මගින් බැහැලා ගියපු අය තමයි හොඳටම කළේ

0
6


අපි අද කතාව පටන්ගන්නේ බස් එකකින්. ඒ ඇයි දන්නවද? මං මේ කියන්න යන කාරණාව සරලව සහ හිතට දැනෙන විදිහට කියන්නේ කොහොමදකියලා කල්පනා කරද්දි මගෙ ඔලුවට ආපු හොඳම උදාහරණය තමයි බස් එක. හරි දැන් කතාව පටන්ගමු. ටිකක් නැවතිලා හිතලා බැලුවොත් අපේ ජීවිතේට එන සමහර මානව සම්බන්ධතා බස් එකකට ගළපගන්න පුළුවන්. ඒ මෙහෙමයි.

ජීවිතය කියන්නෙ එක තැනකින් ගමන ආරම්භ වෙලා අලුත් ගමනාන්තයකට යන බස් එකක් වගේ. මේ බස් චාරිකාවෙදි අපිට හරි අපූරු මනුස්ස කාණ්ඩ තුනක් මුණගැහෙනවා. පළවැනි කණ්ඩායම තමයි, ගමන ආරම්භයේදිම අපිත් එක්ක ගමන පටන්ගන්න කණ්ඩායම. අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ ආදී පිරිස. අපි කැමති වුණත් නැතත් මේගොල්ලො එක්ක තමයි අපේ ගමන ආරම්භ වෙන්නෙ. ගමනෙ මුල්කාලෙ අපි ටිකක් ගමනට හුරුවෙනකල් අපිට ඉන්ධන සපයන්නෙ මේ කණ්ඩායම. ඒ කියන්නෙ අපේ ජීවිතයේ මුල්ම අත්වැල වෙන්නෙ මේ අය. ගමනේ සැලකිය යුතු දුරක් ගියාට පස්සෙ ඒ එකිනෙකා අපේ ගමනෙන් අයින්වෙනවා.

ඊටපස්සෙ නොනවත්වා අපිත් එක්ක ගමන යනවා කියලා මගදි බස් එකට ගොඩවෙන පිරිස තමයි දෙවැනි කණ්ඩායම. අපේ යාළුවෝ, ගුරුවරු, අපි ආදරය කරන අය, අපිට ආදරය කරන අයවගේ බොහෝ පිරිසක් මගදි එකතු වෙනවා. කණ්ඩායම් තුනෙන් වැඩිම පිරිස ගමනට එකතු වෙන්නෙ මේ දෙවැනි කණ්ඩායම විදියට. භයානක කණ්ඩායමත් මේගොල්ලොම තමයි. මොකද ඒ අය ආවෙ මොනවිදියේ අරමුණකින්ද කියල තේරුම්ගන්න අපිට කාලයක් යනවා. සමහරවිට අපේ ගමන වෙනස් කරන්නත් මේ අයට පුළුවන්. අපේ ගමනෙ පාලනය ඒ අයගෙ අතට ගන්න අවස්ථාත් තියෙනවා. ගමන ඉවර වෙන්නත් කලින් සමහර වෙලාවට මේ අය තැන් තැන්වලින් බැහැල යනවා. සමහරවිට ඒ අය අපේ ජීවිතවලින් නික්මෙන්නෙ මතක හිටින කැළැල් ඉතුරු කරලා වෙන්නත් පුළුවන්. මේ අය නිසා අපිව බිඳෙනවා. අපි නැගිටින්න උත්සාහ කරනවා. ගමන අතාරින්න හදනවා. ඒ හින්දා බොහොම කල්පනාවෙන් අපි අපේ හිත පරිස්සම් කරගන්න ඕනෙ මෙන්න මේ දෙවැනි කණ්ඩායමෙන්. ඒ වගේම මේ අය නිසා වෙන හොඳම දේ තමයි, අපි තවත් ශක්තිමත් වෙලා ගමන යන්න පටන්ගන්න එක. මේ අය නිසා අපේ ගමනේ දිශාව වුණත් වෙනස් වෙන්න පුළුවන්.

ඊළඟ කණ්ඩායම තමයි අපේ ගමනට මගින් එකතු වෙලා ගමනාන්තය දක්වා ඉතුරු වෙන අතලොස්ස. සැමියා, බිරිඳ, දරුවෝ, සහෝදරයෝ, ඇතැම් මිතුරන් වගේ අය මේ කණ්ඩායමේ ඉන්නවා. මේගොල්ලො බහුතරය අපේ ගමනට අත්වැලක් වෙනවා. ගමන යන්න ඉන්ධන සපයනවා. හරියට පළවැනි කණ්ඩායම වගේ. ඒගොල්ලොත් එක්ක අපිට තියෙන ගනුදෙනුව ඉවර කරන්නේ චාරිකාව අවසානයේදි. ඒ කියන්නෙ මරණයෙදි. මේ තමයි අපේ සැබෑ පොහොසත්කම.

තුන්වන කණ්ඩායම කියන්නෙ අපේ තෝරාගැනීමක්. පළවැනි කණ්ඩායම අපිට ස්වභාවධර්මය විසින් ලබාදීපු දෙයක්. අතරමැද කණ්ඩායම තමයි අපිට ජීවිතේ හොඳම පාඩම් ටික කියලා දීලා යන අය. ඒ කියන්නෙ මගින් ගොඩවෙලා ගමන ඉවර කරන්නෙ නැතුව බැහැලා යන අය. ඉතින් ජීවන චාරිකාවකට මේ කණ්ඩායම් තුනම අපිට අවශ්‍යයි.

හැබැයි අපේ තෝරාගැනීම් නිවැරදි නොවුණහම අපි තනිවෙනවා. ඒ වැරදි තෝරාගැනීම් හින්දම අපිට ගමනාන්තයට යන්න වෙන්නෙ තනිවම දුක්ඛිත ගමනක් වෙන්නත් පුළුවන්. ඒ හින්දා තෝරාගැනීම්වලදී අපි හරියට පරිස්සම් වෙන්න ඕනෙ.

අපි කවුරුත් කැමති නෑ තනිවෙන්න, දුකින් ඉන්න. අපේ හිත් හොයන්නෙම සතුට පිරි සමාගම. එහෙනම් අපේ චාරිකාවට එකතු වෙන අය අපිට අවංකව ලැදි අය වෙන්න ඕනේ.  අපිත් ඒ අයට අවංකව ලැදි වෙන්න ඕනේ. අපිව පාවිච්චි කරලා තමන්ගෙ කාරිය අහවර වුණහම පැනලා යන උදවියගෙන් අපි පරිස්සම් කරගන්න ඕනෙ අපේ හිත. නිතරම නිවැරදි තීරණ ගන්න උත්සාහ කරන්න ඕනෙ. තෝරාගැනීම් වරදින්න පුළුවන්. ඒක ලෝක සොබාවය. හැබැයි අපිට ඒවා නැවත නිවැරදි කරගන්නත් මොනයම් හෝ ක්‍රමයක් තියෙනවා කියන එකත් හිතේ තියාගන්න ඕනේ.

අවසානයේ මෙහෙම කියන්නම්, අපේ ජීවිතවලට එන වැරදියි කියන මිනිස්සු තමයි හොඳම පාඩම් කියල දීලා නික්ම යන්නෙ. ඒ අය ඇවිල්ලා ඉවර වෙන්නෙත් නැහැ. කාලෙන් කාලෙට අලුත් රූපවලින් අපිත් එක්ක ගමනට එකතු වෙනවා.

මේ ලෝකෙ සියල්ල ඇතිවෙනවා, පවතිනවා, නැතිවෙලා යනවා. ඒ ලෝක ධර්මයට පටහැනි කිසිම දෙයක් මේ විශ්වයේ නැහැ. ඉතින්මානව සබඳතා කියන්නෙ ඒ විදියට ඇතිවෙලා, පැවතිලා, නැතිවෙලා යන සුලබ දෙයක්. නැති වෙන දේවල් නිසා දුක් වෙන්න එපා. හැමවෙලේම නිවැරදිව චාරිකාව යන්න හිතාගන්න. එතකොට දුක තුනී වෙනවා.

 

අංජලී බුදවත්ත ජයවර්ධන

මනෝ උපදේශිකා

මාධ්‍යවේදිනී



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here