බුදු සසුනේ වැඩීමට, පිරිහීමට රාජ්‍ය බලය බලපාන අයුරු

0
4


බුදු සසුනේ වැඩීමට, පිරිහීමට රාජ්‍ය බලය බලපාන අයුරු

ලෝකයේ පවතින ඕනෑම ආගමක දියුණුව, විකාශය මෙන්ම පරිහානිය ද පවතින්නේ රාජ්‍යානුග්‍රහය මත ය. යුරෝපයේ කිතුණු ආගමත්, මැද පෙරදිග ඉස්ලාම් ආගමත්, ඉන්දියාවේ හින්දු ආගමත් ප්‍රබලව පවතින්නට ඒ ඒ රටවල්හි රජය දක්වන රාජ්‍යානුග්‍රහය සහ රාජ්‍ය බලය ඍජුව ම බලපා තිබේ. බුදු දහමටත් එය එසේ ම ය.

ලෝකයේ පවතින ඕනෑම ආගමක දියුණුව, විකාශය මෙන්ම පරිහානිය ද පවතින්නේ රාජ්‍යානුග්‍රහය මත ය. යුරෝපයේ කිතුණු ආගමත්, මැද පෙරදිග ඉස්ලාම් ආගමත්, ඉන්දියාවේ හින්දු ආගමත් ප්‍රබලව පවතින්නට ඒ ඒ රට   බුදු දහම නිවැරදිව හඳුනාගත් සැදැහැවත් රජවරුන් සිටි කාලවල බුදු සසුනේ දියුණුවත් විකාශයත් හොඳින් ඇති විය. රජවරු බුදු සසුනට විරුද්ධව සිටි කාලවලදී වෙහෙර විහාරවලට, දහම් පොත්වලට මෙන්ම භික්ෂූන්ට ද බොහෝ හානි සිදුවිය. එයින් බුදු සසුන වැනසී ගියේය.

ගෞතම බුදු සසුනෙහි දියුණුවත් පිරිහීමත් එකසේ සනිටුහන් කළ රාජ්‍ය බලයේ බලපෑම පිළිබඳව ඉතිහාසය මෙසේ සාක්ෂි සපයයි.

අප භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩවසන කල මගධාධිපතිව රාජ්‍ය කළේ බිම්බිසාර රජු ය. පසේනදී කොසොල් රජු කෝසල ජනපදයෙහි රජු ය. මේ රජවරු දෙදෙනා ම භාග්‍යවතුන් වහන්සේට හිතෛෂීව සිටියහ. මෙයිනුත් බිම්බිසාර රජු සෝවාන් ඵලයට පත්වූවෙකි. මේ රජවරුන්ගේ රැකවරණය සහ අනුග්‍රහය හේතුවෙන් බුදු සසුනේ බොහෝ දියුණුව ඇති විය.

බිම්සර රජුට අජාසත් නමින් පුත් කුමරෙක් සිටියේය. අවාසනාවට ඔහු දෙව්දත් නමැති අසත්පුරුෂයාගේ ඇසුරට වැටුණි. දෙව්දත්ට බුදුන් මරා බුදුවීමට අවශ්‍ය වූ නමුත් එය අසාර්ථක විය. හේ අජාසත්ව පියා මරා රජකම ගැනීමට පෙළඹවීය. සිය පියා වන බිම්බිසාරයන් මරා අජාසත් රජ විය. දෙව්දත්ට කළ කම් පල දී පොළොව විවර ව නිරයේ උපන් බව දැනගත් විට අජාසත්ට ඇස් ඇරුණේය. හේ වහා ඇවිත් තෙරුවන් සරණ ගියේය. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා විට අජාසත් රජ වී අට වසරකි. ඒ වන විට බුදු සසුන කෙරෙහි අජාසත් මහත් සේ පැහැදී සිටියේය. ප්‍රථම ධර්ම සංගායනාව සිදුකළ මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතුන්ට සියලු උවටැන් රැකවරණ සලසන ලද්දේ අජාසත් විසිනි.

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමත් සමග බුද්ධ වර්ෂ ව්‍යවහාරය ආරම්භ විය. බුදුවසින් සිය වසරක් ගිය තැන විසල්පුරවැසි භික්ෂූහු අකැප දස වස්තුවක් ඉදිරිපත් කොට සසුනෙහි අර්බුදයක් ඉපදවූහ. එකල වැඩසිටි ශික්ෂාකාමී මහතෙරවරුන්ට ඒ අධර්මවාදී මත මැඩලා සත්සියයක් රහතුන් එක් වී දෙවන ධර්ම සංගායනාව කරගත හැකි වූයේ එකල සිටි සැදැහැවත් කාලාශෝක මහරජුගෙන් ලද පූර්ණ සහය නිසා ය. ඒ සංගායනාවේදී දස දහසක් පමණ වජ්ජී භික්ෂූහු රටින් නෙරපන ලද්දාහ. ඔවුහු ඈත හිමාලයට ගොස් ‘මහාසංඝික’ නමින් සඟ පිරිසක් වී වෙනම සංගායනාවක් කළහ. ‘මහායානය’ උපන්නේ ඔවුන්ගෙනි. නමුත් මහා කස්සප මහරහතන් වහන්සේ මුල්කොට ප්‍රථම සංගායනාවේදී සංග්‍රහ වූ ධර්ම විනය ඒ අයුරින්ම රැකගන්නට දෙවන ධර්ම සංගායනාව කළ සඟ පිරිසට හැකි විය. මේ සඟ පරපුර හැඳින්වූයේ ථේරවාදී සංඝයා නමිනි. ඒ ථේරවාදී භික්ෂූහු නිමල බුදුදහම එලෙසින් ම රැකගෙන ආහ.

දෙවන ධර්ම සංගායනාවේදි මහාසංඝික භික්ෂූන් වෙනම පිරිසක් හැටියට සිටි නමුත් සිය වසක් පමණ වන විට ඔවුන් තව නිකායයන් සයකට බෙදී ගියහ. ථේරවාදී සංඝයාගෙන් ද බිඳී ගිය භික්ෂූහු එකොළොස් නිකායකට වෙන් වුනහ. මෙසේ තම තමන් උපදවාගත් විවිධ මිසදිටු අදහස් ඔස්සේ බුද්ධ ධර්මය තෝරා දක්වන්නට ගිය භික්ෂු නිකායයෝ දහ හතකි. නමුත් ථේරවාදී භික්ෂූහු පමණක් මුල් ස්වරූපයෙන් ම බුදු දහම රැකීමට කැප වී සිටියහ.

ලෝකයේ වාසනාවට දඹදිව මහප්‍රතාපවත් අධිරාජයෙකුව සිටි ධර්මාශෝක මහරජු බුදු දහම වැළඳ ගත්තේය. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසනා මත දහසක් රහතුන් එක්ව තුන්වන ධර්ම සංගායනාව කරන ලදී. එයට සම්පූර්ණ අනුග්‍රහය දක්වන ලද්දේ ධර්මාශෝක මහරජු විසිනි. ඒ ශාසන සංශෝධනයේදී හැටදහසක් මිථ්‍යාදෘෂ්ටික භික්ෂු ප්‍රතිරූපකයෝ සිවුරු හරවා ගිහි කරවන ලද්දාහ. මෙය සිදු වූයේ බුද්ධ වර්ෂ දෙසිය තිස් පහේදී ය. තුන්වන ධර්ම සංගායනාවෙන් නෙරපන ලද භික්ෂු ප්‍රතිරූපක මිසදිටුවෝ වෙනත් මිසදිටු නිකායන්වල පැවිදි වූහ. ඔවුහු පසුව නිකාය නවයකට ප්‍රතිසංවිධාන ගත වූහ. ඒ සියල්ලෝ නිර්මල ථේරවාදී බුදු දහමට විරුද්ධව සිටියහ. ඔවුන්ට අකුසල් දුරු කිරීම හෝ කුසල් වැඩීම හෝ අදාළ වූයේ නැත. ඔවුන් උත්සාහ ගත්තේ සිය මත හුවා දක්වමින් නිර්මල බුදු දහම වැනසීමට පමණි.

නමුත් ධර්මාශෝක මහරජුගේ සම්පූර්ණ සහය නිර්මල බුදුදහම රැකගත් ථේරවාදී සඟ පිරිසට ලැබුණු හෙයින් බුදු සසුනට බලවත් හානියක් කිරීමට එකල ඔවුන්ට නොහැකි විය. ධර්මාශෝකයන්ගේ පුත් මිහිඳු කුමරාත්, සංඝමිත්තා රාජදියණියත් බුදුසසුනෙහි පැවිදිව නිකෙලෙස් රහතුන් බවට පත්වූහ. තුන්වන ධර්ම සංගායනාවේදී මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ විසින් රටවල් නවයකට ධර්මදූතයන් වහන්සේලා පිටත් කොට යවන ලද්දාහ. මිහිඳු මහරහතන් වහන්සේ පැවිද්ද ලැබුවේත් උපසම්පදාව ලැබුවේත් රහත් ඵලයට පත්වූයේත් එක ම දිනයකදී ය. උන්වහන්සේ උපසම්පදාවෙන් දොළොස් වසරක් ගිය තැන තිස්දෙහැවිරිදි වියෙහිදී ලක්දිවට වැඩම කළහ. එකල ලක්දිව රජකළ දෙවනපෑතිස් රජුගෙන් මිහිඳු මාහිමියන්ට සම්පූර්ණ සහය ලැබුණි. එනිසා ලක්දිව බුදු සසුන මනාව පිහිටියේය.

දෙවනපෑතිස් රජුගෙන් පසු රජ වූ උත්තිය රජු, කාවන්තිස්ස රජු, දුටුගැමුණු රජු, සද්ධාතිස්ස රජු ආදී සිංහල නරපතීහු බුදු සසුනේ අභිවෘද්ධිය උදෙසා කැප වී සිටියහ. ඔවුන්ගේ රාජ්‍ය පාලනයේ ප්‍රධාන අරමුණ වූයේ බුදු සසුන බැබළවීම යි. සැබැවින්ම එකල බුදු සසුන බැබළී ගියේය.

ලක්දිවට බුදු සසුන් දායාදය ලැබුණේ බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස්හය වසරක් ගිය තැන දී ය. ලක්දිව බුදු සසුන පිහිටුවා වසර දෙසීයක් ඉක්ම ගිය තැන එනම්, බුදුවසින් හාරසිය පනහක් පමණ වන විට දකුණු ඉන්දීය ආක්‍රමණයෙන් ද බ්‍රාහ්මණ තිස්සගේ කැරැල්ලෙන් ද මහ දුර්භික්ෂයකින් ද ලක්දිව අවුල් විය. එකල රජ පැමිණි වළගම්බා රජු පළමු වසරේදී ම රාජ්‍යය අත්හැර පලාගොස් සැඟවුනේය. බොහෝ භික්ෂූහු ලක්දිව අතහැර දඹදිවට ගියහ. ලක්වැසි භික්ෂූහු ඉතා දුකසේ නිර්මල ත්‍රිපිටක ධර්මය කටපාඩම් කරමින් රැකගත්හ. දොළොස් වසරක් ගෙවුනු තැන අර්බුද සංසිඳී ගියේය. දඹදිව වැඩි භික්ෂූහු නැවත වැඩියහ. ලක්දිව භික්ෂූහු ද දඹදිව වැඩි භික්ෂූහු ද දෙපසට වී තමන් කටපාඩමින් රැකගත් පාළි ත්‍රිපිටකයෙහි කිසියම් වෙනසක් ඇත්දැයි වෙනම සජ්ඣායනා කොට බැලූහ. අසිරියෙකි! එකදු අකුරකින් හෝ වෙනසක් නැතිව ඉතා දුකසේ නමුත් නිමල දහම රැකගන්නට භික්ෂූහු සමත් වී සිටියහ. නමුත් අනාගතයේ කටපාඩමින් නොපවත්වා ගත හැකි යැයි සිතූ මහතෙරවරු මෙතෙක් දෙසිය වසරකට අධික කාලයක් ලංකාවෙහි කටපාඩමින් රැකගත් නිමල දහම පුස්තකාරූඪ කෙරින.

බුද්ධ වර්ෂ හාරසිය පනස් පහේදී පමණ වළගම්බා රජු යළි බලයට පැමිණියේය. තමන් කැලේ සැඟවී සිටි කාලයේ තිස්ස නම් තෙරනමකගෙන් උපකාර ලැබුවේය. වළගම්බා රජු සසුන් පිළිවෙත ඉක්මවා ගොස් ඒ තෙරනමට පෞද්ගලික දේපළක් වශයෙන් අභයගිරිය තනවා පුදන ලදී. සංඝයා අතර අපැහැදීමට පත්ව සිටි තිස්ස භික්ෂුව කුල සංසර්ග ඇවතින් චෝදනා ලබා පබ්බාජනීය කර්මයෙන් මහා විහාරයෙන් නෙරපන ලදී.

එකී තිස්ස තෙරුන්ගේ ශිෂ්‍ය භික්ෂුවක් වන බාල මහලු තිස්ස තෙරනම ඒ පබ්බාජනීය කර්මයට විරුද්ධ විය. හේ ස්වකීය මතයට නම්මවා ගත් පන්සීයක් භික්ෂූන් සමග මහා විහාරයෙන් වෙන්ව ගොස් අභයගිරියෙහි පදිංචි විය. මොවුන්ට හොඳින් රාජ්‍යානුග්‍රහය ලැබුණි. වළගම්බා රජු විසින් කළ වරද හේතුවෙන් සංඝ භේදය ඇති විය. අභයගිරියෙහි පදිංචියට පැමිණි භික්ෂූහු මහා විහාරයට එරෙහිව නැගී සිටියහ. ඔවුන්ට බුදු සසුනෙන් කම් නැත. දැන් අවශ්‍යව ඇත්තේ මහා විහාරය අභිබවා යෑමට යි. මොවුන් දඹදිව වජ්ජිපුත්තක මහායාන මතය ගත් ධර්මරුචි නමැති නිකායට සම්බන්ධ වූහ. එනිසා ‘ධර්මරුචික නිකාය’ නමින් අභයගිරිවාසීන් හඳුනාගත්හ.

මිහිඳු මාහිමියන් වහන්සේ පිහිටුවන ලද බුදු සසුනෙහි දෙසිය වසරකට අධික කාලයක් ඉතා සමගි සම්පන්නව මාර්ග ප්‍රතිපදාව දියුණු කළ භික්ෂූන්ගේ ගමන වෙනස් වූයේ රජෙකුගේ අදූරදර්ශී ක්‍රියාවක ඵලයක් වශයෙනි. සංඝ භේදය යනු සියලු කුසල් වනසන බිහිසුණු අකුසලයකි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධත්වයෙන් පන්සිය වසරක් ගිය තැන ලක්දිව බුදු සසුනේ සංඝයා භේද භින්න වී ගියේය. එතැන් පටන් කෙමෙන් කෙමෙන් නිවන් මග වැසී ගියේය. වළගම්බා රජු තමන්ට දේශපාලන වශයෙන් උපකාර කළ භික්ෂූන්ට හිතවත් වීමත් සසුන් ප්‍රතිපදාව යනු කුමක්දැයි අමතක කිරීමත් මේ විනාශයට හේතු වූයේය.

අභයගිරියට නිර්මල ධර්ම විනය පවත්වා ගැනීමේ අවශ්‍යතාවක් නොවීය. කෙසේ හෝ මහා විහාරය අභිබවා බලවත් වීමේ අසහනයෙන් සිටි ඔවුන් හැරුණේ දඹදිව ථේරවාදී ධර්මයට එරෙහිව සිටි මහායානිකයන් දෙසට ය. එකල මහායානික මිසදිටුව දඹදිව බලවත් වෙමින් තිබුණි. මහායානිකයෝ මිත්‍යා සූත්‍ර රචනා කොට සද්ධර්ම ප්‍රතිරූපකයන් උපදවා තර්ක කුතර්ක නගමින් වාද විවාද කරමින් ථේරවාදය නසාලූහ. ඒ මහායාන මිත්‍යා සූත්‍ර අභයගිරිවාසී භික්ෂූන් විසින් හිස් මුදුනින් පිළිගන්නා ලදී. මහායානයෙන් කරනු ලබන්නේ නිර්මල බුදු දහම වනසා බෝධිසත්ව යානය ම ඉස්මතු කිරීම යි. සියලු සත්වයන් බුදුබව පැතීමට පෙළඹවීම යි. අභයගිරිවාසීහු ඒ මහායාන වෛපුල්‍ය සූත්‍රය ප්‍රධාන බණපොත බවට පත්කර ගත්හ. වෛතුල්‍යවාදය නමින් ප්‍රකට වූයේ එය යි. ඔවුන් විසින් ඒ මිසදිටුව වේගයෙන් පතුරුවන ලද්දේය. මෙයින් නිර්මල ථේරවාදී බුදුදහමට බලවත් තර්ජන ඇති විය.

බුද්ධ පරිනිර්වාණයෙන් වසර සත්සිය පනස් දෙකක් පමණ ගිය කල වෝහාරික තිස්ස නමැති සාසනමාමක සැදැහැවත් රජෙක් බලයට පත් විය. එකල අභයගිරිවාසීන් මහා ඉහළින් පිළිගෙන පතුරුවන මහා වෛපුල්‍ය සූත්‍රය නිර්මල බුදු දහමට අයත් ද නැද්ද යන වග විනිශ්චය කිරීම පිණිස මහා පඬිවරයෙකු වන කපිල නම් අමාත්‍යයාට භාර කරන ලදී. ඔහු එය නිර්මල බුදු දහමට විරුද්ධ වූ බිහිසුණු මිසදිටුවක් බව රජුට පැහැදිලි කළේය. රාජ නියෝගයෙන් වෛපුල්‍යවාදී පොත්පත් දවා හළු කෙරිණි. ඒ මහායාන වෛපුල්‍යවාදය කරපින්නා ගත් භික්ෂූහු නිග්‍රහවට ලක් කරන ලද්දාහ.

අභයගිරි භික්ෂූහු සිය මිසදිටුව හකුලාගෙන ටික කලක් නිහඬව සිටියහ. නැවතත් නිර්මල බුද්ධ භාෂිතය ලෙස වෛපුල්‍යවාදී මිත්‍යා බණ කියන්ට පටන් ගත්හ. එකල ලංකා රාජ්‍ය බලය තිබුණේ ගෝඨාභය නම් රජු යටතේ ය. අභයගිරියෙහි සිටි උස්සිලියා තිස්ස නමැති භික්ෂු ප්‍රතිරූපක තෙමේ සැදැහැවත් වූ ගෝඨාභය රජුට බිය විය. වෝහාරිකතිස්ස රජු කළ සෙයින් මොහුගෙන් ද අනතුරු විය හැකි යැයි කල්පනා කළ හේ වෛපුල්‍ය මිසදිටුව පිළිගත් තුන්සියයක භික්ෂු පිරිසක් සමග අභයගිරියෙන් වෙන්වී දක්ඛිණගිරි වෙහෙරට ගොස් වාසය කළේය. එහිදී වෛපුල්‍යවාදය උගන්වන ලද්දේ සාගල නම් තෙරනමක් විසිනි. මෙවර ඔවුන් විසින් තමන්ව හඳුනාගන්නේ ලද්දේ ඒ සාගල තෙරුන් මුල් කොට ‘සාගලික නිකාය’ වශයෙනි. දැන් ලක්දිව භේද භින්න වී ගිය සංඝයා තුන් කොටසකි. මහා විහාරය වෙනම තිබුණේය. අභයගිරි ධර්මරුචි නිකායත් සාගලික නිකායත් එකතු වූ තැන නිකාය තුනකි.

මහා විහාරික භික්ෂූහු බුදු සසුනට පිළිලයක් වූ වෛපුල්‍යවාද මිසදිටුව නසා දමන ලෙස ගෝඨාභය රජුගෙන් ඉල්ලා සිටියහ. ගෝඨාභය රජු ඒ වෛපුල්‍යවාදී පොත් ගෙන්වා විමසා බලා බිහිසුණු මිසදිටුවක් බව දැනගත්තේය. ඒ මිසදිටුවට පක්ෂව මොනතරම් බලවත් භික්ෂු පිරිසක් සිටිය ද ගෝඨාභය රජු ඒ මිසදිටු භික්ෂූන්ට බිය නොවූයේය. හේ ඔවුන්ගේ සියලු පොත්පත් ගිනි තැබ්බවූයේය. වෛපුල්‍යවාදය අත්හැරිය නොහැකි යැයි එකහෙළා පවසා සිටි මිසදිටු ලබ්ධි ගත් සැටක් පමණ භික්ෂු ප්‍රතිරූපකයන්ගේ සිරුරුවල ලකුණු තබ්බවා ලක්දිවින් පිටුවහල් කරවීය.

මිත්‍යා ලබ්ධි ගත් ඒ භික්ෂු ප්‍රතිරූපකයෝ දඹදිව කාවේරි පටුනට ගොස් යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍රවලින් හෙබි භූත විද්‍යා උගන්වන මහායාන විහාරයක ලැගුම් ගත්හ. ඔවුන්ගේ සංඝමිත්‍ර නමැති ශිෂ්‍ය භික්ෂු ප්‍රතිරූපකයෙක් විය. හේ යන්ත්‍ර මන්ත්‍ර භූත විද්‍යාවෙහි කෙළ පැමිණියෙකි. සිය ආචාර්ය භික්ෂූන්ගේ කයෙහි ලකුණු තබ්බවා රටින් පිටුවහල් කළ මහාවිහාරයෙන් උපරිම පලිය ගන්නට අසත්පුරුෂ සංඝමිත්‍ර අදිටන් කරගත්තේය. හේ මහා පඬිවර තෙරනමකගේ වේශයෙන් ලක්දිවට පැමිණියේය. ගෝඨාභය රජු පහදවා ගන්නා ලදී. ඒ රජුගේ පුත් කුමරුවන් දෙදෙනාට උගන්වන්නට ඉදිරිපත් විය. ඒ පුතුන් දෙදෙනාගෙන් මහසෙන් කුමරුව තමාගේ පැත්තට නම්මවා ගන්නට මේ බිහිසුණු අසත්පුරුෂයා සමත් විය. මහසෙන් කුමරු රජ විය. දැන් සංඝමිත්‍ර හිතු මනාපයට රාජ්‍ය බලය හසුරුවයි. මහසෙන් රජුගෙන් රටවැසියන්ට නියෝගයක් ලැබුණේය. එනම්, මහාවිහාරවාසී භික්ෂුවකට දානවේලක් දුන්නොත් කහවණු සියයක දඩයක් ගෙවිය යුතුය. මහාවිහාර භික්ෂූහු අනුරාධපුරය අත්හැර පලාගියහ. මහාවිහාරය, මිරිසවැටිය, මිහින්තලය ආදී නිමල බුදු දහමෙහි කේන්ද්‍රස්ථානයන් පාළු වී ගියේය. වෛරයෙන් වියරු වැටී ගිය සංඝමිත්‍ර මහසෙන් රජු ලවා මහා විහාරයට අයත් ලෝවාමහාපාය ඇතුලු මහාවිහාරයේ තුන්සිය හැටහතරක් පමණ වූ සුවිශාල වෙහෙර විහාර මුලිනුපුටා විනාශ කරවීය. මිහින්තලය අභයගිරි ධම්මරුචිකයන් විසින් අත්පත් කරගන්නා ලදී.

සංඝමිත්‍ර මියගොස් නිරයෙහි උපන්නේය. මහසෙන් රජුගේ ඇමතිවරු රජුට විරුද්ධව කැරළි ගැසූහ. එයට හේතුව වූයේ රජු බුදු සසුන වැනසීම යි. මහසෙන් රජු තමන්ට විරුද්ධ වූ ඇමතිවරු හා සමාදානයක් ඇති කර ගත්තේය. ඒ මහාවිහාරයෙන් සමාව ගෙන යළි පිළිසකර කිරීමට පොරොන්දු වීම තුළින් ය. මහාවිහාරය පිළිසකර කළ නමුත් මහසෙන් රජු තුළ අසත්පුරුෂ ඇසුරෙන් වූ විනාශය පහව නොගියේය. හේ දක්ඛිණගිරි විහාරයේ සිටි සාගලික නිකායට අයත් කොහොන්තිස්ස භික්ෂු ප්‍රතිරූපකයාට පැහැදුනේය. මහාවිහාරික සංඝයා විරුද්ධව සිටියදීත් මහාවිහාර භූමිය තුළ ම ජේතවනාරාමය කරවා කොහොන්තිස්සට පිදීය. දක්ඛිණගිරියේ සිටි සාගලික නිකායිකයෝ ජේතවනයට පැමිණ පදිංචි වූහ. ඉන්පසු ඔවුහු ජේතවන නිකායිකයෝ නමින් හඳුන්වා ගත්හ.

මිසදිටු මහායානයේ බලපෑමෙන් මිදෙන්නට ලක්දිවට නොහැකි විය. බුදුවසින් එක්දාස් සැත්තෑවක් පමණ ගිය කල දඹදිව ධර්ම ධාතුව නමින් වෛපුල්‍යවාදී පුස්කොළ පොතක් සිලාකාල රජුට ලැබුණි. හේ ඒ පුස්කොළ පොත ගැන අභයගිරිවාසී භික්ෂූන්ගෙන් විමසා සිටියේය. එය මහා ආනුභාව සම්පන්න වූ බුද්ධ වචනයක් බවත් එයට පුද සත්කාර දැක්වීමෙන් යහපත සිදුවන බවත් අභයගිරිවාසීන්ගෙන් දැනගත්තේය. රජු ඒ වෛපුල්‍යවාදී පුස්කොළ පොත ජේතවනයට යවා සත්කාර සම්මාන කරවන්නට පටන් ගත්තේය. රාජ්‍ය බලය නොමග ගිය හෙයින් මහාවිහාරවාසී එක් භික්ෂුවකට හෝ එය මැඩපවත්වන්නට නොහැකි විය. දඹදිවින් වැඩි ජෝතිපාල නම් ව්‍යක්ත මහතෙරනමක් මිසදිටු මත ගත් ජේතවනිකයන් හා අභයගිරිකයන් හා වාද කොට ඔවුන් පරදවා රජුට කරුණු පැහැදිලි කරවා ඒ මිසදිටුව රටින් නෙරපීය.

බුදුවසින් එක්දහස් තුන්සිය දෙසැටක් පමණ ගිය තැන පළමුවෙනි සේන හෙවත් මත්වලසෙන් රජු දවස යළි දඹදිවින් මිසදිටුවක් පැමිණියේය. ඒ වජ්‍ර පර්වත නිකායවාසීන්ගේ රහස් බණ නම් වූ සද්ධර්ම ප්‍රතිරූපකයකි. මිසදිටු මත ගත් ඇමතිවරු රජුට ද එය අසන්නට සැලැස්වූහ. රජු අධර්මයට පැහැදුනි. ඒ අධර්මය වේගයෙන් පැතිර ගියේය. ඉක්බිති රජ පැමිණි දෙවන උදේන රජු සැදැහැවත් නරපතියෙක් විය. ඔහු නිමල දහම හඳුනයි. ඒ රජු වාජිරියවාදය නමැති මිසදිටුව පරාජය කළේය. ඒ මිසදිටු පොත්පත් ලක්දිවට ගොඩනොබානු පිණිස නැව්තොට ද රැකවල් තැබ්බවීය.

බුදුවසින් එක්දහස් හයසීය පමණ වන විට ලක්දිවට වරින් වර පැමිණි දකුණු ඉන්දීය මිසදිටු ආක්‍රමණ හේතුවෙනුත්, දේශපාලන ආක්‍රමණ හේතුවෙනුත්, ගිහි පැවිදි ජනයාගේ ප්‍රතිපත්තිය පිරිහීම හේතුවෙනුත් උපසම්පන්න භික්ෂූන් පස් නමක්වත් ලක්දිවින් සොයාගත නොහැකි විය. එවිට සැදැහැවත් මහා විජයබාහු රජු බුරුමයේ රාමඤ්ඤ රටින් උපසම්පදා භික්ෂූන් ගෙන්වා ලක්දිව සියලු සිංහල සාමණේරවරුන්ට උපසම්පදාව ලබාදී යළි බුදු සසුන බැබළවූයේය.

බුදුවසින් එක්දහස් හයසිය අනූ හයේදී මහ පැරකුම්බා රජු පොළොන්නරුවේ රජ විය. ඉතා වෙහෙස ගෙන දකුණු ඉන්දීය විජාතික බලවේග පරදවා රට එක්සේසත් කළේය. එමතු ද නොවේ. වසර දහසකට අධික කාලයක් භේද භින්නව සිටි මහා විහාර, අභයගිරි, ජේතවන යන තුන් නිකායික භික්ෂූන් සමගි කරවා මිසදිටු ගත් දුසිල් මහණුන් සිවුරු හරවා බුදු සසුන බැබළවීය. මේ සා භාරදූර කටයුත්තක් ප්‍රතාපවත් මහ පැරකුම්බා රජුට කළ හැකි වූයේ දිඹුලාගල මහා කාශ්‍යප නමැති සුසිල්වත් මහ තෙරනමගේ නිවැරදි උපදෙස් රජුට ලැබීම නිසා ය.

මහා පැරකුම්බා රජුගේ ඇවෑමෙන් යළිත් රට අරාජික විය. රජු අභාවයට පත්වී ගත වූ තිස් වසර තුළ බල ලෝභයෙන් එකිනෙකා මරා ගනිමින් රජ පැමිණියවුන්ගේ ගණන පසළොසකි. ලක් රජයේ බලය ඇල්ලීම පිණිස සිංහලයන් බල අරගලයක යෙදී සිටියදී බිහිසුණු මන්ත්‍ර බලයෙන් හා භූත විද්‍යා බලයෙන් යුතුව කාලිංග මාඝ නමැති මිසදිටු අසත්පුරුෂ බ්‍රාහ්මණයෙක් විසිදහසක මිසදිටු සේනාවක් සමග ලක්දිවට කඩා පැන්නේය. විසි එක් වසරක් ලක් රජය පැහැරගෙන පාලනය කළේය. ඒ කාලය තුළ මහසෑ, වෙහෙර විහාර, දහම් පොත්, භික්ෂූන් සියල්ල වනසා දැමූ ඔවුහු සිංහල ශිල්පීන්ගේ අත්පා කපා ශිල්ප ශාස්ත්‍ර ද නැසූහ. සියලු ලක්වැසියන් ජ්‍යෝතිෂයේ සමාදන් කරවන ලද්දේ ඔහු විසිනි. තිසරණයෙන් බැහැර කොට හින්දු ඇදහිලි තුළ ලක්වැසියන් මිසදිටු කරවන්නට ඔහු සමත් විය. ඔහු විසින් අප්‍රේල් 14 වනදා සිංහලයන්ගේ අවුරුද්ද ලෙස බලයෙන් සම්මත කරන ලද්දේය.

ආක්‍රමණික කෲර මාඝගේ ඇවෑමෙන් පසු කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු නරපති තෙමේ දඹදෙණියේ රජ විය. සැදැහැවත් මේ රජු එකල වැඩසිටි ආරණ්‍යවාසී මේධංකර මහතෙරුන්ගේ ශාසන සංශෝධනයට පූර්ණ රාජ්‍යානුග්‍රහය ලබාදුන්නේය. දුසිල් මහණුන් පහකොට සසුන පිරිසිදු කළේය. මේ රජු තම්බ රටේ ධර්ම කීර්ති නමැති ධර්ම විනයධර මහතෙර නම වැඩමවා භික්ෂූන්ගේ ධර්ම ඤාණය දියුණු කරවීය.

නැවත ගම්පොල රාජධානියේ රජකළ සිව්වෙනි බුවනෙකබාහු රජු සමයේ අමරගිරියේ වැඩහුන් වනරතන මහතෙරුන් මුල්වී සේනාලංකාධිකාර සෙනෙවිරත් ඇමතිගේ සහයෙන් දුසිල් මහණුන් නෙරපා නැවතත් සසුන පිරිසිදු කළේය.

බුදු වසින් එක්දහස් නවසිය දොළහේදී පමණ ගම්පොල රජ පත් වික්‍රමබාහු රජ කල අලගක්කෝනාර මන්ත්‍රීවරයා පළමුවෙනි ධර්ම කීර්ති මහතෙරුන් හා එක්වී දුසිල් මහණුන් සිවුරු හරවා බුදු සසුන පිරිසිදු කළේය.

යළි බුදුවසින් එක්දහස් නවසිය තිස් ගණන්වලදී වීරබාහු රජුගේ අනුග්‍රහයෙන් දෙවෙනි ධර්මකීර්ති මහතෙරුන් විසින් ගලතුරුමුල මෛත්‍රේය මහතෙරුන් හා එක්ව එකල සිටි දුසිල් මහණුන් සිවුරු හරවා බුදු සසුන පිරිසිදු කරන ලද්දේය.

සයවෙනි පැරකුම්බා රජු බුදුවසින් එක්දහස් නවසිය පණස් ගණන් වලදී කෝට්ටේ රජ පැමිණ බුදු සසුනේ දියුණුව ඇති කළේය. එකල වනරතන සංඝරාජ මාහිමි, වීදාගම මාහිමි, තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ මාහිමි ආදී තෙරවරුන්ගෙන් බුදු සසුන උද්දීප්තියට පත් විය.

බුදුවසින් දෙදහස් දොළහේ පමණේදී සයවෙනි බුවනෙකබාහු රජ පැමිණියේය. එකල ලක්දිවවැසි භික්ෂූන්ගේ සුසිල්වත් බව අසා බුරුමයේ ධම්මචේතිය මහරජු එරටින් හතළිස් හතර නමක් භික්ෂූහු මෙරටට එවන ලද්දාහ. මෙරට කැළණි නදියෙහි සීමා බඳවා වීදාගම මාහිමියන් මුල්කොට සිංහල භික්ෂූන් ලවා උපසම්පදාව ලබාදී තිබේ. කල්‍යාණ නදියෙන් ලත් උපසම්පදාව නිසා ඒ සඟ පිරිස කල්‍යාණවංශික සඟ පිරිස නමින් හඳුන්වන්නට වූහ. අදටත් කල්‍යාණවංශික සඟ පිරිස විද්‍යමානව සිටින්නේ ඒ මහා විහාර පරපුරෙන් ලත් පිරිසිදු සිංහල තෙරවරුන්ගෙන් ලද උපසම්පදාවෙනි.

බුදුවසින් දෙදහස් එකසීයක් ගිය තැන මායාදුන්නේ පියරජු මරා සියපුතු රාජසිංහ රජ පැමිණියේය. හේ අරිට්ඨකී වෙණ්ඩු නමැති ශිවභක්තික තවුසාගේ බසට රැවටී බුදුදහම අත්හළේය. මිසදිටු හින්දු දහම වැළඳ ගත්තේය. ශිවභක්තික අරිට්ඨකීවෙණ්ඩුගේ බසට නතු වී ලක්දිව භික්ෂූන් නසා දහම් පොත්පත් ගිනි තැබූ මොහු බුදු සසුන වැනසුවේය. බුදුවසින් දෙදහස් එකසිය තිස්පහේදී විමලධර්මසූරිය රජු සෙංකඩගල නුවර රජ පැමිණි විට ලක්දිව එක උපසම්පදා භික්ෂුවක්වත් නොසිටියේය. විමලධර්මසූරිය රජු පරංගීන්ගේ නෞකා සහය ඇතිව බුරුමයේ අරකන් දේශයෙන් උපසම්පදාව ගෙනවුත් සසුන නගා සිටුවන්ට වෑයම් කළ නමුත් ඒ උපසම්පදා සඟ පරපුර සුළු කලෙකින් නැති වී ගියේය.

බුද්ධ වර්ෂ දෙදහස් දෙසීය අසූහතේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජු මුල් වී සියම් රටින් උපසම්පදා භික්ෂූන් ගෙන්වා ලක්දිව යළි උපසම්පදා භික්ෂූන් ඇති කළේය. එයට මූලික වූයේ ලක්දිව පිනට පහළ වූ වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේ ය.

ව්‍යවහාර වර්ෂ එක්දහස් අටසිය පහළොවේ සිට සිංහල රජපරපුර ලක්දිවින් සදහට ම නැතුව ගියේය. මිසදිටු සුදු ජාතීන්ගේ කෲර ආක්‍රමණයට ලක්දිව හසුවිය. ඔවුන් ලංකාවේ කළ ඍජු පාලනය එක්දහස් නවසිය හතළිස් අටේ අත්හළ නමුත් ඔවුන්ට ඇති යටහත් භාවයෙන් ලක්දිව නොමිදුනේය. වසර එකසිය තිස්තුනක දීර්ඝ කාලයක් බෞද්ධ විරෝධී මිසදිටු පාලනයකට ලංකාව හසුවූ හෙයින් පෙර පරිද්දෙන් බුදු සසුනේ දියුණුවක් ඇති නොවුනේය. එහෙත් ලක්වැසි සංඝයා වහන්සේ වරින්වර සසුන නගාසිටුවන්ට වෑයම් කළ නමුත් සුදු අධිරාජ්‍යවාදීන් ඇති කරන ලද දේශපාලන රටාව හේතුවෙන් ප්‍රතාපවත් නායකයෙක් පහළ නොවීය. එමෙන්ම සුදු අධිරාජ්‍යවාදීන්ගේ ක්‍රමයට හසුවූ ලාංකික දේශපාලන රටාව තුළ බුදු දහම මැනැවින් හඳුනාගත් රාජ්‍ය පාලකයෙක් පහළ නොවූයේය. බුදු දහම මැනැවින් නොදන්නා නායකයෝ නිවැරදි සංඝයාව කෙසේ නම් හඳුනා ගනිත් ද? ඔවුන් තමන්ගේ බලය රැකගැනීමේ හෝ බලයට පැමිණීමේ හෝ අරගලයක යෙදී සිටිති.

මෙකල ද මිසදිටු මත ගත් භික්ෂූන් මෙන්ම ගිහි ප්‍රතිරූපකයෝ ද බිහි වී සිටිති. ඔවුහු තුමූ රහත් ය, භාග්‍යවත් ය, බුදුහු ය යනාදී වශයෙන් ව්‍යාජ කථා කියමින් රහත් රංගනයේ යෙදෙමින් මෝඩ ජනයා මුළා කරති. මෝහයෙන් මුළා වූ ජනයාට ව්‍යාජ මගඵල දෙති. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය බැහැර කොට මිත්‍යා ත්‍රිලක්ෂණයක් පනවති. නිමල පටිච්ච සමුප්පාද ධර්මය බැහැර කොට මිත්‍යා පටිහිච්ච ධර්මයක් පනවති. ඔවුහු ලක්දිව බුදුහු උපන්හ යි කියමින් ව්‍යාජ ඉතිහාසයක් රචනා කරති. මෙවන් පරිසරයක් මැද වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත් එඩිතර පියවර පෙර රජදරුවන්ගේ දවස සිහි කරවයි. එනම්, ත්‍රිපිටක පාළි බුද්ධ වචනය ජාතික උරුමයක් හා ලෝක උරුමයක් වශයෙන් සම්මත කොට ස්ථාපිත කිරීම යි.

එහෙත් අනාගතයේ රට භාරගැනීමට පෙළ ගැසී සිටින ගිහි නායකයන් අතර ධර්ම විනය නිවැරදිව දන්නා අය සිටිති යි සිතිය නොහැකිය. ඔවුහු ධර්ම විනය ද නොදනිති. මිසදිටුව සම්දිටුව ද නොදනිති. සැබෑ භික්ෂූන් කවරහුදැයි නොදනිති. ශ්‍රමණ ප්‍රතිරූපකයෝ කවරහුදැයි නොදනිති. සුසිල් දුසිල් බව නොදනිති. ඔවුන්ට එයින් වැඩක් ද නැත. ඔවුන්ට උවමනා බලයට පැමිණීම පමණි. ඒ වෙනුවෙන් ඔවුහු දේවාල ගානේ යති. දකුණු ඉන්දියාවේ කෝවිල් ගානේ යති. මිසදිටු පූසාරිලා සරණ යති. තිරුපති සරණ යති. ඇතුලෙන් මිසදිටු හින්දුවෙකු වී පිටින් බෞද්ධ වෙස් ගෙන සිටිති. ඔවුන්ට බලයට ඒම පිණිස උදව් කරන්නේ මිසදිටු ගත් දුසිල් මහණහු නම් ඒ දුසිල් මහණුන් රකින්ට ඔවුහු පෙරට එති. ඔවුන්ට බුදු සසුනෙන් වැඩක් නැත. අහෝ… ලක්දිව බුදු සසුනත් සිංහල ජාතියත් රැකිය හැකි නායකයෙක් කවරදාක නම් පහළ වෙයි ද!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

මුල් පිටුවට   >>>

රාජ්‍ය බලය..රාජ්‍ය බලය,,රාජ්‍ය බලය..රාජ්‍ය බලය,,රාජ්‍ය බලය./රාජ්‍ය බලය///රාජ්‍ය බලය,,/රාජ්‍ය බලය/.රාජ්‍ය බලය

The post බුදු සසුනේ වැඩීමට, පිරිහීමට රාජ්‍ය බලය බලපාන අයුරු appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here