පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රටට අවශ්‍යයි – Sri News | Sri Lanka Business News

0
9

  • කෘෂි කර්මාන්තයට අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරනවා.
  • නව තාක්ෂණික කළමනාකරණය වැවිලි ක්ෂේත්‍රයට හඳුන්වා දෙනවා.
  • කෘෂි අපනයන ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කැබිනට් මණ්ඩලය අනුමත කළා – ජනපති.

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රට තුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එහිදී අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරන බවද පැවසූ ජනාධිපතිවරයා නව තාක්ෂණික කළමනාකරණය වැවිලි ක්ෂේත්‍රයට හඳුන්වා දීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (14) පෙරවරුවේ එක් වෙමිනි.

වැවිලි ක්ෂේත්‍රයට අවශ්‍ය නව නිපුණතාවලින් හෙබි උපාධිධාරීන් බිහි කිරීම වෙනුවෙන් සහ තරුණ තරුණියන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් ජාතික වැවිලි කළමනාකරණ ආයතනය ස්ථාපිත කර තිබේ.

උපාධි අපේක්ෂකයන් සඳහා පර්යේෂණාගාර, දේශන ශාලා, පරිගණක විද්‍යාගාර හා වෘත්තීය උපදේශන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන අතර AI හා GIS තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය මධ්‍යස්ථානයක් ද මෙහි ස්ථාපිත කිරීමට නියමිතය.

මෙම නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 750කි.

සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබූ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාවට සහභාගිවීම වෙනුවෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ මෙරට ග්‍රාමීය ජනතාවගේ දිළිදුකම තුරන් කළ හැක්කේ කෘෂිකර්මාන්තයේ දියුණුව තුළින් පමණක් බවයි.

ශ්‍රී ලංකාව ආශ්‍රිතව ඇති රටවල ජනගහනය බිලියන ගණනින් වැඩි වන බවට පුරෝකථනයක් සිදුකර ඇති හෙයින් එම රටවල මධ්‍යම පාන්තිකයන්ගේ ආහාර අවශ්‍යතාවයට සරිලන කෘෂිකර්මාන්තයක් නිර්මාණය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ අපනයන කෘෂි කර්මාන්තය නොවැටෙන තැනකට ඔසවා තැබිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙරට ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් ඊයේ (13) කැබිනට් මණ්ඩලයේදී අනුමත කළ බවද ජනාධිපතිවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

වැවිලි කර්මාන්තය සඳහා පුහුණු ආයතනයක අවශ්‍යතාව තිබුණෙ 1978 වසරේ සිටයි. එදා එම්.ඩී.එච්. ජයවර්ධන මහතාගේ ආසනය වන මේ ප්‍රදේශයේ මෙවැනි පුහුණු ආයතනයක් ඇති කිරීමට අවශ්‍ය ඉඩම ලබා දුන්නා. එදා මේ ප්‍රදේශය මේ තරම් නාගරික කරණය වී තිබුණේ නැහැ. මෙම ආයතනය ස්ථාපිත කිරීම සඳහා 2016 වසරේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස නවීන් දිසානායක මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඉදිකිරීම් ආරම්භ කළා. ඉන්පසුව පත් වූ වැවිලි කර්මාන්ත අමාත්‍යවරුන් මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ආවා.

මෙම ආයතනය දියුණු කරන අතරම මෙහි එක් මණ්ඩපයක් වැවිලි කලාපයට ගෙන යාම ඉතා කාලෝචිත බව කිව යුතුයි. මහනුවර, මාතලේ වැනි ප්‍රධාන බෝග සියල්ලම වගා කෙරෙන දිස්ත්‍රික්කයක මෙහි මණ්ඩපයක් විවෘත කිරීම ඉතා වැදගත් වෙනවා. මට මතකයි මෙම ක්ෂ්ත්‍රයේ කටයුතු කළ මගේ මිත්‍රයන්ට පුහුණුව ලැබීමට නුවරඑළියට යාමට සිදු වුණා. අපේ කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේදී මෙවැනි ආයතන තවදුරටත් ව්‍යාප්ත කළ යුතුයි. රටේ කඩාවැටුණු ආර්ථිකය අද යළි ගොඩනැගෙමින් තිබෙනවා.

මෙම තත්ත්වයට පත්වීමට අපට අවස්ථාව ලැබුණේ කෘෂිකර්මාන්තය නිසයි.

මම රට භාරගනිද්දි රටේ කෘෂි නිෂ්පාදනයක් සිදු වුණේ නැහැ. ඒ වගේම යුරෝපා ආර්ථිකය ද පහත බැස තිබු නිසා අපේ ඇඟළුම් කර්මාන්තයට අපනයන අවස්ථා තිබුණේ නැහැ.

ඒ නිසා පළමුව අපි මෙරට වී වගාව දියුණු කිරීමට කටයුතු කළා. 2022, 2023 යන වසරවල යල කන්න සහ 2023 වසරේ මහ කන්නය සාර්ථක වීම නිසා මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට අපට අවස්ථාව ලැබුණා. ඒ අනුව කෘෂිකර්මය නිසා මූලික වශයෙන් රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට හැකි වු බව කිවයුතුයි.

දැන් අප මෙරටට ණය ලබාදුන් රටවල් සහ අනෙකුත් පුද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. එම පළමු සාකච්ඡා වටය අවසන් වීමෙන් පසුව රටේ ආර්ථිකය දියුණු කිරීමේ අභියෝගයට අප මුහුණ දිය යුතුයි. ඒ වගේම අප ලබාගත් ණය ආපසු ගෙවිය යුතුව තිබෙනවා. අපට ලැබී ඇත්තේ ණය ගෙවීමට සහන කාලයක් පමණයි. ඒ නිසා එයින් ඈත්වීමට හැකියාවක් නැහැ. ඒ වගේම අපට හැමදාම ණය ලබාගෙන ජීවත් වෙන්න බැහැ. ඒ නිසා මෙරට ආර්ථිකය අපනයන ආර්ථකයක් බවට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙරට අපනයන ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් ඊයේ (13) කැබිනට් මණ්ඩලයේදී අනුමත කළා. දැන් අප මෙම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කළයුතුයි.

ඓතිහාසිකවම අපේ කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මාන්තයක් බවට පත්ව තිබුණා. සිංහල රජ සමයේ ධාන්‍ය වර්ග වගා කළා. ඒ වගේම තෙත් කලාපයේ කුළු බඩු වගා කළා. සුදු ජාතිකයන් පැමිණීමෙන් පසු තේ, පොල්, රබර් වගා කළා. නමුත් නිදහසින් පසු අප රටක් ලෙස එතනින් ඉදිරියට ගියේ නැහැ. නිදහසින් පසු සිදු වුණේ ඩී.එස්. සේනානායක මැතිතුමා ආරම්භ කළ වැඩපිළිවෙළ යටතේ අප සහලින් ස්වයංපෝෂිතවීම පමණයි.

දැන් අප කටයුතු කරන්නේ රට තුළ කෘෂිකර්ම නවීකරණයක් සිදු කර අපනයන කෘෂි කර්මාන්තයක් ඇති කිරීමටයි. තේ, රබර්, පොල් මෙරට ප්‍රධාන අපනයන බෝග බවට පත්ව තිබුණා. නමුත් සුදු ජාතිකයන් පන්නා දමා අප වතු අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුන් කෙන්නියාවට ගොස් තේ වගා කර දැන් අපට තරගයක් ලබා දී තිබෙනවා. වියට්නාමයේ රබර් වගා කර අප රට සමඟ තරග කරනවා. ඒ නිසා මෙම තරගකාරිත්වයට මුහුණදීම සඳහා අප වැවිලි කර්මාන්තය පරිවර්තනයකට ලක් කළයුතුයි.

දැන් අපට අවශ්‍ය වතු හා වැවිලි කර්මාන්ත නොවෙයි, කෘෂි ව්‍යාපාරයක්. අපේ වතු කෘෂි ව්‍යාපාර බවට පත් කර නිෂ්පාදන ඉහළ නංවා ගත යුතුයි. තේ, රබර් බෝග වගාවන් දියුණු කළ යුතුයි. ඒ සඳහා වන වෙළෙඳපොළ ජය ගත යුතුයි. අද අපේ තේ කර්මාන්තය විවිධාංගීකරණය වෙලා තිබෙනවා. සමාගම් රැසක් එහි සාර්ථකව කටයුතු කරනවා.

අප මෙරට සම්ප්‍රදායික බෝග වගාව දියුණු කළයුතුයි. කොකෝවා , කුරුඳු ඇතුළු අනෙකුත් කුළු බඩු ද නැවත වගා කළයුතුයි. ඒ වගේම නව බෝගවලට යොමු විය යුතුයි. එහිදී පළමුව නව තාක්ෂණික කළමනාකරණය මෙම ක්ෂේත්‍රයට ගෙන ආ යුතුයි. දෙවනුව කුඩා වතු හිමියන් ද මෙම නවීකරණ වැඩපිළිවෙළ සමඟ එක් කර ගනිමින් එම නිෂ්පාදනය ඉහළ නැංවිය යුතුයි.

ග්‍රාමීය ජනතාව අතර දුප්පත්කම නැති කළ හැක්කේ කෘෂිකර්මාන්තයේ දියුණුව තුළින් පමණයි. ඒ නිසා අප දැනට තිබෙන බෝගවලින් සහ භූමියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට මෙන්ම නව ඉඩම් අක්කර ලක්ෂ 05ක වගා කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා අපට නවීන කෘෂිකර්මාන්තයක් සහ නවීන කෘෂි ව්‍යාපාරයක් අවශ්‍යයි. කෘෂිකර්මාන්තය මෙරට ප්‍රධාන අපනයන අංශයක් බවට පත් කළයුතුයි.

ඉදිරියේ දී ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින රටවල ජනගහනය බිලියන ගණනින් වැඩි වන බවට පුරෝකථනය කර තිබෙනවා. එම වැඩිවන ලෝක ජනගහණයට අවශ්‍ය ආහාර වෙළෙඳපොළට සැපයීම සඳහා අප සුදානම් විය යුතුයි. එසේ නම් පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට අලුත් කෘෂි ව්‍යාපාරයක් ඇති කරමින් අප රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන ආ යුතුයි. මෙහිදී අදාළ ආයතන අතර තිබෙන බාධක සියල්ල නව නීතියකින් ඉවත් කර සියලුදෙනා එකට වැඩකරන පරිසරයක් ඇති කිරිමට මම බලාපොරොත්තු වෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

මෙරට වැවිලි ක්ෂේත්‍රයේ උනන්දුවක් දක්වන තරුණ තරුණයින්ට මෙම ආයතනය ඉතා වැදගත් වෙනවා. හොද අධ්‍යාපනයක් ලබා දීමේ පරිසරයක් මෙහි තිබෙනවා . රටේ ඉල්ලුමට සරිලන උපාධියක් මෙයින් ලබාදීමට හැකියාව තිබෙනවා.

වැවිලි කර්මාන්තය හා සම්බන්ධ අධ්‍යාපන අවස්ථා පුළුල් කරන විශ්වවිද්‍යාල අධ්‍යයන ආයතනයක් දක්වා මෙම ආයතනය පුළුල් කිරීමට නියමිත අතර මේ සම්බන්ධව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සමඟ සාකච්ඡා කර ඊට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනවා. ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ දැනට ඇති සියලු පහසුකම් සමග මෙම ආයතනය විශ්වවිද්‍යාල අධ්‍යයන ආයතනයක් වශයෙන් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා.

ජනාධිපතිතුමා මේ රටේ වගකීම බාර ගත්තෙ ඉතාම දුෂ්කර අවස්ථාවකදීයි. අරගලය අවස්ථාවේ රටේ අගමැතිවරයකු නැතිව සතියක කාලයක් ගත වුණා. රට භාර ගැනීමට කිසිම නායකයෙක් එදා සිටියෙ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාරගෙන මහ පාරේ සිටී ගොවියො නැවත ගොවි බිමට යැවීමට අවශ්‍ය පොහොර ටික ලබා දුන්නා. රටට අවශ්‍ය ඉන්ධන ගෙන ඒමට ද කටයුතු කළා.

ඒ අනුව අවසන් කන්න දෙකෙහි මේ රටට අවශ්‍ය සහල් නිෂ්පාදනය කිරීමට අපේ ගොවි ජනතාවට හැකියාව ලැබුණා. දැන් තේ වගාව ද නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. දේශගුණික බලපෑමක් නොවුණහොත් වාර්තා ගත තේ නිෂ්පාදනයක් මේ වසරේදි සිදු කළ හැකියි.

අද රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් තිබෙනවා. රට මේ තැනට ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා. එම වැඩපිළිවෙළ කඩාකප්පල් නොකළොත් ඉදිරි වසර කිහිපයේදී මේ රට තුළ යළි නොවැටෙන ආර්ථිකයක් ගොඩනැගෙන බව විශ්වාසයි .

සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවීන් දිසානායක මහතා,

මෙම ආයතනය පිහිටුවීම සඳහා වැවිලි කර්මාන්ත ඇමතිවරයා ලෙස මා එදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. එවක රජය බලයට පැමිණෙන විට තේ කිලෝව තිබුණෙ රුපියල් 270කටයි. නමුත් කෙටි කාලයක් තුළ තේ කිලෝව රුපියල් 600ට ගෙනාවා. එදා වැවිලි කර්මාන්ත ඇමැතිවරයා ලෙස මා ගත් තීන්දු තීරණ ඊළඟට පැමිණි වැවිලි කර්මාන්ත අමාත්‍යවරුන් ඉදිරියට කරගෙන ගියා.

මෙරට ආර්ථිකය නගා සිටුවීමේ දී කුඩා තේ වතු හිමියන් ඊට දායක කරගන්නේ කෙසේද කියන කාරණාව සිතා බැලිය යුතුයි . තේ කර්මාන්තය දියුණු කිරීමට වෙළෙඳාම දියුණු කළ යුතුයි. අපේ රටේ තේ සන්නාමය ලෝක වෙළෙඳපොළ තුළ ස්ථාන ගත කළ යුතුයි. ඒ සඳහා මේ ආයතනය ශක්තිමත් දායකත්වයක් සපයනු ඇතැයි බලාපොරොත්තු වෙනවා .

අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රජ්‍ය අමාත්‍යවරුන් වන ඩී. බී .හේරත්, කාදර් මස්තාන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සභාපති පුෂ්පික සමරකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාව ට එක්ව සිටියහ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here