බුදු දහම ලෝක ආගමක්ද?…. – Sri News

0
5


බාහිර ලෝකයට බුද්ධ ධර්මය මුලින්ම පැතිර ගියේ ධර්මාශෝක මහාධිරාජයා ගේ කාලයේ දී. ඒ සමයෙහි ග්රීසිය තෙක් ධර්ම මහාමාත්යවරු යවා ඇති බව ශිලා ලේඛන වල සඳහන් වෙලා තියෙනවා .තෙවැනි සංගායනාවෙන් පසුව යෝනක දේශයටද බෞද්ධ දූත පිරිස් යැවූ බව මහාවංශයේ සඳහන් වෙනවා. එහි සඳහන් වන ආකාරයට රුවන්වැලිසෑයේ ධාතු නිධානෝත්සවයට පල්ලව භොග්ග නමින් හැඳින්වූ වර්තමාන ඉරාන දේශයෙන් වැඩිම රහතන් වහන්සේ සංඛ්යාවක් වැඩම කළ බව සඳහන් වීමෙන් ප්රබල බෞද්ධ ජනගහනයත් එම රටවල සිටි බවට නිගමනය කරන්නට පුළුවන් .ක්රිස්තියානි ධර්මයේ නිර්මාතෘවර යේසුස් ක්රිස්තුස් වහන්සේ මෙන්ම ක්රිස්තියානි ශාන්තුවරයන් ද බුද්ධ ධර්මය දැන සිටින්නට ඇතැයි යන අදහසක්ද පවතිනවා

ක්රිස්තියානි හා ඉස්ලාම් ආගම් පහලවීමට ප්රථම ඉන්දියාවේ ස්ථාපිතව තිබූ බුද්ධ ධර්මය ග්රීසිය තෙක් ව්යාප්ත වූ බවට සාධක තිබුණත් එම ආගම් වල ව්යාප්තියත් සමග ඒ ඒ රටවලින් බුද්ධශාසනය ගිලිහී ගියා. ආසියාතික රටවල ද ක්රිස්තියානි හා ඉස්ලාම් ධර්මයන්ගේ ව්යාප්තිය අබියස බුද්ධ ධර්මයේ විශාල පසුබැස්මක් සිදුවුණා. කාශ්මීර ගන්ධාර ප්රදේශ බෙංගාලය ශ්රී විජය අධිරාජ්ය පැවැති ජාවා සුමාත්රා ආදී රටවල් මුස්ලිම් රාජ්යයන් ලෙසට පරිවර්තනය වුණා .

 

1496 දී පෘතුගීසීහු ඉන්දියාවට එන මුහුදු මාර්ගය සොයා ගත්තා. මින්පසු ආසියාතික රටවල් ක්රිස්තියානි හා කතෝලික ලබ්ධිකයින් ගේ බලපෑම් වලට ලක් වුණා .ආසියාතික රටවල පැවැති සංස්කෘතිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට උත්සාහයක් නොගත් එම ලබ්ධිකයන් ස්වකීය ධර්මය කෙසේ හෝ ප්රචාරය කිරීමට කටයුතු කළා

 

දහනවවැනි සියවසේ මුල් භාගයේ ඉංග්රීසින්ගේ යටත් විජිත බලය ආසියාවේ පැතිරී ගියා. එම සියවසේ අග භාගයේ ප්රංශ යටත් විජිත බලය ද පැතිරී ගියා. ඉංග්රීසින් ශ්රී ලංකාවත් වර්තමාන පකිස්තානය හා බංග්ලාදේශය ඉන්දියාවත් මැලේසියාව හා සිංගප්පූරුව සිය යටත්විජිත රාජ්යයට එක්කර ගත්තා. ඔවුහු නේපාලය හා බුරුමය සමඟ විශේෂ සබඳකම් ඇති කර ගත්තා. ප්රංශය සිය යටත්විජිත රාජ්යයට වියට්නාමය කාම්බෝජය හා ලාඔසය ඕසය ඈඳා ගත්තා. මෙම පාලකයන් අතරින් ඉංග්රීසීන් පාලිතයන් ගේ ආගම් ඇදහිලි සංස්කෘතිය ආදිය ගැන අවබෝධයක් ලබාගැනීමට පරිශ්රමයක් දැරූ බව පේනවා .ඉංග්රීසි පාලකයන් විසින් ඒ සඳහා රාජකීය ආසියාතික සමාගම් ශාඛා ශ්රී ලංකාවේ කල්කටාවේ හා බුරුමයේ ආරම්භ කළා .

 

1845 දී ආරම්භ කරන ලද රාජකීය ආසියාතික සමාගමේ ශ්රී ලංකා ශාඛාවේ මුල් සඟරා වල වැඩි වශයෙන් දක්නට ලැබුණේ බුද්ධ ධර්මය පිළිබඳවයි .මේ ශත වර්ෂයේ මුල් භාගයේ මහාවංසය ඉංග්රීසියට පරිවර්තනය කිරීමත් සිදු වුණා. මෙවැනි පරිවර්තන කෘති ද විශේෂ ලිපි ද හේතුවෙන් බුද්ධ ධර්මය පිළිබඳව දැන ගැනීමේ කුතුහලයක් බටහිර උගතුන් අතර ඇති වුණා.

ලංකාවට සිවිල් සේවකයකු ලෙස පැමිණි රීස් ඩේවිඩ්ස් මහතා පසුව 1892 දී පාලි ග්රන්ථ ප්රකාශන සංගමය එංගලන්තයේ පිහිටුවා ගත්තා. ඒ මගින් පාලි ත්රිපිටකය හා අට්ඨකථා ඉංග්රීසි අකුරෙන් පළකොට ඉංග්රීසියට පරිවර්තනය කිරීමට කටයුතු ආරම්භ කළා තක්ශලා,කාශ්මීර ගන්දාර ඔස්සේ මධ්ය ආසියාව ට ගිය බෞද්ධ සංස්කෘතිය පිළිබඳව දැන ගැනීමේ විශාල උනන්දුවක් යුරෝපයේ ඇති වුණා .ක්රිස්තුස් වහන්සේ උපදින්නට වර්ෂ 400 කට පෙර පැවැති බෞද්ධ ශිෂ්ටාචාරය ඇති උසස් මිනිස් දහම් ගැන යුරෝපීයයෝ විශ්මිත වුණා . එංගලන්තය ප්රංශය ජර්මනිය රුසියාව ආදී රටවල බුද්ධ ධර්මය කෙරෙහි පැහැදීමක් ඇති උගතුන් විශාල පිරිසක් දහනමවන සියවස අග වනවිට පහළ වූ බව කියන්නට පුළුවන් …

 

බුද්ධ ධර්මය පැතිර යාමට හේතු වූ තවත් වැදගත් සිද්ධීන් කිහිපයක් තිබුණා ශ්රීමත් එඩ්වින් ආනෝල්ඩ් විසින් ලියන ලද ආසියා ආලෝකය( light of asia ) යන ඉංග්රීසි පද්ය ග්රන්ථය බුදුදහම පැතිර යාමට විශාල රුකුලක් වුණා . එම ග්රන්ථය දැනට ලෝකයේ සිය වරකට වඩා නැවත මුද්රණය කරලා තිබෙනවා.

ශ්රී ලංකාවේ ක්රිස්තියානින් හා බෞද්ධයින් අතර පැවති වාද ඇමරිකාවේ දෝංකාරයක් ඇති කිරීමට සමත් වුණා .ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්යාලයේ මගින් බෞද්ධ හා ආසියාතික පතපොත ඉංග්රීසියට පරිවර්තනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දහනව වන සියවසේ අග භාගයේ දී ආරම්භ කරලා තිබුණා.

 

1893 දී චිකාගෝ නගරයේ හි පැවති ප්රථම ලෝක ආගම් සම්මේලනයට බුදුදහමත් ඇතුළත් කර තිබීම ඉතා වැදගත් සිද්ධියක්. මේ ආකාරයෙන් දහනමවන සියවස අවසන් වන විට යුරෝපයේ සහ ඇමරිකාවේ උගතුන් අතර බුදුදහම ගැන විශේෂ උනන්දුවක් දක්නට ලැබුණා .

 

දෙවන ලෝක සංග්රාමයෙන් පසු බුදුදහම පිළිබඳ ව්යාප්තියේ විශාල වෙනසක් දකින්නට පුළුවන්කමක් තිබුණා යුද්ධය නිසා සොල්දාදුවන් ලෙස ආසියාවට පැමිණි ජනයාට බෞද්ධ ධර්මය පිළිබඳ දැනුමක් ලබා ගැනීමට හැකි හැකිවුණා වියට්නාමය යුද්ධයේදී භික්ෂූන් වහන්සේ කීප නමක් බෞද්ධයන්ට සිදුවන අසාධාරණය ලොවට හඬ නගා කීම හා ප්රසිද්ධියේ ජීවිත පූජා කිරීම නිසා ඇමරිකාවේ විශාල ආන්දෝලනයක් ද ඇති වුණා.

 

වියට්නාම ජාතිකයෝ දහස් ගණනින් ඇමරිකාවේ පුරවැසිභාවය ලබා සිටියා. චීනය සිය ආඥා චක්රය ටිබේටයේ තහවුරු කළ අවස්ථාවේදී දලයිලාමා හිමියන් ඇතුළු ලාමාවරු ටිබෙටයෙන් පැන ගොස් ඉන්දියාවේ රැකවරණය ලබා ගත්තා. එතැන් සිට යුරෝපයේ හා ඇමරිකාවේ තිබෙන බෞද්ධ මධ්යස්ථාන බිහි වන්නට වුණා. මේ සිද්ධීන් ද බුද්ධ ධර්මය යුරෝපීය හා ඇමරිකා රටවල පැතිරයාමට හේතු සාධකයක් වුණා ….

 

විසිවන ශතවර්ෂය ආරම්භයේ සිට බෞද්ධ දූත පිරිස් මහත් උද්යෝගයකින් කටයුතු කලා. එකළ විදේශිකයන් බුදු සසුනේ පැවිදි වීම ඉතා වැදගත් සිද්ධියක් ලෙස සලකන්නට පුළුවන්. ඉංග්රීසි ජාතික මෙත්තෙය්ය ඥානවීර හා ඥාන මෝලි යන ස්වාමීන් වහන්සේ සහ ඉතාලි ජාතික ලෝකනාථ ස්වාමීන් වහන්සේ ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුයි .

යුරෝපයේ මුල්ම බෞද්ධ විහාරය මහා බෝධි සමාගම විසින් ලන්ඩන් නුවර ආරම්භ කළා.

ඊට ප්රථම බ්රිතාන්ය බෞද්ධ සමාගමක් ද පිහිටුවා තිබුණා.

 

සංචාරක ව්යාපාරය නිසා බුදු දහම රට රටවල පැතිර යාම සීඝ්ර වී තිබුණා. සෑම ආසියාතික රටක ම වර්ෂයට ලක්ෂ ගණනින් දේශ සංචාරකයෝ පැමිණෙනවා. බුද්ධ ධර්මය සහ බෞද්ධ සංස්කෘතිය ලොව පුරා පැතිර යාම පටන් ගත් පසු අයිස්ලන්තයේ වැනි ඉතා ඈත රටක පවා බෞද්ධයෝ සිටියා.

 

වර්තමාන ලෝකයට බුදු දහම ගැන දැනගැනීමට ඇති දහම් පිපාසයයි මෙයින් පිළිබිඹු වන්නේ. ලෝකය විශ්ව ගම්මානයක් බවට පත් කිරීමට දායක වී ඇත්තේ වර්තමාන තාක්ෂණික දියුණුව පමණක් නොවන බව පැහැදිලියි. ආගමික සහනශීලී භාවයට මුල් තැන දුන් ගැඹුරු ආගමික දර්ශනයක් ඉගැන්වෙන බුද්ධාගමත් ඊට දායක වෙලා තියෙනවා .

 

ශ්රී ලංකාව තායිලන්තය මියන්මාර් තායිවානය ජපානය ආදී සාම්ප්රදායික බෞද්ධ රටවල් පමණක් නොවේ බ්රිතාන්ය අමෙරිකා එක්සත් ජනපදය ඔස්ට්රේලියාව නවසීලන්තය හා තවත් බොහෝ යුරෝපීය රටවල්ද බුද්ධාගම නමැති රන්හුය මගින් එකට බැඳී සිටියා. බුදුරජාණන් වහන්සේගේ මහා ශ්රාවකයන් අනුව යමින් වර්තමානයේ ධර්ම ප්රචාරක කටයුතුවල යෙදෙන භික්ෂූන් වහන්සේ ද සාමයේ පණිවුඩය රට රටවල් කරා ගෙන යන්නේ බුද්ධ ධර්මය මුල් කොට ගෙනයි. ඒ පණිවිඩය තුළ මත ගැටුම් නැහැ. කළ කෝ හලාහල නැහැ .ලේ වැගිරීම් නැහැ. අන්ය මතධාරීන්ට දඬුවම් පැමිණවීමක් වත් නැහැ .

 

වර්තමාන ලෝකයේ ආර්ථික සංවර්ධනයත් තාක්ෂණික හා කාර්මික දියුණුවත් මිනිසාට දායාද කොට ඇත්තේ අසහනයෙන් හා පීඩනයෙන් පිරි ජීවිතයක්.මිනිස් වර්ගයාට අතිශයින්ම අවශ්ය වන චිත්ත විවේකය හා සැනසුම් සුවය ජීවන රටාව තුළ නැහැ.

සුඛෝපභෝගී ජීවිතයක අවසානය දක්නට නැති සැනසුම සොයා යන බටහිර ලෝකය දැන් බෞද්ධ දර්ශනය වෙතට යොමු වෙමින් සිටිනවා.ලෝකයේ අස්ථිර ස්වභාවය හෙළි කෙරෙන බෞද්ධ ඉගැන්වීම් ගැඹුරින් වටහා ගැනීමට සංවර්ධනය වූ රටවල් අවංක උත්සාහයක යෙදෙන්නෙ එනිසාවෙන්. චිත්ත විවේකය සඳහා විවිධ ශාරීරික ආබාධ වලින් සහනයක් ලැබීම සඳහාත් බෞද්ධ භාවනාවෙහි ඇති වටිනාකම දැන් දැන් ඒ රටවල උගතුන් ගේ අවධානයට යොමු වී තිබීම විශේෂ සිද්ධියක් .

 

බුදුදහමේ ඉගැන්වීම් නවීන විද්යාත්මක සොයාගැනීම් වලට පටහැනි නොවීම බුද්ධාගම ලෝක ආගමක් වශයෙන් උගතුන්ගේ පිළිගැනීමට ලක් වීමට තවත් හේතුවක් වෙලා තියෙනවා. කර්මය හා පුනරුප්පත්තිය පිළිබඳ බෞද්ධ සංකල්ප පවා විද්යාත්මක දෘෂ්ටිකෝණයකින් විමසුමට ලක් කොට සාර්ථක ප්රතිඵල ලැබීමට ඇතැම් බටහිර විද්වත්හු සමත් වෙලා සිටිනවා .

මීට අවුරුදු දෙදහස් හයසියයකට පෙර ධම්මචක්කප්පවත්තන සූත්ර දේශනාවෙන් ලොවට හෙළිකරන ලද දහම් පණිවුඩය අන්තර්ගත වූ ඒ ධර්ම චක්රය…. අද ද ප්රවර්තනය වෙමින් පවතිනවා එය සිදුවන්නේ කිසිවකුගේ අනුහසින් නොව ධර්මයේ බලමහිමයෙන් මයි.

මෙත් සිතින්🙏🏼🙏🏼



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here