මනසේ ක්‍රියාකාරීත්වයට දහම් මග අවැසියි – Sri News

0
18


මනස, චිත්ත, විඤ්ඤාණය සිත ආදී ලෙස සමාජීය විවරණයක් සහිත “මනස” අතීතයේ සිට වර්තමානය දක්වාම සාකච්ඡාවට භාජනය වන එහෙත් තවමත් නිශ්චිත නිගමනයක් රහිත මිනිස් ඉන්ද්‍රියකි.

මෙය ඉංග්‍රිසි භාෂාවෙන් Mind යනුවෙන් හඳුන්වන අතර එය හැදෑරීම මනෝවිද්‍යාව මඟින් සිදු කරනු ලැබේ.

මෙම පර්යේෂණයේ මුඛ්‍ය අරමුණ වන්නේ මනසේ ක්‍රියාකාරීත්වය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් විමර්ශණය කිරීමයි.

බුදු දහම මනස පිළිබඳ පරිපූර්ණ ඉගැන්වීමක් සහිත දර්ශනයකි. එය සියල්ල සඳහා මනස ප්‍රමුඛ වේ යන මූලික ඉගැන්වීම් පදනම් කරගත්තකි. පාලි සූත්‍රවල මනසේ ක්‍රියාකාරීත්වය විවරණය කිරීමට චිත්ත, මනෝ විඤ්ඤාණ යන පද බහුලව යෙදී ඇත. එම පදත්‍රයෙන්ම ගම්‍ය වන්නේ එකම මානසික ප්‍රවාහයක් බව සංයුක්ත නිකායේ අස්සුතවන්තු සු‍ත්‍රයේ එයි. චිත්ත, මනෝ යන වචනවලට අනුව එමඟින් විවිධ මානසික ධර්ම එක් රැස් කෙරේ. එහි ස්වභාවය වන්නේ දුර ගමන්යෑම, තනිව හැසිරීම, ස්වරූපයක් නොමැතිබව, ශරීරය තුළ වෙසෙන සෙලවෙන අස්ථාවර, රැකීමට අපහසු, අරමුණු ගැනීම වැළක්විය නොහැකි, අවබෝධයට අපහසුව ආදියයි. නමුත් ධ්‍යාන, සමාපත්ති ආදියෙන් පාලනය කළ හැකි වස්තුවක් ලෙස විවරණය වෙයි. ඛුද්දක නිකායේ ධම්මපදයේ චිත්ත වග්ගයට අනුව සිත සෘජු කිරීම, දමනය කිරීම, ආරක්ෂා කරගැනීම, මනාව යෙදවීම ආදී ලෙස ද ක්‍රියාකාරීත්වයට පත් කළ හැකිය. මජ්ඣිම නිකායේ මහාතණ්හාසංඛය සු‍ත්‍රයේ සඳහන් පරිදි සිත විවිධ අරමුණු ගනී. සිත පිරිසිදු කිරීම භාවනාව මඟින් සිදු කළ යුතුය. ඒ නිසා චිත්ත යනු පිරිසිදු කළ හැකි ඉන්ද්‍රියකි. සිත දියුණු කිරීමෙන් විවිධ විශ්ම ජනක දේ ද සිදු කළ හැකිය. ධම්මසංගනිය ප්‍රකරණයේදී මනස ඉන්ද්‍රියක් ලෙස බුදු සමය අවධාරණය කරයි.

එසේ නම් අන් සියලු ඉන්ද්‍රියන්ට සේම මනේන්ද්‍රියට ද විවිධ ක්‍රියාකාරීත්වයන් සිදු කළ හැකි බව පැහැදිළි වේ. ඇතැම් අවස්ථාවලදී ඉන්ද්‍රියන් මඟින් ලැබෙන අරමුණු හා අභ්‍යන්තරය අතර සම්බන්ධීකාරකයා වශයෙන් ද මනස ක්‍රියාත්මක වෙයි. විඤ්ඤාණය යනු දැනීමයි. මහා තන්හාසංඛය සු‍ත්‍රයට අනුව විඤ්ඤාණය තරම් වෙනස් වන යමක් නොමැත. ඉන්ද්‍රිය හා අරමුණු ගැටීමෙන් විඤ්ඤාණය ප්‍රභවය වෙයි. විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය වන්නේ අරමුණු ග්‍රහණය කිරීමයි. ඒ අනුව බෞද්ධ ඉගැන්වීම්වල එන සිත හෙවත් මනසේ ක්‍රියාකාරීත්වය ඉතා සියුම්ව සාකච්ඡා කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ.

පිරිසුදු මනසකට හොඳම විසඳුම අත්හැරීමයි.
ජීවිතයේ ආරම්භ වුණ දවසේ ඉදලා මැරෙනකන්ම අපි සිද්ධ කරන්නේ විවිධ ප්‍රශ්නවලට පිළිතුරු සොයන එක. ප්‍රශ්නවලින් අපට පැනලා යන්න බෑ. ඒ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු හොයා ගෙන ඒවා විසඳ ගන්න එක තමන්ටම අයිති කාරණාවක්. මොකද බොහෝ ප්‍රශ්නවල නිර්මාණකරුවා වන්නේ තමන්මයි.

මිනිසුන් විසින් කරනු ලබන හොඳ නරක ක්‍රියාවලට පුද්ගල මනස මූලික වේ. ඒ හේතුවෙන් පිරිසුදු මනසක් පවත්වා ගෙන යෑම වඩාත් අත්‍යවශ්‍ය කාරණාවකි. උපන් දා සිට මිය යන තෙක් අපේ මනස නිරවුල්ව තබා ගන්නේ නම් අපගේ මෙලොව පරලොව දෙකම සුගතිගාමී කර ගැනීමට පුළුවන. ජීවිතයට කොතරම් දුක් කම්කටොලු පැමිණිය ද, ඉන් සිත දුකට පත් කර නොගෙන, ජීවිතයට දැඩි පන්නරයක් ගැනීම වඩාත් වැදගත් වේ. එසේ නොමැතිව ජීවිතය නිකරුණේ විනාශ කර ගැනීම අනුවණ ක්‍රියාවකි. සිතට දැනෙන, දුකත් සතුටත් මධ්‍යස්ථව විඳ දරා ගැනීමට ද පුද්ගලයකු සතුව දැඩි ආත්ම විශ්වාසයක් තිබිය යුතුය. ඒ සඳහා ද පුද්ගල මනසෙහි පිරිසුදුභාවය වඩාත් යෝග්‍ය වේ.

බුදුදහමට අනුව පිරිසුදු මනසක් කියන්නේ කුමක් ද?

කෙටියෙන්ම කියනවා නම් පිරිසුදු මනසක් කියලා කියන්නේ ක්ලේෂයන් රහිත වූ මනසකට. බුදුදහමට අනුව විවිධ සූත්‍රවල කෙලෙස් ගැන විවිධ විදියට දක්වලා තියෙනවා. මේ කෙලෙස් නැත්නම් සිත අපිරිසුදු කරන ධර්මයන් ප්‍රධාන වශයෙන් කොටස් තුනයි. ඒ අපි හැමෝම දන්නා ලෝභ, දෝස සහ මෝහ කියන අකුසල මූලධර්මයන්. යමකුට පුඵවන් නම් මේ අකුසල මුල් උපුටලා දාන්න, ඒ තුළින් ඒ පුද්ගලයාගේ මනස පිරිසුදු වෙනවා. රහතුන් වහන්සේලා කියලා කියන්නේ අකුසල මුල් සහමුලින්ම නැති කරපු උත්තමයන්ට. අපි කායික වාචසික හෝ මානසික යම් ක්‍රියාවක් කරන විට අලෝභ, අදෝස සහ අමෝහ කියන කුසල මූලයන් පෙරදැරිව එම ක්‍රියාව කරනවා නම් ඒ ක්‍රියාව අපි සිද්ධ කරන්නේ පිරිසුදු මනසින්. හැබැයි අර මුලින් කිව්ව අකුසල මූලයන් පෙරදැරිව මොනවා හරි ක්‍රියාවක් කරනවා නම් ඒ කරන්නේ අපිරිසුදු මනසින්. මේ අකුසල මූලයන් පෘථග්ජන වෙච්ච අපිට රහතුන් වහන්සේලා වගේ සහමුලින්ම නැති කරන්න බෑ. ඒත් අපිට පුළුවන් නම් ලෝභය, අභිජ්ඣා විසම ලෝභය, ඒ කියන්නේ අදින්න පුබ්බක සිටුවරයාගේ ලෝභය වගේ වර්ධනය නොකරගෙන ඉන්න, ඒ වගේම දෝස නැතිනම් ද්වේෂය, ව්‍යාපාදය නැත්නම් තව පුද්ගලයෙක් නසන තත්ත්වයට පත් නොකරගෙන ඉන්න, ඒ වගේම මෝහය මිත්‍යාදෘෂ්ටික තත්ත්වයට පත් නොකරගෙන ඉන්න. ඒ තුළින් අපට එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු කරගෙන යන්න, ප්‍රශ්නවලින් තොර සාමකාමී ජීවිතයක් ගතකරන්න පිරිසිදු මනසක් ඇති කරගන්න පුළුවන්.

බුදුරජාණන් වහන්සේ පිරිසුදු මනස පිළිබඳ ප්‍රායෝගිකව කියා දුන්නේ කෙසේ ද?

චුල්ලපන්ථක හාමුදුරුවන්ගේ කථාවේ දී මනස කිලිටි වෙන ආකාරය ගැන බුදුහාමුදුරුවෝ උදාහරණයකින් පෙන්නලා දෙනවා. හිත එකලස් කරගෙන ගාථා පාඨයක්වත් කටපාඩම් කරගන්න බැරුව හිටිය චුල්ලපන්ථක හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ සුදු රෙදි කඩක් දීලා කියනවා “රජෝ හරණං රජෝ හරණං” යන පාඨය කියන ගමන් ඒ සුදු රෙදි කඩ පිරිමදින්න කියලා. ටික වෙලාවක් ඒ රෙදි කඩ පිරිමදින කොට ටිකෙන් ටික ඒ රෙදි කඩ කිලිටි වෙන්න පටන් ගත්තා. බුදුහාමුදුරුවන්ගේ මේ ප්‍රායෝගික ක්‍රියාව නිසා චුල්ලපන්ථක හාමුදුරුවෝ තේරුම් ගන්නවා යම් කිසි හේතුවක් නිසා යම්කිසි දෙයක් හටගන්නවා කියන හේතුඵල දහම. ඒ කියන්නේ පිරිසුදු රෙදි කැබැල්ල අපිරිසිදු වුණේ පිරිමැදීම නිසා. ඒ වගේ ස්වභාවයෙන් පිරිසුදු මනස පිටතින් පැමිණෙන කෙලෙස් නිසා අපිරිසුදු වෙනවා. හරියට පිරිමදින කොට රෙදි කැබැල්ල අපිරිසුදු වෙනවා වගේ.

මේ උදාහරණයට අමතරව පිරිසුදු මනස පිළිබඳ බොහෝ සූත්‍ර දේශනාවල දී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා පිරිසුදු මනසක් ඇති වෙන්න මුලින්ම අපි සීලයෙහි පිහිටිම අවශ්‍යයි කියලා. දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ගය පුරාම දක්වා ඇති ආකාරයට මුලින්ම සීලය වර්ධනය කරගත්තට පස්සේ ඉන්ද්‍රියන්හි සංවරභාවය ඇති කරගන්න පුළුවන්.

යම් පුද්ගලයකුට පිරිසුදු මනසක් තිබීමෙන් සැලසෙන යහපත කුමක් ද?

මෛත්‍රී භාවනාව කරලා සිත පිරිසුදු කර ගැනිමෙන් ඇති කර ගත හැකි ආනිසංස පිළිබඳ මෙත්තානිසංස සූත්‍රයේ දක්වලා තියෙනවා. සුවසේ නින්ද යනවා, සුවසේ පිබිදෙනවා, නපුරු සිහින දකින්නේ නෑ, මනුෂ‍යයන්ට අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා, දෙවියන් විසින් රකිනවා, ගින්නෙන් වස විසෙන් විපත් වෙන්නේ නෑ, මුහුණ පැහැපත් වෙනවා, සිත සමාධිගත වෙනවා, මරණයට මුහුණ දෙන අවස්ථාවේ සිහි මුළා වෙන්නේ නෑ, අවසාන වශයෙන් බ්‍රහ්මලෝක උප්පත්තිය ද ලබාගන්න පුඵවන්. මේ දක්වලා තියෙන්නේ මෛත්‍රී භාවනාව තුළින් සිත පිරිසුදු කර ගැනීමෙන් අපට ලබා ගන්න පුළුවන් යහපත් දේවල්.

මජ්කධිම නිකායේ සබ්බාසව සූත්‍රයේ දී බුදුහාමුදුරුවෝ සියලුම ආශ්‍රවයන් දුරු කරලා සිත පිරිසිදු කර ගන්නා ආකාරය දක්වනවා. මේ සූත්‍රයේ දී බුදුහාමුදුරුවෝ දක්වනවා යෝනිසෝ මනසිකරයෙන් යුක්තව නුවනින් මෙනෙහි කරලා සිත පිරිසිදු කරගත් පුද්ගලයාට කිසිම ආශාවක් උපදින්නේ නෑ කියලා. අපේ සිත කෙලෙස්වලින් තොර වුණාට පස්සේ අසීමිත නිදහසක්, ප්‍රීතියක් ඇති වෙනවා.

කෝසල සංයුක්තයේදී බුදු රජාණන් වහන්සේගෙන් කොසොල් රජතුමා අහනවා කෙතෙක් ධර්මයෝ පුද්ගලයාගේ සන්තානයෙහි අහිත පිණිස, දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදිනවද කියලා. බුදුහාමුදුරුවෝ කොසොල් රජතුමාට දේශනා කරනවා. ලෝභ, දෝස සහ මෝහ කියන අකුසල මූලයන් පුද්ගලයාගේ අහිත පිණිස, දුක් පිණිස, නොපහසු විහරණය පිණිස පවතිනවා කියලා. මේ දේශනාවෙන් පැහැදිලියි සියලුම කෙලෙස්වල මුල් වු මේ අකුසල මූලයන් නිසා පුද්ගලයාට ගැටලුවලට මුහුණ පාන්න සිද්ද වෙනවා කියන එක. ඒ නිසා මේ කෙලෙස් මූලයන් නැති කරලා සිත පිරිසිදු කර ගැනීමෙන් ගැටලු රහිත බවට, ශාන්ත බවට පත් වෙන්න පුළුවන්.

මනස තුළ පවතින ව්‍යාකූලත්වය නිසා අද බොහෝ දෙනකුට විවිධ ප්‍රශ්න ඇති වෙලා තියනවා.

සෑම පුද්ගලයකුටම ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි ලෝකයේ ස්වභාවය. අපි මුහුණ දෙන ප්‍රශ්න, ගැටලු විවිධයි. අටලෝ දහමින් පෙන්වා දෙන්නේ විවිධ අවස්ථාවල අපිට අත් විදින්න සිද්ධ වෙන දේවල්. ජීවිතයේ ආරම්භ වුණ දවසේ ඉදලා මැරෙනකන්ම අපි සිද්ධ කරන්නේ විවිධ ප්‍රශ්නවලට පිළිතුරු සොයන එක. ප්‍රශ්නවලින් අපට පැනලා යන්න බෑ. ඒ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු හොයා ගෙන ඒවා විසඳ ගන්න එක තමන්ටම අයිති කාරණාවක්. මොකද බොහෝ ප්‍රශ්නවල නිර්මාණකරුවා වන්නේ තමන්මයි. සමහරු සිද්ධ කරන්නේ තමන්ගේ ප්‍රශ්න විසඳා ගන්න ඒවායින් පලා යන්න, ඒවා අමතක කරන්න සුරාව, සූදුව, අනියම් ඇසුර, මත්කුඩු වැනි දේවල්වලට ඇබ්බැහි වීම. අවසානයේ ඔවුන් හිතනවා සිය දිවි නසා ගත්තම සියලු ප්‍රශ්න ඉවරයි කියලා. ඒත් මේ ක්‍රමවේද තුළින් මානසික අසහනය වැඩි වීම මිසක් මානසික සහනයක් ගන්න බෑ.

අපේ ප්‍රශ්න විසඳ ගන්න මුලින්ම අපි මානසික ඒකාග්‍රතා ඇති කරගන්න ඕනෑ. තමන්ට හිත එකලස් කර ගන්න බැරි නම් පන්සලේ හාමුදුරුවෝ මුණගැහිලා එහෙම නැත්නම් මනෝ උපදේශකවරයකු හෝ තමන්ගේ කල්‍යාණ මිත්‍රයෙක් හරි මුණ ගැහිලා තමන්ගේ හිතට වද දෙන ප්‍රශ්න ඒ අයට කියන්න. ඒ අයගෙන් උපදෙස් ගන්න. එහෙම කළාම තමන්ටම දැනෙනවා තමන්ගේ හිතට කොච්චර සහනයක් ලැබෙනවද කියලා. ඒ වගේම තමන් ටික ටික කල්පනා කරන්න හැමදේකම තියෙන අනිත්‍යතාව. මේ වෙනස් වෙන ලෝකයේ කිසිම දෙයක් වෙනස් නොවී පවතිනවා කියන ආත්මීය දෘෂ්ටියෙන් තමන් මිදෙන්න උත්සාහ කරන්න. එහෙම කළාම අපිට පුළුවන් අපගේ මනසේ ව්‍යාකූලත්වය මඟහරවා ගෙන පිරිසුදු සිතිවිලිවලින් යුක්තව ජීවත් වෙන්න.

පිරිසිදු මනසක් නිරන්තරයෙන් පවත්වා ගෙන යෑම සඳහා අපහසු දේ කරන්නට නෑ..බුදුදහමට අනුව මේ සිත පිරිසුදුයි. පිරිසුදු සිත අපිරිසුදුභාවයට පත් වෙන්නේ ආගන්තුක වශයෙන් බාහිරව එන ක්ලේෂයන් නිසා. අපේ පංච ඉන්ද්‍රියන්ගෙන් විවිධ බාහිර අරමුණු මනසට ඇතුළත් කර ගන්නවා. ඇසෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාහණය කරනවා, දිවෙන් රස විඳිනවා, ශරීරයෙන් ස්පර්ශය විඳිනවා, බාහිර වශයෙන් මේ ගන්නා විවිධ අරමුණු අල්ලා ගැනීම තුළින් අපේ මනස අපිරිසුදුභාවයට පත් වෙනවා. පංච ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්න එපා කියල බුදුදහමේ කොහෙවත් කියන්නේ නෑ. පංච ඉන්ද්‍රියන් තියෙන්නේ බාහිර ලෝකය පිළිබඳ අපට අවබෝධ කර ගන්න. ඒ අප ගන්නා අරමුණු මම ය මාගේ ය කියලා අල්ලා ගත්තාම තමයි අපිට ගැටලු ඇති වෙන්නේ, අපේ මනස අපිරිසුදු වෙන්නේ. ලස්සන රූපයක් දැක්කම අපිට අයිති කරගන්න අපි උත්සාහ කරනවා. ඒ පිළිබඳ විතර්කයන් සිතේ පහළ කර ගන්නවා. එය අයිති කර ගැනීමට නොයෙක් උත්සාහවල යෙදෙනවා. තමන්ට අයිති වුවොත් සතුටක් දැනෙනවා. අයිති නොවුණොත් දුක් විඳිනවා. මේ දුක හෝ සතුට ඒකාකාරීව පවතින්නේ නෑ, අප අයිති කර ගත්ත රූපය හැමදාම ඒකාකාරීව පවතින්නෙත් නෑ. වෙනස් වෙනවා. වෙනස් වීම තමයි රූපයේ ස්වභාවය. මේ යථාර්ථය තේරුම් ගන්න බැරි කෙනා රූපය මගේ කියලා අල්ලා ගෙන සංසාරෙ පුරාවට දුක් විඳිනවා. ඒනිසා පිරිසුදු මනසක් නිරන්තරයෙන් පවත්වා ගෙන යෑම සඳහා තියෙන හොඳම විසඳුම තමයි අතහැරීම. පිරිසුදු මනසක් පවත්වා ගැනීම සඳහා මේ ආර්ය මාර්ගයන් අනුගමනය කරන්න.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here