බිල නොගෙව්වයි ගෙදර ලයිට් කපලා; දරු දෙදෙනාට පාඩම් කරන්න අල්ලපු ගෙදරින් ලයිට් ගන්න ගිය පියා විදුලියට බිලි

0
9

විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව වූ විදුලි බල මණ්ඩලය මගින් නිවසේ විදුලිය විසන්ධි කිරීමෙන් පසු පාසල් දරු දෙදෙනාට පාඩම් කිරීමට නොහැකි බව පවසමින් අසල්වැසි නිවසකින් විදුලිය ගැනීමට උත්සහ කළ දෙදරු පියෙකු එම විදුලි රැහැනේ පැටලී මියගොස් ඇතැයි ගම්පොළ, පුපුරැස්ස පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පුපුරැස්ස, ලෙවලන්වත්ත ජී.කේ. කොටසේ පදිංචිව සිටි අලගන් ගනේෂන් නමැති තිස්අට හැවිරිදි දෙදරු පියෙකි.

දැඩි ආර්ථික අපහසුතා නිසා මීට සතියකට පෙර මොහුගේ බිරිය ද ගෘහසේවය සඳහා විදේශගතව ඇති අතර පළමු වසරේ ඉගෙනුම ලබන ගැහැනු දරුවෙකු හා හය වසරේ ඉගෙනුම ලබන පිරිමි දරුවා බලා ගනිමින් මොහු වත්තේ පේළි නිවසක ජීවත් වී තිබිණ.

මොහු සමග ඔහුගේ පියා ද සිටින අතර රුපියල් දහසය දහසක හිඟ මුදලක් ඇති නිසා මොහුගේ නිවසේ විදුලිය විසන්ධි කර තිබේ.

විදුලිය නොමැතිකම සමඟ නිවසේ දැඩි අඳුරු බව හා මින් දරු දෙදෙනාගේ පාඩම් කටයුතු අඩාල වීම පිළිබඳව දැඩි දුකින් සිටි බව ඔහුගේ ඥාතීහු ගම්පොළ හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා හා පොලිස් නිලධාරීන් ඉදිරියේ සඳහන් කළහ.

විදුලිය නැති හේතුව නිසා එම පේළි නිවසේ සිටින ඥාතියකුගේ නිවසින් රැහැන් යොදා මොහුගේ නිවෙසට විදුලිය ගැනීමට උත්සහයක් ගෙන ඇති අතර ඒ අවස්ථාවේදී එම විදුලි වයරය ගෑවී ඔහු කෑ ගසා බිම වැටී තිබේ.

ඒ අවස්ථාවේ අසල්වැසියන් විදුලිය විසන්ධි කොට ඇති අතර මොහුගේ පියාගෙන් ඔහු බීමට ජලය ඉල්ලා ඇති අතර ජලය පානය කිරීමට පෙර මොහු මියගොස් තිබේ.

එම වත්තේ සිටින වෛද්‍යවරයෙකු පැමිණ මොහු මියගොස් ඇති බව තහවුරු කිරීම සමඟ පුපුරැස්ස පොලිසිය පරීක්ෂණ අරඹා තිබිණි.

ගම්පොළ රෝහලේ හදිසි මරණ පරික්ෂක නලින් ඒ. මැදිවක මහතා එම ස්ථානයට පැමිණි අතර ගම්පොළ ස්ථානීය අපරාධ අංශ (සොකෝ) නිලධාරීහු ද එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.

එම නිලධාරීන් ඉදිරියේ ප්‍රකාශ වුණේ විදුලිය බිල ගෙවීමට නොහැකිව එම වත්තේ තවත් නිවාස පහළොවක පමණ විදුලිය විසන්ධි කර ඇති බවයි. මෙම පේළි නිවාසයේ නිවාස තුනක ද විදුලිය විසන්ධි කර ඇති අතර අනෙකුත් නිවාසවලට ද රතු බිල් එවා ඇති බවද මෙහිදී සඳහන් විය.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here