මරණයට පාර කියන යක් කුරුල්ලා – Sri News

0
14


යක් කුරුල්ලා එහෙමත් නැත්නම් උලලේනා එහෙමත් නැත්නම් උලමා කියන්නේ ගම්බද පැතිවල ජීවත් වෙන එක්තරා විදියක අද්භූත සත්වයෙක්. උලමා සතුව තියන අමුතු කටහඬ නිසාම තමයි මේ සතාට අද්භූත ගති පැවතුම් තියෙනවා කියලා විශ්වාස කරන්නේ. අද අපි ඒ අමුතු කුරුල්ලා ගැන තොරතුරු ටිකක් බලමු.

 

1. කවුද මේ උලමා කියන්නේ? 

එක අතකින් මේ උලමා කියන්නේ බකමූණු වර්ගයක්. අපේ රටෙත් ගොඩක් ප්‍රදේශවල ජීවත් වෙන විවිධ නම් වලින් හඳුන්වන පක්ෂි විශේෂයක්. ඒ වගේම ඉන්දියානු, අයිරිශ් ජනප්‍රවාදවලත් මේ උලමාව විවිධ නම් වලින් හඳුන්වනවා. උලමා කෑගහන එක ඉතාමත්ම දුර්ලභ දෙයක් බවයි කියවෙන්නේ. ජිම් කෝබට් කියන රචකයා තමන්ගේ “Tales from the Indian jungles” කෘතියේ මේ උලමුන් ගැන සඳහන් කරනවා. ඒ පොතේ තියෙන විදියට ඔහුට ජීවිත කාලෙටම උලමගේ සද්දේ ඇහිලා තියෙන්නේ තුන් පාරක් වගේ අඩු වාර ගාණක් වීමත් විශේෂයි.

 

2. ප්‍රජනනය 

මේ උලමා කියන සතාත් සාමාන්‍ය කුරුල්ලෝ වගේම පැටවු බිහි කරන්නේ බිත්තර වලින්. ඒත් සාමාන්‍ය කුරුල්ලන්ට වඩා උලමාගේ පැටවු බිහිකිරීමේ ක්‍රියාවලියෙ පොඩි වෙනස්කමක් තියෙනවා. ඒ මොකද්ද දන්නවද? මේ උලමගේ බිත්තර රැක බලා ගන්නේ බිත්තරය දැමූ අම්මයි තාත්තයි මාරුවෙන් මාරුවට. ඒක තමයි ටිකක් විතර වෙනස් වෙන්නේ…

 

3. ශරීර ලක්ෂණ 

මේ යක් කුරුල්ලා සාමාන්‍යයෙන් රාජාලියෙක්ගේ හැඩයට සාමානයි. හැබැයි ඊට වඩා ගොඩාක් පොඩියි. හැබැයි බකුමූණෙක් තරම්ම පොඩිත් නෑ. ඊට වඩා ලොකුයි. සාමාන්‍ය බකමූණෙක් වගේ කෙටි බෙල්ලකුත් නෑ. ඒ වගේම මේ උලමට අං දෙකක් වගේ කන් දෙකකුත් තියෙනවා. ඒකත් උලමා සතු විශේෂ ලක්ෂණයක්. ඒ වගේම තැඹිලි පාටට වගේ හුරු ඇස් දෙකක් තමයි උෟට තියෙන්නෙ. මේ ලක්ෂණ දැනගෙන හිටියොත් ඔයාටත් උලමෙක්ව ලේසියෙන්ම හඳුනා ගන්න පුළුවන්…

 

4. හඬ 

මේ උලමාව එහෙම නැත්නම් යක් කුරුල්ලාව අද්භූත සතෙක් විදියට සළකන්නේ උගේ සද්දේ හින්දානේ. ඉතින් මේ සද්දේ හරියට නිකන් ලතෝනියක්, ශෝකී ස්වරයක් වගේ. අපේ රටට අනුව උලමෙක් කෑගහන්නේ මරණයේ පණිවුඩයක් අරන්ලු. අපේ රටේ විතරක් නෙමෙයි, මේ උලම් විශේෂ අද්භූත සත්තු විදියට අයිරිශ් ජාතිකයින් වගේම ඉන්දියානු ජාතිකයින් විසිනුත් සළකනු ලබනවා. ඒත් අපේ රටේ සමහර පැතිවලනම් උලමෙක් කෑගහනවා කියන්නේ නිකම්ම නිකන් සතෙක්ගේ කෑගැහිල්ලක් විතරයි ඉතින්. මේවා එක අතකින් අපි හදාගත්තු බොරු මිත්‍යාවන්.

 

5. වැදි සහෝදරයන්ගේ මව 

මේ කුරුල්ලාගේ අමුතු සද්දෙත් එක්ක මේ සතාව එක අද්භූත සතෙක් විදියට තමයි අපේ ගම්බද මිනිස්සු දකින්නේ. ඒ හින්දා ජනප්‍රවාද දෙකක් හැදිලා තියෙනවා මේ යක් කුරුල්ලගේ කටහඬේ කතාව ගැන. ඉන් එක කතාවක විදියට වැදි සහෝදරයෝ දෙන්නෙක් තම මවත් එක්ක ගල් ලෙනක ජීවත් වෙලා තියනවා. දවසක් එක සහෝදරයෙක් අනිත් සහෝදරයාගේ රූමත් බිරිඳ ලබාගැනීමේ අදහසින් තම සොයුරාව මරාදමනවා. ඉන්පසුව මරාදැමූ සොයුරාගේ සුලැඟිල්ල කපාගෙන බුලත් මඩිස්සලේ දමාගෙන ඔහු පෙරලා තනිවම නිවසට යනවා. නමුත් ඔහුගේ මවට තමන්ගේ මිය ගිය පුතාගේ සුලැඟිල්ල පසුව හම්බ වෙනවා. ඊට පස්සේ මේ අම්මා මහත් වූ ශෝකයෙන් කෑගහගෙන කැලේට ගිහින් මිය ගිහින් තියෙනවා. ඊට පස්සේ මේ අම්මා උලලේනෙක් විදියට ඉපදිලා මේ විදියට තමන්ගේ දරුවව ඉල්ලනවා කියලයි මේ කතාවෙන් කියන්නේ.

 

6. ආදරණීය මවගේ ශෝකී ස්වරය 

මේ තමයි දෙවැනි කතාව. මේකත් අර වගේම සංවේදී කතාවක්. එක දවසක් එක ස්වාමි පුරුෂයෙක් මස් එකක් අරන් ඇවිත් කටගැස්මකට හදන්න කියලා තමන්ගේ බිරිඳට දී තිබෙනවා. ඔය අතරේ ඔය මස් එක නරියෙක් ඇවිත් අවුස්සනවා. ඊට පස්සේ බිරිඳ බයෙන් මේක සැමියට කිව්වට පස්සේ සැමියා ගාණක් නොගෙන තව මස් එකක් ගෙනැවිත් තියනවා. ඒ මස් එක දැක්ක බිරිඳට ඇස් දෙක අදහගන්න බැරිව යනවා. මොකද ඒ මස් එකෙන් තමන්ගේ දරුවගේ සුලැඟිල්ල ඇයට හම්බ වෙනවා. ඉන් පස්සේ මේ දුකට ඇය කැළයට ගිහින් මියගිහින් තියනවා. ඉතින් උලමාගේ සද්දේ තියෙන්නේ මේ අම්මගේ ලතෝනිය කියලත් සමහරු විශ්වාස කරනවා.

 

7. තවත් විස්තර

උලමා භයානක සතෙක් වුණාට උගෙන් මිනිස්සුන්ට නම් කිසිම හානියක් නැහැ. මීයන්, කුඩා කුරුල්ලන් සහ කෘමීන් වගේ සතුන් ආහාරයට ගනිමින් ජීවත් වන මේ සතාට ඉන්දියාවේ දී නම් මිනිසුන්ගෙන් හිරිහැර සිද්ධ වෙන බවයි වාර්තා වෙන්නේ. මොකද නොයෙකුත් ගුප්ත විද්‍යා මන්ත්‍ර වැඩවලට මේ සතාව දඩයම්කරුවන් විසින් අල්ලා ගනු ලබනවලු. 

 

ඉතින් මේ සත්වයා ගැන වැඩිපුර තොරතුරු දැනගන්න නම් හොඳම තැනක් තමයි දෙහිවල සත්තු වත්ත. ඔයාට මීට වඩා ඒ සත්වයා ගැන දැනගන්න ඕනනම් සහ ආසනම් දෙහිවල ගියොත් අනිවාර්‍යෙන්ම මේ කුරුල්ලාවත් බලන්ම එන්න පුළුවන්. ඒ වගේම මේ තොරතුරු යාළුවොත් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.

 

ශශින් ප්‍රබෝද්

 





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here