බතල වලින් රසවත් ඉඳිආප්ප හදමු… – Sri News

0
21

සාම්ප්‍රදායික ආහාර වර්ග වගේම සාම්ප්‍රදායික ආහාර වර්ග වලට අලුත් සුවඳ, පාට සහ රස එකතු කරල වෙනස්ම ආහාර වර්ග පිළියෙල කරන්න අපි බොහෝදෙනෙක් අද වෙද්දි පෙළඹිලා ඉන්නවනේ.

ඉතිං එහෙම වෙනස් වෙනස් ආහාර වට්ටෝරු අත්හදා බලන්න වගේම රසවිඳින්නත් කැමති ඔබ වෙනුවෙන්ම ඔන්න අපි අද දන්න කියන ආහාර වර්ගයක් වෙනස්ම රසයට උයාගන්න විදිහ කියල දෙන්නයි සූදානම් වෙන්නෙ.

 

අපිට පුරුදු පාන් පිටි, හාල් පිටි වලින් සකසපු ඉඳිආප්ප ඔන්න එහෙනම් බතල එකතු කරලත් හදල බලමුද?

මුලින්ම බලමුකො අපිට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මොනවද කියල

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳින් තම්බා පොතු ඉවත්කරගෙන කෑලි නොසිටින සේ පොඩිකරගත් බතල කෝප්ප ½ ක් 

හාල් පිටි කෝප්ප 01 ක්

ලුණු කුඩු

කහ කුඩු 

වතුර

සාදාගන්නා ආකාරය

මුලින්ම තරමක් විශාල භාජනයක් ගෙන එයට බතල කෝප්ප ½ සහ හාල් පිටි කෝප්පය එකතු කරගන්න.

දැන් ලුණු ස්වල්පයක් සහ කහ කුඩු ස්වල්පයක් එයටම එකතු කරන්න. 

වතුර එකතු නොකර මේ සියල්ල අතින් හොඳින් කලවම් කරගන්න. 

ඊළඟට වතුර තේ හැන්ද බැගින් එකතු කරමින් අතේ නොඇලෙන මෘදු පිටි ගුලියක් සාදාගන්න.

මේ සඳහා ඔබට වතුර මේස හැඳි 01 හෝ 02 ක් පමණ අවශ්‍ය වෙන්න පුළුවන්. 

දැන් ඉඳි ආප්ප වට්ටි සහ ඉඳි ආප්ප වංගෙඩියේ තෙල් ආලේප කර සූදානම් කරගන්න.

සාදාගත් පිටි මිශ්‍රණයෙන් කොටස බැඟින් ඉඳිආප්ප වංගෙඩියට දමාගෙන සාමාන්‍ය ඉඳිආප්ප මිරිකන ආකාරයටම ඉඳි ආප්ප තට්ටු වලට මිරිකාගන්න. 

නටන වතුර වල වාෂ්පයෙන් විනාඩි 07 ක් පමණ තම්බාගෙන ඉඳිආප්ප තට්ටු ලිපෙන් ඉවතට ගන්න. 

දැන් උණුසුම් සහ රසවත් බතල ඉඳිආප්ප පිළියෙල කරගෙන අවසානයි.

පොල් සම්බෝල, මස්, මාළු හෝ ඔබ කැමති ව්‍යාංජනයක් සමඟ බතල ඉඳිආප්ප රසවිඳින්න දැන් ඔබටත් පුළුවන්. 

මෙවැනිම රසවත් ලිපියකින් අපි නැවත හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here