මව්කිරි වඩවන හෙළ ආහාර පාන … කිරි අඟුණ සහ තිත්ත අඟුණ :- ගමේ ගොඩේ දරුවෙක්…

0
5


🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
මව්කිරි වඩවන හෙළ ආහාර පාන …
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

🏵️ කිරි අඟුණ සහ තිත්ත අඟුණ :-

ගමේ ගොඩේ දරුවෙක් ලැබීමට සිටින හෝ දරුවෙකු ප්‍රසූත කල මවකට වටපිට කාගේ ගෙදරකින් වුනත් රසට හැදෙන කෑම වේලේ මුල් පංගුව බෙදෙන අතීතයක් අපට තිබුනා. වැඩිහිටි කාන්තාවන් ඒ සඳහා ගුණයෙන් යුතු ආහාර එළවලු තෝරා ගැනීම සැලකුවේ තමන්ගේ යුතුකමකටත් වඩා වගකීමක් ලෙසටයි. අහුවෙන ඕනෑම කෑමක් නොව ගැළපෙන ගුණවත් ආහාර පමණක් තෝරා බේරාගෙන පිළියෙළ වුනු මෙවන් බත් පතක නොවැරදුනු ආහාරයක් තමා අඟුණ කොළ. අගුණ යයි කීවාට බොහෝ ගුණ ඇති අඟුණ කොළ, සම්බෝල හෝ මැල්ලුමට කලවමට එකතු කිරීමෙන් කල ගණන් කිරි එරවා ගැනීමට ඔවුන් සමත් වුනා..

🏵️ සිංගප්පූරු කොළ නැතහොත් ජපන් බටු කොළ :-

සියවස් ගණනක් මව්කිරි වඩවන්නට අත්තම්මලා යොදාගත් විවිධ කොළ වර්ග අතර බොහෝ ගුණ ඇති කොළ වර්ගයක් තමා ජපන් බටු කොළ. මේ කොළයේ ඇති මවු කිරි වැඩවීමේ හැකියාව ගැන මෑතකදී කළ විද්‍යාත්මක පර්යේෂණ වලින් පවා තහවුරු කර තිබෙනවා. මෙය කිරි දෙන කාලයේ ආහාරයට ගන්නා කොළ පැහැති පලා අතරට හෝ කලවම් පලා ව්‍යංජනයට එක්කර ගත හැකි රසවත් ව්‍යංජනයක්. අමුවෙන් ආහාරයට ගැනීමෙන් අතුරු ප්‍රතිපලයක් ලෙස ශ්වසන ආබාධ ඇතිවන බව කියවෙන නිසා අමු සම්බෝල වලට එක්කිරීමෙන් හෝ යුෂ පානයෙන් වැළකී සිටීම වඩාත් සුදුසුයි.

🏵️ කොස් :-

ගස යටින් ගියත් කිරි එරවෙන කොස්..
ගෙඩිය කොයි කාලයේදීත් රසට පිස මැල්ලුම්, පොලොස්, කිරි කොස් යනාදී වශයෙන් කිරි මවට දීමෙන් වඩ වඩාත් කිරි එරවා ගන්නට පුළුවන්. එහි ඇති වාතය ඇතිකිරීම, නැති කිරීමට ගම්මිරිස් ඇට කිහිපයක් සහ සුදු ළූණු බික් කිහිපයක් ව්‍යංජනයට එක්කරගන්න.

🏵️ කිරිහැන්ද :-

කිරි දෙන මව් වරුන්ට අත්තම්මලා නොවරදවූ තවත් අගනා පලා වර්ගයක් තමයි මේ කිරිහැන්ද. මෙහි කොළ මැල්ලුම් ලෙසට, කලවම් පලාවට හෝ ලපටි දළු ව්‍යාංජනයට පරිප්පු/කව්පි වැනි ධාන්‍ය වර්ගයක් මිශ්‍ර කර ඉතා රසවත්ව පිළියෙල කරගත හැකියි.

🏵️ කරවිල :-

රත්තරන් ඇති සැලකෙන කරවිල කිරෙන් දරු පැටියා සනසන්නට මෙලොව ඇති වටිනාම ආහාර අතරින් එකක්. කිරි තිත්ත වේ යයි කතාවක් ඇතත් එහි විද්‍යාත්මක සත්‍යතාවයක් මේ වන තුරු ඔප්පු කර නැහැ.

🏵️ කෙසෙල් මුව :-

කිරි දෙන මවට කිරි එරවීමට පමණක් නොවේ ඇගේ මල බද්ධය නැති කිරීමට, ප්‍රසවයේ ඇති වූ තුවාල සුවයට, ලේ වැඩීමට අගනා ආහාරයක් තමයි මේ කෙසෙල් මුව..

🏵️ කුරක්කන් :-

මව්කිරි වැඩීමට අරුම පුදුම හැකියාවක් ඇති, යකඩ බහුල නිසා ප්‍රසවයේ ඇති වූ සියලු ගැටළු වලට ගුණ ඇති, විඩා නිවන සිත කය පිනවන අපූරු ආහාරය තමයි කුරක්කන්. මෙය කැඳ, රොටී, පිට්ටු, තලප යනාදී වශයෙන් පිළියෙල කර කැමති ලෙසකට ආහාරයට ලබා දෙන්නට පුළුවන්.

🏵️ කොල්ලු :-

මව්කිරි වඩවන්නට තවත් අපූරු හැකියාවක් ඇති ආහාරයක් තමයි මේ කොල්ලු. දවසේ ඕනෑම ආහාරයකට එකතු කරගත හැකි මෙය දවස පුරා කිරි වැගිරෙන සේ කිරි එරවන අගනා ආහාරයක්.

🏵️ හබල පෙති :-

කිරි එරවන්න භාවිතා කළ අපූරු උදෑසන ආහාරයක් තමයි හබල පෙති. කැඳ වශයෙන් හෝ අග්ගලා ලෙස රසවත්ව උදේ ආහාරයට එක් කරන්න. කිරි උතුරාවි.

🏵️ තැම්බුම් හොදි :-

දරු ප්‍රසූතියෙන් පසු අම්මලාට එදා දුන් පළමු ආහාරය තමයි මේ තැම්බුම් හොදි. ප්‍රසුතියේදී ඇති වූ වෙහෙස නිවීම, තුවාල ඉක්මණින් සුව කිරීම, ප්‍රසූතියෙන් පසු ගර්භාෂයේ ඉතිරි වූ පටක සහ රුධිර කැටි ඉවත් කර ගර්භාෂය සංකෝචනය කිරීම, මල බද්ධය නැති කිරීම සහ අඛණ්ඩ කිරි ස්‍රාවයක් පවත්වා ගැනීමට එරී එරවීම උත්තේජනය යන බහුවිධ ගුණාංගයන්ගෙන් යුතු තැම්බුම් හොද්ද නම් සුලුවෙන් තකන්න එපා. කිරි මදි නම් සතියකට වරක් වත් කිරි දෙන කාලයේ තැම්බුම් හොද්දක් මවගේ ආහාරයට එක් කරන්න.

🏵️ සූදුරු :-

කිරි එරවීමේ අපූරු බලයක් ඇති සූදුරු කිරි එරවීමට අමතරව තවත් බොහෝ සෞඛ්‍යයමය ප්‍රතිලාභ ගෙන දෙනවා. සතියකට දෙතුන් වතාවක් සූදුරු තැම්බූ වතුර වීදුරුවක් දෙකක් පානය කරන්න. කිරි වැගිරේවි.

🏵️ උළු හාල් :-

මව්කිරි වඩවන්නට උළුහාල් තරම් අගනා තවත් ඖෂධයක් ඇත්දැයි ඔබටම සිතේවි. රාත්‍රියේ උළුහාල් අහුරක් දෙකක් පෙඟෙන්නට දමන්න. උදෑසන තම්බා පෙරා පානය කරන්න. මෙය නිසි ප්‍රතිඵල ලැබෙන තුරු දිනපතා සිදු කළහැකි මහඟු ප්‍රතිකාරයක්. මෙහි මව්කිරි වැඩීමට අමතර තවත් බොහෝ සෞඛ්‍යයමය ප්‍රතිලාභ සහිතයි.

🏵️ මහදුරු :-

සූදුරු මෙන්ම අගනා ප්‍රතිලාභ ඇති මහදුරු වලට ද කිරි එරවීමට ඇත්තේ විසල් හැකියාවක්. මහදුරු දෙමිටක් සිසිල් වතුරේ පොඟවන්න. පෙරා ගත් ජලය දවසට දෙවරක් අවශ්‍යතාක් කල් පානය කරන්න.

🏵️ කුරුඳු :-

කුරුඳු වලටත් ඇත්තේ කිරි වැඩවීමේ මනා හැකියාවක්. පිරිසිදු කුරුඳු ජලයේ දමා පෙරා පානය කරන්න. නැතහොත් තේ කෝප්පයට කුරුඳු එකතුකර මද වෙලාවක් තබා පානය කරන්න.

🏵️ කොත්තමල්ලි :-

කලින් කී සුදුරු මහදුරු මෙන්ම තුනපහට අයිති කොත්තමල්ලි වලටද ඇත්තේ කිරි එරවීමේ ප්‍රභල හැකියාවක්. කොත්තමල්ලි තැම්බූ වතුර පානය කිරීමෙන් ප්‍රමාණවත් කිරි ස්‍රාවයක් නිතර හොඳින් වර්ධනය කරගත හැකියි.

🏵️ සුදු ළූණු :-

ප්‍රසූතියෙන් පසු පළමු දින කිහිපයේදී මවකට නොවැරදවූ තවත් ආහාරයක් තමයි ගිනි අඟුරු මත පිළිස්සු සුදුළූණු, කිතුල් හකුරු සමඟ කන්නට දීම. තැම්බුම් හොද්දෙදි කීවාක් මෙන් බොහෝ ප්‍රතිලාභ අඩංගු මේ ප්‍රතිකාරයේ මූලික පරමාර්ථයන් අතර මවු කිරි ස්‍රාවය උත්තේජනය කිරීම සහ එය දිගුකාලීනව පවත්වා ගැනීම යන කාරණා අඩංගුයි. කිතුල් හකුරු වලද මව්කිරි වැඩවීමේ ගුණ අඩංගු නිසා මේ දෙකම එක්ව ඉතා අගනා ඖෂධයක් සාදනවා

කිරි දෙන මවට සාදන ව්‍යාංජන වලට සුදු ළූණු එක්කරන්නට අමතක කරන්නට එපා. සුදුළූණු තම්බා පානය, උළුහාල් සමඟ තම්බා පානය හෝ සුදුළූණු, උළුහාල්, සූදුරු, මහදුරු, කොත්තමල්ලි එකට තම්බා බීමෙන් කිරි කල හතක් එක වරුවකදී පොවන්නට හැකි බවයි අපේ පැරැන්නන්ගේ මතය.

🏵️ තල :-

තල ඇට වලටත් කිරි එරවීමට ඇත්තේ විසල් හැකියාවක්. කිරි එරවන්නට තල ඇට බහුලවම යොදා ගත්තේ එවකට උතුරු පළාතේ විසූ ද්‍රවිඩ අම්මලා. අතුරුපසට කිතුල් හකුරු දාපු රසබර තල කැරැල්ලක් කමින් කිරි එරවා ගන්න හැකි නම් අපේ අම්මලා ඊට නම් අකමැති වෙන එකක් නැහැ.

🏵️ පොල් :-

අලුත් කැඩූ අමු පොල් වලට කිරි එරවන්නට ඇති හැකියාව අපූරුයි. දරුවෙකු ලැබුණු අම්මලාට අලුත් පොල් සමඟ මුං ඇට, කඩල , අල, බතල, කොස් වැනි විවධ වර්ගයේ ආහාර එදා ලබා දුන්නේ මේ ප්‍රතිලාභයන් අත්කර ගන්නටත් එක්කයි.

🏵️ බතල :-

තද රතු පැහැති බතල කිරි එරවන තවත් දේශීය ආහාරයක්. උදැසන ආහාරයට හෝ දහවල් ව්‍යාංජනයට, පොල් සමඟ එක්කර එහි ගුණ වැඩි කර කිරි එරවන්නට හපන්කම් දක්වන මෙය රස බර ආහාරයක්.

🏵️ රාජ අල :-

තද දම් පැහැති රාජ අල කිරි වඩවන දේශීය අල වර්ග අතර ඉදිරි පෙළ සිටින අල වර්ගයක්. උදෑසන ආහාරයට ඉතාමත් කදිමයි.

🏵️ ඉඟුරු :-

දහසක් ගුණ ඇති ඉඟුරු වල තවත් අපූරු ගුණයක් තමා මව් කිරි වැඩවීම. අන් ආහාර ඖෂධ අතරට තේ සමඟ හෝ කොත්තමල්ලි සමඟ තම්බා බීමෙන් කිරි වැඩි කරගත හැකියි..

🏵️ රතු ළූණු :-

අමු රතු ළූණු වලට කිරි එරවීමේ අපූර්ව ශක්තියක් තිබෙනවා. දිනපතා ආහාරයට අමුවෙන් ගන්නා එළවලු සලාදයට, ලුණු මිරිසට රතු ලුණු එක් කරගන්න. කිරි එරවීම පමණක් නොව තවත් අගනා ආයු වඩන ගුණ බොහෝමයක් ඔබට ලැබේවි.

🏵️ මුරුංගා :-

සරලව ආහාර වේලට මුරුංගා එකතු කරන්න. මැල්ලුමට මුරුංගා කොළ අහුරක් එක් කරන්න. මුරුංගා වල ඇති කිරි එරවීමේ ප්‍රභල හැකියාව අද මුළු ලොවම මවිත කරවන තරම්. ප්‍රතිඵල ඔබටම පෙනේවි.

🏵️ අමු පැපොල් :-

අමු පැපොල් වලට ඇති කිරි එරවීමේ හැකියාව ඔබ පුදුම කරවාවි. මැල්ලුමක් ලෙස හෝ කැකිරි/වට්ටක්කා ආකාරයට පිස ආහාර වේලට ඇතුලත් කරගන්න.

🏵️ වට්ටක්කා :-

වට්ටක්කා වලට ඇත්තෙත් කිරි එරවීමේ මහඟු හැකියාවක්. ඔබම අත් හදා බලන්න..

🏵️ ඉදුණු කොටදිඹුලා ගෙඩි :-

අත්තික්කා වලට සමාන මෙම පලතුරෙහි ඉදුණු ගෙඩි දරුවන් බිහිවූ අලුත ආහාරයට ගැනීමෙන් මව්කිරි වැඩි වන බව පැරණි සිංහල පොත පතෙහි සඳහන් වී තිබෙනවා.

🏵️ නෙලුම් අල :-

දැනට වසර 20-30 කට පමණ පෙර නම් නෙලුම් අල මවු කිරි වඩවා ගැනීමට ඉවහල් කර ගත් ඖෂධීය රසවත් එළවළුවක්. (දැනට රට පුරා ඇති බොහෝ වැව් පොකුණු රසායනික පොහොර, කෘමිනාශක වල් නාශක ආදිය මඟින් දුෂණය වී ඇති නිසා අද වන විට නෙලුම් අල ආහාරයට ගැනීමේ සුදුසුකම පිළිබඳ සැබෑ ගැටළුවක් මතු වී තිබෙනවා.)

මීට අමතරව රතු හාල්, මුං ඇට, මෙනේරි වැනි අපේ ධාන්‍ය වර්ග වලටත් කිරි එරවීමේ මහඟු හැකියාවක් තිබෙනවා.

🏵️ සරල සිංහල ආහාර වේලකට හුරු වන්න..

එළවලු දෙකක් පමණ සමඟ කොළ වර්ගයක්, මුහුදු මාළු හෝ අව්වේ වේලු කරවල වැනි ප්‍රෝටීන වර්ගයක් අඩංගු රතු බත් වේලක්, ගමේ ගොඩේ ඉදුණු පලතුරු ආදිය වගේම කුසපුරා පිරිසිදු ජලය පානය කිරීම ආදී කාරණා කිරි එරවන්නට ප්‍රමාණවත් කරුණු සපයනවා. කිරි එරවීමට මස්මාංශ පරිභෝජනය අවශ්‍යම වන්නේ නැහැ.

🔴 මවු කිරි දෙන ඔබට සුදුසුම ආහාර සහ පෝෂණය :-

ලොව උතුම්ම පදවිය මවු පදවියයි. ඒ ඔබ දරුවකු වැදීමට දරන වේදනාවත්, තම ලේ කිරට හරවා සිඟිත්තාට පෙවීමත් මතු අනාගතයේ සමාජයට පලදායක වන ලෙස දරුවා හැදීමට ගන්නා නිසාය. ඔබේ ලේ කිරට හැරෙන ඇති විශේෂ අවධියේ ඔබ නිවැරදි ආහාර ගත යුතුයි නේද? දරු උපතින් පසු ඔබේ ශරීරය විවිධ වෙනස්කම් වලට ලක්වීම ඉතා සාමාන්‍ය දෙයක්. බොහෝ මවු වරුන් තම ශරීරය මඳක් මහත් වීම අත්දකිනවා. ඉතින් ඔබ හිතනවා ඇති කොහොමද නැවත පෙර පරිදි සිහින් සිරුරක් ලබා ගන්නේ කියා.

නමුත් ඒ වෙනුවන් අධික ලෙස ආහාර පාලනය නිසා ඔබට ඇති මවු කිරි නිපදවීමේ හැකියාවට බාධා නොපැමිණිය යුතුයි. ඔබ කල යුත්තේ මවු කිරි නිපදවීමට අත්‍යවශ්‍ය පෝෂණය අනිවාර්යෙන් ඇතුලත් ආහාර වලට මුල් තැන දීමත් ඔබේ එදිනෙදා වැඩ කටයුතු වලට අවශ්‍ය ශක්තිය ලැබෙන ආහාර සහ ඔබේ ශරීරයේ පැවැත්මට අවශ්‍ය ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ නිසි ලෙස ලබා ගැනීමත්ය. සුභදායක ප්‍රවෘත්තිය වන්නේ, අපේ රටේ මෙම සියලු දේ මනා ලෙස අඩංගු ස්වභාවික එළවලු, පලතුරු, මස් මාළු, කිරි බිත්තර ආදිය සුලභව තිබීමයි. ඔබ කළ යුත්තේ මඳක් සොයා බලා එවැනි දේ මිළදී ගත හැකි වෙළඳ පොළවල් සොයා ගැනීමයි. එමඟින් ඔබට බාහිර රසායනික සංයෝග වල පිහිට පැතීම අවම කර ගත හැකියි.

🔴 ආහාර වේලට විවිධත්වයක් එක කර ගන්න.

ඔබේ ආහාර වේල සමබල ආහාර වේලක් විය යුතුයි. කාබෝහයිඩ්‍රේට වැඩියෙන් කෑමට ගත යුතු උනත් ඔබ කය වෙහෙසන රැකියාවක නොයෙදේ නම් එය පමණට වඩා සුදුසු නැත. එසේම “බඩ පිරෙන්න කෑම” ඔබට අඩු කල නොහැකි නම් ඔබ අඩුවෙන් කන කබෝහයිඩ්රේට් නිසා දැනෙන හිස් බව පිරවීමට එළවලු සලාද, පළතුරු ආදිය යොදා ගන්න. මස් මාළු හෝ ඒවා නොකන්නේ නම් ආදේශකයන් ලබා ගැනීමත් ඉතා වැදගත්.

🔴 නිවුඩු සහිත සහල් / ධාන්‍ය ආහාරයට ගන්න..

කාබෝහයිඩ්‍රේට ලබා ගැනීමට හැකි තරම් නිවුඩු සහිත ආහාර ගන්න. ඊට අමතරව පිරිපහදු කල සීනි භාවිතයෙන් වැළකී සිටින්න බලන්න. සීනි සහ පිටි අධික ආහාර වෙනුවට දවල් සහ හවස තේ වෙලාවට පලතුරු යුෂ බීමට හැකි නම් සුදුසුය. අවාසනාවකට මෙන් අද සමාජයේ බොහෝ දෙනෙක් රතු බත් කෑමට මැලි බවක් දක්වනවා. එය හොඳටම අප්‍රිය නම් “Whole Grain” ධාන්‍ය ඇසුරෙන් සාදන ලද කෑම ආහාරයට වරින් වර එක් කර ගන්න. උදාහරණ ලෙස ඔබට ඉරිඟු, ඕට්, මෙනේරි, කුරක්කන් ආදිය දැක්විය හැකියි.

🔴 මේද වර්ග ප්‍රවේසමින් තෝරා ගත යුතුයි..

සංතෘප්ත මේද සීමා කල යුතුයි. පාම් තෙල්, පොල් තෙල්, බටර්, චොකලට්, චීස්, සොසේජස්, මීට් බෝල් ආදියෙහි මේවා වැඩියෙන් තිබේ. අත්‍යවශ්‍ය ප්‍රමාණය පමණක් භාවිතය සුදුසුය. සොසේජස්, මීට් බෝල් වෙනුවට අලුත් මාළු කෑමෙන් ඔබට එම ප්‍රෝටීන ලබා ගත හැක. බදින ලද අල පෙති (french fries, potato chips), ගැඹුරු තෙලේ බැදපු කෑම (rolls, cutlet), මාගරින්, ක්ෂණික පෑන් කේක් මිශ්‍රණය, තෙලේ බැදපු කුකුල් මස් හා වෙනත් මස් වර්ග වලින් හැකි තරම් ඈත් වන්න.

🔴 මාළු වර්ග අතිශයින් වටිනා බව දන්නවාද?

ඔබේ දරුවාගේ වර්ධනයට අත්‍යවශ්‍ය DHA සහ EPA නමින් හැඳින්වෙන සංයෝගය බහුලව අඩංගු වන්නේ මාළු වර්ග වලය. වාසනාවකට මෙන් අප ජීවත්වන දිවයින එම මත්ස්‍ය සම්පතින් ගහන මුහුදෙන් වටවී ඇත. ඔබ කල යුත්තේ මඳක් සොයා බලා හොඳ අලුත් මාළු ගෙන එන වෙළඳ සැලක් හඳුනා ගැනීමයි. ඉංග්‍රීසි පොත පතෙහි ඔබ දකීවි “salmon, mackarel, sardine” ආදී මාළු වර්ග සුදුසු බව. එම මාළු බොහෝ විට අපේ රට අවට නැහැ. නමුත් අපට ඉතා රසවත් සහ වටිනා මාළු වර්ග තිබෙන බව අමතක කරන්න එපා. ඒවා නම්: තෝරා, කෙළවල්ලා, හුරුල්ලා, කීරමින්, තොන්ඩයා, වැල්ල සූඩයා, සූඩයා ආදියයි. සතියකට දෙවරක් මෙම මාළු ඔබේ ආහාරයට එක කර ගැනීම ප්‍රමාණවත්. එකම මාළු වර්ගයක් දිගටම නොගෙන හැම වර්ගයෙන්ම ටික ටික සතිය පුරා ආහාරයට ගන්න.

ඔබ මාළු වර්ග නොකන්නේ නම් හෝ ඉහත මාළු පහසුවෙන් සොයා ගැනීමට නොහැකි නම්, අනිවාර්යයෙන්ම මෙම සංයෝග ලැබෙන බෙහෙත් කරල් ලබා ගන්න. Omega-3 Fatty Acids ලෙස හඳුන්වන මාළු තෙල් වලින් සාදන ලද බෙහෙත් කරල් වර්ගයක් වේ. මෙය වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.

🔴 කිරි යනු පෝෂණීය ආහාරයක්!

කිරි බීම ගැන විවිධ මත පල උනත් (සෙම හැදෙනවා ආදිය) ඔබ මතක තබා ගත යුතුයි කිරි සහ කිරි ආශ්‍රිත ආහාර යනු ඔබේ සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ විශාල ප්‍රමාණයක් ඉතා පහසුවෙන් ලබා දෙන ආහාරයක් බව. මාංශ වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන්, අස්ථි වර්ධනයට අවශ්‍ය කැල්සියම් සහ විටමින් – D ආදිය ඔබට නිර්ලෝභීව ලබා දෙන්නේ කිරි ආහාර වලින්. දිනකට තුන් වරක් වත් කිරි ආශ්‍රිත ආහාරයක් ලබා ගැනීම සුදුසුයි. උදාහරණ ලෙස උදේට සහ හවසට කිරි වීදුරුවක්, දවල්ට යෝගට් කෝප්පයක් ආදිය ලබා ගත හැකිනම් ඉතා කදිමයි.

🔴 යකඩ බහුල ධාන්‍ය සහ පළා වර්ග අනිවාර්යයි!

ඔබ දන්නවා ශරීරය පුරා ශක්තිය, පෝෂණය සියල්ල ගෙන යාමට රුධිරය අත්‍යාවශ්‍ය බව. ඉතින් එසේ ගෙනයන රුධිරය හිඟ වීමට ඉඩ තබන්න එපා. රුධිර වර්ධනයට යකඩ සහිත ආහාර අවශ්‍ය වෙනවා. නිර්මාංශ ආහාර පමණක් අනුභව කරන අයට නිවිති සහ වෙනත් පලා වර්ග වැඩි පුර ආහාරයට ගැනීම වැදගත්. යකඩ පමණක් නොවේ තවත් බොහෝ පෝෂණ සංඝටක වලින් ගහන නිසා මැල්ලුම් අමතක කරන්න එපා. නමුත් ඔබ මාංශමය ආහාර ගැනීමට අකමැත්තක් නොමැති නම් සුළු වශයෙන් “රතු මාංශ” ලබා ගන්න (ඔබ නිවිති සහ අනෙකුත් එළවලු/පලා/පලතුරු කන්නේ නම් මෙය අත්‍යවශ්‍ය නොවේ!). කවුපි, මෑ, රට මෑ ආදියත් ආහාරයට එක් කර ගන්න.

🔴 පළතුරුවල විටමින් බහුලයි!

අපේ රට විවිධ පළතුරු බහුල ලෙස වැවෙන දිවයිනක්. මනා ලෙස සොයා බැලීමෙන් ඔබට කෘතීම බෙහෙත් ඉසින ලද පළතුරු වෙනුවට නැවුම්, නොඉඳුල් පළතුරු සොයා ගත හැකිනම් අපූරුයි. විශේෂයෙන්ම දොඩම්, දෙළුම්, අලි ගැට පෙර, කොමඩු, කෙසෙල් ආදී අපේ රටේ වැවෙන පළතුරු වලට මුල් තැන දෙන්න. දිලිසි දිලිසි රාක්ක වල තිබෙන ආනයනික පළතුරු වලට වඩා අපේම ගමක වැවෙන නැවුම් පළතුරු ගෙඩියක් එතරම් ලස්සනට දිලිසුනේ නැතත් ඇඟට ලැබෙන ගුණයෙහි නම් අඩුවක් නැහැ! විශේෂයෙන්ම මෙම පලතුරු වලින් අන්නාසි, අලි ගැට පේර, අඹ, කොමඩු ආදියේ වල් නාශක සහ කෘමි නාශක අඩු යයි පිළිගත හැකියි. කෙසේ නමුත් සොයා බලා විශ්වාසවන්ත තැනකින් මිළ දී ගන්න.

🔴 වතුර බොන්න!!!

ඔබ හිතනවා ඇති වතුර පෝෂක සංයෝගයක් නොවේ නේද කියා. නමුත් නිසි ලෙස ජල පානය අපි නිතරම අවතක්සේරු කරන දෙයක්. ඉහත කී සියලු එළවලු, පළතුරු, මස් මාළු, බිත්තර ආදිය කෑවත්, ප්‍රමාණවත් ලෙස වතුර නොබොනවානම් ඔබේ සිඟිත්තාට දෙන ඒ ලොව උතුම්ම සම්පත වන මවු කිරි නිසි ලෙස නිපදවීමට බාධාවක් වේවි.

————————————————————————-
🏵️ ආදරණීය අම්මේ… මෙම පහත ලිපිත් ඔබට ගොඩක් වැදගත් වේවි.👇
————————————————————————-
📌️ මාස 6 ( දින 180 ) සපිරුණු ඔබේ දරුවාට අමතර ආහාර ලබාදෙන හැටි පියවරෙන් පියවර ඉගෙන ගන්න මෙම ලිපිය කියවන්න.👇
https://m.facebook.com/story.php?story_fbid=1936445756649918&id=1839559759671852

📌️ පුංචි පැටියගේ සංවර්ධන පියවරවල් ගැන ඔබ හරියාකාරව දැනුවත් ද? එම ලිපිය කියවන්න.👇
https://m.facebook.com/story.php?story_fbid=1937398709887956&id=1839559759671852
………………………………………………………………

🔴 නිරෝගී දරු පැටියෙකු බිහිකරන ඔබ දැන සිටිය යුතු කාරණා – ( පළමු කොටස ) 👇
https://m.facebook.com/story.php?story_fbid=1971060616521765&id=1839559759671852

🔴 නිරෝගී දරු පැටියෙකු බිහිකරන ඔබ දැන සිටිය යුතු කාරණා – ( දෙවන කොටස ) 👇
https://m.facebook.com/story.php?story_fbid=1974778309483329&id=1839559759671852

🔴 නිරෝගී දරු පැටියෙකු බිහිකරන ඔබ දැන සිටිය යුතු කාරණා – ( තුන්වන කොටස ) 👇
https://m.facebook.com/story.php?story_fbid=1978528829108277&id=1839559759671852
………………………………………………………………
📌️ බබා ලැබෙන්න කිට්ටු ද? අතපය ඇඟිලි ඉදිමිලා ද? එහෙනම් මේ ආයුර්වේද ප්‍රතිකාර කරලා බලන්න. 👇
https://m.facebook.com/story.php?story_fbid=2021393491488477&id=1839559759671852

📌️ ‘දරුවාට මව්කිරි දීමේ වැදගත්කම’ එම ලිපිය මෙතැනින් කියවන්න.👇
https://m.facebook.com/story.php?story_fbid=2000848113543015&id=1839559759671852

📌️ ගර්භණී මවකට සුදුසු ව්‍යායාම ගැන ඉගෙන ගන්න මේ ලිපිය කියවන්න. 👇

📌️ “අම්මලාව බය කරන ගැබිනි සමය හා බැඳුණු දුර්මත” එම ලිපිය මෙතැනින් කියවන්න. 👇
https://m.facebook.com/story.php?story_fbid=1967657950195365&id=1839559759671852

📌️ “ගර්භණී කාලයේදී ඔබට ගැළපෙන රූපලාවණ්‍යය කටයුතු” එම ලිපිය මෙතැනින් කියවන්න. 👇
https://m.facebook.com/story.php?story_fbid=1996162974011529&id=1839559759671852

📌️️ “දරු ප්‍රසූතිය පහසු කරන පරම්පරික කැඳ හා කසාය ” එම ලිපිය මෙතැනින් කියවන්න. 👇
https://m.facebook.com/story.php?story_fbid=2046865508941275&id=1839559759671852
………………………………………………………………
❇️ මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ #හෙළ_අරණ #facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය Share කරන්නත් අමතක කරන්න එපා.







Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here