මහාවංශය – එකොළොස්වෙනි පරිච්ඡේදය

0
4


1. පණ්ඩුකාභය රජුට දාව ස්වර්ණපාලී බිසොවට මුටසීව නමැති පුත් කුමරෙක් සිටියා. රජ්ජුරුවන්ගේ ඇවෑමෙන් පසු සොර සතුරු වියවුල් ආදී කිසිවකින් තොර වූ ලංකාද්වීපයේ රජු බවට පත් වුනා.

2. ඒ මුටසීව රජ්ජුරුවෝ මල් පල බරින් යුක්ත වූ වෘක්ෂයන්ගෙන් සැදි, උයනක පිහිටිය යුතු නොයෙක් ගුණාංගයන්ගෙන් යුක්ත වූ සුන්දර උද්‍යානයක් ‘මහාමේඝ වනෝද්‍යානය’ නමින් කෙරෙව්වා.

3. ඒ උද්‍යානය පිහිටුවන ස්ථානය සැලසුම් කළ දා අකාලයේ මහාවැහි වළාවක් පැන නැගී මහා වැස්සක් ඇද හැලී වැව් පොකුණු පිරී ගියා. ඒ නිසයි ඒ උද්‍යානයට ‘මහාමේඝවනය’ යන නම ලැබුනේ.

4. ලංකාංගනාවගේ සොඳුරු මුවමඬල බඳු උතුම් අනුරාධපුරයෙහි මුටසීව රජ්ජුරුවෝ සැට වසරක් රාජ්‍ය පාලනය කළා.

5. මුටසීව රජුට එකිනෙකා කෙරෙහි ඉතා හිතවත්ව සිටින පුත් කුමාරවරුන් දස දෙනෙක් සිටියා. ක්ෂත්‍රිය සිරිත් විරිත් අනුව හැඩගැසුනු රූපවත් වූ දියණිවරු දෙදෙනෙක් හිටියා.

6. ඒ මුටසීව රජ්ජුරුවන්ගේ දෙවෙනි පුත් කුමාරයා දේවානම්පියතිස්ස නමින් ප්‍රසිද්ධ වෙලා සිටියා. සියලු සහෝදර කුමාරවරුන් අතර පෙර ආත්මයන්හි රැස් කළ පින් බලයෙනුත් ප්‍රඥාවෙනුත් ඉදිරියෙන් සිටියේ දෙවනපෑතිස් කුමරු ය.

7. සිය පිය වූ මුටසීව රජුගේ ඇවෑමෙන් ඒ දෙවනපෑතිස් කුමරු ලක්දිව රජු බවට පත් වුනා. ඔහුගේ රාජාභිෂේකයත් සමඟ බොහෝ ආශ්චර්යවත් දේ වුනා.

8. මුළු මහත් ලංකාදීපයේ පොළොව යට තිබුනු නිධානයන්, මැණික් වර්ග උඩට මතුවෙලා පොලෝ මත පෙනෙන්ට වුනා.

9. ලක්දිව ආසන්නයේ බිඳී ගිය නැව්වල තිබුනු මැණික් වර්ගත් මුහුදේ තිබෙනා වෙනත් මැණික් වර්ගත් පොලෝ තලය මතට ආවා.

10. අනුරාධපුරයට ගිණිකොණ දිසාවෙහි යොදුන් දෙකක් පමණ දුරින් ඡාත නමින් පර්වතයක් තියෙනවා. ඒ පර්වතය පාමුල උණගස් තුනක් පැන නැංගා. ඒවා ප්‍රමාණයෙන් රථ යෂ්ටි තරම් විශාලත්වයෙන් යුක්තයි.

11. ඒවායෙන් එකකට කියන්නේ ලතා යෂ්ටි කියලයි. එහි යෂ්ටිය රිදී පැහැයෙන් යුක්තයි. එහි වෙලී තිබෙන වැල් රම්‍ය වූ රන්වන් පාටින් දිස්වුනා.

12. ඊළඟ යෂ්ටියට කියන්නේ කුසුම යෂ්ටිය කියලයි. එයත් රිදී පැහැයෙන් යුක්තයි. එහි ඉතා පැහැදිලිව රේණු සහිතව පිරී ගිය මල් පොකුරු නිල් රතු ආදී නොයෙක් පැහැයෙන් දිස්වුනා.

13. අනිත් එක හඳුන්වන්නේ සකුණ යෂ්ටිය කියලයි. එහි බොහෝ කුරුල්ලෝ දිස්වුනා. නොයෙක් පැහැයෙන් යුක්ත නානා කුරුළු වර්ග ජීවමානාකාරයෙන් දිස්වුනා.

14. අශ්වරූප හැඩයෙන් යුතු මුතු, ඇත් රූප හැඩය ගත් මුතු, රථ මුතු, නෙල්ලි මුතු, වළලු මුතු, මුදු මුතු, කකුධඵල මුතු, ප්‍රකෘති මුතු යන මේ අටවැදෑරුම් වූ,

15. මුතු වර්ග මුහුදෙන් ගොඩට ගසා වෙරලේ වැටියක් වගේ තිබුණා. මේ හැම දෙයක් ම මතු වුනේ දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ පෙර රැස් කළ පුණ්‍යානුභාවය නිස යි.

16. ඉන්ද්‍රනීල මාණික්‍යය, වෛඩූර්ය මාණික්‍යය, ලෝහිතංක මාණික්‍යය ආදී මැණික් වර්ගත්, නොයෙක් මුතු වර්ගත්, ඒ උණ යෂ්ටි තුනත්,

17. දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ රාජාභිෂේක ලබා දවස් හතක් ගතවෙද්දී මේ වස්තුව තමන් වෙත ලැබුනා. ඒ වස්තුව දුටු රජතුමා ගොඩාක් සතුටට පත්ව මෙහෙම සිතුවා.

18. මේ මහා අනර්ඝ මැණික් වර්ග සුදුසු මාගේ යහළු වූ ධර්මාශෝක මහරජ්ජුරුවන්ට යි. මේවා වෙන කෙනෙකුට සුදුසු නෑ. එහෙයින් ඔහුට ම මේවා දෙන්ට ඕනෑ.

19. අපගේ දේවානම්පියතිස්ස රජ්ජුරුවෝත්, ධර්මාශෝක රජ්ජුරුවෝත් මුහුණට මුහුණ නොදැක්කත් බොහෝ කල් සිට මිත්‍රත්වයෙන් සිටියා.

20. ඉතින් දෙවනපෑතිස් රජතුමා තම සහෝදරියගේ පුත්‍රයා හෙයින් තම බෑණා කෙනෙකු වන මහා අරිට්ඨ අමාත්‍යයා ප්‍රධානත්වයෙන් යුක්ත කොට තාලිපබ්බත බ්‍රාහ්මණයාත්, මල්ල නමැති ඇමතියාත්, තිස්ස නමැති ගණකයාත් යන සතර දෙනා,

21. දූතයන් වශයෙන් පිළියෙල කරවා, බල පිරිස් පිරිවර ඇතිව මහා වටිනා මැණික් වර්ගත් පිළියෙල කරවා,

22. ඉන්ද්‍රනීල, වෛඩූර්ය, පද්මරාග යන මැණික් වර්ග තුනත්, රථ යෂ්ටි ප්‍රමාණයෙන් තිබුනු ලතා, කුසුම, සකුණ යන නම් ලද යෂ්ටි තුනත්, දක්ෂිණාවෘත්ත සංඛයකුත්, කලින් කියූ අටවැදෑරුම් මුතු වර්ගත් රැගෙන,

23. ඔවුන් දඹකොල පටුනෙන් නැව් නැංගා. සත්දිනකින් දඹදිව වරායට සැපසේ පැමිණියා. නැවත එතැනින් පිටත් වෙලා සත් දිනකින්,

24. පාටලීපුත්ත නගරයට ගිහින් ධර්මාශෝක මහරජ්ජුරුවන් බැහැදැකලා තුටුපඬුරු පරිත්‍යාග කළා. ඒවා දුටු රජ්ජුරුවෝ ගොඩාක් සතුටුවුනා.

25. ‘මේ වගේ මැණික් වර්ග ආදිය දඹදිව අපේ රටේ නැහැ නොවැ’ කියලා සිතූ රජතුමා සතුටට පත්ව මහා අරිට්ඨ අමාත්‍යතුමාට සේනාපති තනතුර දුන්නා.

26. තාලිපබ්බත බ්‍රාහ්මණයාට පුරෝහිත තනතුර දුන්නා. මල්ල ඇමතියාට දණ්ඩනායක තනතුර දුන්නා. තිස්ස ගණකයාට සිටු තනතුර දුන්නා.

27. ඔවුන්ට බොහෝ භෝග සම්පත් දුන්නා. පාටලීපුත්‍රයේ සිටින කාලය තුළ සුවසේ වාසය කරන්ට නිවාසත් දුන්නා. ඇමැතිවරුන් සමඟ සාකච්ඡා කොට දඹදිවින් ලංකාවට එවිය යුතු තුටු පඬුරු දැක,

28. සෙමර මුවාගේ වලිගයෙන් කළ චාමරය, නලල් පට, මගුල්කඩුව, ඡත්‍රය, රන් මිරිවැඩි සඟල, හිස් මුදුනේ පළඳින ඔටුන්න, කන් පළඳනා, දකුණු උරහිසින් සිරුර වටා පහළට වැටෙන්ට දමන රන් කැටයම් කළ මුතුවැල, රන් කෙණ්ඩිය, රත් සඳුන්,

29. ගින්නෙහි රත් කළ පමණින් කිළිටි පහවී පිරිසිදු වන වස්ත්‍ර යුවලක්, ඉතා වටිනා අත් පිස්නා දෙකක්, නාගලෝකයෙන් ගෙනෙන ලද අඳුන්, අරුණාලෝකයේ පැහැය ගත් හිමාලයෙන් ගෙන ආ මැටි,

30. අනෝතත්ත විලෙන් ගෙන ආ පැන් කදක්, ගංගා නම් ගගෙන් ගත් ජලය, දක්ෂිණාවෘත සංඛයක්, ගෝරෝචන, ඇඟ ගල්වන සුණු, ක්ෂත්‍රිය කන්‍යාවක්,

31. රන් භාජන, රන් බඩු, මාහැඟි වියන් ගෙයක්, බෙහෙත් අරළු, බෙහෙත් නෙල්ලි, ඉතා වටිනා අමෘත ඖෂධ නමැති බෙහෙත් ගුලි,

32. ගිරවුන් විසින් ගෙනෙන ලද ගැල් හය දාහක ඇල් වීත් විශේෂ කොට පිරිවරා ගත් දෙයින් යුතු අභිෂේක උපකරණ,

33. ආදී තුටු පඬුරු සූදානම් කොට දී දෙවනපෑතිස් රජුගේ මිත්‍ර වූ ධර්මාශෝක අධිරාජයා මේ සදහම් තුටුපඬුරත් ද සමගින් දූතයන්ව පිටත් කෙරෙව්වා.

34. “මම ශාක්‍යපුත්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව සරණ ගියා. උන්වහන්සේ විසින් විශිෂ්ටඤාණයෙන් යුතුව වදාළ ධර්මයත් සරණ ගියා. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයාත් සරණ ගියා. ශාක්‍යපුත්‍ර ගෞතම සම්බුදු සසුනෙහි උපාසකභාවය ප්‍රතිඥා දුන්නා.

35. රජතුමනි, මේ උතුම් ත්‍රිවිධ රත්නය කෙරෙහි සිත පහදවා ගෙන ශ්‍රද්ධාවෙන් යුතුව සරණ යන්ට” කියන සදහම් පඬුරත් පිටත් කළා.

36. මාගේ මිත්‍රයාව නැවතත් චාරිත්‍රානුකූලව අභිෂේක කරන්ට කියලා පවසා තම මිත්‍ර රජු වූ දෙවනපෑතිස් රජුගේ ඇමතිවරුන්ව සත්කාර කොට පිටත් කළා.

37. ධර්මාශෝක නරේන්ද්‍රයාගෙන් බොහෝ සත්කාර ලද ඒ අමාත්‍යවරු පාටලීපුත්‍ර නගරයෙහි පස් මාසයක් වාසය කළා. වෙසක් මස පුර පක්ෂයේ පළමු දිනයෙහි දූතයෝ ලක්දිව බලා පිටත් වුනා.

38. තාම්‍රලිප්ති නම් තොටුපළින් නැව් නැගි ඔවුන් දඹකොල පටුනෙන් ගොඩබැස්සා. දොළොස් දවසකින් ලංකාවට පැමිණිලා දෙවනපෑතිස් රජ්ජුරුවන්ව මුණගැසුනා.

39. ලංකාධිපති රජුට ඔවුන් ගෙනා ඒ තුටුපඬුරු පිළිගැන්නුවා. එතකොට දෙවනපෑතිස් රජතුමා ඔවුන්ට මහත් සේ සත්කාර කළා.

40. ස්වාමිභක්තියෙන් යුක්ත වූ අමාත්‍යවරු ධර්මාශෝක රජ්ජුරුවන්ව බැහැදැකීමට දඹදිව යන්ට කලින් උඳුවප් හෙවත් දෙසැම්බර් මාසයේ පුර පෝයට කලින් දවසේ ලංකාධිපති ලෙස දෙවනපෑතිස් රජුව මුලින් ම අභිෂේක කොට තිබුණා.

41. ධර්මාශෝක නරේන්ද්‍රයාගෙන් ඇසූ වචනයට අනුව තම ස්වාමියාගේ දියුණුව කෙරෙහි ඇලුනු සිත් ඇති ඒ ඇමතිවරු ලංකාවාසීන්ගේ හිතසුව කැමැති දෙවනපෑතිස් රජුන්ව නැවත වතාවක් දඹදිව කෙරෙන ක්ෂත්‍රිය චාරිත්‍ර අනුව අභිෂේක කළා.

42. දේවානම්ප්‍රිය යන උපපදය යුක්ත කොට පවසන, තමන්ගේ ජනයාට සැපය සලසන්නා වූ ඒ රජ්ජුරුවෝ වෙසක් මස පුන් පොහෝ දවසේදී ලංකාවෙහි මහා උත්සවාකාරයෙන් නැවතත් අභිෂේක කළා.

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි දේවානම්පියතිස්ස රජුගේ අභිෂේකය නම් වූ එකොළොස්වෙනි පරිච්ඡේදය යි.

The post මහාවංශය – එකොළොස්වෙනි පරිච්ඡේදය appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here