බෞද්ධ සංචාරකයින් ප්‍රවර්ධනය කරන පාකිස්ථානය

0
7

පාකිස්ථාන ඉස්ලාමීය ජනරජය – රටේ නිල නාමයයි.

නමුත් අතීත මහා භාරතයේ කොටසක් වූ මෙහි සැලකිව යුතු බෞද්ධ පුරාවස්තු ප්‍රමාණයක් සැඟව තිබෙන අතරම බුද්ධ චරිතයේ සුවිශේෂී සිදුවීම්වලට අදාළ ඇතැම් ස්ථාන අද භූගෝලීයව අයත් වන්නේ පාකිස්ථානයටයි.

මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය, වියට්නාමය සහ සැලකිව යුතු බෞද්ධ ජනගහනයක් සිටින අනෙකුත් අග්නිදිග ආසියානු රාජ්‍යයන් ඉලක්ක කර ගනිමින් පසුගිය වසර කිහිපය තුළ පාකිස්තානය දකුණු ආසියා කලාපයේ නැගී එන බෞද්ධ ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයන් වේගවත් කර තිබෙනවා.

නිදසුනක් වශයෙන් 2016 වසරේ අප්‍රේල් මාසයේ දී පාකිස්ථානය සිය ගන්ධාර කලා පාසල, තක්ෂිලා කෞතුකාගාරය සහ වෙනත් බෞද්ධ උරුමයන් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙරට භික්ෂූන් වහන්සේ 40 නමක් එරටට වැඩම කරවනු ලැබුවා.

පාකිස්ථානය උත්සාහ කරන්නේ ලෝකයේ වැඩිම බෞද්ධ සිද්ධස්ථාන සහ පුරාවස්තු සංරක්ෂණය කර ඇති “මුස්ලිම් රටක” ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමයි.

නමුත් ඔවුන්ගේ සැබෑ උත්සාහය මේ හරහා වාර්ගික හා ආගමික සුළුතරයන්ට පාකිස්ථානය තුළ සිදුවන අපරාධවලින් නිදහස් වීම බව විචාරකයින් පෙන්වා දෙනවා.

එමෙන්ම පාකිස්ථානය බෞද්ධ ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරමින් දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය (සාර්ක්) සහ අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට (ආසියාන්) අයත් රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කර ගැනීම ද ඉස්ලාමාබාදයේ අරමුණක්.

චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව (CPEC) මාර්ගය ඔස්සේ ලාහෝර්, තක්ෂිලා සහ පෙෂාවර් යා කරන ‘ගන්ධාර මංපෙත’ පුනර්ජීවනය කරන ලෙස චීනය පකිස්ථානයෙන් ඉල්ලා සිටීමත් පාකිස්ථානය නව ප්‍රයත්නයට තවත් හේතුවක් ලෙස සැලකෙනවා.

එමෙන්ම දරුණු ආර්ථික තත්ත්වයකට මුහුණ දී සිටින පාකිස්ථානයට බුදුදහම කේන්ද්‍ර කරගත් සංචාරක ක්‍රියාකාරකම් හේතුවෙන් යම් විදේශ මුදල් ප්‍රමාණයක් රටට ලබා ගැනීමටත් ඉඩ ලැබෙනු ඇති.

බෞද්ධ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා පාකිස්ථානය මැයි මාසයේ දී සාර්ක් වැඩසටහනක් තක්ෂිලාහි දී සංවිධානය කරනු ඇතැයි වාර්තා පළවනවා.

පාකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවය භූතානය, වියට්නාමය සහ මියන්මාරය වැනි රටවලින් තෝරාගත් සංචාරකයින් රටේ ප්‍රධාන බෞද්ධ ස්ථාන ප්‍රදර්ශනය කිරීම සඳහා ගෙන්වා ගැනීමට ද සැලසුම් කර තිබෙනවා.

ඊට අමතරව බෞද්ධ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා දකුණු කොරියාව, ජපානය සහ සිංගප්පූරුව යන රටවල සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් (social media influencers) සම්බන්ධ කර ගැනීමට පාකිස්ථාන රජය සැලසුම් කරනවා.

කෙසේ වෙතත් අනාගමික රටක් ලෙස හුවා දැක්වීමට පාකිස්ථානය ගන්නා මෙම උත්සාහයන් රට තුළ ආගමික හා වාර්ගික සුළුතරයන්ට එරෙහිව දිනපතා සිදුවන ප්‍රචණ්ඩකාරී අපරාධවලින් ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධනාය වෙනතකට යොමු කිරීම ප්‍රමාණවත් වන්නේ නැහැ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මානව හිමිකම් පිළිවෙත් පිළිබඳ වාර්ෂික වාර්තාවට අනුව, අන්‍යාගමිකයන් බලහත්කාරයෙන් ආගමට හරවා ගැනීම්, බලහත්කාරයෙන් විවාහ කිරීම් සහ සුළු ජාතීන් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරෙන මැර ප්‍රහාර ඇතුළු ආගමික සුළුතරයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය 2023 දී පාකිස්ථානයේ අඛණ්ඩවය පැවතියා.

ඉස්ලාමාබාද්හි සමාජ සාධාරණත්වය සඳහා වූ මධ්‍යස්ථානයට (CSJ) අනුව, පසුගිය වසරේ පාකිස්ථානයේ ආගමික සුළුතරයන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා 193ක් වාර්තා වී ඇති අතර සැබෑ සංඛ්‍යාව ඊට බොහෝ සෙයින් වැඩි යැයි විශ්වාස කෙරෙනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here