භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා සිටිමු

0
3


අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක

කුම්මෝපම සුත්තං
ඉදිබුවා උපමා කොට වදාළ දෙසුම

භූතපුබ්බං භික්ඛවේ, කුම්මෝ කච්ඡපෝ සායන්හසමයං අනුනදීතීරේ ගෝචරපසුතෝ අහෝසි. සිගාලෝපි ඛෝ භික්ඛවේ, සායන්හසමයං අනුනදීතීරේ ගෝචරපසුතෝ අහෝසි. අද්දසා ඛෝ භික්ඛවේ, කුම්මෝ කච්ඡපෝ සිගාලං දූරතෝව ගෝචරපසුතං. දිස්වාන සොණ්ඩිපඤ්චමානි අංගානි සකේ කපාලේ සමෝදහිත්වා අප්පොස්සුක්කෝ තුණ්හීභූතෝ සංකසායති. සිගාලොපි ඛෝ භික්ඛවේ, අද්දස කුම්මං කච්ඡපං දූරතෝව. දිස්වාන යේන කුම්මෝ කච්ඡපෝ තේනුපසංකමි. උපසංකමිත්වා කුම්මං කච්ඡපං පච්චුපට්ඨිතෝ අහෝසි. යදායං කුම්මෝ කච්ඡපෝ සොණ්ඩිපඤ්චමානං අංගානං අඤ්ඤතරං වා අඤ්ඤතරං වා අංගං අභිනින්නාමෙස්සති, තත්ථේව නං ගහෙත්වා උද්දාලිත්වා ඛාදිස්සාමීති. යදා ඛෝ භික්ඛවේ, කුම්මෝ කච්ඡපෝ සොණ්ඩිපඤ්චමානං අංගානං අඤ්ඤතරං වා අඤ්ඤතරං වා අංගං න අභිනින්නාමේසි. අථ සිගාලෝ කුම්මම්හා නිබ්බිජ්ජ පක්කමි, ඕතාරං අලභමානෝ.

පින්වත් මහණෙනි, මෙය ඉස්සර සිදු වූ දෙයකි. ඉදිබුවෙක් සවස් කාලයේ ගොදුරු සොයමින් ගං ඉවුරක අසබඩ සිටියා. පින්වත් මහණෙනි, එතකොට සිවලෙකුත් සවස් වේලෙහි ගොදුරු සොයමින් ඒ ගං ඉවුරු අසබඩ ඇවිද්දා. පින්වත් මහණෙනි, ඉදිබුවා ගොදුරු සොයාගෙන ඇවිදින සිවලාව දුර තියාම දැක්කා. දැකලා හිස පස්වෙනි කොට තිබෙන තමන්ගේ අවයවයන් ඉබි කටුව තුළට හකුළුවාගෙන උත්සාහ රහිත වෙලා, නිශ්ශබ්දව වගක් නැතුව හිටියා. පින්වත් මහණෙනි, සිවලාත් දුර තියාම ඉදිබුවා දැකලා, ඉදිබුවා සිටි තැනට පැමිණුනා. පැමිණිලා ‘මේ ඉදිබුවා යම් වෙලාවක හිස පස්වෙනි කොට ඇති අවයවයන්ගෙන් කොයි යම් ම අවයවයක් එළියට දාපුදෙන්කෝ, ඒ වෙලාවේ ම ඒක ඩැහැගෙන කඩාගෙන කන්නම්’ කියලා ඉදිබුවාට ළං වෙලා හිටියා. පින්වත් මහණෙනි, යම් කාලයක් ඉදිබුවා හිස පස්වෙනිකොට ඇති අවයවයන්ගෙන් කොයියම් ම අවයවයක්වත් එළියට නොදා හිටියා නම්, ඒ තාක්කල් සිවලා ඉදිබුවාගෙන් අවස්ථාවක් නො ලද නිසා කලකිරිලා ඉවත් වුණා.

ඒවමේව ඛෝ භික්ඛවේ, තුම්හේපි මාරෝ පාපිමා සතතං සමිතං පච්චුපට්ඨිතෝ. අප්පේව නාමාහං ඉමේසං චක්ඛුතෝ වා ඕතාරං ලභෙය්‍යං. සෝතතෝ වා ඕතාරං ලභෙය්‍යං. ඝානතෝ වා ඕතාරං ලභෙය්‍යං. ජිව්හාතෝ වා ඕතාරං ලභෙය්‍යං. කායතෝ වා ඕතාරං ලභෙය්‍යං. මනතෝ වා ඕතාරං ලභෙය්‍යන්ති.

පින්වත් මහණෙනි, ඔය විදියමයි. ඔබ ළඟටත් පවිටු මාරයා ඇවිදින් නිරතුරුව ම සමීපයෙන් ඉන්නවා. ‘හොඳයි කෝ, මේ උදවියගේ ඇසින් අවස්ථාවක් ලැබේවිනේ. එහෙම නැත්නම්, කනෙන්වත් අවස්ථාවක් ලැබේවිනේ. එක්කෝ නාසයෙන් හරි අවස්ථාවක් ලැබේවිනේ. එක්කෝ දිවෙන් හරි අවස්ථාවක් ලැබේවිනේ. එහෙම නැත්නම් කයෙන් හරි අවස්ථාවක් ලැබේවිනේ, එක්කෝ මනසින්වත් අවස්ථාවක් ලැබේවිනේ’ කියලා.

තස්මාතිහ භික්ඛවේ, ඉන්ද්‍රියේසු ගුත්තද්වාරා විහරථ. චක්ඛුනා රූපං දිස්වා මා නිමිත්තග්ගාහිනෝ අහුවත්ථ, මානුබ්‍යඤ්ජනග්ගාහිනෝ. යත්වාධිකරණමේනං චක්ඛුන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජථ, රක්ඛථ චක්ඛුන්ද්‍රියං, චක්ඛුන්ද්‍රියේ සංවරං ආපජ්ජථ.

ඒ නිසා පින්වත් මහණෙනි, ඉඳුරන් කෙලෙසුන්ගෙන් වළක්වා ගත් දොරටුවලින් යුක්තව ඉන්න. ඇසින් රූප දැක කෙලෙස් ඇතිවෙන නිමිති නොගෙන ඉන්න. කෙලෙස් ඇතිවෙන නිමිත්තක කොටසක්වත් නොගෙන ඉන්න. යම් හෙයකින් ඇස නැමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත් පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හටගන්නවා නම්, එසේ නොවීම පිණිස එහි සංවරය පිණිස පිළිපදින්න. ඇස නමැති ඉන්ද්‍රිය රැකගන්න. ඇස නමැති ඉන්ද්‍රියයේ සංවරයට පැමිණෙන්න.

සෝතේන සද්දං සුත්වා මා නිමිත්තග්ගාහිනෝ අහුවත්ථ, මානුබ්‍යඤ්ජනග්ගාහිනෝ. යත්වාධිකරණමේනං සෝතින්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජථ, රක්ඛථ සෝතින්ද්‍රියං, සෝතින්ද්‍රියේ සංවරං ආපජ්ජථ.

කනෙන් ශබ්ද අහලා කෙලෙස් ඇතිවෙන නිමිති නොගෙන ඉන්න. කෙලෙස් ඇතිවෙන නිමිත්තක කොටසක්වත් නොගෙන ඉන්න. යම් හෙයකින් කන නැමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත් පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හටගන්නවා නම්, එසේ නොවීම පිණිස එහි සංවරය පිණිස පිළිපදින්න. කන නමැති ඉන්ද්‍රිය රැකගන්න. කන නමැති ඉන්ද්‍රියයේ සංවරයට පැමිණෙන්න.

ඝානේන ගන්ධං ඝායිත්වා මා නිමිත්තග්ගාහිනෝ අහුවත්ථ, මානුබ්‍යඤ්ජනග්ගාහිනෝ. යත්වාධිකරණමේනං ඝානින්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජථ, රක්ඛථ ඝානින්ද්‍රියං, ඝානින්ද්‍රියේ සංවරං ආපජ්ජථ.

නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කරලා කෙලෙස් ඇතිවෙන නිමිති නොගෙන ඉන්න. කෙලෙස් ඇතිවෙන නිමිත්තක කොටසක්වත් නොගෙන ඉන්න. යම් හෙයකින් නාසය නමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත් පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හටගන්නවා නම්, එසේ නොවීම පිණිස එහි සංවරය පිණිස පිළිපදින්න. නාසය නමැති ඉන්ද්‍රිය රැකගන්න. නාසය නමැති ඉන්ද්‍රියයේ සංවරයට පැමිණෙන්න.

ජිව්හාය රසං සායිත්වා මා නිමිත්තග්ගාහිනෝ අහුවත්ථ, මානුබ්‍යඤ්ජනග්ගාහිනෝ. යත්වාධිකරණමේනං ජිව්හින්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජථ, රක්ඛථ ජිව්හින්ද්‍රියං, ජිව්හින්ද්‍රියේ සංවරං ආපජ්ජථ.

දිවෙන් රසයක් රස විඳලා කෙලෙස් ඇතිවෙන නිමිති නොගෙන ඉන්න. කෙලෙස් ඇතිවෙන නිමිත්තක කොටසක්වත් නොගෙන ඉන්න. යම් හෙයකින් දිව නමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත් පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හටගන්නවා නම්, එසේ නොවීම පිණිස එහි සංවරය පිණිස පිළිපදින්න. දිව නමැති ඉන්ද්‍රිය රැකගන්න. දිව නමැති ඉන්ද්‍රියයේ සංවරයට පැමිණෙන්න.

කායේන ඵොට්ඨබ්බං ඵුසිත්වා මා නිමිත්තග්ගාහිනෝ අහුවත්ථ, මානුබ්‍යඤ්ජනග්ගාහිනෝ. යත්වාධිකරණමේනං කායින්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජථ, රක්ඛථ කායින්ද්‍රියං, කායින්ද්‍රියේ සංවරං ආපජ්ජථ.

කයෙන් පහසක් ලබලා කෙලෙස් ඇතිවෙන නිමිති නොගෙන ඉන්න. කෙලෙස් ඇතිවෙන නිමිත්තක කොටසක්වත් නොගෙන ඉන්න. යම් හෙයකින් කය නැමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත් පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හටගන්නවා නම්, එසේ නොවීම පිණිස එහි සංවරය පිණිස පිළිපදින්න. කය නමැති ඉන්ද්‍රිය රැකගන්න. කය නමැති ඉන්ද්‍රියයේ සංවරයට පැමිණෙන්න.

මනසා ධම්මං විඤ්ඤාය මා නිමිත්තග්ගාහිනෝ අහුවත්ථ, මානුබ්‍යඤ්ජනග්ගාහිනෝ. යත්වාධිකරණමේනං මනින්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජථ, රක්ඛථ මනින්ද්‍රියං, මනින්ද්‍රියේ සංවරං ආපජ්ජථ. යතෝ ඛෝ තුම්හේ භික්ඛවේ, ඉන්ද්‍රියේසු ගුත්තද්වාරා විහරිස්සථ, අථ තුම්හේහිපි මාරෝ පාපිමා නිබ්බිජ්ජ පක්කමිස්සති, ඕතාරං අලභමානෝ. කුම්මම්හාව සිගාලෝති.

මනසින් අරමුණක් දැනගෙන කෙලෙස් ඇතිවෙන නිමිති නොගෙන ඉන්න. කෙලෙස් ඇතිවෙන නිමිත්තක කොටසක්වත් නොගෙන ඉන්න. යම් හෙයකින් මනස නමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත් පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හටගන්නවා නම්, එසේ නොවීම පිණිස එහි සංවරය පිණිස පිළිපදින්න. මනස නමැති ඉන්ද්‍රිය රැකගන්න. මනස නැමැති ඉන්ද්‍රියයේ සංවරයට පැමිණෙන්න. පින්වත් මහණෙනි, යම්තාක් කල් ඔබ ඉඳුරන් කෙලෙසුන්ගෙන් වළක්වාගත් දොරටුවලින් යුක්තව ඉන්නවා නම්, එතකොට ඒ තාක්කල් ම පවිටු මාරයා හට අවස්ථාවක් නොලැබීමෙන් ඔබ කෙරෙහි කලකිරිලා බැහැරට යනවා. ඉදිබුවා කෙරෙහි කලකිරී බැහැරට ගිය සිවලා වගේ.

කුම්මෝව අංගානි සකේ කපාලේ
සමෝදහං භික්ඛු මනෝවිතක්කේ
අනිස්සිතෝ අඤ්ඤමහේඨයානෝ
පරිනිබ්බුතෝ න උපවදෙය්‍ය කඤ්චීති.

තම කටුව තුළට අවයවයන් හකුළුවා ගන්නා ඉදිබුවෙක් වගේ, භික්ෂුව ලාමක මනෝ විතර්කයන් බැහැරකොට සිත තැන්පත් කර ගන්නවා. ඒ කිසිවක් හා ඇසුරක් පවත්වන්නේ නෑ. කිසිවෙකුට පීඩාවක් කරන්නේ නෑ. කාටවත් උපවාද නොකොට පිරිනිවන් පානවා.

සාදු! සාදු!! සාදු!!!

භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා සිටීම අප සැමගේ හිත සුව පිණිස පවතී.

The post භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා සිටිමු appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here