පොඩ්ඩෙකුගෙන් පුංචි කාලෙදිම මේ ලක්ෂණ තුරන් කෙරුවොත් හොඳයි – Sri News

0
3

දරුවෙකුට උප්පත්තිය ලබාදුන්න පමණින්ම සැබෑ මව්පියන් වෙන්න පුළුවන්කමක් නෑ කියලා ඔප්පු කරන්න උවමනා තරම් උදාහරණ මේ වෙනකොට අපි ජීවත්වෙන සමාජයෙන් දැකගන්න පුළුවන්කම තියෙනවා. තමන් විසින් මේ ලෝකෙට බිහි කරපු දරුවා සාධාරණ ගති ලක්ෂණ ඇති වැඩදායී දරුවෙක් බවට පත්කරන්න මුලිකම වගකීම ඇත්තේ මව්පියන්ට කියලයි අපි කවුරුත් විශ්වාස කරන්නේ. අපි දරුවන් ගැන පළකරපු ලිපිවල නිතරම සඳහන් කරන දෙයක් තමයි දරුවෝ කියන්නේ වතුර උරාගන්නා ස්පොන්ජ් එකක් වගේ තමන් අහන දකින සියලුම දේවල් හිතට කාවද්දාගන්න ජීවින් කොට්ඨාසයක්ය කියන එක. ඕනෑම පුද්ගලයෙක් තමන් ළදරු අවධියේදී පුරුදු පුහුණු වුණු ගති ලක්ෂණ ඒ පුද්ගලයාගේ සම්පුර්ණ ජිවිතයටම බලපාන බවත්, ඒ දේවල් හරහා සමාජයටම බලපෑමක් කරන්න හැකි විත්තියත් අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍යයි කියලා අපි හිතන්නේ නෑ. ඒ නිසා මව්පියන් විදියට දරුවන්ගේ හිත්වලින් කුඩා අවධියේදීම ඉවත්කරලා දැමිය යුතු ගතිගුණ කිහිපයක් ගැන අපි මේ  ලිපියෙන් කතාකරන්න බලාපොරොත්තු වෙනවා.

හැබැයි මෙහෙම දේවල්වලදි කිසිත් නොදන්න දරුවන්ට සැර වැර නොකර ආදරයෙන් කියා දීලාම මේ දේවල් වලින් අත්මුදවන එකත් දෙමවුපියන්ගෙ වගකීමක්.

 

අන් අයගේ ආකර්ෂණය ලබාගැනීම, තමන් විශේෂ පුද්ගලයෙක් බව හැඟවීම හෝ කැපී පෙනීම සඳහා දරුවෙක්  කුඩා අවධියේ දී බොරු කීමට පෙළඹෙන්න ඉඩ තියෙනවා. සමහරවිට මේ තත්ත්වය ඇතිවෙන්නේ දෙමවුපියන්ගේ වැඩි ආදරය සහ අවධානය යොමුවෙන දේවල් වෙනුවෙන් වෙන්නත් පුළුවන්. බොහෝ අවස්ථාවල දී මේ ගති ලක්ෂණ වයසින් වැඩීමත් එක්කම තුරන් වෙලා යනවා. ඒ දේ සිදු නොවන ඇතැමුන් වැඩිහිටි වියේදීත් අතේ පැළවෙන ආකාරයේ මුසාවාද කියලා සමාජයේ උපහාසයට ලක්වෙනවා. තවත් සමහර දරුවන් තමන් කළ වරදකින් බේරීම හෝ වරද සැඟවීම සඳහා බොරු කියනවා. දරුවා ලජ්ජාවට පත් නොකරමින්, ඉවසීමෙන්, කරුණාවෙන් නමුත් තදින් අවවාද කිරීමෙන් මේ තත්ත්වය මගහරවා ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග දෙමවුපියන් ගත යුතුමයි.

 

ඇතැම් දරුවන් ඉතාම අප්‍රසන්න ආකාරයට කේලම් කීමට පුරුදුවෙලා තියෙනවා අපිට දකින්නට ලැබෙනවා. තමන්ගේ යාළුවන් ගැන ගුරුවරුන්ට, යාලුවන්ගේ දෙමව්පියන්ට හෝ තවත් යාලුවෙක් සමගම මේ අය කේලම් කියනවා. එහෙමත් නැත්තන් සහෝදර සහෝරියන්ගෙන් වරදක් වෙනතුරු  ඇඟිලි ගනිමි  බලා හිඳ මව්පියන්ට කේලම් කියනවා. එහෙමත් නැත්තන් තමන්ගේම මව්පියන් ගැන ආච්චිලා සීයලා සමගින් කේලම් කියනවා. මේ ගතිගුණය කුඩා අවධියේදීම මග හරවා නොගතහොත් සමාජයේදී “චීත්ත” විදියට මේ අය කිරුළු පළඳින්නට සිද්ධ වේවි. බොහෝවිට මෙවැනි තත්ත්ව ඇතිවන්නේ දරුවන් කියනා දෙයට දෙමවුපියන් අනවශ්‍ය ලෙස ප්‍රතිචාර දක්වන බව වැටහුනොත් වෙන්නට පුළුවන්. උදාහරණයකට අම්මා අයියා මගේ සෙල්ලම් බඩුව ගත්තා කියලා කේලමක් කිවුවොත්, එයට වැඩි අවධානයක් දී සෙල්ලම් බඩුව දරුවාට දිනා දෙන්නට උත්සාහ කළොත් දරුවාගේ සිතෙහි මේ අදහස පැලපදියම් වෙන්නට ඉඩ තියෙනවා.

 

මේ කාරණයේදී නම් අගතියට පත් වෙන්නේ දරුවා පමණයි. මේක දරුවාගේ අනාගතය තීන්දු කරවන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. දරුවාගේ ආරක්ෂාව ගැන මව්පියන් විදියට උපරිම අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වුණත්, මේ දැඩි අවධානය දරුවාගේ ආත්ම විශ්වාසය, ධෛර්‍යය, නිර්මාණශීලිත්වය, නිවැරදි තීන්දු තීරණ ගැනීම ඇතුළු බොහෝ වටිනා ගුණාංග සුනුවිසුණු කරන්නටත් හේතුවක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට දරුවා ජනේලයක් උඩ නගින අවස්ථාවක් සළකමු. දරුවා මෙයින් වැළැක්වීම වෙනුවට දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ ආසන්නයෙන් සිටීමත්, එහි ඇති අනතුරුදයක බව අවබෝධ කරවීම සහ ප්‍රවේශම් විය යුතු ආකාරය පහදාදීමත් වඩා වැදගත්වෙනවා. එනිසාම බොහෝවිට වෙනත් වැඩිහිටියන් දරුවාව බය කරලා තියෙන අවස්ථාවලදී දරුවා සමග සිටිමින් දරුවාගේ සිතෙහි බිය නැති කිරීම සෑම දෙමවුපියෙකුගේම වගකීමක්.

 

ඉක්මන් කෝපය කියන දේ තරුණ ජිවිත බිළිගන්නා ආකාරය සම්බන්ධ ආසන්නතම උදාහරණය විදියට මාතර ප්‍රදේශයේ සිදු වුණු පිහි ඇනුම් සිදුවීම පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඉවසීම කියන දේ දරුවාට තිබිය යුතුයි. කිසිම මොහොතක දෙමවුපියන් කෝපවූ නිසා දරුවන් ඉදිරියේ ඊට ප්‍රතික්‍රියා දැක්වීම සිදු නොකළ යුතුමයි. දරුවා තමුන්ගේ හිතේ නැගෙන කෝපය පිට කරගන්නට තමන් අතේ ඇති සෙල්ලම් බඩුව පොලොවේ ගසන්නේ ඔබ දෙස බලා උගත් දෙයින් විය හැකියි. එනිසාම දරුවා ඉදිරියේ දෙමවුපියන් ලෙස ඔබේ ඉක්මන් කෝපය පාලනය කරගන්නට වගේම දරුවන්ගෙන් යම් මොහොතක දකින්නට ලැබෙන ඉක්මන් කෝපය හැකි ඉක්මනින් අවධානය වෙනස් කර හෝ ඔවුන්ගෙන් බැහැර කරන්නට උත්සාහ ගත යුතුමයි.

 

දරුවන් බොහෝ විට තමුන් ආසා කරන සෙල්ලම් බඩු තවකෙකු හා බෙදාගන්නට මැළිකමක් දක්වන බව දෙමවුපියන්ට වැටහෙන්නට පුළුවන්. කෑමක් වගේ දෙයක් තවත් කෙනෙකු හා බෙදාගත්තත් තමුන් ආසා කරන සෙල්ලම් බඩුව වෙනකෙකු ගත් සැණින් ඒක මගේ කියන්නට හෝ එය උදුරාගන්නට තැත් කරනවා ඔබට දකින්නට ලැබේවි. ඒ මොහොතේම මේ පොඩි ළමයිනේ යැයි නොසිතා දරුවාව එතැනින් ඉවත් කරගන්නටත්, තමන් සමග සිටින මොහොතක දරුවාට තමන් සමග​ හෝ දෙයක් බෙදාගන්නට හුරු කරන්නටත් දෙමවුපියන්ට වගකීමක් තිබෙනවා. එහි මුල් පියවරක් විදියට දරුවා වැඩිපුරම කැමති සෙල්ලම් බඩු තෑගි ලෙසින් නැති බැරි අයෙකුට දරුවා අතින් තෑගි කරවීම ඒ ත්‍යාගශීලී හැඟීම් ප්‍රගුණ කරවාවි.

 

කුඩා දරුවන් පළිගන්නවා යැයි කියා කිවුවොත් ඔබ විශ්වාස කරන එකක් නැහැ. ඔවුන් පළිගන්නේ වැඩිහිටියන් පළිගන්නා අයුරින් නොවුනත්, ඔවුනුත් ඔවුන්ගේ අකමැත්ත පෙන්වා පළිගන්නට හුරු වෙන අවස්ථා දකින්නට පුළුවන්. උදාහරණයකට අම්මා සමග කේන්ති ගිය අවස්ථාවක ඔවුන් කවන කෑම කටක් පාසා හේතුවක් නැතුව වමනේ දමන බව දකින්නට පුළුවන්. ඒ වගේම වැරැද්දකට දඬුවම් කළ නිසා දරුවා තමුන්ගේ තාත්තා එක්ක කතා නොකර සිටිනවා දකින්නට පුළුවන්. එවැනි වෙලාවක එය ගණන් නොගෙන නොසිට දරුවාට එය කරුණාවෙන් තේරුම් කර දීම අතිශය වැදගත්.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here