Home හරිත යාය පෝෂණය, ස්වයංපෝෂණය සහ මන්දපෝෂණය – Sri News

පෝෂණය, ස්වයංපෝෂණය සහ මන්දපෝෂණය – Sri News

0
13


පසුගිය ජූනි මස මෙරට ජාතික පෝෂණ මාසය ලෙස නම් කර තිබුණි. එ් නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සහ යුනිසෙෆ් සංවිධානය අප රට පෝෂණ තත්ත්වය ගැන ඉතා සිත්ගන්නා සුලු තොරතුරු කීපයක් එළි කරමින් පත‍්‍රිකාවක් එළි දක්වා ඇත. එහි මෙසේ කියවේ.

‘ශ‍්‍රී ලාංකික ළමයින් තුන් දෙනෙකුගෙන් එක් අයෙක් සහ රට තුළ වෙසෙන වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් යකඩ ඌනතාවයෙන් පෙළෙයි. රක්තහීනතාවයෙන් පෙළෙන මව්වරුන් (ගර්භිණී මව්වරුන්ගෙන් 16%ක්) විසින් බිහිකරනු ලබන දරුවන් බොහෝවිට අඩු බරින් යුක්ත වන අතර ළදරු හා ළමා වියේ දී මිය යාමේ වඩා ඉහළ අවදානමකට මුහුණ දෙති.’

යකඩ ඌනතාව මතක ශක්තිය කෙටි කරයි. අවධානය රඳවා ගැනීමේ පරාසය සීමා කරයි. පන්ති කාමරය තුළ ළමයාගේ ක‍්‍රියාකාරිත්වය දුර්වල කරයි. මෙම තොරතුරු ඉස්මතු කරමින් යුනිසෙෆ් පෝෂණ විද්‍යා විශේෂඥයන් කියා සිටින්නේ අප රට ළමුන්ගෙන් 40%ක් ගණිත විෂයෙන් අසමත් වීම සහ මෙම තොරතුරු අතර සෘජු සබඳතාවක් ඇති බවයි.

2012 වසරේ දී වයස 4ට අඩු දරුවන්ගෙන් 15.1%ක් නිරක්තියෙන් පෙළුනහ. 50%කගේ නිරක්තියට හේතුව යකඩ ඌනතාවයයි.

වැදගත් ම තොරතුර මෙයයි.
‘යකඩ ඌනතාව හට ගැනීමට දුප්පත්කම සම්බන්ධයක් නැත. එය සිදු වන්නේ වැරදි ආහාර රටාව හේතු කොටගෙන ය.’ (ඩේලි නිවුස් පුවත්පත – 2014 ජූනි 2)

පසුගිය දශකයක පමණ කාලයේ සෞඛ්‍ය අමාත්‍යංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, විශ්ව විද්‍යාල, යුනිසෙෆ් වැනි ආයතන විසින් සකස් කරන ලද මෙරට පෝෂණ තත්ත්වය පිළිබඳ තොරතුරු විශ්ලේෂණාත්මකව බලන්න. ඉහත සඳහන් කරුණු සනාථ කරන සංඛ්‍යා ලේඛන ඔබට දක්නට ලැබේ.

එක් පැත්තකින් අපි අප නො දියුණු රටක තත්ත්වයෙන් මිදී දියුණුවෙමින් පවතින රටක් බවට උදන් අනමින් සිටිමු. අපගේ එ්ක පුද්ගල ආදායම වසරින් වසර ඉහළ නගී. අනෙක් පැත්තෙන් අප කියන්නේ අපගේ අනාගත පරම්පාවෙන් විශාල කොටසක් මන්දපෝෂණයෙන් පෙළෙන බවයි. මන්දබුද්ධික බවට ලක් විය හැකි බවයි.

මෙරට කතුන්ගෙන් 18%ක් අඩු බර තත්ත්වයේ (මන්දපෝෂිතව) සිටින අතර 29%ක් බර අධික තරබාරු (අධි පෝෂිත) අය වෙති. මෙම තොරතුරු කියන්නේ අපට කොතැනක හෝ වැරදී ඇති බවක් නො වේ ද?

මොහොතකට සිතන්න. අපට වැරදීමට හැකි ක‍්‍රම දෙකක් මගේ මතකයට එයි. එකක් නම් නො දැනුවත්කමින් සිදුවන වැරදීම් ය. දෙවැන්න සිතාමතා ම කවුරුන් හෝ අපට වැරැද්දවීම ය.

අප රට පෝෂණ තත්ත්වය ගැන සිතා බැලීමේ දී අප පිළිගත යුත්තේ ඉහත කාරණා දෙකෙන් කුමන තත්ත්වය ද? සියයට අනූවකට අධික සාක්ෂරතාවක් සහිත, ඉහළ අධ්‍යාපන මට්ටමක් සහිත යයි උදම් අනන අපට නො දැනුවත්කමින්, පෝෂණ තොරතුරු නො දැනුම්කමින් මෙම තත්ත්වය ඇති කරගත්තා යයි සිතිය හැකි ද? එසේත් නැති නම් කවුරුන් හෝ සිතාමතා ම වැරදි තොරතුරු සපයමින් යම්කිසි සැඟවුන න්‍යාය පත‍්‍රයකට අපට වරද්දවා ඇතැයි අපට සිතන්නට නො හැකි ද?

මෙබඳු සැකයක් ඇති කරගැනීමට හේතු වන බොහෝ කාරණා අපට දකින්නට අසන්නට ලැබේ.

නූතන යුගයේ ආහාර සහ පෝෂණය ගැන සඳහන් කිරීමේ දී අපට මුලින් ම ලැබුනේ අලූත් වචන මාලාවකි. පිෂ්ටය, මේදය, සීිනී, තන්තු, ප්‍රෝටීන්, විටමින් වර්ග, ලවණ, කැල්සියම්, කැලරි, ඇමයිනෝ අම්ල, ප්‍රෝබයොටික් වැනි ඔබටත් මටත් නො පෙනෙන එහෙත් විද්‍යාඥයන්ට පමණක් පෙනෙන වචන මාලාවකින් ආහාර හඳුන්වා දීමට අද අප පෙළඹ ඇත්තේ නූතන පෝෂණ විද්‍යාවට පින් සිදු වන්නට ය.

කාලයත් සමග විද්‍යා දැනුම සංවර්ධනය වීම නරක ප‍්‍රවණතාවක් නො වේ. එහෙත් එම දැනුම භාවිතාව පිළිබඳව ඇති ප‍්‍රවණතා ගැන අපගේ අවධානය යොමු කළහොත් අපට වෙනත් ආකාරයේ පින්තූරයක් දකින්නට ලැබේ.

ආහාරය යනු ශරීරය නිරෝගීව පවත්වා ගෙන යාම සඳහා උපකාරක වන්නක් මිස, ගත සැරසීමට, අලංකාර කරගැනීමට, මදය සඳහා උපයෝගී කරගන්නා ලද්දක් නො වීම හෙළ ආහාර සංස්කෘතියේ වටිනා මූලධර්මයක් බව පෙර කලාපයේ දී පෙන්වා දීමට කටයුතු කළෙමි.

සිරුර යනු සෑම විට ම ආබාධ සහිත එකකි. ඉතා සුළු කරුණකින් වුව ද රෝගවලට භාජනය වන්නට ඉඩ ඇති එකකි. එහෙයින් සිරුර දෙස බැලිය යුත්තේ ආයාසයකින් සුව කරගත යුතු රෝගාබාධ මූලයක් වශයෙනි. බොදු දර්ශනයෙන් ඔපවත් වූ හෙළ ආහාර සංස්කෘතියේ ආහාර ඖෂධයක් ලෙස සලකන ලද්දේ එනිසා ය. මනුෂ්‍යයා ද පරිසරයේ කොටසකි. මනුෂ්‍ය පැවැත්මට අවශ්‍ය ආහාර, පරිසරය නො නසා පරිසරයෙන් උකහා ගැනීමට අප පෙළඹුනේ මෙම උසස් සංස්කෘතියේ බලපෑම මත ය.

මෙම ආහාර සංස්කෘතියෙන් අප මුදවා ගෙන නවීන පෝෂණවේදයට අප කැඳවාගෙන පැමිණියේ නවීන විද්‍යාව යයි කියාගන්නා දැනුම විසිනි. අපට දැන් ආහාරයේ මුඛ්‍ය පරමාර්ථය අමතකව ඇත. ඖෂධයක් වෙනුවට අද ආහාරය වාණිජ භාණ්ඩයක් බවට පත්ව ඇත.

ආහාරය පරිසරයෙන් ලබාගනු ලබන, ශරීරය සුවපත් කරගන්නා දෙයක් ය යන්න වෙනුවට අද අප තුළට ඇතුල් කර ඇති සංකල්පය වන්නේ ආහාරය යනු පෝෂණ පදාර්ථ ලබා ගන්නා මාධ්‍යයක් බව ය. පිම්බුන අයකු මෙන් ගත සරසා ගන්නට උපකාරී වන දෙයක් බව ය. ඔබට ලබා දී ඇති සෞඛ්‍ය සහ පෝෂණ දැනුම අනුව ඔබ ඔබේ දරුවාට ආහාර ලබා දෙන්නේ අවශ්‍ය ප්‍රෝටීන්, ලවණ, යකඩ, කැල්සියම්, විටමින් ආදි නවීන පෝෂණ නිර්ණායක අනුව නො වේ ද?

නවීන විද්‍යාව මගින් කර ඇත්තේ අප විසින් සම්ප‍්‍රදායිකව අනුභව කරන ලද ආහාරවල ඉහත කී පෝෂණ ගුණාංග හඳුනාගැනීම පමණක් යයි කිසිවකුට තර්ක කළ හැක. එහි යම් සත්‍යතාවක් ඇත. නමුත් එය සම්පූර්ණ සත්‍යය නො වේ.

නියම සත්‍යය එතරම් ප‍්‍රියජනක වූවක් නො වේ. නවීන විද්‍යාව මිනිසා උදෙසා යයි උදම් ඇනුව ද, එය නියම වශයෙන් උරුම කර ගෙන ඇත්තේ වෙළඳ ලෝකය විසින් බව නියම සත්‍යයයි. අප රට ගැබිනි කතුන්ගෙන් 87%ක් යකඩ ඌනතාවෙන් පෙළෙන හෙයින් එම කාලය තුළ දී ඔවුනට විටමින් බී සංකීර්ණය රජය විසින් සැපයීමට කටයුතු කරනු ලැබේ. මෙම සියලු පෝෂණ නිෂ්පාදන වෙළඳ සමාගම්වල ආදායම් මාර්ගයයි. පෝෂණ විද්‍යාව යනු පරිසරයෙන් ආහාර සපයා ගැනීම නො ව ව්‍යාපාරවලට වෙළඳපළ සැපයීම බවට තවත් සාධක අවශ්‍ය ද?

මඳක් ඔබේ ආහාර රටාව ගැන විමසා බලන්න. ඔබ කොතෙක් දුරට ඔබේ ආහාරය ශරීරය පවත්වා ගැනීම සඳහා පමණක් යැයි සිතා ආහාර ගන්නවා ද? නැත්නම් වෙළන්දන් විසින් නිපදවන ලද පෝෂණ පදාර්ථවලට ඇබ්බැහි වී ඇති ද? ඔබ මිල දී ගන්නේ ලේබලයේ ඇති ප්‍රෝටීන්, විටමින්, ලවණ ආදි පෝෂණ පදාර්ථ දෙස බලා නො වේ ද? මේ වෙළඳ ක‍්‍රියාවලිය තුළ ඔබ කොතරම් මුළාවට පත් කර තිබේ ද යන්න පැහැදිලි කරන අවසාන ප‍්‍රතිඵලය රටේ ළමා ජනගහනයෙන් 1/3ක් සහ වැඩිහිටි ජනගහනයෙන් 1/4ක් මන්දපෝෂණයෙන් පෙළීම ය.

අපට කොතැන හෝ වරද්දා ඇති බව මා මුල දී ම කීවේ මෙනිසා ය.

කෙටි උදාහරණයක් ගනිමු. කිරි කැල්සියම් ඔබට ලබා දීම සඳහා වෙළඳ දැන්වීම් කොපමණක් ගුවන් විදුලි සහ රූපවාහිනී හරහා ඔබව පෙළඹවීමට උත්සාහ දරනවා ද? කිරිවල කැල්සියම් බහුල බව පෝෂණ විද්‍යාව පෙන්වා දෙයි. එහෙත් අප සිරුරට කිරි කැල්සියම් උරා ගැනීම අසීරු බව ඔවුන් ඔබට කියන්නේ නැත. කිසිදු වියදමක් නොමැතිව මුරුංගා, කතුරු මුරුංගා, මංඤොක්කා වැනි පලා කොළවලින් කැල්සියම් ඔබට ලබා ගත හැකි බව කීමට කිසිවකු වෙළඳ දැන්වීම් පළ කරන්නේ නැත.

පෝෂණ පදාර්ථ විකිණීම අද ලාබදායී ව්‍යාපාරයකි. ආහාර සම්බන්ධ සියලු වෙළඳ දැන්වීම්වලින් ඔබට ඔවුන් විකුණන්නේ ප්‍රෝටීන්, කැල්සියම්, විටමින්, ලවණ, ප්‍රෝබයොටික් වැනි එ්වා ය. එම ආහාරවල අන්තර්ගතය ගැන ඔබට සැකයක් නැත. එ්, එම ආහාර මහා පරිමාණ ව්‍යාපාරවලින් නිපදවන හෙයිනි. එහෙත් රක්ත හීනතාවය, යකඩ ඌනතාවය තාමත් එතැන ම ය.

අප මෙය දැකිය යුත්තේ කෙසේ ද..? හෙළ ආහාර සංස්කෘතිය දෙස විමසුමෙන් බලන්න. අප පැරැුන්නන් විටමින්, ප්‍රෝටීන්, කැල්සියම් ආදි වශයෙන් ආහාර වර්ග කර බෙදා දැක්වීමට කටයුතු කළේ නැත. එබඳු තාක්ෂණයක් නො තිබූ නිසා ම නො වේ. එබඳු සරල බෙදා වෙන් කිරීමක් ඵල රහිත බව දැන සිටි නිසා ය. පෝෂණ පදාර්ථ බෙදා ආහාරයට ගැනීමට අවශ්‍යතාවක් නො වූ නිසා ය.

පරිසරයෙන් ලබා ගත්, එමෙන් ම පරිසර හිතකාමීව වගා කරගත් ආහාර ශරීරයට අවශ්‍ය සියලූ ම පෝෂණය ලබා දීමට සමත් විය. සරල සාම්පලයක් ගෙන බලන්න. නිවුඩු සහල් බත් හෝ කුරහන්, මෙනේරි, තල, අල, කොස් පොලොස්, පලා, පලතුරු යන මේවායින් දිනකට ආහාර වේලක් ගන්නේ නම් බාහිර වශයෙන් කිසිදු විටමිනයක්, ලවණයක් ආදිය අවශ්‍ය වන්නේ නැත. එය සමස්ත වශයෙන් ම අංග සම්පූර්ණ ආහාර වේලක් විය.

ශරීරය ආබාධවලට භාජනය වීමට ඇති ඉඩකඩ ගැන දත් ඔව්හු මෙම ආහාර වර්ගවල ඖෂධීය ගුණ ගැන වැඩි අවධානය යොමු කළහ. එසේ කළේ ඇයි ද යන්න අපට පැහැදිලි ය. නවීන පෝෂණ විද්‍යාඥයන් කියන්නේ මවගේ රක්ත හීනතාවය, යකඩ ඌනතාවය නිසා බිහි කරන දරුවන් අඩු බර, මන්දපෝෂණයෙන් පෙළෙන අය වන අතට නිතර රෝගාබාධවලට ගොදුරු වන අය බව ය. එසේ නම් අප පැරැුන්නන් ආහාරය ඖෂධයක් ලෙස සලකන ලද්දේ ඇයි ද යන්න ඔබට පැහැදිලි විය යුතු ය.

හරිත විප්ලවය විසින් ගොවිතැන වාණිජකරණය කරන ලදී. හරිත විප්ලවයේ නියම ප‍්‍රතිඵල භුක්ති විඳිනුයේ වෙළඳ සමාගම් ය. අප අද විඳින පෝෂණ ගැටලූ හරිත විප්ලවයේ අතුරු ප‍්‍රතිඵල ය. එයින් ද නියම ප‍්‍රතිඵල භුක්ති විඳිනුයේ වෙළඳ සමාගම් ය.

දේශීය ගොවිතැන අතහැර අප ව්‍යසනයකට පත් වූ පරිදි ම බටහිර ආහාර සංස්කෘතිය වැලඳ ගැනීමේ ප‍්‍රතිඵල අද අපට ලැබී ඇත.

මේ ඔබට සිතන්නට කාලයයි.

සටහන
කේ. එ්. ජේ. කහඳව



Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here