බ්‍රහ්ම ලෝකයක උපතක්… – Sri News

0
4


මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව සතර බ්‍රහ්ම විහරණ කියා හඳුන්වන්නේ ඒවා බ්‍රහ්මයන් තුළ පවතින සුවිශේෂී ගුණ ධර්මයන් නිසයි .

මනුෂ්‍යයන් වශයෙන් අපත් නිතර නිතර බහුල වශයෙන් මේ කරුණු අපේ ජීවිත වල දියුණු කරගත්තොත් මරණින් මතු බ්‍රහ්ම ලෝකයක උපත ලබන්නට අපටත් පුළුවන්.

බඹලොව දී තවදුරටත් ධර්ම මාර්ගය දියුණු කරගෙන ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. අන් අයගේ ආර්ථික අධ්‍යාත්මික දියුණුව දැක එය අනුමෝදන් වෙමින් එයට හදවතින්ම ආශිර්වාද කරමින් ඒ කෙරෙහි ඇතිකරගන්නා සතුට මුදිතාව කියා හඳුන්වනවා .

මුදිතාව නැත්නම් එතන හටගන්නේ ඊර්ෂ්‍යාව. එය බලවත් දුර්විපාක ගෙන දෙන අකුසල් ස්වභාවයක් .නමුත් මුදිතාව ඇති කෙනා තව කෙනෙක් ධාර්මිකව ධනය රැස් කරගෙන ඉඩකඩම් ගෙවල් දොරවල් හදාගෙන දියුණු වෙලා ඉන්නකොට ඒ ගැන සතුටු වෙනවා.

ඒ වගේම අන් අය හොඳින් ඉගෙන ගන්නවා නම් හොඳ රැකියාවක් කරනවානම් සමාජ පිළිගැනීමට ලක් වෙනවා නම් ලස්සනට ක්‍රමානුකූලව ජීවත් වෙනවා නම් ඒ සෑම කරුණක දී ම සිතේ සතුටක් ඇති කරගන්න දක්ශ වෙනවා. එවිට අපේ ජීවිත වලට උතුම් පින් රැස්වෙනව. එම පින, ඒ සම්පත් අපටද ලැබීම පිණිසත් කර්මානුරූපීව උපකාරී වන අයුරින් පිනක් බවටත් පත්වෙනවා .

කුසල් අකුසල් ගැන අවබෝධයක් නැති සමහරු තවත් කෙනෙකුගේ ලස්සන රූපයට ඊර්ෂ්‍යා කරනවා. එවැනි අකුසල් සිතිවිලි බැහැර කරල මුදිතාව ඇති කරගන්නට අපි මහන්සි වෙන්න ඕන.අන් අය තුළ ගුණධර්ම දියුණු වන විටත් අපි ඒ කෙරෙහි සතුටු වෙන්න ඕන. ඒ කියන්නේ තව කෙනෙක් හොඳින් දන්පැන් පූජා කරද්දී හොඳ දහම් දැනුමක් ඇති කර ගනිද්දී අපි හදවතින්ම එයට ආශිර්වාද කරන්න ඕන.

තව කෙනෙක් මිහිරි හඬින් තෙරුවන් ගුණ කවි කියනවා නම් ලස්සනට ධර්මය දේශනා කරනවා නම් ඒ ගැන සතුටු වෙන්න ඕන. ඒ හැම විටම අප තුළ මුදිතාව දියුණු වෙනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ අර්ථය හෙවත් කුසල් දහම්වල සිත නො ඇලෙන ගතිය දුරු කරගන්න මුදිතාව වඩන්න කියලා මුදිතාව දියුණු කරගත්තොත් කුසල් දහම් වලට අලවගෙන නිරාමිස සතුටින් කාලය ගත කළ හැකියි. මුදිතාව භාවනා වශයෙන් දියුණු කිරීමෙන් ඇතිකරගන්නා චිත්ත සමාධිය මුදිතා චේතෝ විමුක්තිය කියා හඳුන්වනවා මුදිතා චේතෝ විමුක්තියත් මහග්ගත අප්පමාණ යන ක්‍රම දෙකෙන් ම දියුණු කළ හැකියි.

මහග්ගත චේතෝ විමුක්තිය ටිකෙන් ටික ප්‍රදේශය පුළුල් කරමින් පැතිර විය හැකියි .අප අප්පමාණ චේතෝ විමුක්තියේ දී පළමුව තමන්ට මුදිතාව වඩා ඉන් පසු උතුරු දිශාව ද උතුරු අනුදිශාව ආදි වශයෙන් දස දිශාවටම මුදිතාව පැතිරවිය හැකියි. ඒ තුළින් මුදිතා ධ්‍යාන උපදවා ගන්නත් එම ධ්‍යාන තුළ පිහිටා විදර්ශනා වඩා මාර්ගඵල අවබෝධ කරගන්නටත් හැකියාව ඇති බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.

එම නිසා අපි කවුරුත් එදිනෙදා ජීවිතයේ දී මුදිතාව දියුණු කර ගැනීමටත් භාවනාවක් වශයෙන් ප්‍රගුණ කරගැනීමටත් උත්සාහවත් වෙමු.

මේ දහම් කරුණු ඔබට අපෙන්

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here