බුද්ධිමත් කෙනා ඔබ වෙන්න පුළුවන්…

0
7


Moon

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

පි උපතක් කරා යන්න හේතුව භවයයි. එහෙනම් අපි චේතනා පහළ කරලා අපි කරන වැරැද්දෙන් පරෙස්සම් වෙන්න ඕන. මොකද, අපි කරන වැරැද්ද විසින් උපද්දවලා දෙන විපාකය හේතුවෙන්නේ වැරදි තැනකට යන්නයි. අපි කරන හරි දෙයින් උපද්දවලා දෙන්නේ හරි තැනකට යන්නයි.

කොහොමද මේ විපාක පිණිස කර්ම හැදෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘උපාදාන පච්චයා භවෝ’ කියලයි. මෙතැන උපාදාන කියන්නේ යම්කිසි දේකට කොටුවීම, හසුවීම, ග‍්‍රහණය වීම. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අපි හතර ආකාරයකට කොටු වෙනවා කියලා. එකක් තමයි අපි කාමයට කොටුවෙනවා.

කාමය කියන්නේ පංචකාම ගුණයන්ට ඇති ආශාවනේ. සිත්කළු, ලස්සන රූප දැක්කාම අපි ඒ රූපයට අහුවුණා. මිහිරි ශබ්දය ඇහුණට පස්සේ ඒ සද්දයට අහුවුණා. ගඳ සුවඳ දැනුණාම ඒ සුවඳට අහුවුණා. ප‍්‍රණීත රසයක් දිවට දැනුණාම ඒ රසයට අහුවුණා. කයට පහස දැනුණාම ඒ පහසට අහුවෙනවා. මේ තමයි පංච කාමය. පංච කාමයට අපි අහුවෙනවද? එහෙම නැත්නම් අහුනොවී ඉන්නවාද? අහුවෙනවා. මේකට කොටු වෙනවා. කොටුවුණාට පස්සේ ඒකෙන් අපට ගැලවෙන්න බෑ. ඒකට කියනවා ‘කාම උපාදාන’ කියලා. එතකොට මේ කාම උපාදානයේ ඉඳලා අර මැෂින් එක වැඩකළාම ඊට අනුරූපව කර්ම විපාක හැදෙනවා.

අපි කොටුවෙන්නේ කාමයට විතරක් නොවෙයි, අපි දෘෂ්ටිවලටත් කොටුවෙනවා. දෘෂ්ටි කියන්නේ එක එක අදහස්, උදහස්, එක එක මතිමතාන්තරවලට. සමහරු කියනවා ‘ඔය කොහෙද දිව්‍ය ලෝක, පේ‍්‍රත ලෝක? ඔය විකාර කතා. ජීවත් වෙන කාලේ කාල බීලා, සුපර් ස්ටාර්ස්වලට පලයන්. සුපර් ඩාන්සර් වෙයන්. සුපර් කොමික්කාරයා වෙයන්’ කියලා. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා මේ යන විදිහට අන්තිමේට සුපර් අසභ්‍ය දේවලූත් හොයයි!

මිනිස්සුන්ට ග‍්‍රහණය කරන්න එක එක දේවල් ලැබෙනවා. එක චැනල් එකකින් එකක් පටන් ගත්තාම තව එකකින් තව එකක් පටන් ගන්නවා. ඔන්න දැන් පටන් ගත්තේ විහිලූ. දැන් පටන්ගනියි සුපර් බොරුව. ඊට පස්සේ ළමයි ෆෝන් කරකර හිතුමනාපෙට බොරු කියයි. ඊට පස්සේ සුපර් අසභ්‍ය වචනය තෝරන්න ගනියි. එතකොට කුණුහරුප කියන්න පටන්ගනියි. වෙන්න බැරිද? මෙහෙම ගියොත් මනුස්සයා මේකට ගොදුරු වෙන්නේ නැද්ද?

හැබැයි, මේකේ බනින්න දෙයක් නෑනේ. මේකට අපට බනින්න බෑ. ඇයි බනින්න බැරි? ඕක තමයි පෘථග්ජන ලෝකයාගේ රැල්ල. පෘථග්ජන ලෝකයාගේ රැල්ලෙන් බැහැර දෙයක් අපි පෘථග්ජන ලෝකයෙන් බලාපොරොත්තු වුණොත් ඒක අපේ මෝඩකම. ඒක තමයි පෘථග්ජන ලෝකයේ තියෙන රැල්ල. පෘථග්ජනයාගේ තේරීම. ඒක ආර්ය පුද්ගලයෙකුගේ ශ්‍රේෂ්ඨ තේරීමක් නෙවෙයි.

ඉතින් මේ ලෝකයේ තියෙන මේ ස්වභාවය අපට වළක්වන්න බෑ. හැබැයි අපට එකක් කරන්න පුළුවන්. බුද්ධිමත් මනුෂ්‍යයාට ඇහෙන්න මේක කියන්න පුළුවන්. බුද්ධිමත් මනුෂ්‍යයාට මේ දේවල් ඇහුණොත් ඒ මනුෂ්‍යයා මේක හිතන්න ගන්නවා. එච්චරයි මේකෙ තියෙන්නේ. හැබැයි ඒ බුද්ධිමත් මනුෂ්‍යයා ඉන්නේ කොතැනද කියලා අපට හොයන්න බෑ. සමහර විට ඒ මනුෂ්‍යයා වේදිකාවක නට නටා ඉන්න පුළුවන්. බුද්ධිමත් මනුෂ්‍යයා ඉන්න තැන හොයන්න බෑ.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ දවසක් සර්කස්කාරයෙක් කරණම් ගහනවා. කොහොමද කරණම ගහන්නේ? රියන් හැටක් උසයි ඉණිමග. ඉණිමග හිටවලා ඒකට නැගලා ඒ ඉණිමග උඩ ඉඳලා උඩපැනලා කරණම ගහලා, නැවතත් ඉණිමගේ හිටගන්නවා. සෙනඟ රැස්වෙලා ඉන්නවා මෙයාගේ කරණම බලන්න. බුදුරජාණන් වහන්සේ මේ කරණම් ගහන තැනට වැඩියා. එතකොට බොහෝ අය හිතුවේ, උන්වහන්සේත් මේ වැඩියේ සර්කස් බලන්න කියලයි.

උන්වහන්සේ සර්කස්කාරයාට “දැන් පෙන්වන්න ඔයාගේ හැකියාව…” කියලා කිව්වා. මෙයා හරි සතුටින් උද්දාමයට පත්වෙලා ඉණිමගට නැග්ගා. නැගලා දැන් මෙයා හිත එකඟ කරනවා. මේ විදිහට ඒ කෙනා කරණමට හිත එකඟ කරනකොට බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කළා. දැන් මෙයා උඩ පැනලා කරණම ගහනකොට ගාථාව ඇහුණා. ධර්මය අවබෝධ කරගත් කෙනෙක් හැටියට උණගහ උඩ හිටගත්තා. හරි පුදුමයි නේද? බලන්න එයා ඉණිමග උඩට නැග්ගේ පෘථග්ජනයෙක් හැටියටයි. නමුත් කරණම ගහලා හිටගත්තේ රහතන් වහන්සේ කෙනෙක් හැටියට. පුදුමයි මනුස්සයෙකුගේ අවබෝධ කිරීමේ හැකියාව.

එහෙම වුණේ බුදුකෙනෙක් තුළ වූ ඉලක්කයට කතා කිරීමේ දක්ෂතාවය නිසයි. ඒක මේ ලෝකයේ කිසි කෙනෙකුට හොයන්න බෑ. සමහරවිට ධර්මය අවබෝධ කරන බුද්ධිමත් කෙනා වේදිකාවක නට නටා ඉන්න පුළුවන්. ගීතයක් ගය ගයා ඉන්න පුළුවන්. ඒ බුද්ධිමත් කෙනා ඉන්නේ කොහෙද කියලා අපි දන්නේ නෑ. ඒ බුද්ධිමත් මනුෂ්‍යයා මේ ධර්මය අල්ලන විදිහ හරිම පුදුම සහගතයි.

යම් මනුෂ්‍යයෙක් මේ දෘෂ්ටිවලට බැඳුණාම, දෘෂ්ටිවලට කොටුවුණාම, එඒදෘෂ්ටියට හිරවෙලා එයා හිතන්න ගන්නවා. දෘෂ්ටියට හිරවෙලා කතා කරන්න ගන්නවා. දැන් අපි ගත්තොත් නැකැත් කේන්දර සරණ ගියපු කෙනෙක් ඒකෙ හිරවෙලා ඒ ගැන කතා කරන්න ගන්නවා. තවත් මොනවාහරි දෙයක් සරණ ගියපු කෙනෙක් ඒකෙ හිරවෙලා ඒගැන එයා කතා කරනවා. ඒ ලෝකයේ එයා හිරවෙනවා. එතකොට දෘෂ්ටි උපාදාන ගැන තමයි එයාට හිතන්න වෙන්නේ, කියන්න වෙන්නේ, කරන්න වෙන්නේ. ඒක ‘දිට්ඨි උපාදානය.’

ඊළඟට ‘සීලබ්බත උපාදාන.’ යමෙක් සීලව‍්‍රත උපාදාන කරගත්තාම ඊට පස්සේ ඒ විදිහට තමයි එයාට ජීවත් වෙන්න වෙන්නේ. ඊළඟට ‘අත්තවාද උපාදාන.’ අත්තවාද උපාදාන කියන්නේ ‘මම, මගේ, මගේ ආත්මය’ කියන හැඟීමකට කොටුවීමයි.

කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියන මේ උපාදාන හතරෙන් දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන කියන දෙක සෝතාපන්න වෙනකොට නැතිවෙලා යනවා. එයා ඒ කොටුවෙන් එළියට පනිනවා. හැබැයි, ඒකොටුවෙන් එළියට පැන්නට තව දෙකක කොටුවෙලා ඉන්නවා. ඒ තමයි කාම උපාදාන, අත්තවාද උපාදාන. අනාගාමී වුණොත් එයා කාම උපාදාන කියන කොටුවෙනුත් නිදහස් වුණා. රහත් වුණාම එයා අත්තවාද උපාදාන වලිනුත් නිදහස් වෙනවා.

උපාදාන නැත්නම් භවයක් නෑ. භවයක් නැත්නම් මැෂිමක් නෑනේ. උපද්දවන්න මැෂින් එක නෑ, කැඩිලා. උපදින්නේ නෑ. උපදින්නේ නැත්නම් විඤ්ඤාණය නොපෙනී යනවා. සාමාන්‍යයෙන් කෙනෙක් මැරෙන කොට විඤ්ඤාණයට මොකද වෙන්නේ? නොපෙනී යනවාද? චුතවෙනවාද? චුතවෙනවා. චුතවෙන තැන උපතක් තියෙනවා. මොකද, චුතවෙන්නේ පවතින්නයි. නිරුද්ධ වෙන්නේ පිරිනිවන් පාන්නයි. එතකොට විඤ්ඤාණයක් නිරුද්ධ වෙන්නේ පිරිනිවන් පාන්නයි. විඤ්ඤාණයක් චුත වෙන්නේ පවතින්නයි. සාමාන්‍ය කෙනාගේ විඤ්ඤාණය එක්කෝ නිරයට යනවා. එක්කෝ තිරිසන් ලෝකයේ, එක්කෝ පේ‍්‍රත ලෝකයේ, එක්කෝ මනුස්ස ලෝකයේ, එක්කෝ දිව්‍ය ලෝකයේ උපතක් පිණිස සකස්වෙනවා. මේ රටාව තුළ (උපාදාන පච්චයා භවෝ) උපාදාන වුණොත් උපාදාන වෙන්නේ එක්කෝ කාමයට. එහෙම නැත්නම් දෘෂ්ටිවලට, සීලව‍්‍රතවලට. එහෙමත් නැත්නම් ‘මමය, මාගේය’ කියන හැඟීමට.

බුදුරජාණන් වහන්සේ වදාළා “(තණ්හා පච්චයා උපාදානං) උපාදාන ඇතිවෙන්නේ තණ්හාව නිසයි” කියලා. කාම තණ්හාව විතරක් තිබුණා නම් අඩුගාණේ අපට ඒක තේරෙනවා. නමුත් අපට භව තණ්හා, විභව තණ්හා තේරෙන්නේ නෑ. බලන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ තියෙන මේ විස්මය. මේ විදිහට අප තුළ ත‍්‍රිවිධාකාර තණ්හාවක් තියෙනවා කියලා උන්වහන්සේ අපට පෙන්නුවානේ. කාම තණ්හාව නැතිවුණොත් තමයි භව තණ්හාව, විභව තණ්හාව තේරෙන්නේ. භව තණ්හාව, විභව තණ්හාව ප‍්‍රහාණය කරන්නේ අනාගාමී වුණාට පස්සෙයි. අනාගාමී වීමෙන් කාම තණ්හාව ප‍්‍රහාණය වෙනවා කියලනේ ධර්මයේ විස්තර වෙන්නේ.

එතකොට අප තුළ මේ වගේ තණ්හා තුනක් ක‍්‍රියාත්මක වෙනවා. තණ්හාව කියන එක අපි මේ විදිහට තේරුම් ගනිමු. තණ්හාව කියලා කියන්නේ ආශාව. ආශාව කියලා කියන්නේ අපේ හිත ඇදිලා යන, හිත වසඟ වෙන ස්වභාවය. අපේ හිත රූපයට ඇදිලා ගියොත්, රූපයට වසඟ වුණොත් ඒක රූප තණ්හාව. අපේ හිත ශබ්දයට වසඟ වුණොත් ඒක ශබ්ද තණ්හාව. ගඳ සුවඳට ඇදිලා ගියොත් ඒක ගන්ධ තණ්හාව. රසයට වසඟ වුණොත් රස තණ්හාව. පහසට ඇදිලා ගියොත්, පහසට වසඟ වුණොත් ස්පර්ශ තණ්හාව. මනසට සිතුවිලි එනකොට ඒකට ඇදිලා ගියොත්, ඒකට වසඟ වුණොත් ඒක අරමුණු තණ්හාව.

දැන් බලන්න, අපේ හිත යම්කිසි දේකට ඇදිලා ගියොත්, වසඟ වුණොත් නැවත නැවතත් හිත ඒකට ඇදිලා යන්නේ නැද්ද? නැවත නැවතත් ඒකම හිතෙන්නේ නැද්ද? ඒකට හේතුව තමයි, ආයෙ ආයෙමත් හිත ඇදිලා යනකොට, හිත වසඟ වුණාම අපි ඒකට කොටුවුණා. කොටුවුණාට පස්සේ අපි චේතනා පහළ කරනවා. කි‍්‍රයා කරනවා. ඔන්න උපතක් කරා යන්න හැදෙනවා. එතකොට ඇයි මේ අපේ හිත වසඟ වෙන්නේ? ඇයි මේ අපේ හිත ඇදිල යන්නේ? ඒ වින්දනය නිසයි.

යම්කිසි දෙයක වින්දනය නැත්නම් ඒකට හිත ඇදිලා යන්නේ නෑ. අපි හිතමු කවුරුහරි සිංදුවක් කියනවා. ‘අපිත් අහන්න යමු’ කියලා යනවා. නමුත් ඒ සිංදුව ලස්සන නැත්නම්, අපට එපා වෙන්නේ නැද්ද? එ්කෙ තාලේ ලස්සන නැත්නම්, ඒ ගායකයාගේ හඬ ලස්සන නැත්නම්, වාදන සෙට් එකක් නැත්නම් ‘අනේ… වැඩක් නෑ’ කියලා අපි යනවනේ. එහෙනම් අපේ හිත ඇදිලා යන්නේ වසඟ වෙන්නේ වින්දනය ලබාදෙන දෙයටයි.

රූපයකින් වින්දනය ලබාදුන්නා නම්, ඒ රූපයට අපේ හිත ඇදිලා යනවා. අපේ ඇස් දෙක ඇදිලා යනවා. අපට ආයෙ ආයේ ඒ රූපය බලන්න හිතෙනවා. ආයෙ ආයෙ බලන්න ඒක ළඟ තියාගන්නවා. අපට මොකක්ද මේ වුණේ? රූපයට, රූපය නිසා ඇතිවෙන වින්දනයට අපේ හිත ඇදිලා ගියා.

ශබ්දයට අපේ හිත ඇදිලා ගියොත්, ඒ ශබ්දය ආයෙ ආයෙමත් ඕන. ඒ ශබ්දයෙන් ඇතිවෙන වින්දනය නිසයි මේ හිත ඇදිලා යන්නේ (වේදනා පච්චයා තණ්හා). සුවඳට අපේ හිත ඇදිලා ගියොත්, ඒ සුවඳම සිහි කර කර ඉන්නවා. රසයකට අපේ හිත ඇදිලා ගියොත්, ඒ රසයම සිහි කර කර ඉන්නවා. පහසට සිත ඇදිලා ගියොත් අපි ඒ පහසම හිත හිතා ඉන්නවා. අපට ඒකම ඕන වෙනවා. මේවා ගැන සිතුවිලි ඇතිවුණාට පස්සේ හිත ඇදිලා ගියොත්, ඒ හිතෙන හිතෙන දේවල්වලට අපේ හිත ඇදිලා යනවා.

අපි තේරුම් ගන්නට තවත් උදාහරණයක් ගනිමු. ඔන්න කෙනෙකුට මඟුල් ගෙදරක යන්න ඇඳුමක් ඕන වුණා. ඒ වෙනුවෙන් එයා කඩේට ගියා. ලස්සන සිල්ක් රෙද්දක් ගත්තා. ලස්සන කරන්න සීක්වීන්ස් ගත්තා. වාටියට අල්ලන්න රේන්දයකුත් ගත්තා. ඒ පාටම සෙරෙප්පු දෙකකුත් ගත්තා. දැන් ඔබේ සිහිනය මේක ලස්සනට ඇඳලා, මල් ගහලා, ලස්සනට සැරසිලා මඟුල් ගෙදර යාමනේ.

දැන් ඔන්න මඟුල් ගේ තියෙන දවස එනවා. දැන් ඔබ ලස්සනට ඇඳලා උජාරුවට යනවා. යාළුවෝ “ආ…. ඔයා ලස්සන සාරියක් ඇඳලා ඉන්නවා” කියලා අතගානවා. දැන් ඔබ ඒකෙන් සතුටක් විඳින්නේ නැද්ද? විඳිනවානේ. ඔන්න ඔබ දැන් කෑම කන්න යනවා. කෑම කනකොට අච්චාරු දීසිය ඇඟේ හැලෙනවා. දැන් අර සාරියේ ලස්සන ඉවරයි. ඔබට එකපාරට දුකක් ඇතිවෙන්නේ නැද්ද? ඇයි, මහන්සි වෙලා ලස්සනට, හරිගස්සපු ඇඳුමට අච්චාරු හට්ටිය හැලූණා. දැන් ඔබට ලොකු ෂොක් එකක් එක්ක ඒ කෙරෙහි තියෙන ආශාව ටික ටික අඩුවෙනවනේ.

ඊට පස්සේ හිත නරක් වෙලා ගෙදර එනවා. ඇවිල්ලා ඒක හෝදලා බලනවා. අච්චරු පැල්ලම යන්නේ නෑ. දැන් අර පරණ විදිහටම ලස්සනට කපුරු බෝල දාලා කබඞ් එකේ දානවාද? නෑ. පැත්තකින් තියනවා. ඔන්න කෙනෙක් ඇවිල්ලා “අනේ… නෝනා ඇඳුමක් නැද්ද?” කියලා අහනවා “ආ… ගන්න ළමයෝ” කියලා ඒ සාරිය දෙනවා. ඒ මොකද, ඒ ඇඳුමෙන් යම්කිසි වින්දනයක් බලාපොරොත්තු වුණාද, ඒ වින්දනය ඒකෙන් නැතුව ගියේ යම් දවසකද, ඒ නැතිවූ දවසේ ඉඳලා ඒකට තිබුණ ආශාව ඉවර වෙලා ගියා.

එහෙනම් අපේ මේ ආශාව පවතින්නේ වින්දනය ලැබෙනකම් විතරයි. ඒ වින්දනය නැතුව ගියාම ආශාව නැතුව යනවා. පුංචි කාලයේ ඉඳලා අපේ ආශාව නැතුව ගියේ ඒ විදිහටයි. අපි පුංචි කාලේ යෝගට් හැඳි, සෙල්ලම් බඩු එකතු කළේ නැද්ද? කෝ ඒවා දැන්? ඒ කෙරෙහි අපේ යම් වින්දනයක් තිබුණද, ඒ වින්දනය නැතිවුණ ගමන් අපි ඒවා අත්හැරියා. පුංචි කාලේ පොඩි සපත්තු, ඇඳුම් ඉල්ල ඉල්ලා අඬනවා. “මට මේ සපත්තු අරන් දෙන්න… මේක අරන් දෙන්න… මේ මාලෙ අරන් දෙන්න… මේ වළලූ අරන් දෙන්න…” කියලා. හැබැයි අපි ඒවා ළඟ තියාගෙන ඉන්නේ ඒකේ ආශාව තියෙනකම් විතරයි. ඒකෙ වින්දනය නැතිවුණාට පස්සේ අපි දන්නෙම නෑ, අපට මතකත් නෑ අපි ඒක අත්හරිනවා නේද?

මේ විදිහම තමයි අපේ ස්වභාවය. වින්දනයක් ලැබෙනකොට ආශාවක් හටගන්නවා. ඒ වින්දනය නැතුව යනකොට ඒආශාව නැතුව යනවා. වෙන වින්දනයක් ඇතිවෙනකොට තව ආශාවක් හටගන්නවා. ඒ වින්දනය නැතිවෙන කොට ඒ ආශාව නැතිවෙනවා. මේ විදිහට ආශාව එකින් එකට මාරු වෙවී ආවේ නැද්ද? පුංචි කාලේ සෙල්ලම් කාර්වලට තිබුණු ආශාව, බෝනික්කන්ට තිබුණු ආශාව, කෝම්පිට්ටු උයන්න තිබුණු ආශාව වෙන එකකට මාරුවෙලා ගියේ නැද්ද? තරුණ වයස එනකොට ඒ ආශාව ඇඳුම්වලට, පෙම්වතුන්ට, පෙම්වතියන්ට මාරු වෙනවා. ඊට පස්සේ තව ටික කාලයක් යනකොට ඒ ආශාව දරුවන්ට මාරුවෙනවා. තව කාලයක් යන කොට මුනුබුරන්ට, මිනිබිරියන්ට ඒ ආශාව මාරුවෙනවා. ඔක්කොම අහිමි වෙනකොට ඒ ආශාව වත්තේ හතර මායිමට මාරුවෙනවා.

පටන්ගත්තේ සෙල්ලම්බඩු වලින්. ඉවර වෙන්නේ වත්තේ හතර මායිමෙන්. ඊට පස්සේ ‘මම නම් මේ ඉඩම දාලා යන්නේ නෑ’ කියලා කියනවා. බලන්න පුංචි කාලේ එයා ඒ ඉඩමට ආශා කළාද? දන්නෙත් නෑ. නමුත් දැන්.. ‘මං මළත් නයෙක් වෙලා හරි වටේ ඇවිදිනවා…’ කියනවා. මෙහෙම කියන අය ඕනතරම් ඉන්නවා. මට මතකයි දවසක් කෙනෙක් එක්තරා තැනකට ආශා කරලා ‘අනේ… මට මෙතැන ගෙම්බෙක් වුණත් සැපයි’ කියලා කිව්වා.

මේ විදිහට ආශාව එකින් එකට මාරුවෙලා යනවා. මේක කොහොමද වෙන්නේ කියලා, එයාට අවබෝධයක් නෑ. බලන්න ජීවිතයක අවබෝධයක් තිබීම කොච්චර වටිනවද? අපි කාලෙකට ආශා කරන දේට නෙවෙයි තව කාලෙකට ආශා කරන්නේ. ඊළඟ කාලෙට ආශා කරන දේට නෙවෙයි තව කාලෙකට ආශා කරන්නේ. එතකොට මේ ආශාව අනිත්‍ය වෙලා යනවා. අපට ඒක තේරෙන්නේ නෑ. වින්දනය වෙනස් වෙනකොට ආශාව වෙනස් වෙනවා. වින්දනය නැතිවෙනකොට ආශාව නැතිවෙනවා. නමුත් ‘මේ ආශාවේ තියෙන්නේ අනිත්‍ය වූ රටාවක් නේද?’ කියලා අපට අවබෝධයක් නෑ. අන්න ඒක අවබෝධවීම අපට හරි වැදගත්.

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

උපුටාගැනීම – “පින සහ අවබෝධය” පොතෙන්

The post බුද්ධිමත් කෙනා ඔබ වෙන්න පුළුවන්… appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here