මහාවංශය – තුන්වෙනි පරිච්ඡේදය

0
6


01. (මාංසචක්ඛු) මසැස, (දිබ්බචක්ඛු) දිවැස, (පඤ්ඤාචක්ඛු) පැණැස, (බුද්ධචක්ඛු) බුදුඇස, (සමන්තචක්ඛු) සමතැස යන පංච නේත්‍රයෙන් යුක්ත වූ අසම ගුණ ඇති අප භාග්‍යවතුන් වහන්සේ හතළිස් පස් වසරක් පුරා දෙව් මිනිස් ලෝක සත්වයාගේ හිතසුව පිණිස කළයුතු වූ සියලු බුද්ධ කෘත්‍යයන් ඉතා මැනවින් සම්පූර්ණ කොට වදාරා,

02. කුසිනාරා නුවර උපවර්තන සාල වනෝද්‍යානයෙහි අකාලයෙහි පිපී ගිය සල් මලින් පිරුණු රම්‍ය වූ සල් රුක් දෙක සෙවණේ සැතැපී වදාළා. ඒ වෙසක් පුන් පොහෝ දවසෙහි, ලෝකය එළිය කළ අසිරිමත් ප්‍රඥා ප්‍රදීපය වූ අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක.

03. ඒ අවස්ථාවෙහි රැස් වූ භික්ෂූන්ගේ ගණන සංඛ්‍යාවකින් ගණන් කරන්ට නොහැකියි. එසෙයින් ම ක්ෂත්‍රියවරු, බ්‍රාහ්මණවරු, වෙළඳ කුලයේ වෛශ්‍යවරු, කම්කරු කුලයේ ශුද්‍රයන් මෙන් ම එදා රැස් වූ දෙවියන් ද ගණන් කරන්ට නොහැකි තරම් ය.

04. එදා කුසිනාරාවෙහි රැස් වූ භික්ෂූන් අතර ප්‍රධාන භික්ෂූන් ගණන සත් ලක්ෂයක් වුනා. ඒ සංඝයා අතර අප භාග්‍යවතුන් වහන්සේගෙන් මහාධුතාංගධාරී ශ්‍රාවක භික්ෂුව ලෙස අග්‍ර ඨානාන්තර ලැබූ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රධාන සංඝ ස්ථවිරයන් වහන්සේ ලෙස වැඩසිටියා.

05. අපගේ මහාකස්සප මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළ අපගේ ශාස්තෘන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශරීරයටත්, අදාහන කෘත්‍යයෙන් පසු ඉතිරි වූ ශාරීරික ධාතුන් වහන්සේලාටත් සිදුකළ යුතු වූ සියලු වත් පිළිවෙත් කෙරෙව්වා. අප බුදුරජුන් පිරිනිවන් පාන්ට ප්‍රථම ශාස්තෘ තනතුරෙහි පිහිටුවා වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය චිරාත් කාලයක් පවත්වන්ට කැමති වුනා.

06. දසබලධාරී ලෝකනාථයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් හත් දවසක් යද්දී මහලු වයසේ පැවිදිව උඩඟු සිතින් සිටි සුභද්‍ර නම් තැනැත්තා අභද්‍ර වචනයක් කිව්වා. තථාගත පරිනිර්වාණයෙන් මහත් සංවේගයට පත්ව හඬමින් වැළපෙමින් සිටි සාමාන්‍ය භික්ෂූන් අමතා ඔහු මෙහෙම කිව්වා. ‘ඇවැත්නි, ඒකට මක් වෙනවද? දැන් අපි ඒ මහා ශ්‍රමණයාගෙන් නිදහස් වුනා නොවැ. කලින් මේක කැපයි, මේක අකැපයි කියලා කීම නිසා අපි අපහසුතාවයට පත්වුනා. දැන් අපට රිසි පරිද්දෙන් කටයුතු කරන්ට පුළුවන් නොවැ’ කියා පවසන ලද මේ අපවිත්‍ර වචනය සිහිකොට,

07. අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් වහන්සේ පෙරවූ මහා පාංශුකූල සිවුර තමන්ට පොරවන්නට දුන් ආකාරයත් සිහිකොට, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ මෙන් ම මහාකස්සපයන් වහන්සේත් ධ්‍යාන අභිඤ්ඤා සමාපත්ති වලට ඒ අයුරින් ම සමවදින බවට සමාන කොට වදාළ ප්‍රකාශයත් සිහිකොට, භාග්‍යවතුන් වහන්සේ විසින් තමන්ට කරන ලද මහා අනුග්‍රහය ද සිහිකොට, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය චිරාත් කාලයක් පවත්වනු පිණිස,

08. ඔය අයුරින් ඒ සම්බුදු රජුන්ගේ අනුමැතිය පවත්නා කල්හි භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය සුරකිනු පිණිස ධර්ම සංගායනා කරන්ට සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය ධාරණය කොට වැඩසිටින, උතුම් අර්හත්වය මෙන් ම සතර පටිසම්භිදා ආදී සියලු ශ්‍රමණ ගුණයන්ගෙන් සමූපේත වූ,

09. මහා ක්ෂීණාශ්‍රව උතුම් රහතන් වහන්සේලා පන්සිය නමට එක නමක් අඩුකොට තෝරාගත්තා. ඒ එක නම අඩුකර ගත්තේ අපගේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ තවම අර්හත්වයට නොපත්ව සිටි නිසා උන්වහන්සේ වෙනුවෙනි.

10. එතකොට අප බුදුරජුන්ගේ ධර්මය සම්පූර්ණයෙන් ම මතකයේ රඳවාගෙන සිටි අපගේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ නැතිව ධර්ම සංගායනාව කරන්ට නොහැකි බව ඒ මහා ක්ෂීණාශ්‍රව භික්ෂූන් වහන්සේලා තේරුම් ගත්තා. එනිසා ආනන්දයන් වහන්සේ තවම රහතන් නොවී සිටියදී පවා එම ධර්ම සංගායනාවට ආනන්දයන් වහන්සේගේ සහභාගී වීම ඉල්ලා සිටිමින් උන්වහන්සේව ද සංගායනාව පිණිස තෝරාගත්තා.

11. කුසිනාරා නුවරදී සත් දවසක ඉතා යහපත් පුණ්‍යෝත්සවයකුයි සත් දවසක ධාතු පූජා මහෝත්සවයකුයි පවත්වලා ඒ වෙනුවෙන් අඩමසක කාලයක් ගත කළ සියලු ලෝකය කෙරෙහි මහත් අනුකම්පා ඇති ඒ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේලා,

12. “අපි රජගහ නුවර වස් සමාදන් වීමට යා යුතුයි. එහිදී භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සංගායනා කරන්ට ඕනෑ. එනිසාවෙන් ඒ කාලය තුළ ධර්මය සංගායනා කරන රහතුන්ගේ පහසුව පිණිස සංගායනාවට සහභාගී නොවන අනෙක් භික්ෂූන් වහන්සේලා එහි වස් වැසීමෙන් වැළකීි සිටිය යුතුයි” කියලා කුසිනාරා නුවරදී තීරණයක් ගත්තා.

13. ඒ රහතන් වහන්සේලා කුසිනාරාවේ සිට රජගහ නුවර බලා දඹදිව චාරිකාවෙහි පිටත් වුනා. එසේ වඩිද්දී අතරමගදී ඒ ඒ ගම් නගරවල මහාජනයා මුණගැසුනා. ඔවුන් භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණය අසා ශෝකාකූලව හඬන්ට වැළපෙන්ට පටන් ගත්තා. ඔවුන්ව ද අස්වසමින් උන්වහන්සේලා චාරිකාව සම්පූර්ණ කළා.

14. දෙව් මිනිසුන්ගේ කුසල් පක්ෂය මතු කළ උතුම් බුදු සසුන පිහිටුවීමෙහි යහපත දකින ඒ රහතන් වහන්සේලා ඇසළ මස පුරහඳ වැඩෙන කාලයෙහි චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිවුපසයෙන් මනා පහසුකම් ඇති රජගහ නුවරට වැඩම කළා.

15. ඒ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ ආදී අප සම්බුදුරජාණන් වහන්සේගේ අදහස් පිළිබඳව ඉතා දක්ෂ වැටහීම් ඇති, නිකෙලෙස් භාවයෙන් ස්ථිරව පිහිටි ගුණ ඇති, සංගායනාවට තෝරාගත් ඒ මහරහතන් වහන්සේලා රජගහ නුවර ම වස් සමාදන් වුනා.

16. අජාසත් මහරජුන් මුණගැසුන ඒ මහරහතන් වහන්සේලා සංගායනාවෙහි අවශ්‍යතාවය ගැන කරුණු පැවසුවා. වස් වැසූ මුල් මාසයෙහි, රජගහ නුවර පිහිටි දහඅටක් වූ මහා විහාරවල කැඩී බිඳී තිබූ තැන් රාජානුග්‍රහයෙන් අළුත්වැඩියා කෙරෙව්වා.

17. ඒ දහඅටක් වූ මහා විහාරයන් පිළිසකර කළාට පස්සේ රහතන් වහන්සේලා අජාසත් රජුට මෙහෙම කිව්වා. “මහරජ්ජුරුවෙනි, අපි දැන් භාග්‍යවතුන් වහන්සේ විසින් ශාස්තෘත්වයෙහි පිහිටුවා වදාළ ධර්මය සංගායනා කරන්නෙමු” කියලා.

18. “ස්වාමීනී, ඒ උතුම් සංගායනාව වෙනුවෙන් මා කළයුත්තේ කුමක්ද?”යි අජාසත් රජතුමා ඇසුවා. “මහරජ, ධර්ම සංගායනාව කරන භික්ෂූන්ට වාඩි වීමට තැනක් අවශ්‍යයි” කියලා රහතන් වහන්සේලා වදාළා. “ස්වාමීනී, ආසන පිළියෙල කළයුත්තේ කොතැනද?” කියා රජතුමා ඇසුවා. “මහරජ, වේභාර පර්වත බෑවුමෙහි ඇති සප්තපර්ණී නම් ගුහාව ඉදිරිපිට මණ්ඩපය කළ මැනව” යි වදාළා.

19. එතකොට අජාසත් රජතුමා ඒ වේභාර පර්වත බෑවුමෙහි සප්තපර්ණී ගුහාව ඉදිරිපිට දිව්‍යසභාවක් බඳු අතිශයින් අලංකාර වූ වැඩහිඳින මණ්ඩපයක් ඉතා ඉක්මනින් කෙරෙව්වා.

20. ඒ අජාසත් රජු හැම ආකාරයෙන් ම මණ්ඩපය සරසවලා එහි පන්සීයක් භික්ෂූන් වහන්සේලාට සුවසේ වැඩහිඳින්ට හැකි පරිදි අනර්ඝ ඇතිරිලි ඇතිරෙව්වා.

21. ඒ මණ්ඩපයෙහි උතුරු දිසාවට මුහුණලා දකුණු පැත්තට වෙන්ට මහානීය වූ ථේරාසනයක් මහා කස්සප මහරහතන් වහන්සේ වෙනුවෙන් ඉතා යහපත් ලෙස පනවලා තිබුණා.

22. ඒ අලංකාර මණ්ඩපය මැද නැගෙනහිර පැත්තට මුහුණලා අපගේ සුගත වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වැඩ හිඳින්ට යෝග්‍ය පරිදි උන්වහන්සේගේ නාමයෙන් ධර්මාසනයක් ඉතා යහපත් ලෙස පණවලා තිබුණා.

23. අජාසත් රජතුමා “ස්වාමීනී, මා විසින් කළයුතු දෙය සම්පූර්ණ කරන ලද්දේය” කියා මහරහතන් වහන්සේලාට දැනුම් දුන්නා. ඒ රහතන් වහන්සේලා සිහිකරන්නවුන්ගේ හදවත තුළ ප්‍රීති ප්‍රමෝදයෙන් යුතු ආනන්දය උපදවන අපගේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළා.

24. “ඇවැත් ආනන්දයෙනි, සංගායනාව පිණිස සංඝයා රැස්වෙන්නේ හෙටයි. දහම් මග හික්මෙන සේඛ භික්ෂුවක් වශයෙන් ඔබ විසින් තවත් ප්‍රගුණ කළයුතු දේ තිබෙනවා නොවැ. එනිසා සේඛ භික්ෂුවක් වශයෙන් එයට පැමිණීම නොගැලපෙයි. එහෙයින් ඇවැත් ආනන්දයෙනි, අරහත්වය පිණිස අප්‍රමාදී වෙන්න.”

25. ඔය ආකාරයෙන් රහතන් වහන්සේලා විසින් උත්සාහවත් කරන ලදුව අපගේ ආනන්දයන් වහන්සේ වීරිය සමකොට නිවන් මග වැඩුවා. හිඳින, සැතපෙන, සිටින, සක්මන් කරන මේ සතර ඉරියව්වෙන් ම නිදහස් ව සයනයෙහි සැතපෙන්ට වාඩි වී දෙපාත් ඔසොවා තවමත් හාන්සි නොවී සිටියදී සියලු කෙලෙස් නසා උතුම් අර්හත්වයට පත් වූ සේක.

26. දෙවෙනි වස්සාන මාසය වන නිකිණි මාසයෙහි පුන් පොහොය පසු වී දෙවෙනි දවසෙහි රාජානුග්‍රහයෙන් කරන ලද ඒ ඉතා රම්‍ය වූ මණ්ඩපයෙහි රහතන් වහන්සේලා රැස් වුනා.

27. ඒ රහතන් වහන්සේලා අපගේ ආනන්ද තෙරුන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේට ගැලපෙන අයුරින් ආසනයක් වෙන්කොට තබා තමන් වහන්සේලා පැවිදි උපසම්පදාවෙන් වැඩිමහලු පිළිවෙළට එහි වැඩඋන්නා.

28. අපගේ ආනන්ද තෙරුන් වහන්සේ තමන් වහන්සේ උතුම් අර්හත්වයට පත් වූ බව ඒ රහතන් වහන්සේලාට දන්වනු පිණිස උන්වහන්සේලා සමඟ මණ්ඩපයට වැඩියේ නෑ. එතකොට එක රහතන් වහන්සේ නමක් ‘මේ ආසනය වෙන්කොට තිබෙන්නේ කවුරුන් වෙනුවෙන්ද?’ කියලා ඇසුවා. ‘මෙය ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සඳහා ය’ කියලා පිළිතුරු ලැබුනා. ‘අපගේ ආනන්දයෝ කොහි ගියාද?’ කියා අසනවාත් සමඟ ම,

29. අපගේ ආනන්දයන් වහන්සේ පොළොවෙහි කිමිදුනා. සංගායනා මණ්ඩපයේ තමන් වෙනුවෙන් පනවා ඇති ආසනයෙහි වාඩිවුනා. ඇතැම් ආචාර්යයන් වහන්සේලා පවසන්නේ අපගේ ආනන්දයන් වහන්සේ අහස් මාර්ගයෙන් වැඩමකොට තමන්ගේ ආසනයෙහි වාඩිවුනු බවයි.

30. එක් එක් තනතුරු ලැබූ සියලු රහතන් වහන්සේලා අතරින් විනයධර භික්ෂූන්ගෙන් අගතනතුරු ලැබූ උපාලි මහරහතන් වහන්සේ විනය උදෙසා ද අපගේ ආනන්ද මහරහතන් වහන්සේව අනෙකුත් සියලු ධර්මයන් උදෙසා ද ප්‍රධානත්වයට පත්කරගත්තා.

31. එම සංගායනාව ආරම්භයේදී අපගේ මහාකස්සප මහරහතන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේ විසින් පණවන ලද විනය ශික්ෂාපදත් ඒවායේ නිදාන කථාව ආදියත් විමසනු පිණිස ඒ ප්‍රශ්න විමසන භික්ෂුවගේ තනතුර තමන් වහන්සේ විසින් තමන්ව ම පත්කරගත් සේක. එහි දී උපාලි මහරහතන් වහන්සේ එසේ අසන ලද විනය කරුණු සියල්ල ම පිළිබඳව පහදා දුන් සේක.

32. අපගේ මහාකස්සපයන් වහන්සේ විනය පිළිබඳව විස්තර විචාළේ එහි පණවන ලද ථේරාසනයේ වැඩහිඳගෙන යි. එතකොට උපාලි මහරහතන් වහන්සේ ඒ අසන ලද කරුණු වලට පිළිතුරු දුන්නේ භාග්‍යවතුන් වහන්සේගේ නාමයෙන් පනවා වදාළ ධර්මාසනයේ වැඩහිඳගෙන ය.

33. තථාගත බුදුරජුන් විසින් පණවන ලද විනය පිළිබඳ දන්නා භික්ෂූන් අතරින් අග්‍ර වූ අපගේ උපාලි මහරහතන් වහන්සේ විසින් ක්‍රමයෙන් ඒ සියලු විනය කරුණු විසඳුවා. ඉන්පසු විනය කරුණු පිළිබඳ න්‍යායෙහි අතිශයින් දක්ෂ වූ සියලු දෙනා වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළ විනය ඒ අයුරින් සාමූහික ව සජ්ඣායනා කළා.

34. අප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි බහුශ්‍රැත වූ භික්ෂූන් අතරත්, වේගවත් නුවණ ඇති භික්ෂූන් අතරත්, දරාගැනීමෙහි හැකියාව ඇති භික්ෂූන් අතරත්, සිහිනුවණ ඇති භික්ෂුන් අතරත්, උපස්ථායක භික්ෂූන් අතරත්, අග්‍ර යැයි අග තනතුරු ලද ධර්ම භාණ්ඩාගාරික වූ අපගේ ආනන්දයන් වහන්සේගෙන් අප භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය පිළිබඳව ධර්ම දේශනාත් ඒවායේ නිදාන කථාත් විචාරනු පිණිස මහාකස්සප මහරහතන් වහන්සේ විසින් ඒ විචාරක භික්ෂු තනතුරට තමන් ම පත්කරවාගෙන අපගේ ආනන්දයන් වහන්සේගෙන් ධර්මය විමසා වදාළා.

35. උපාලි මහරහතන් වහන්සේ විනය විස්තර කළ පරිද්දෙන් අපගේ ආනන්දයන් වහන්සේත් පිළිතුරු දීම පිණිස තමන්ව ම පත්කරගෙන භාග්‍යවතුන් වහන්සේගේ නාමයෙන් පණවන ලද ධර්මාසනයෙහි වැඩහිඳගෙන ඒ සියලු ධර්මයන් ගැන විස්තර වදාළා.

36. අපගේ වේදේහමුනි වූ ආනන්දයන් වහන්සේ විසින් ක්‍රමයෙන් විසඳන ලද ඒ සියලු ධර්මය, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙහි අර්ථයන් පිළිබඳව අතිශයින් ම දක්ෂ වූ එහි වැඩහුන් සියලු දෙනා වහන්සේලා ධර්මය ඒ අයුරින් සාමූහික ව සජ්ඣායනා කළා.

37. ඔය ආකාරයෙන් සියලු ලෝකය කෙරෙහි හිතසුව කැමැති රහතන් වහන්සේලා විසින් සත් මාසයකින් සියලු ලෝකයාගේ හිතසුව පිණිස ඒ ප්‍රථම ධර්ම සංගායනාව නිමාවට පත්කළ සේක.

38. අපගේ මහාකස්සප මහරහතන් වහන්සේ විසින් ඒ සංගායනාව කරනු ලැබුවේ මේ ශ්‍රී සුගත සම්බුද්ධ ශාසනය පන්දහසක් අවුරුදු පවත්වාලන්නට සමර්ථ වන විදිහට යි.

39. ඒ ප්‍රථම ධර්ම සංගායනාව කොට අවසන් වෙද්දී මහත් ප්‍රීතියක් හටගත්තාක් මෙන් සාගරය සීමා කොට ඇති මේ මහා පොළොව සය වරක් කම්පාවට පත්වුනා.

40. ඒ අවස්ථාවෙහි ලෝකයෙහි නොයෙක් ආකාරයෙන් නොයෙක් ආශ්චර්යවත් දේ සිදුවුනා. අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ පන්සීයක් ස්ථවිර භික්ෂූන් වහන්සේලා මේ සංගායනාව කොට වදාළ නිසා මේ සංගායනාවට ස්ථවිර පරම්පරාව කියලත් කියනවා.

41. මෙසේ ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ලෝක සත්වයාට බොහෝ හිත සුව පිණිස පවතින ලෙස කටයුතු කළ ඒ සියලුම රහතන් වහන්සේලා තම තමන්ගේ ආයු ඇති පරිදි වැඩහිඳ පිරිනිවන් පා වදාළා.

42. මොහඳුර නසා අරහත් ඵලය නමැති ප්‍රඥා ප්‍රදීපය දල්වාගෙන වැඩසිටි එබඳු මහෝත්තම රහතන් වහන්සේලා පවා ලෝක සත්වයාගේ අවිදු අඳුර නසන මහා ප්‍රදීපයන් බඳු ව වැඩසිට මරණය නමැති දරුණු සැඩ සුළඟින් පහර වැදී නිවී ගිය සේක. එනිසාවෙන් නුවණැති කෙනා ඔය කාරණය තේරුම් අරගෙන තමන් නොමැරී ජීවත්ව සිටීම ගැන ඇති උඩඟුකම දුරුකර ගත යුත්තේය.

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි ප්‍රථම ධර්ම සංගායනාව නම් වූ තුන්වෙනි පරිච්ඡේදය යි.

The post මහාවංශය – තුන්වෙනි පරිච්ඡේදය appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here