මහජන ඔෆිස්වල දකින්න ලැබෙන අමුතු චරිත – Types of people in public offices – Sri News

0
5

අපේ එක එක වැඩ කරගන්න අපිට බැංකුවලට, පුස්තකාලෙට, රජයේ ආයතනවලට, ෆිනෑන්ස්වලට එහෙම ගියාම එකේක ජාතියෙ චරිත හමුවෙනවා. බලන්න ඔබටත් මේ වගේ අය හමුවෙලා තියෙනවාද කියලා.

 

මේ ජාතියෙ කට්ටියට හරීයට වැඩ. ඔළුව උස්සලා බලන්න වෙලාවකුත් නෑ අඳුරන කෙනෙක් ආවාටවත්. ඔළුව මේසෙට ඔබාගෙන ලියනවා ලියනවා, එ් අතරෙ කම්පීතරේට එබිලා මොනවාහරි ටක-ටක ගාලා ටයිප් කරනවා, ආයෙ ලියනවා, කැල් එක අතට අරන් ඒක ඔබනවා. හැබැයි ඔෆිස්වල ඉන්න මෙහෙම කරන ගොඩක් අය කවුරුහරි විශේෂ කෙනෙක් ආවාම තමයි මේ විධියට වෙස් පෙරළෙන්නේ. තමන්ට ගොඩක් වැඩ වැඩියි කියලා පෙන්නුවාම ගැම්මක් එනවා කියලා තමයි එයාලා හිතාගෙන ඉන්නේ.

 

කැෂියර්වල ඉක්මණට වැඩටික ඉවරකරලා මිනිස්සුන්ව යවන්න ගියොත් එයාලාට දවසකට කරන්න වෙන වැඩ ටික වැඩි වෙනවා. මේ නිසා ගොඩක් අය හෙමීට වැඩ කරන්න පුරුදුවෙලා ඉන්නවා. සල්ලි ගණන් කරන්න එහෙම ලැබුණොත් එයින් එහා සතුටක් එයාලාට නෑ. ලාච්චුව ඇරලා එකෙන් මේසෙට සල්ලි අරන්, ඒ ටික සේරම ගණන් කරලා ආයෙ ලාච්චුවට දාලා අන්තිමට ගන්නෙ එතනින් විස්සෙ කොළ දෙක තුනක් වෙන්නත් පුළුවන්. එ් වගේම ලොකු කොළ ගොඩක් තැන්පත් කරන්න එහෙම ලැබුණොත් ටක් ගාලා එහා පැත්තෙ එකාට ඇඟිල්ලෙන් ඇනලා “අනේ අයියා මේක දාන්නකො” කියලා ෂේප් වෙනවා.

 

ඔෆිස්වල අනිවාර්යයෙන්ම දකින්න ලැබෙන චරිතයක් තමයි අනවශ්‍ය ප්‍රමාණයට මේකප් කරපු කෙල්ලෙක්. මේකප් දාපු අය කොච්චර හිටියත් ගිනි රතු පාටට ලිප්ස්ටික් ගාලා ගාලා මූණෙ පිටි තලියක් ගාගත්ත ඇහි බැමි ගාපු කෙල්ලෙක් අනිවාර්යයෙන්ම ඉන්නවාමයි. පොෂ් ඔළුවක් නැත්නම් ගොඩක් වෙලාවට මේ ටයිප් එකේ අය සුහදව වැඩ ටික කරලා දෙනවා. එයාලා දිහා කවුරුත් බලන්නෙ නෑ කියලා ගාණකුත් නෑ. (කාටවත් බලන්න හිතෙන්නෙත් නෑ) තමන්ගෙ වැඩ ටික කරගෙන ඉන්නවා. හැබැයි මොකක්දෝ හේතුවක් නිසා නොගැලපෙන විධියට මේකප් දාන්න එයාලා ආසයි.

 

බොක්කෙන්ම රස්සාව කරන ඒ වෙනුවෙන්ම කැප වෙච්ච කෙනෙකුත් ඔෆිස්වල ඉන්නවා. අනිත් අය ලොක්කාගෙන් ලකුණු දාගන්න නොයෙක් දේවල් කළාට මෙයාලාට පාරිභෝගිකයන් එක්කත් හොඳ හිත තියාගෙන හැමෝගෙම සුහද චරිතය වෙන්නට ආසාවක් තියෙනවා. මේ නිසාම වැඩක් කරගන්න ගියාම කොහොමහරි ගේමක් ගහලා ලොක්කටත් කියලා ඒක කරලා දීලාම තමයි පස්ස බලන්නේ. ඔෆිස් එකෙත් හැමෝගෙම හිත දිනාගෙන ඉන්න එයාලා ආස වුණත් සතුරු කරදර, කැපිලි නම් බොහොම වැඩියි.

 

ඔෆිස්වල දුවලා පැනලා වැඩ කළාට මනුස්සයෙක්ට කතා කරද්දි “බෑ එහෙම බෑ” “කෝ මේක ගෙවලා නෑනේ” “කෝ අයිඩෙන්ටිය ගෙනාවද!” කියලා ප්‍රශ්නයක් ඇහුවත් ඒක අණක් විධියට තමයි මෙයාලා කියන්නේ. හම්මෝ සැර. හරියට ආයතනේ එයාලගෙ වගේ. මේ ජාතියෙ නෝනලා නම් ලස්සනට ඇන්දාට මෙහෙම කතා කරද්දි ඔක්කොම පාට හේදිලා යනවා. අඩි හත අටක් උඩින් ගිහින් හතර වටේටම අණ කරලා කාටත් කලින්ම ඔෆිස් එකෙන් මාරු වෙන අයත් නැතිවම නොවෙයි. හැබැයි අනිත් අය එහෙම කළොත් මෙයාගෙ තනතුරට අදාල නැතත් ඒකට පැයක් විතර අනිත් අයත් එක්ක කියවනවා.

 

ආයතනය පරිස්සම් කරන්න සිකුරුටි කෙනෙක් දැම්මාම වැඩේ අකුරටම කරලා දෙන අය ඉන්නවා. ඇතුලට එද්දි අපිට දොර ඇරලා දෙන්න මෑන්ස්ට මතක නැති වුණත් හෙල්මට් එකේ කුඩු හංගගෙන යනවාද, ජැකට් එක අස්සෙ පරමාණු බෝම්බ තියෙද කියලා බලන්න එයා අමතක කරන්නෙ නෑ. ඔෆිස් එක ඇතුලෙ අයටවත් හයෙන් පස්සෙ ඇතුලට යන්න දෙන්නෙ නෑ වගේම 6:00ට වහන ඔෆිස් එකට 6:01ට එන කස්ටමර්ව හරවලා යවන්න මේ ජාතියේ සිකුරුටි මහත්තුරු ඇප කැපවී ඉන්නවා. ජර්මනියෙ හිට්ලර් උතුමාණෝ පිස්ටල් එකක් දාගෙන ආවත් දෙකට නැමුණාට අහිංසක මනුස්සයෙක් ලොකු බෑග් එකක් අරන් ආවොත් ඒ මනුස්සාව නවත්තන්නේ මාංචුත් දාලා.

 

කටු කන අය කොච්චර රැස්පොට් දැම්මත් ඔය කාටත් එක හැන්දෙන් බෙදලා හිත සනසන මැනේජර්ලා ගොඩක් ඉන්නවා. ඇතුලට එන අයත් එක්ක හොඳට කතා බහ කරන, අවශ්‍ය තැන්වලට යොමු කරන, කොච්චර වැඩ තිබුණත් තමන්ව හම්බවෙන්න එන කෙනෙක්ට ප්‍රමුඛතාවය දෙන අය බොහොම දකින්න ලැබෙනවා. අනිත් අයගේ නානාප්‍රකාර ලොකු සීන් පහුකරගෙන මැනේජර් ගාවට ගියාම තමයි අර කටු කන අය සැරයි කියන කතාව මතක් වෙන්නේ. ගොඩක් වෙලාවට මේ වගේ වෙන්නේ පහළ ඉඳලා මහන්සියෙන් ඒ තනතුරට ආපු අයයි. එකපාරම උඩින් කඩන් වැටිලා ගෙම්බර් දාන අය වගේම පහළ ඉඳන් මෙතනට එද්දී අනුක්‍රමික ගෙම්බර් වැඩිවන අයත් නැතුවම නොවෙයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here