මඟුල් ගෙදර DJ එක මාරයි එත් බොදු බැති ගී ඇහුනෙ නෑනේ

0
6


මනෝඋපදේශිකාවක් විදියට මම ලංකාවේ විවිධ ආයතනවල අභිප්‍රේරණ දේශනවලට සහභාගි වෙනවා. දේශන අවසානයේදි නැගෙන ප්‍රශ්න පුංචි තුණ්ඩු කෑල්ලක ලියලා මට එවන්න කියලා සභාවේ ඉන්න අයට කියන එක මගේ පුරුද්දක්. ඒ වගේ අවස්ථාවක මට ලැබුණු කොළ කෑල්ලක ‘මම ජීවිතේ නැති කරගන්න හිටපු කෙනෙක්. හැබැයි මිස්ගේ කතාව ඇහුවට පස්සේ මම ඒ තීරණේ වෙනස් කළා’ කියලා ලියලා තිබුණා.

මේ තුණ්ඩු කෑල්ල මට එවූ කෙනා එක්ක පෞද්ගලිකව කතා කරන එක හොඳයි කියලා හිතුණු නිසා කොළ කෑල්ලේ තිබුණු දේ කියවලා මේක එව්ව කෙනා මට දුරකතන ඇමතුමක් දෙන්න කියලා මම මගේ දුරකතන අංකය සභාවට කිව්වා. ඔන්න ඉතින් දවස් දෙකකට පස්සේ ඒ තුණ්ඩුව එවලා තිබුණු කෙනා මට කතා කළා. ඇය අවිවාහක යුවතියක්. මම ඇයව සඳුනි කියලා හඳුන්වන්නම්.
ජීවිතේ නැති කරගන්න තරමට ඇයට තියෙන ප්‍රශ්නය මොකද්ද කියලා මම ඇගෙන් ඇහුවා.

“මම බොහොම දුප්පත් පවුලක කෙනෙක්. අවුරුදු දෙකක වගේ ඉඳලා තමයි ජොබ් එකක් කරන්නෙත්. ඒ හම්බෙන සල්ලිවලින් ගෙදර වියදමුත් බලනවා. මම මේ අවුරුද්දේ අන්තිමට කසාද බඳින්න ඉන්නේ. මම කසාද බඳින්න ඉන්න කෙනාටත් එහෙමට සල්ලි නැහැ. හැබැයි එයාලගේ අම්මලාට ලොකුවට වෙඩින් එකක් ගන්න ඕනෙලු. එයාලා ණයවෙලා ලොකුවට හෝම්කමින් එක ගන්නවලු. අපිටත් ලොකුවට වෙඩින් එක කරන්න කියනවා. මම එකතු කරපු පොඩි ගාණක් තියෙනවා. ඒකෙන් මහලොකු මඟුලක් ගන්න බැහැ. අනික මට ලෝන් එකක් ගන්න තරම් පඩියකුත් නෑ මිස්. මේ ප්‍රශ්නෙට මොනවා කරන්නද කියලා මට හිතාගන්න බැහැ.”

සඳුනි කාරණාව ගැන විස්තර කළේ බොහොම පීඩාවෙන්. උපදේශනයට එන බහුතරයකගේ ගැටලු එක්ක බැලුවම සඳුනිට තිබුණේ ජීවිතේ නැති කරගන්න තරම් ගැටලුවක් නොවන බව මුලින්ම මම ඇයට තේරුම් කළා. මේක පහසුවෙන්ම විසඳන්න පුළුවන් ගැටලුවක් නිසා ඇය විවාහ වෙන්න ඉන්න කෙනාවයි ඔහුගේ පවුලේ උදවියයි එක්ක මාව මුණගැහෙන්න මම ඇයට යෝජනා කළා.

අද අපිට තියෙන අවශ්‍යතා බහුතරයක් වාණිජ අරමුණු වෙනුවෙන් වෙනත් අය අපේ කරපිට පැටවූ ඒවා. ඔය වෙඩින් ගැනිල්ලත් අන්න එහෙම එකක්. ඉස්සර නම් කළේ මනමාලිගේ ගෙදර ලස්සනට සරසලා නෑයන්ට කන්න බොන්න ටිකක් දීලා සිංදුවක් කියලා දෙන්නගේ එකතුවීමේ සතුට සමරන එකනේ. හැබැයි දැන් මඟුලක් කනවා කියන එක ඊට වඩා ගොඩක් සංකීර්ණයි.

වෙඩින් ගැනිල්ල සම්බන්ධ ප්‍රශ්නයකින් මට මුණගැහුණු එකම කෙනා සඳුනි නෙමෙයි. මේක විවාහ වෙන්න ඉන්න තරුණ දරුවන් බහුතරයකගේ හිත්වලට පීඩාවක් ගේන ප්‍රශ්නයක්. මොකද කසාද බඳිනවා කියන්නෙම ලොකුවට වෙඩින් එකක් ගන්න එකටය කියලා හිතන අයත් ඉන්නවා. මොකද අද දෙන්නෙක් ප්‍රේම සම්බන්ධයක් පටන්ගත්තු දා ඉඳලා ප්ලෑන් කරන්නේ වෙඩින් එක ගන්න හැටි. හැබැයි බැඳලා සතුටින් ඉන්න හැටි සැලසුම් කරන්නේ කීයෙන් කී දෙනාද?

වෙඩින් එකක් ගන්න මුදල් නැති නිසා ගොඩක් අය විවාහය ප්‍රමාද කරනවා. ඊටපස්සේ කාලේ ගියාම කලබලේ කසාද බැඳලා ළමයි හදනවා. එතකොට කෝ දෙන්නට ආදරෙන්, සතුටෙන් ඉන්න කාලයක්?
ඊළඟ දේ තමයි ලොකුවට වෙඩින් ගන්න ණයවෙන එක. එකතු කරගත්තු මුදලක් හරි පවුලේ සල්ලියක් හරි නැත්තම් මඟුලක් කන්න ණයක් ගන්නම වෙනවානේ. ගොඩක් අය මඟුල් කන්නේ එහෙම. පස්සේ අවුරුදු ගාණක් දෙන්නා එක්ක එකතුවෙලා ණය ගෙවන්න කඹුරනවා. ඉතින් ට්‍රිප් එකක් යන්න, කැමති දෙයක් කාලා බීලා ඉන්න දෙන්නට සල්ලි නැහැ. එක දවසකට රටේ ඉන්න අයට පේන්න එයාලව සතුටු කරන්න ණයවෙලා හිතේ සතුට නැති කරගන්න එක නුවණක්කාර වැඩක් නම් නෙමෙයි.

තව අය ඉන්නවා රස්සාවට ගිය දවසේ ඉඳලා එකතු කරගත්තු සල්ලි එක දවසින් වෙඩින් එකට යට කරනවා. දුවට ඉගෙනගන්න සල්ලි ඉතුරු නොකළත් වෙඩින් ගන්න සල්ලි එකතු කරන දෙමව්පියෝ ඉන්නවා. අනික වෙඩින් එකක් ගන්න ගියාම ලෝකෙට පේන්න ලොකු දේවල් කරන්නත් අපේ අය දක්ෂයි. ප්‍රී ෂූට්, බ්‍රයිඩ්ල් ෂවර් තව එකී නොකී කොච්චර නම් දේවල්ද. “මගේ සාරිය ලක්ෂ 10යි” ඔන්න ඔහොම කියලා අමුතු සතුටක් ලබාගන්න කැමති අයත් ඉන්නවා. වෙඩින් එක දවසට අඳින සාරිය ආයෙත් අඳින්නත් බැහැ. ඉතින් ඒකට ලකෂ ගාණක් යට කරන එක කොච්චර ප්‍රායෝගිකද කියන එක ගැන ටිකක් හිතන්න. ඔය වගේ දේට යට කරන සල්ලිවලින් ඉඩමක් ගන්න නැත්තම් ආයෝජනකට යොදවන්න පුළුවන් නම් අනාගතේට කොච්චර වටිනවද?

මම මේ කියන්නේ වෙඩින් ගන්න එපා කියලා එහෙම නෙමේ. කිසිම ගැටලුවක් නැතිව ඒවට වියදම් කරන්න මුදල් තියෙනවා නම් කැමති විදිහට වෙඩින් එකක් ගන්න ඕන කෙනෙක්ට පුළුවන්. හැබැයි වෙඩින් එකක් ගන්න එකට වඩා විවාහ ජීවිතේ සාර්ථකත්වය ගැන හිතන එකයි වැදගත්.

ලංකාවේ දවසට දික්කසාද 400ක් සිද්ධවෙනවනේ. හැබැයි ඔතැනින් බහුතරය ජයට මඟුල් ගත්තු අය. මඟුල දවසේ ඇතා පිටින් ඇවිල්ලා බැහැලා මාස තුන හතරෙන් දික්කසාද වුණු උදවිය මම දැකලා තියෙනවා. මේ ගොඩක් අය වෙඩින් එක ගැන මහා පරිමාණෙන් හිතුවත් විවාහ ජීවිතේ සතුට ගැන කසාදෙට කලින් හිතලා නැහැ. මනමාලයගෙයි මනමාලිගෙයි ඇඳුම්වල පාට කැපෙනවද කියලා හිතුවට මේ යුවළගේ අදහස්, සිතුම් පැතුම්, ආශාවන් ගැලපෙනවද බලලා නැහැ. ඒ නිසා ඒ ගැනත් හිතන්න.

දැන් අපි ඉන්නේ ආර්ථික අර්බුදයක. ඉතින් දැන් කොහොමටත් වෙඩින් එකක් ගන්න එක ලේසි නැහැ. ඒ නිසා මේ උපදෙස් ටිකත් තරුණ දරුවන්ට වැදගත් වෙයි කියලා මම හිතුවා.

විවාහ වෙන්න ඉන්න දෙන්නා එකතුවෙලා තමන්ට පහසු විදිහට වෙඩින් එකක් ගන්න විදිහ සැලසුම් කරන්න. ඒක ඒ යුවළගේ තීරණයක් මිස පවුලේ අයගේ තීරණයක් නෙමෙයි. මොකද ණය වුණාම ගෙවන්නේ ඔය ලොකුවට වෙඩින් ගන්න කියන උදවිය නෙමේනේ. ඒ වගේම දෙන්නට එකතු වෙලා එක උත්සවයක් ගන්න පුළුවන්. ඒක දැන් ගොඩක් තැන්වල වෙන දෙයක්.

අඩු මුදලට මංගල ඇඳුම් කුලියට දෙන තැන් ඕනතරම් තියෙනවා. එහෙම තැනකින් ඇඳුම් ගන්න පුළුවන්. සමහරුන්ට මනමාලිව හැඩගන්වන කෙනා ප්‍රසිද්ධ වෙන්න ඕනේ, ෆොටෝ ගහන කෙනා නම ගිය කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේ පුහු මානසික සිතුවිලිවලින් මිදිලා ටිකක් හොයලා බැලුවොත් වැඩි ගාණක් නැතත් ලස්සනට වැඩේ කරන රූපලාවණ්‍ය ශිල්පීන්, ඡායාරූප ශිල්පීන් හොයාගන්න අමාරු නෑ.

ඊළඟ වැදගත්ම දේ වචනයක් දෙකක් කතා කළ පලියට කෙනෙක්ට මඟුල් කියන්න යන්න එපා. ගොඩක් උදවිය කරන්නේ වෙඩින් එකකට ගිහින් කපල් එකේ ඇදයි, කෑමවල වැරදියි හොයන එක. කියන්න දෙයක් දෙයක් ඇත්තෙම නැත්තම් වෙඩින් එකේ බොදු බැති ගීයක් දාලා තිබුණෙ නෑ කියලා හරි කියයි. ඒ නිසා තමන්ගේ ජීවිතේට කිට්ටු, ළඟම අයට විතරක් මඟුල් කියන්න. ඒකෙන් මුදලුත් ඉතිරි වෙනවා.

විවාහයක් කියන්නේ දෙන්නෙක් තේරුම් අරන් දුර ගමනක් යන එකට. ණයවෙලා රැල්ලට වෙඩින් ගන්න ගිහින් විවාහයෙන් පස්සේ මානසික සතුට, ආර්ථික ශක්තිය නැති කරගන්න එපා කියන එකයි මට කියන්න ඕනේ. මේ කිව් කාරණා මම සඳුනිගේ පෙම්වතාට සහ ඔහුගේ පවුලේ උදවියටත් පැහැදිලි කළා. ඊට අවුරුද්දකට පස්සේ ඒ දෙපළ එකතු වෙලා පොඩියට ලස්සන උත්සවයක් අරන් විවාහ වුණු බවත් සඳුනි මට කතා කරලා කිව්වා.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

සෙව්වන්දි හෙට්ටිආරච්චි



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here