බුදු සසුනේ රැකුමට කතිකාවත් හා ග්‍රන්ථ වලින් වූ අනුග්‍රහය …. – Sri News

0
6


බුදු සසුන රැක ගැනීමට රජ දරුවන් ගේ අනුග්රහය නොඅඩුව ලැබුණු බව කතිකාවත් වල සඳහන් වෙයි .යම් කලෙක රජය දුබල වෙන්නේ නම් එදා බුදු සසුනද දුබල වී ගිය ආකාරය අපට දැකගත හැකි විය.අනුරාධපුර අවධියේ දී දේවානම්පියතිස්ස රජතුමාගේ අනුග්රහයෙන් මුල් බැසගත් බුදු සසුන කෙටි කලක් තුළ ලක්දිව මුළුල්ලේම ව්යාප්තව ගිය ආකාර අපි අධ්යනය කළෙමු.එහෙත් අනුරාධපුර අවධියේ දී අවසාන භාගය වන විට ලක් රජය දුබල වීම නිසා බුදු සසුන ද පරිහානියට පත්වූ ආකාරය අප උගෙන ඇත.මෙම පරිහානියෙන් බුදු සසුන මුදවා ගැනීම සඳහා සැදැහැවත් රජවරු නොයෙකුත් ක්රියාමාර්ග අනුගමනය කළ බවද අප අතීතයේ උගත් කරුණු වේ.

 

ශාසනික වගකීම් දැරූ මහා තෙරණුවන් වහන්සේලා සමඟ සාකච්ඡා කරමින් රාජකීය ව්යවස්ථා මාලාව පැනවීම හා කතිකාවක් නමින් ප්රසිද්ධියට පත්විම ව්යවස්ථා මාලා අනුරාධපුර යුගයේ අවසාන භාගයේ සිටම දැකගැනීමට ලැබුණි.ආරාම කතිකාවත් ශාසනික කතිකාවත් නමින් හැඳින්විය හැකි කතිකාවත් දෙවර්ගයක් ම සාසනය ආරක්ෂා කර ගැනීම සඳහා සම්මත කොට රාජාඥාව වශයෙන් ප්රසිද්ධියට පත් කරන ලදී .

 

එකල ප්රසිද්ධියට පත්ව තිබුණු අනුරාධපුර මහා විහාරය අභයගිරිය මිහින්තලය වැනි ආරාම වල දහස් ගණන් භික්ෂූන් වහන්සේලා වැඩ විසූහ. මෙ බඳු සුවිසල් ආරාම වලට සම්බන්ධ සෙසු ආරාම ද රටෙහි ඒ ඒ තැන්වල තිබිණි. මෙම විහාර ආරාම පාලනය සඳහා එහි වැඩ විසූ භික්ෂූන් වහන්සේලාගේ මනා පැවැත්ම සඳහා අවශ්ය නීතිරීති ඇතුළත් ආරාම කතිකාවත් සැදැහැවත් රජවරුන් විසින් පිහිටුවා ක්රියාත්මක කරවන ලදී.

 

හතරවන මිහිඳු රජතුමා මිහින්තලය අභයගිරිය වෙස්සගිරිය යන භික්ෂු ආයතනවල පාලනය සඳහා පිහිටුවන ලද ගල් පුවරු ලිපි ආරාම කතිකාවත් අතර ඉතා ප්රකට වෙයි. මේවා පිහිටුවන ලද්දේ ආරාම වාසීන්ට මෙන්ම බැහැරින් පැමිණෙන උන්ට ද පෙනෙන සේ ආරාම සීමාව තුළයි. අදද මිහින්තලා කඳු මුදුනට නගින විට මිහින්තලා සෙල් පුවරු ලිපිය ඔබට දැකගත හැකියි .පොහොය දින විශේෂ දිනකදී භික්ෂූන් වහන්සේලා හා කතිකාවතට අදාළ පිරිස් රැස් කරවා කතිකාවත කියවීම සිරිතක් වශයෙන් ද සිදුවිය

 

මිහින්තලයේ වැනි සුවිශාල ආරාම වල විසූ දහස් ගණන් භික්ෂූන් වහන්සේලාට සිව්පසයෙන් ලබාදීම සඳහා විහාරගම් පූජා කරමින් ඒවා ක්රමවත්ව පාලනය කිරීමට අවශ්ය පිරිස් පත්කරමින් රජතුමා අතින් මනා සේවයක් සිදුවිය. විහාරයට පුදපූජා පැවැත්විය යුතු ආකාරය ආරාම වාසී භික්ෂූන් වහන්සේලාට සිව්පසයෙන් සංග්රහ කළ යුතු ආකාරය විහාරගම් පාලනය කළ යුතු විදිය මෙම කතිකාවත් වලින් නියම කෙරිණි.

 

විහාරයෙහි වැඩවසන භික්ෂූන් වහන්සේලා සිල්වත්ව ගුණ ගරුකව කල් ගෙවිය යුතු ආකාරය මේ කතිකාවත් වල සුවිශේෂී ලෙස සඳහන් කෙරෙන මෙබඳු සංවිධානයක් විසින් භික්ෂූන් වහන්සේලා සඳහා ඇති කරනු ලැබීම නිසාම දුර්භික්ෂ වන දුෂ්කර අවස්ථාවල දී පවා බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට අවස්ථාව සැලසිණි .

 

මීට පෙර අනුරාධපුර යුගයේ අවසාන භාගය වන විට පරසතුරු උවදුරු වැඩි වීම නිසාම අනුරාධපුර රාජධානිය අතහැරදමා පොලොන්නරුව රාජධානිය වශයෙන් තබා ගැනීමට අපේ රජදරුවන්ට සිදුවිය. මේ වකවානුව තුළ සිදු වූ ජාතික පරිහානිය බුදු සසුන කෙරෙහි ද තදින්ම බලපෑවේය. මේ පරිහානියෙන් බුදු සසුන මුදවා ගැනීමට පළමුවන විජයබාහු රජතුමා යළි උපසම්පදාව පිහිටුවීම පළමුවන පරාක්රමබාහු රජතුමා නිකාය සමගි කොට වූ සංඝ සංශෝධනයක් ඉතා ඉවහල් විය. සාසනය එබදු ව්යසනකාරී තත්වයකට පත් නොවිය රැකගනු පිණිස මහා පරාක්රමබාහු රජතුමා ශාසනික කතිකාවත පිහිටුවීය මෙය පොළොන්නරු කතිකාවත නමින් හැඳින්විය.

 

පොලොන්නරුව අවධියෙහි ශාසන ශෝධනය ට පසුබිම් වූ කරුණු ශාසන ශෝධනය සිදුකිරීමත් තුන් නිකාය සමගි කළ බවත් අනාගතයෙහි උන්වහන්සේලා ජීවත් විය යුතු පිළිවෙත් පොළොන්නරු කතිකාවත එහි දක්වා ඇති බවත් සඳහන්ය. මෙය ප්රථම ශාසනික කතිකාවත වශයෙන් සඳහන් වෙයි.

මින් පසුව දඹදෙණි අවධියෙහි දෙවන පරාක්රමබාහු රජතුමා විසින් මෙබඳු ම කතිකාවතක් පිහිටුවන ලදී. එය මෙන්ම පසු කාලයෙහි ඇති වූ සියලුම කතිකාවත් වලට මුල්වී ඇත්තේ පොළොන්නරුවේ ගල් විහාර සෙල් ලිපියෙහි ඇතුළත් ඉහත වූ පොළොන්නරු කතිකාවතයි.

 

සියලු ආරම්භ වන කතිකාවත් හා ශාසනික කතිකාවත් ඇතිකළේ සසුන රැක ගැනීමේ වගකීම ඉසිලූ මහ තෙරුන් වහන්සේලාගේ මග පෙන්වීම යටතේ සැදැහැවත් රජවරුන් විසිනි. ශාසනය රැකගැනීම රජවරුන් සතු ප්රධාන වගකීම වශයෙන් සැලකූ නිසාම මේ කතිකාවත් වලින් සම්මත කරන ලද නීති රීති පහසුවෙන් ක්රියාත්මක කොට බුදු සසුන රැක ගත හැකි වීම සිදුවිය. එනිසා සිල්වත් ගුණවත් ආචාර සම්පන්න විනයගරුක සඟ පරපුරක් බිහි කිරීමට හැකියාව ලැබිණි .

බුද්ධ ශාසනය පිහිටුවීම සඳහා ලක්දිවට වැඩම කළ අනුබුදු මිහිඳු මාහිමියෝ ශාසනයේ පැවැත්මට අවශ්ය පාලි ත්රිපිටකය හා තේරුම් ගැනීමට ඉවහල් වන අට්ඨකථා රැගෙන පැමිණියහ.

 

උන්වහන්සේ ලාංකික භික්ෂු පරපුරක් බිහි කොට එම පෙළ අටුවා සියල්ල පවරා දුන්හ. ත්රිපිටකය කට පාඩමින් පවත්වාගෙන ආ ලාංකික භික්ෂූන් වහන්සේ එය තේරුම් ගැනීමට අවශ්ය පාලි අට්ඨකථා සිංහලයට නැඟූහ .ඒවා හෙළ අටුවා නමින් හැඳින්විණි. බුදු සසුන සුරක්ෂිත භාවය සඳහා මේ රටෙහි දී සැපයුණු මුල්ම ග්රන්ථ හෙළ අටුවා යි. බුදුගොස් හිමියන් අනුරාධපුර මහා විහාරයේ දී මෙම හෙළ අටුවා ඇසුරෙන් පාලි අට්ඨකථා ලිවීමෙන් පසු හෙළ අටුවා භාවිතය අඩු වීම නිසා ඒවා අභාවයට ගියේය.

 

අප රටේ පඬිවරු බෞද්ධ ජනතාව තුළ දැනුම හා සැදැහැ වඩනු පිණිස ජාතික හා ආගමික වශයෙන් වැදගත් හැම සිද්ධියක් ම ඇසුරු කරගනිමින් ග්රන්ථ සම්පාදනය කළහ. අනුරාධපුර මහා විහාරය පිහිටුවීම ශ්රී මහා බෝධි ශාඛාව වැඩම කිරීම දළදා සමිඳුන් වැඩම කිරීම කේශ ධාතූන් වහන්සේ ලැබීම රුවන්වැලි සෑය ඉදි කිරීම ආදිය අපේ ජාතික හා ආගමික ඉතිහාසයෙහි ඉතා වැදගත් සිදුවීම් වෙයි. මේ පිළිබඳ විස්තර වාර්තා කොට තැබීම සඳහා අපේ සිංහල පඬිවරු වංශකතා නමින් පොත් පෙළක් ලියූහ දීපවංස මහාවංස දාඨාවංස කේශධාතු වංශ කේශධාතු වංශය ථූප වංශ නම් වූ මෙම පොත් දේශ දේශාන්තර වාසීන්ගේ ද ප්රයෝජනය සඳහා පසුව පාලියට ද නැගුණි.

 

මාතලේ අළු විහාරයේ දී සිදු කරන ලද ත්රිපිටකය ලියා තැබීමේ සංගායනාව නිසා ම ත්රිපිටකයට අයත් ග්රන්ථ තිස් එකක් භාවිතයට පත් විය බුදුගොස් හිමියන් විසින් අනුරාධපුර මහා විහාරයේ උපදෙස් පරිදි එම ත්රිපිටකයේ හරය ගෙන ලියූ විසුද්ධිමග්ග හෙළ අටුවා ඇසුරෙන් ලියූ අට්ඨ කථා රාශියක් නිසාම නිසා ම ධර්මය පිළිබඳ දැනුම සුලබ විය.

මේ නිසා පෙළ අටුවා ඇසුරෙන් පොදු ජනතාවගේ දැනුම හා සැදැහැ වැඩෙන ආකාරයෙන් සිංහල බණ පොත් ලිවීම ද බෞද්ධ පඬිවරු අතින් සිදුවිය.

 

නව අරහාදී බුදු ගුණ බුදුගුණ ආශ්රය කර ගනිමින් අපේ පඬිවරු පොත් ලියූහ .

අමාවතුර ලියවුනේ පුරිසදම්මසාරථී ගුණය වර්ණනා කිරීමටයි

අරහං ගුණය වර්ණනා කිරීමට පූජාවලිය ලියැවිණි

බුදුගුණ දැනගෙන බුදුන් සරණ යා යුතු ආකාරය ගැන්වීමට බුත්සරණ ලියැවිණි

දහම් ගුණ හා සඟ ගුණ වර්ණනා කිරීමට දම් සරණ සඟ සරණ ලියැවිණි

සද්ධර්මරතනාවලිය සද්ධර්මාලංකාරය පන්සිය පනස් ජාතක පොත වැනි බෞද්ධ කතා පොත් සැපයුනේ පොදු ජනතාව තුළ පහන් සංවේග ඇතිකර සිතුම් පැතුම් ගති පැවතුම් හැඩගස්වනු පිණිසයි .

 

අපේ පැරණි කවියත් කවියත් පද්යයෙන් බණ කියා පොදු ජනතාවගේ සිත් පහන් කිරීමට පෙළඹුණු ආකාරයත් ජාතක කතා වස්තු කොට ගෙන ලියූ මුවදෙව්දාවත ගුත්තිලය   සඳකිඳුරුදා කව වැනි ප්රකට කාව්යයන්ගෙන් හෙළිවෙයි .

බුදුගුණ අලංකාරයෙන් අපේක්ෂා කළේ ජනතාව ලවා නිතර බුදුගුණ කියවීමයි. ජනතාවට බුදු දහම අනුව හොඳ නරක කියා දීම සඳහා ලෝවැඩසගරාව වැනි කෘති බිහි විය.

 

අපේ පඬිවරුන් මෙබඳු බෞද්ධ පොත්පත් නිපැයුවේ බෞද්ධ ජනතාව තුළ දහම් දැනුම මෙන්ම තෙරුවන් කෙරෙහි ශ්රද්ධාව ද බෞද්ධ හැදියාව ද වඩ වඩාත් දියුණු කරනු පිණිසමයි.

 

මෙසේ කතිකාවත් හා බෞද්ධ ග්රන්ථ මගින් සැලසුණු සේවාව නිසා පිරිසිදු ථේරවාදී බුදුදහම රැකගැනීමට ලාංකික බෞද්ධයා සමත් විය. එය අනාගත පරපුර සඳහා රැකදීම ද අප සතු වත්මන් වගකීමකි .

 

සහෝදරත්වයෙන් එක්වෙමු!

© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here