බිරිඳගේ කියවීම නිසා විවාහය එපා වූ සැමියෙක්… – Sri News

0
17

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) 

 “අපි දෙන්න ගැලපෙන්නෙ නෑ. බැඳපු එක අපරාදෙ”

 විහාරා දැන් සතියටම දෙතුන් පාරක් හරි ඔහොම කියන එක නිශාල්ට පුරුද්දකට ගිහින්. 

මුල් දවස්වල හිත් රිද්දගත්තට බීරි අලියට වීණා වාදනය කරනව වගේ. නිශාල්ට දැන් ඕව ගාණක් ඇත්තෙම නෑ. 

 “මටත් දැන් හිතිල තියෙන්නෙ ඔයාට මාව ගැලපෙන්නෙ නෑ. ඔයාගෙ තත්ත්වෙට මාව මදි කියල” නිශාල් එහෙම කිව්වෙ තමන් උත්තර නොදී උන්නොත් ආයෙම වතාවක් තමන්ගෙ මොකක් හරි අඩුපාඩුවක් අල්ලගෙන ඒකම පොයින්ට් අවුට් කර කර කෑගහ ගහ ඉන්න විහාරා දෙපාරක් නොහිතන බව දන්න හන්දා.

 විහාරා යාලුවෙලා ඉන්න කාලෙත් ඔය පොඩි පොඩි දේවල් අල්ලගෙන දිගටම කියෙව්වට නිශාල් හිතුවෙ බැන්දයින් පස්සෙ ඔව්ව හරි යාවි කියල.

 ඒ උනාට උනේ ඉතින් ඒකෙ අනිත් පැත්ත. 

 “ඔව් ඉතින්. ඔයාට මං මොනව කිව්වත් දැන් වැරදියි.ඔයාට මගෙ කිසි අගයක් නෑ. අගයක් තියෙන මිනිහෙක්නම් කීයටවත් කසාද බැඳල හෝම්කමින් එකට ගෙදර ආව දවසෙ ඉඳල තමන්ගෙ ගෑනි ගෙදර තනියෙන් ඉද්දි යාලුවො එක්ක එහෙ මෙහෙ රෝන්දෙ යනවද?”

 ඔය කතාව විහාරාගෙ කටින් එලියට පනින කීවෙනි වතාවද කියලත් ඇත්තටම නිශාල්ට මතක නෑ. 

ඒ උනාට ඉතින් සුපුරුදු විදියටම සුපුරුදු උත්තරේම දුන්න. 

නැත්තම් “අපෙ තාත්තත් ඔහොමයි, අම්මා මොනව කිව්වත් ඇහුන්කං දෙන්නෙ නෑ. ඔයත් එහෙමයි” කියල ඒ වයසක මනුස්සයට බනින්න පවා විහාරා පෙළඹෙන බව නිශාල් දන්නවා 

 “ඇයි විහාරා ඔහොම බොරුවට චෝදනා කරන්නෙ? ඔයා හොඳටම දන්නව කැලුම් ඔස්ට්‍රේලියා ඉඳල ආවෙ අපෙ වෙඩින් එකටමයි. එහෙම එකා ආපහු රට යන්න කලින් උදව්වක් ඉල්ලුවම මට ඒක නොකර ඉන්න පුලුවන් ද?” 

 “ඔයාට තිබුණා ඒ උනාට එහෙම උනාම මම ගෙදර තනිවෙනව නේද කියල හිතන්න, මොන දේ උනත් ඒ ඔයාලගෙ මහගෙදර.ඔයාට හිතන්න තිබුන ඒක”

 “හරී මම පිලිගන්නව මගෙන් වරදක් උනා මට සමාවෙන්න” 

 “සමාවෙන්න කිව්වට එදා මගෙ හිත රිදිච්ච එක ආයෙ හැදෙන්නෙ නෑබෙ.මං කරගත්ත මහ මෝඩකමක් මේ කසාදෙ. අපි දෙන්නට කොහෙත්ම හොඳින් ඉන්න බෑ. අපි දෙන්න ගැලපෙන්නෙ නෑ. අපි ඉක්මන් උන එක අපරාදෙ බඳින්න. මං හරියට පසුතැවෙනව ඒ ගැන.දැන් අන්තිමේ අපි දෙන්නම සන්තෝසෙන් නෙවෙයිනෙ ඉන්නෙ. දුක් විඳිනව විතරයි හිතෙන් මුලු ලෝකෙට පේන්න නොගැලපෙන කසාදයක් අස්සෙ හිරවෙලා”

 දිගටම දිගටම කියවන විහාරගෙ කියවිල්ල ඉවසගන්න බැරුව නිශාල් එතනින් නැගිටල ගියා. 

ඒ උනාට විහාර දිගින් දිගටම හිත අස්සෙන් පුපුර පුපුර නිශාල්ට බැණ බැණ හිටියෙ. 

 මේ විදියට කියවන එක, කෑගහන එක එක්ක හොඳින් එකට ජීවත්වෙනව තියා හොඳින් වෙන් වෙලාවත් යන්න බැරි බව තේරුණ හන්දමයි විහාරායි නිශාලුයි මං ලඟට කවුන්සලින් වලට ආවෙ. 

 “මට ඇත්තටම හිතෙන්නෙ අපි දෙන්නට දෙන්න ගැලපෙන්නෙ නෑ. ආදරේ උනාට ගැලපෙන්නෙ නැතුව අපි කොහොමද එකට ජීවත් වෙන්නෙ? නිශාල් පොඩ්ඩක්වත් මං කියන ඒව අහන්නෙ නෑ. දෙයක් කිව්වම කරන්න සෑහෙන වෙලා ගන්නව. එක වෙලාවකට එක දෙයක් විතරයි කරන්නෙ. මං හිතන්නෙ පිරිමි ඔක්කොම එහෙමයි. අපෙ අම්මත් ඉස්සර හරියට තාත්තට බනිනව කිසිම දෙයක් සීරියස් ගණන් අරගෙන කරන්නෙ නෑ කියල” විහාරා තමන්ගෙ කතාව එහෙම කියද්දි නිශාල්ට කියන්න තිබුනෙ වෙනම කතාවක් 

 “මං හිතන්නෙ විහාරා සන්තෝසෙන් නෙවෙයි ඉන්නෙ. මම එයාට නොගැලපෙනව කියල එයා හිතාගෙන ඉන්නෙ. මට ඇත්තටම එහෙම එයාව බලෙන් දුකෙන් තියාගන්න උවමනා නෑ.” 

 ජීවිතේ අපිට හම්බුවෙන මිනිස්සුන්ගෙන් අපි එක්ක එකට ගමනක් යන්න, අපි එක්ක නතරවෙන්න කැමති මිනිස්සු ඉන්නෙ හරි අඩුවෙන්. ඒ අය තමයි අපේ යාලුවො, පාට්නර් වෙන්නෙ. හැබැයි ඒ කිසිම වෙලාවක අපිට කියන්න බෑ යාලුවෙක් විදියට හරි පාට්නර් විදියට හරි අපි එක්ක නතර උනේ, අපි එක්ක එකට ගමනක් යන්න අත්වැල් බැඳගත්තෙ 100% අපිට ගැලපෙන කෙනෙක් කියල.

 ආදරය කියන දේ ඇතිවෙන්නෙ විශ්වාසය, ආකර්ශණය සහ අදහස් ගැලපීම කියන කාරණාව මත බව ඇත්ත. ඒත් අපිට කිසිසේත්ම 100% අපිට ගැලපෙන, සර්ව සම්පූර්ණ කෙනෙක්ව හොයාගන්න බෑ. එහෙම මිනිස්සු මේ ලෝකෙ නෑ. අපි හැමෝටම අපිටම ආවේණික වුණ අසම්පූර්ණතා තියෙනව. 

ආදරයකදි, බැඳීමකදි වෙන්න ඕන ඒ අසම්පූර්ණතා සහ නොගැලපීම් තේරුම් ගැනීම. 

 ගැහැණු මොලය පිරිමි මොලය වෙනස්. ස්වභාවදහමෙන්ම කාන්තාව එහෙම නැත්තම් ගැහැණියව හදල තියෙන්නෙ මව් පදවිය දරාගන්න පුලුවන් විදියට ශරීරය විතරක් නෙවෙයි මානසිකවත් අපිව හුරුකරවල. Multi tasking කරන්න පුලුවන් කෙනෙක් විදියට. 

ඒත් පිරිමි කෙනෙක් මෙතනදි සාපේක්ශ්ව වෙනස්. Multitasking කියන ability එක වගේම ගැහැනු කෙනෙක්ට අතීතයේ උන ගොඩක් දේවල් මතක තියාගන්න පුලුවන් විදියෙ මනසක් තියෙනව. ඒකයි ගොඩක් ප්‍රශ්න වලදි අවුරුදු ගාණකට කලින් වෙච්ච දෙයක් උනත් ඒ විදියටම ඕනම මොහොතක මතකය අලුත් කරගෙන වර්තමාන ප්‍රශ්නයකට ඈඳගන්න පුලුවන්කමක් ගැහැණියකට තියෙන්නෙ. පිරිමිකෙනෙක් එහෙම නෙවෙයි. 

අද රන්ඩුවෙලා හෙට උදේ නැගිටල ආයෙ මුකුත් නොවුණ වගේ ඉන්න එයාලට පුලුවන්. 

මේක අපිම හිතල හදාගත්තොත් ඇරෙන්න සාමාන්‍යයෙන් හැම කාන්තාවකටම වගේ තියෙන පොදු ගතිගුණයක්. හැමදේම මතකයි.

 Multitasking කරන්න ඒ මතකය උවමනයි.

 ගැහැනියක් ආදරේට ලෝබයි. හැබැයි අපි තේරුම්ගන්න ඕන අපි එකිනෙකාට වෙනස් විශමතා තියෙන මිනිස්සු බව. ඒ විශමතා එක්ක තමයි අපිට ඉදිරියට යන්න උවමනා වෙනව කියන එක. සර්වසම්පූර්ණ මිනිස්සු මේ ලෝකෙ නැහැ. 

සමහර මිනිස්සු ඉන්නව එකට ජීවත් වෙන්න අපහසුතා ඇතිවෙන විශමතා තියෙන. හැබැයි විහාරා සහ නිශාල් මුහුණ දීල තිබුනෙ තමන්ට ස්වභාවිකව ලැබිල තියෙන මේ විශමතා තේරුම්ගන්න බැරි නිසා, එකිනෙකාව වැරදියට දැකීම නිසා ඇතිවුණ විසඳගන්න පුලුවන් අන්දමේ ගැටලුවක්. 

ඒ නිසා දෙදෙනා වෙන්වුනා නම් හෝ අසතුටෙන් පවුල් ජීවිතය ගෙව්වා නම් ඒක අපරාදයක්. 

 අපි සමහරවෙලාවට බොහොමයක් සබඳතා ඇතුලෙ අපේ සහකරුවගෙ වැරදි ඇඟිල්ලෙන් ඇණ ඇණ නිතරම පෙන්නල දෙනව. කාලයක් ඉවසගෙන හිටියට දවසක් එන්න පුලුවන් ඒ ඉවසීම අවසන් වෙන. ඒ අවසන් වීම මොන විදියට අවසන් වෙයිද කියල ඒ අවසානය එනතුරුම අපිට කියන්න බෑ.

 දැඩිව තමන්ගෙ මතයේ ඉඳීම පවුල් ජීවිතයකට ගැටලුවක්. නිතරම සහකරුවාගෙ වැරදි පෙන්වා දීම ගැටලුවක්. වරදක් පෙන්වල දුන්නම ඒ වරද පිලිගන්න සහකරුවෙක් එක්ක ගෙවන පවුල් ජීවිතයක් දැඩි මතදාරී වීම නිසා වගේම Perfectionist කෙනෙක් වීම නිසා අහිමි කරගත්තොත් ඒක අපරාදයක්.

 පවුල් ජීවිතය කියන්නෙ කැපකිරීම, දරාගැනීම සහ ඉවසීම කියන කාරණා එකතුවුණ හැඟීමක්.

” මම නිසා මෙයාගෙ ජීවිතේ විනාශ වෙනව” කියල ඇත්තටම හිතෙන මොහොතක අයින් වෙන එක ගැටලුවක් නෙවෙයි. ඒත් ඕනම අවසානයක් ආරම්භයක් තරම්ම සුන්දර වෙන්න ඕන, වැදගත් වෙන්න ඕන. 

ආදරයෙදි ආරම්භය වගේම අවසානයත් එකිනෙකාට ගෞරවාන්විත වෙන්න ඕන. 

 මවාගත්ත ලෝක ගොඩනගාගන්න බැරිවුණාම කලහකාරී වෙලා සබඳතාවය බිඳ ගැනීම වෙනුවට ආයෙ වරක් හිතල බලන්න, කතා බහ කරල, ඉවසීමෙන් සහ සවන් දීමෙන් මේ ගැටලු විසඳගන්න අපිට බැරිද කියල!

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here