ සීහස්වර රජුගේ රාජපරම්පරාවෙහි අසූ දෙදහසක් රජවරු හිටියා. ඒ අසූ දෙදහසක් රජවරුන්ගේ අන්තිමයා වූයේ භගුසක්ක නම් රජු ය. ඔහුගේ රාජ පරම්පරාවෙත් රජවරු අසූ දෙදහසක් සිටියා. ඒ රාජ පරපුරේ අන්තිමයා වූයේ ජයසේන රජු ය.

15. මේ දහස් ගණන් රජවරු ශාක්‍ය රාජ පරම්පරාවට අයත් යැයි ප්‍රසිද්ධියට පත්වුනා. ඔවුන්ගේ අන්තිමයා වූ ජයසේන රජුගේ පුත්‍රයා වූයේ සීහහනු මහරජු ය.

16. සීහහනු රජුගේ පියා වන ජයසේන රජුට යසෝධරා නමින් රාජදියණියකුත් සිටියා. දෙව්දහ නුවර දේවදහ ශාක්‍ය නමින් රජකෙනෙක් හිටියා.

17. ඒ දේවදහ ශාක්‍ය රජුට අඤ්ජන නම් රාජ කුමාරයෙකුත් කච්චානා නමින් රාජ දියණියකුත් යන දරු දෙදෙනෙක් සිටියා. සීහහනු මහ රජ්ජුරුවන්ගේ අග්‍රමහේෂිකාව වුනේ ඒ කච්චානා කුමාරිකාවයි.

18. අඤ්ජන ශාක්‍ය රාජකුමාරයාගේ අග්‍ර මහේෂිකාව වූයේ ජයසේන රජුගේ යසෝධරා නමැති රාජ කන්‍යාව යි. ඒ අඤ්ජන ශාක්‍ය රජුට මායා නමිනුත් ප්‍රජාපතී නමිනුත් රාජ දියණිවරු දෙදෙනෙක් සිටියා.

19. ඒ අඤ්ජන ශාක්‍ය රජුට ම දණ්ඩපාණී ශාක්‍ය සහ සුප්‍රබුද්ධ ශාක්‍ය නමින් පුත්‍ර කුමාරවරුන් දෙදෙනෙකුත් සිටියා. සීහහනු රජ්ජුරුවන්ටත් පුත්‍ර කුමාරවරුන් පස් දෙනෙකුත් දූකුමාරිවරුන් දෙදෙනෙකුත් සිටියා.

20. ඒ සිංහහනු මහරජුගේ රාජ කුමාරවරු පස් දෙනා මේ අයයි. එනම් සුද්ධෝදන ය, ධෝතෝදන ය, සක්කෝදන ය, සුක්කෝදන ය, අමිතෝදන ය යන කුමාරවරු ය. අමිතා සහ ප්‍රමිතා යනු දියණිවරු දෙදෙනාගේ නම් ය.

21. ඒ සිංහහනු රජුගේ අමිතා දියණිය සුප්‍රබුද්ධ ශාක්‍ය රජුගේ අග්‍රමහේෂිකාව වුනා. ඒ රාජ යුවළට දරු දෙදෙනෙක් ලැබුනා. එනම් භද්දකච්චානා නමැති කුමාරිකාවත් දේවදත්ත නමැති පුත්‍රයාත් ය.

22. සුද්ධෝදන මහ රජ්ජුරුවන්ගේ අග්‍ර මහේෂිකාවරුන් වූයේ මහාමායා දේවියත් ප්‍රජාපතී දේවියත් ය. අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒ සුද්ධෝදන මහරජුන්ගේ ද මහාමායා දේවියගේ ද පුත්‍රයාණෝ වූ සේක.

23. බාහිර වෙනත් වංශයක් සමග ආවාහ විවාහ ආදියෙන් කිසිදු කිළුටකට පත් නොවී දිගටම අඛණ්ඩව පැවතුන මහාසම්මත රාජ වංශයෙහි අප මහා මුනිඳානෝ උපන් සේක. මෙසේ දිගට ම පැවතුනු ඒ රාජ වංශයෙහි සියලු ක්ෂත්‍රියයන් අතර අග්‍ර බවට පත්වූයේ අප මුනිඳාණන් ය.

24. සුප්‍රබුද්ධ ශාක්‍ය රජුගේත් අමිතා බිසවගේත් දියණිය වූ ඒ භද්දකච්චානාව (යසෝධරා රාහුලමාතාව) අප මහා බෝසත් සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ අග්‍ර මහේෂිකාව බවට පත්වුනා. මේ රාජකීය යුවලගේ පුත්‍රයා වූයේ රාහුල කුමාරයා ය.

25. එවකට මගධ රාජ්‍යයෙහි සිටි බිම්බිසාර කුමාරයාත් අපගේ මහබෝසත් සිද්ධාර්ථ කුමාරයාත් යහළුවෝ ය. මේ දෙදෙනාගේ පියරජවරුන් වන භාති මහරජුත් සුද්ධෝදන මහරජුත් ඒ වගේ ම යහළුවන් ව සිටියා.

26. අපගේ බෝධිසත්වයන් වහන්සේ බිම්බිසාර රජ්ජුරුවන්ට වඩා පස් අවුරුද්දක් වැඩිමහලුය. අප බෝසතුන් අභිනිෂ්ක්‍රමණය කළේ විසි නව හැවිරිදි වියේ දී ය.

27. අප මහ බෝසතාණන් වහන්සේ අබිනික්මන් කොට ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත්වුනා. සය අවුරුද්දක් අධික ලෙස වීරිය වඩමින් දුෂ්කර ක්‍රියාවෙහි යෙදුනා. අවසානයෙහි ඒ සියලු අන්ත අතහැරියා. මධ්‍යම ප්‍රතිපදාවටට පැමිණියා. ගයාවෙහි නේරංජරා නදිය අසබඩ බෝ සෙවණේ වජිරාසනය මත වැඩහිඳ ශ්‍රී සම්බෝධියට පත්වුනා. දම්සක් පැවතුම් සූත්‍ර ආදිය පවත්වා වයස තිස් පහක්ව තිබියදී රජගහ නුවර බිම්බිසාර රජු වෙත වැඩම කළා.

28. මහාපින් ඇති බිම්බිසාර කුමාරයාට වයස අවුරුදු පහළොව වන විට සිය පියරජු වන භාති රජතුමා විසින් ඔහුව මගධයේ මහරජු හැටියට අභිෂේක කෙරෙව්වා.

29. ඒ බිම්බිසාර මහරජු අභිෂේක ලබා අවුරුදු දහසයක් ගිය තැනේදී ඔහුට වයස තිස් එකක් වෙද්දී අපගේ ශාස්තෘන් වහන්සේ ඒ රජුට උතුම් ධර්මය වදාළා. ඒ බිම්බිසාර රජු අවුරුදු පනස් දෙකක් මගධයෙහි රජ කළා.

30. අප භාග්‍යවතුන් වහන්සේ වැඩමවීම බලාපොරොත්තුවෙන් සිටිද්දී ම ඒ බිම්බිසාර රජුට අභිෂේක ලබා පසළොස් අවුරුද්දක් අවසන් වෙලා සිටියේ. ඊට පසු අප තථාගතයන් වහන්සේ ජීවමානව වැඩසිටිද්දී ඔහු තිස් හත් අවුරුද්දක් රාජ්‍යය කළා.

31. බිම්බිසාර රජුගේ පුත්‍රයා වූයේ අජාතශත්‍රැ ය. ප්‍රඥාවක් නැති, හොඳ නරක තේරුම් ගැනීමෙහි විචාර බුද්ධියක් නැති ඔහු අසත්පුරුෂ දේවදත්තයාගේ කුලුපග මිත්‍රයෙකු වීම නිසා මහා මිත්‍රද්‍රෝහියෙකු බවට පත්වුනා. සිය පියාණන් වූ බිම්බිසාර මහරජ්ජුරුවන් මරවා අවුරුදු තිස් දෙකක් රජකම් කළා.

32. ඒ අජාසත් රජු සිය පිය බිම්බිසාර රජුන් ලවා බලෙන් අභිෂේක කරවාගෙන මගධ රාජ්‍යය කරන්ට පටන් ගෙන අට අවුරුද්දක් ගත වූ තැන අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. ඊටපසු ඔහු තව අවුරුදු විසි හතරක් මගධයෙහි රජ කළා.

33. සියලු ශ්‍රී සම්බුදු ගුණයන්ගෙන් අගතැන්පත්ව වැඩසිටි, දෙවියන් සහිත සකල ලෝකයා අතර ඉසුරුමත් බවින් තමන් වසඟයෙහි පවත්වා වැඩසිටි, අපගේ භාග්‍යවතුන් වහන්සේ කිසිවෙකුට වසඟයෙහි නොපැවැත්විය හැකි අනිත්‍ය ස්වභාවයට පත් වූ සේක. එහෙයින් මේ බුද්ධ ශාසනයෙහි බුදු ඔවදන් පිළිගන්නා යමෙක් සසර දුක් භය උපද්දවන අනිත්‍ය ස්වභාවය හොඳින් අවබෝධ කරගත්තෝතින් මේ සංසාර සාගරයෙන් ඔහු එතෙරට යනවා.

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි මහාසම්මත රාජ වංශය නම් වූ දෙවන පරිච්ඡේදය යි.

The post මහාවංශය – දෙවෙනි පරිච්ඡේදය appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here