බක් පුර පසලොස්වක පොහෝ දිනය අදයි – Sri News

0
5


ශ්රී ලාංකේය බෞද්ධ සැදැහැවතුන් හට අතිශය වැදගත් පුර පසලොස්වක පොහොය දිනයක් ලෙසින් බක් පුන් පොහොය දිනය හැඳින්විය හැකි ය. ඊට ඇති ප්රධානතම හේතුව වනුයේ, තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය අද වැනි සිදු වීම ය.

අප මහා තිලෝගුරු බුදුන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පස් වසරකට පසුව දෙවැනි වරට ශ්රී ලංකාද්වීපයට වැඩම කළ බව ධර්ම සාහිත්යයේ මෙන්ම පුරාවෘත්තයන්හි ද සඳහන් වන අතර, මෙම වැඩම කිරීමට හේතුව වී ඇතැයි සැලකෙන්නේ මෙරට ප්රබල නා රජවරුන් දෙදෙනෙක් වූ චූලෝදර සහ මහෝදර නම් දෙබෑයන් එක් මිණි පළඟක් වෙනුවෙන් ඇති කරගත් යුද්ධයකි. එය සමතයකට පත් කරමින් ශ්රී ලංකාවේ වර්තමානයේ නාගදීපය යැයි හැඳින්වෙන පුරවරයට එකල බුදුරදුන් වැඩම කළ බව විශ්වාස කරන අතර, එහිදී උන්වහන්සේගේ ධර්මය අසා යුධ වැදීමට නියමිතව සිටි දෙපාර්ශවය ම දහම් සිසිලෙන් අස්වැසුණු බව අප අසා ඇත්තෙමු. එනිසා ම මෙම පොහෝ දිනයේ දී බොහෝ විට ශ්රී ලාංකික සැදැහැවතුන් නාගදීප විහාරය වන්දනාවට හුරුව සිටී.

 

එමෙන්ම මෙම යුධ වැදීම වෙනුවෙන් නාගදීපයට පැමිණ සිටි මණිඅක්ඛිත නා රජු ද එදවස එහිදී බුදු හිමියන්ගෙන් බණ අසා පැහැදී, උන්වහන්සේ වෙනුවෙන් ඇරයුමක් කරමින් තම පුරවරය වන කැලණියට වැඩම කරන්නැයි පැවසූ බව ද අප අසා ඇති අතර එය ද අද වැනි දිනෙක සිදු වූ වැදගත් සිදුවීමක් ලෙස සඳහන් කළ හැකි ය. පසුකලෙක වෙසක් පුන් පොහෝ දා බුදුන් වහන්සේ තෙවන වරට ලංකාද්වීපයට ඒ අනුව වැඩම කරනුයේ එම ඇරයුම පරිදි කැලණිය පුදබිම වෙත ය.

 

මේ සියලු කරුණු කාරණා නිසාවෙන් බක් පුන් පොහොය ශ්රී ලාංකික ජනතාවට අතිශය වැදගත් දවසක් වන අතර, බොහෝ දෙනෙකු සිංහල අවුරුදු සමයේ යෙදෙන මෙම පොහෝ දිනය නිමිති කොට තව තවත් ග්රාමීය වශයෙන් වූ සාම්ප්රදායික පිංකම් උත්සව පැවැත්වීමට ද හුරුව ඇත. එනිසා විවිධ උප සංස්කෘතික ම ය පසුබිම් ඔස්සේ ද මෙම පොහොය දිනය වෙනුවෙන් ඇති වටිනාකම සුවිසල් ය.

 

සම්බුද්ධ චරිතයේ ද සුවිශේෂී හැරවුම්ලක්ෂයක් සනිටුහන් වූ දිනයක් ලෙස බක් පුන් පොහෝ දා සැලකෙන බව අපි දනිමු. එයට හේතුව වනුයේ රම්ය සුරම්ය සුභ ආදි මහා විසල් සැප මන්දිරවල සුඛ විහරණයේ කල් ගෙවමින් සිටි සිද්ධාර්ථ කුමරුවන් අසු අරා නැගි සංචාරයක දී මුල්වරට මහල්ලෙකු දකිනුයේ අද වැනි දිනෙක ය. බුදුන් වහන්සේගේ සත්ය සොයායෑමේ චාරිකාවේ, එනම් අභිනිෂ්ක්රමණයෙහි ආරම්භක අවස්ථාව මෙය බව ද විද්වතුන් අදහස් දක්වන අතර ම කුඩා කල පටන් ධර්ම සාහිත්යයේ දී අප සතර පෙර නිමිති නමින් උගන්නා මහල්ලෙක්, ලෙඩෙක්, මළකඳක් සහ පැවිදි රූපයක් යන සතර පුද්ගල ස්වරූපයක් දැක අවබෝධය පහල කරගැනීමේ අවස්ථාව සිදුහත් කුමරු ලබනුයේ අද වැනි දිනයක දී ය.

එනිසාවෙන් මේ සා වටිනාකම් ගණනාවක් ම ඇති මේ උතුම් බක් පුර පසලොස්වක පොහෝ දිනයේ ද ඔබ අප කුසල් දහම් වඩමින්, සීලය ආරක්ෂා කරමින් මෙලොව පරලොව සැපත සුවය වෙනුවෙන් කටයුතු කිරීමටත් ජීවනයේ පරම සැපත වූ නිර්වාණ ශාන්තිය වෙත ළඟාවීමටත් උත්සුක වීම වඩා යහපත් බව අපි විශ්වාස කරන්නෙමු.

 

සහෝදරත්වයෙන් එක්වෙමු                                                                                                                                                                       ©Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here