මහවැව් තනා රට සරු කල රජරට ශ්‍රේෂ්ඨ නරපතියෝ – Great lankan Irrigation Kings – Sri News

0
7

ලක්දිව ඉතිහාසය බලංගොඩ මානවයා ආදී ඈත ආදිකල්පික මානවයන් දක්වා දිවයන මුත් ලිඛිත ඉතිහාසය ඇරඹෙන්නේ විජයාවතරණය සමගිනි. විජය ඇතුලු පිරිස බුදුන් වහන්සේ හා පසුකාලිනව අශෝක රජු ගේ අගනගරය වූ පාඨලීපුත්‍රය මුලික කොටගත් ඊසානදිග ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වන්නට ඇත. මෙම ඊශානදිග ඉන්දියාව ලංකාවට මඳක් සමාන දේශගුණයෙන් යුක්ත පලාතකි. බොහෝ පසුකාලීනව ලංකාවට තේ වගාව හදුන්වාදීමේදී චීනයේ තේ ලංකාවට නොගැලපුණු අතර ලංකාවේ පරිසරයට වඩාත්ම ගැලපුණේ ඉන්දීය බෙංගාලයේ වැවුණු තේය. පුරාණ බෙංගාලය සේම වර්තමානයේද ගංගා නම් ගඟ බ්‍රහ්මපුත්‍රය ජමුනාව ආදී මහා ගංගාවෝ පිටාර ගලන්නේ විශාල භූමිභාගයක් යට කරමිනි. මෙම බිම වී වගාවට යෝග්‍ය වූ පරිසරයකි.

 

 

ඉන්දියානු ආභාෂය ලැබුණා හෝ නොලැබුනා පුරාණ ලංකාවේ වාරි තාක්ෂණය ලොව අන් කවර තැනකටත් වඩා දියුණුව පැවතී තිබී ඇති බවට ජීවමාන සාධක තිබේ. වසර දෙදහසක් ඉක්ම ගොසින්ද තවමත් ඒ රජකල වැව් අමුණු ඇල මාර්ග ඔස්සේ ගොවියාගේ කුඹුරු වතුපිටි වෙත ජලය සපයන්නේ ඒ සාර්ථකත්වය සජීවීව ලොවට විදහාලමිනි. ලංකාවේ නිරිතදිග පලාත හෙවත් තෙත් කලාපය වර්ෂාව හොඳින්ම ලැබෙන පලාතයි. වියලි කලාපයේ අනුරාධපුර පොලොන්නරුව ආදී පලාත්වලට වර්ෂාව සාපේක්ෂව අඩුය. එම කලාපයේ ඇති පහත්බිම් වලින් වැඩි ප්‍රතිලාභ ලබාගැනීමටනම් ජලය අවැසිය. එම ජල අවශ්‍යතාවය හොදින් අදුනාගත් පුරාණ රජදරුවෝ සහ ගොවීහු උපරිම ශිල්ප දක්වමින් මැද කඳුකරයෙන් වියලි කලාපයට ඇදෙන ජල ධාරාවෝ වඩාත් සඵලදායක ලෙසින් පාවිච්චි කලෝය.

 

අනුරාධපුර රාජධානියක් ලෙස මුල් කාලයේද පැවතියත් එය වඩාත් සංවිධානාත්මක නගරයක් බවට පත් කලේ පණ්ඩුකාභය රජතුමාය. එතුමා නාගරික අවශ්‍යතාවයන් පිණිසත් ගොවිතැන් කටයුතු පිණිසත් අභය වැව කරවන ලදී. එය බසවක්කුලම ලෙසද හඳුන්වනු ලැබේ. ජයවාපී කරඹ වැව සහ නුවර වැව ද වංශකතා අනුව පණ්ඩුකාභය රජුගේ නිර්මාණ කාර්යයෝ වෙති.

 

දේවානම්පියතිස්ස රජ කාලයේ මහානාග යුවරජ රුහුණේ කාවන්තිස්ස ආදී රජ පරපුරේද ආරම්භකයා ලෙස සැලකේ. දෙවනපිය දවස මහානාග සොයුරුගේද මැදිහත් වීමෙන් අද ද දකින්නට ලැබෙන තිසා වැව කරවන ලදී. තිසා වැවට අමතරව වලස් වැව හෙවත් කරච්චවාපී නැමැත් වැවක්ද මහානාග යුවරජු විසින් නිමකර තිබේ.

 

දුටුගැමුණු රජතුමා යුද්ධය පිණිස රුහුණේ සිට උතුරු මැද පලාතට නික්මුනේ ලංකාවේ නැගෙනහිර පලාත දෙසිනි. ඒ වනවිට ඉදිරියට එන යුද්ධමය වටපිටාවට සරිලන ලෙස සද්ධාතිස්ස රජු දීඝවාපී පෙදෙස ඇතුලු නැගෙනහිර දෙස  කෙත්වතු අස්වැද්දීම් කටයුතු සිදුකරන ලදී. දැනටත් නැගෙනහිර පලාත පුරා තැන තැන විසිරී ඇති පුරාවස්තු සමුදාය අතිතයේ එම පෙදෙස වර්තමානයටත් වඩා දියුණුව පැවති බවට සාධක සපයයි. මේ පලාතේ කෘෂි කර්මාන්තය දියුණු කිරීමට ඒ පලාතේ වැව් අමුණු ඇළමාර්ග තනා නැවත ප්‍රතිසංස්කරණය කොට වාරි තාක්ෂනය දියුණු කරන්නට සද්ධාතිස්ස රජතුමා කටයුතු කරන්නට ඇත. එළාර සමග යුද්ධයට යන මග පිහිටි මහියංගනයේ සොරබොර වැව දුටුගැමුණු රජ දවස ඉදිකෙරුණු වාරි කර්මාන්තයකි.

 

කතරගම ගොස් එන අතරමග කෙත්වතු මැදින් විරාජමාන වන තිස්සමහා වෙහෙර කතරගම වන්දනාවේ ගිය ඕනෑම අයකුගේ මතකයට නැගෙන මහා චේතියකි. තිස්සමහාරාමයද අතිතයේ රුහුණු රට ශ්‍රී විභූතිය පෙන්වන කලාපයකි. එහි වූ තිස්ස වැව සහ යෝධකන්ඩිය වැව ක්‍රි. ව 33-43 කාලයේ රජකම් කළ ඉලනාග රජු විසින් ඉදිකරන ලද වාරිකර්මාන්තයෝ වෙති.

 

විජයාවතරණයේ සිට ලංකාවේ රජ කල මෞර්ය වංශය අවසාන කරමින් ලම්බකර්ණ වංශය සිංහාසනාරූඪ කිරීමට මූලික වූ වසභ රජ ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨතම නරපතියෙකි. ඔහු ඉහලින් නාගදිපයේ සිට පහලින් සිතුල්පව්ව දක්වාම සංවිධිත ක්‍රමානුකූල පාලනයක්ගෙනගිය දක්ෂ පාලකයෙකි. මෙතෙක් කුඩා කුඩා වැව් ඉදිකිරීම ඉන් පසු ඒවායෙන් කුඹුරු අස්වැද්දීම වශයෙන් වූ සරල වාරිකර්මාන්ත වෙනුවට එක් එක් වැව් සම්බන්ධ කොට මහා වැව් ඉදිකොට ඇලමාර්ග තනවා නව වාරි ජාලයක් ස්ථාපනය කිරීමේ යෝධ පියවර වසභ රජ දවස දී තබන්නට යෙදුනි.

වැව් වලට ජලය සපහන මහා ඇලවල් කැණිමද වසභ රජු කාලයේ වාරි කර්මාන්තයට එකතු වූවකි. ඇලහැර ඇල සහ මිනිපේ ඇල වසභ රජු කල සිරිලකට දායාද කල වාරි නාලිකාවෝය. මහවිලච්චිය, නොච්චිපොතාන, මානන්කට්ටිය, නාච්චදූව  ආදී වැව් රැසක් ඉදිරියේද වසභ රජුගේ ශ්‍රී නාමය ලියවී තිබේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here