පැවැත්මට ජය ගෙනෙන බෞද්ධ පිළිවෙත … – Sri News

0
4


හික්මීම උදෙසා වූ බෞද්ධ පිළිවෙත …

මහ මුහුද ,ගංගා, ඇළ දොළ ,මේ ආදී ජලය පිරුණු තැන් හි ගැඹුරක් අධ්‍යයනය කිරීමට පය තිබූ සැනකින් කළ හැක්කක් නොවෙයි.

මේ ඉවුර අසල ම හෝ කණ්ඩිය අසලම පය තිබූ පමණින් එහි ගැඹුරක් අපට දැනෙන්නේ නැත. එහෙත් මදින් මද ගොඩබිමින් ඈත් වී ජලයට යනවිට ගැඹුර වැඩි වන බව පැහැදිලි වෙයි. මේ මහ මුහුද ඇතුළු ජලාශ සියල්ල ම ගැඹුරු වී තිබෙන්නේ ටිකෙන් ටික ඉදිරියට යත්ම මිස ,කෙලින්ම පහලට ගිය ප්‍රපාතයක් වශයෙනුත් නොවේ . එහි තිබෙන්නේ නොගැඹුරෙන් ආරම්භවී ටිකින් ටික ගැඹුරට යෑමකි.

බෞද්ධ දර්ශනය තුළ ඉගැන්වෙන හික්මීමේ ප්‍රතිපදාවද ඊට සමානත්වයක් දක්වයි. ටිකෙන් ටික හික්මීමේ පිළිවෙත ආරම්භ වෙයි.රහත් බවට පත්වීම යනු හික්මීමේ ඉහළම තලයට පත්වීමයි .රහතන් වහන්සේට තවදුරටත් හික්මිය යුතු තත්ත්වයක් නැත. රහත් වීම නැමැති හික්මීමේ උපරිම තලයට පත් වීම එකවිටම සිදුවන්නක් නොවේ. එය සිදු වන්නේ පියවරෙන් පියවර ටිකෙන් ටික .

රහසින්වත් පව් නොකරන ස්වභාවය ඇති වන්නේ රහත් වූ විට. ඊට හේතුව මේ පෙළඹෙන ගතිය සම්පූර්ණයෙන්ම සිතෙන් බැහැර වීමයි .රහත් නොවූ ඇතැම් අය කයින් වචනයෙන් පව්කම් නො කළත් ඔවුන්ගේ සිතට පව් කිරීමේ අදහස මතු වී එයි. පවට පෙළඹෙන ගතිය ඔවුන්ගෙන් බැහැර වී නැහැ.

එම අවස්ථාව හැඳින්වෙන්නේ කෙලෙසුන්ගේ හෙවත් අභ්‍යන්තර දුර්වලතාවයන් හි අනුසය අවස්ථාව කියායි. කෙලෙස් නිදාගෙන සිටින්නාක් මෙන් තිබෙන අවස්ථාවයි. නාගයෙක් තුඹස තුළ නිදාගෙන සිටීම වැනියි. එම නාගයා තුඹස පිටතට පැමිණ නැත. කිසිවෙකු දෂ්ට කර නැත. එහෙත් කෙබඳු මොහොතක හෝ හෝ තුඹසින් පිටතට පැමිණ දෂ්ට කිරීමේ ඉඩකඩ ඇත. නාගයාගෙන් පැමිණිය හැකි උවදුර සම්පූර්ණයෙන්ම තුරන් වී නැත. නාගයාගෙන් උවදුරක් නොවන බවට නිසැක විය හැක්කේ එම නාගයා තුඹසෙන් ඉවත් වුවහොත් පමණි .සම්පූර්ණයෙන්ම වරදින් මිදිය හැක්කේ අනුසය වශයෙන් හෝ කෙලෙස් නැති වූ විටයි.

මේ අනුසය වශයෙන් පවතින කෙලෙස් එකවිටම දුරු කළ නොහැකියි. පළමුව කළ යුත්තේ සිතට මතුවී එන වැරදි අදහස් කයින් හා වචනයෙන් ක්‍රියාත්මක වීම වැළැක්වීමයි.

ඊළඟ පියවරේ දී සිදුවන්නේ එම වැරදි අදහස් හිතට මතුවී ඒම වැළැක්වීමයි. එසේ මතුවීම හැඳින්වෙන්නේ පරියුට්ඨාන ය කියායි.

අනුසය අවස්ථාව නැති කෙරෙන්නේ තෙවැනි පියවරේ දී . පළමු පියවර එනම් කයින් වචනයෙන් පව්කම් නො කරන ඒ දෙක සංවර කර කරගැනීම . එය අප හදුන් වන්නේ සීලය කියා. සීලයෙන් කෙලෙසුන් පාලනය කර වචන හික්මවණු ලබයි. හිත සන්සුන් කිරීමෙන් විවිධ අරමුණු ඔස්සේ පාලනයකින් තොරව හිතට ගමන් කිරීමට ඉඩ නොතබා සංවර කරයි. එය හැඳින්වෙන්නේ සමාධිය කියායි.

අනුසය වශයෙන් පවතින කෙලෙසුන් ගේ ස්වභාවය මනාකොට වටහාගත හැක්කේ ප්‍රඥාවෙනි. එසේ වටහාගෙන කෙලෙස් සම්පූර්ණයෙන්ම හිතින් බැහැර කළ විට තවදුරටත් පව්කම් වලට නොපෙළඹේ. මේ අනුව කෙලෙසුන්ගේ විධික්‍රම අවස්ථාව සීලයෙන් පරියුට්ඨාන අවස්ථාව සමාධියෙන් අනුසය අවස්ථාව ප්‍රඥාවෙන් හික්මවනු ලබයි.

එබැවින් සීල සමාධි ප්‍රඥා යන තුන ත්‍රිශික්ෂාව ලෙස හැඳින්වේ. ත්‍රිශික්ශා වෙන් ප්‍රකට වන්නේ හික්මීමේ බෞද්ධ පිළිවෙතයි.එම ශික්ෂාව තම තමන් වශයෙන් හඳුනා ගනිමු.

මේ සියලු ආකාරයන් හික්මීම සිදුවන්නේ නිවැරදි දැක්මක් ඇති විටයි. නිවැරදි දැක්මක් නැත්නම් කළ යුතු නොකළයුතු දෑ කතා කළ යුතු කතා නොකළ යුතු වචන ආදිය වෙන්කර ගැනීමට නො කර ගැනීමට නොහැකි වේ.

මේ අනුව බෞද්ධ ශික්ෂණ ක්‍රමය ප්‍රඥාව පෙරටු කරගත් සීලය පදනම් කරගත් සමාධිය ආධාර කරගත් වත් පිළිවෙතක් බව පැහැදිලි වෙයි .

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here