බෝඩිංකාරයොන්ගේ උත්තර නැති ප්‍රශ්න පත්තරේ – The boring Boarding life – Sri News

0
5

මොකක් හරි වචනෙකට කාරයා කියන කෑල්ල අන්තිමට දැම්මම එතන පොඩි පීචං කිරීමේ ගතියක් තියනවා. කඩකාරයා, සිකුරුටිකාරයා, පොලිස්කාරයා වෙන ඕනි නෑ ආමිකාරයා කියලත් දැන් කියන්නේ. එතකොට බෝඩිමක සල්ලිත් ගෙවලා ගත කරන ජීවිතයත් පීචං එකක්ද? වෙන්න ඇති මොකද එයාලාට හරියට ප්‍රශ්න. රස්සාවක් කරන්න එහෙමත් නැත්නම් උසස් අධ්‍යාපන අවශ්‍යතාවයකට බෝඩිංකාරයෙක් වුණ ඈයෝ ලංකාව පුරාම ඉන්නවා. ඒ හැමෝටම අටෝරාසියක් ප්‍රශ්න තියනවා.

 

බෝඩිමක ඉන්නේ මොකටද? ගෙදර, යාළුවෝ, නෑදෑයෝ, ආස කරන ගහකොළ තමන් මුළු දවස ම ගත කරන තැන ඉඳන් සෑහෙන දුරින් තියන නිසා. ඒ නිසා කීයක් හරි දීලා හොඳයි කියලා හිතෙන තැනක නවතිනවා. බෝඩිංකාරයෝ කීප දෙනෙක් එක් වුණාම ඒකත් වෙන ම ආතල් එකක් තමයි. හැබැයි ඔය කොහොම හිටියත් බෝඩිමක ජීවිතය මහා පාළුවක්. සෙනග ගොඩක් මැද්දෙන් ඉඳිද්දිත් දැනෙන පාළුව තමයි එපා ම කරපු දේ. ගෙදර, යාළුවෝ මතක් වුණාම ඉගිල්ලිලා එන්න තරම් ඒ පාළුව ප්‍රබලයි. සමහර වෙලාවට බෝඩිමේ ඉද්දි කතා කරන්නවත් එකෙක් නැති වෙන වෙලාවල් තියනවා. මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ කාලයා විසින් තමයි.

 

ගෙදර කෑමවල රහ දැනෙන්න නම් බෝඩිමක කට්ටක් කන්න ම ඕනි. කඩෙන් කෑවත් උයාගෙන කෑවත් තියෙන සොච්චම හිඳෙනවා. සල්ලි කතාව පැත්තකින් තියමුකෝ. කඩවල්වලින් උදේ හවා දහජරාව කෑවාම රටේ නැති ලෙඩ. දවසෙම මහන්සි වෙලා බෝඩිමට එන අයට උය උයා ඉන්න තරම් සිහියක් නෑ. කටට මොනා හරි දාගත්තු ගමන් ඇඳට වැටෙන එක තමයි කරන්නේ. සමහර ඈත පළාත්වල ඉඳන් නගරවලට එන අයට ඒ වතුර අල්ලන්නේ නෑ. කඩෙන් ලීටර් පහේ බෝතල් ගැලුමක් ගන්න එක හරි ටැප් එකේ වතුර උණු කරලා නිවාගන්න එක තමයි කරන්නේ. වාත වැඩ ඉතින්.

 

කොහේවත් ගෙදර වගේ නෑ කියනවනේ. අපිට ඕනි වෙලාවට නාලා කාලා ඉන්න බෑ ඉතින්. සමහර වෙලාවල් තියනවා දැනුම්දීමකින් තොරව ම වතුර කපන. තව ඉතින් බල්බ් එකක් පිච්චුනා ම බාත් රූම් එකේ වතුර බහින් නැති වුණාම වගේ සුළු සුළු ප්‍රශ්නවලදී සමහර බෝඩිම්වල කිසි වගකීමක් නැති අයිතිකාරයෝ මුකුත් නොවුනා වගේ ඉන්නවා. හැබැයි මාසේ ගාණ හරියට එකතු කරගන්නවා. වෙන යන්න තැනක් නැති නිසා ඉන්නවා මිසක් මේ වගේ වෙලාවට පාරක හිටියත් සැපයි කියලා හිතෙනවා. සීතල දේශගුණේකට පුරුදු වෙලා හිටපු කෙනෙක්ට උණුසුම් දේශගුණේකටත් ඒකෙ ම අනික් පැත්තත් වෙන්න පුළුවන්. මේවාට නම් හැඩගැහෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

 

පිරිමි පාර්ශ්වයට නම් මේක ඒ තරම් දෙයක් නෙවෙයි. නමුත් කාන්තාවන් රඳවාගන්න බෝඩිම්වල නීතිරීති දැඩියි. රටේ හැටියට ඒක එහෙම විය යුතුයි. නමුත් සමහර අවස්ථාවල ඒක හෙන වදයක් වෙන අවස්ථා තියනවා. රැකියා කරන ස්ථානයේ නැත්නම් අධ්‍යාපනය ලබන තැන මොකක් හරි උත්සවයක් තියෙනවා කියලා හිතන්න. රෑ ජාමේ ඉවර වෙන වැඩේට අවසානය දක්වා ඔබ ඉන්න අවශ්‍යයි. නමුත් එක් නිශ්චිත වෙලාවක බෝඩිමේ ගේට්ටු දොරපළු වහනවා. මේ වගේ වෙලාවක එක්කෝ කලින් ලිඛිතවවත් මේ පිළිබඳ අදාළ ස්ථානය දැනුවත් කරන්න ඕනි. හදිසියේ එහෙම තත්වයකට මුහුණ දුන්නොත් එළියේ තමයි එදාට. ඒ වගේ ම සමහර බෝඩිම්වල මෙලෝ ආරක්ෂාවක් නෑ. ඒකත් ප්‍රශ්නයක්. කෑමබීමත් දෙන බෝඩිම්වල මේක කරන්නෙත් නිශ්චිත වෙලාවකට.

 

මේ ප්‍රශ්නේ බෝඩිම් සහ බෝඩිම් නොවන හැමෝට ම තියන ප්‍රශ්නයක්. ඒත් මේක බෝඩිංකාරයන්ට තදින් ම දැනෙන්නේ ඇයි? මාසයක් පුරාවට ජීවත් වෙන්නත් කුලියක් ගෙවන්නත් කියන දෙකට ම පොකැට් එක හිස් වෙන නිසා. බෝඩිං ගාස්තුත් දැන් එන්න එන්න ම වැඩි වෙනවා. ලබා දෙන පහසුකම්වලට අනුව ඒකේ කිසිම වාසිසහගත බවක් නැහැ. ජොබ් කරන අය ගැන පොඩ්ඩක් අමතක කරලා අධ්‍යාපන කටයුතු කරන්න ආපු තවමත් දෙමව්පියන්ගේ මුදල්වලින් යැපෙන අයට මේක එක් අතකින් මානසික වදයක්. ජොබක් කරන්න නගරෙට ආපු අයෙක්ට තමන්ගේ වියහියදම් ටිකට සල්ලි කැපකරාම ගෙදර මිනිස්සුන්ට යමක් අරන් දෙන්නවත් ඉතුරු වෙන්නේ සොච්චම් ප්‍රමාණයයි.

ජීවිත කාලෙම බෝඩිමක ඉන්න වෙන්නේ නැති නිසා හොඳයි.

 
Cover Image Source – blogger.com
 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here