පැටලුණු තැන් ලිහන්න ධර්මයට පුළුවන් – Sri News

0
17


පුද්ගලයකුට ඇති වී ඇති ගැටලු දෙයාකාරයකට වෙන්කොට ගත හැකි ය. එනම් සන්තාගත හා සංස්ථාගත ගැටලු වශයෙනි.

සන්තාගත ගැටලු මිනිස් සිත මුල් වී ඇති වන අතර, සංස්ථාගත හෙවත් සමාජ ගැටලු බාහිර හේතු මූලික වී ප්‍රභවය වන බව පෙනේ.

මිනිසා යනු භෞතික අභෞතික ශක්ති සංකලනයක් බැවින් මෙම දෙඅංශයම මිනිස් ගැටලු විෂයේ ප්‍රබල බලපෑමක් සිදු කරයි.

කායික සුවයත්, මානසික සුවයත්, මිනිසා නිරතුරුව ප්‍රාර්ථනා කරයි. එම සුවය ළඟාකර ගැනීමට ආගම්වලින් මෙන් ම විද්‍යාවෙන් ද මිනිසා පතන බව නොරහසකි. ඒ සඳහා විවිධ ක්‍රමවේද උපයුත්ත කොට ගනියි.

නූතන සමාජයේ මිනිසාගේ ඥාන ක්‍ෂිතිජයත්, තාක්‍ෂණික කෞශ්‍යල්‍යයත් දිනෙන් දින ප්‍රසාරණය වනු පෙනෙයි.

ඒ සමගම මිනිසා විසින් නිර්මාණය කොටගත් ප්‍රශ්න ගණනාවකට ඔහු මැදි වී සිටින බව කිව හැකි ය. මානව සමාජය යනු ඉතා සංකීර්ණ විෂය පථයකි. එය සුචරිතයෙන් මෙන්ම දුෂ්චරිතයෙන් ද බැඳී පවතියි. මානව සමාජය සුචරිතය පිළිබඳ මඳ වශයෙන් අවධානය යොමු කරන අතර ගැටලු පිළිබඳ වැඩිපුර කතා කරයි. ගැටලු දිනෙන් දින වර්ධනය වීමෙන් සිදු වනුයේ විශ්වය මානවයාගේ වාසයට අයෝග්‍ය ස්ථානයක් බවට පරිවර්තනය වීමයි.

එය වෙනස් කිරීමට නම් ප්‍රධාන ගැටලු හඳුනාගෙන ඒ සඳහා විසඳුම් කඩිනමින් සොයා ගත යුතු ය.

විශ්වය තුළ ඇති ඕනෑම ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීමට යම් ක්‍රම වේදයක් අවශ්‍ය වේ. එම ක්‍රමවේද ඒ ඒ ගැටලුවලට අදාළ වන අයුරින් සැකසීම ද කළ යුතු ය. එම සැකසීම් දේශයෙන් දේශයට, ආගමින් ආගමට, න්‍යායාත්මකව හා ප්‍රායෝගික විවිධ ස්වරූප ගනියි. ලොව සෑම ආගමකම පාහේ පුද්ගලයාගෙන් තොර සමාජයක් ද සමාජයෙන් තොර පුද්ගලයෙක් ද පිළිබඳ විග්‍රහ කරනු නොපෙනෙයි. මේ අතර විශ්වයේ උත්තරීතර ශාස්තෘවරයකු වූ බුදුසමිඳු ද, මානව කේන්ද්‍රිය දෘෂ්ටිකෝණයක් මත සමාජ විවරණයක් කළ උතුමෙකි. හට ගැනීම විපරීත වෙමින් පැවතීම සහ නැවැත්ම ලොව්තුරු ධර්මයේ මනාව ගැබ් වී පවතින අයුරු එය පරීක්‍ෂාවෙන් සනාථ වේ. ලොව සියල්ලම හේතු ප්‍රත්‍ය බලපෑමෙන් ඇති වී පවත්නා බවත්, ඒ සියල්ලම හේතු ප්‍රත්‍ය අභාවයෙන් පසු අවිද්‍යාමාන තත්ත්වයට පත්වන බවත් සම්බුදු දහමේ මූලිකව පෙන්වා දෙන සනාතන ධර්මතාවයකි.

පුද්ගලයා ප්‍රමුඛ සියල්ල හේතු ඵල සමවායක් නම්, පුද්ගලයා වටා ගොඩනැගෙන සියල්ල ද එයට අන්තර්ගත වෙයි. ප්‍රශ්නවලට මුහුණ දීමත් ඒවා ඬරවුල් කර ගැනීමත් පුද්ගලයාට පැවරෙන කාර්යයකි. බුදුසමය, පුද්ගලයාට ඒ සඳහා මාර්ගෝපදේශකත්වය සපයයි. බුදුදහමේ මූලික ඉගැන්වීමක් වූ පටිච්ච සමුප්පාද ධර්මය දේශනා කිරීමේ අරමුණ, සත්වයාගේ සසර පිළිබඳ යථා තත්ත්වය හා සමාජගත ගැටලුවල යථා තත්ත්වය විග්‍රහ කිරීම හා එමඟින් එම ගැටලු විසඳා ගැනීමේ කෞශල්‍යයක් ජනතාවට ලබා දීමය. මෙහි මුඛ්‍ය පරමාර්ථය සසර දුක නිවා ගැනීම වූවද සමාජගත ජීවිතයේ ගැටලු ද එමඟින් ලිහෙයි.

සන්තානගත දුක එක පැත්තකින් නිවන අතර සංස්ථාගත දුක ද නිවා ගැනීමට මඟ හෙළි කරයි. ‘හේතුව ඇති විට ඵලය ද ඇති වෙයි. හේතුව ඇති වීමෙන් ඵලය හට ගනියි. හේතුව නැති විට ඵලය නොපවතී. හේතුව නැති වීමෙන් ඵලයද නැතිවෙයි. මෙය මුළු මහත් විශ්වයටම සනාතන ධර්මතාවයකි. මෙම න්‍යායම උපයෝගී කර ගනිමින් පුද්ගල ප්‍රශ්න ද සමාජ ප්‍රශ්නද නිරවුල් ව දැකගැනීමේ අවස්ථාව සැලසෙයි.

කායික මානසික ශක්ති සංයෝගයේ සංකලනයක් වූ පුද්ගලයාටත්, පුද්ගල ඒකරාශීත්වයෙන් ගොඩ නැඟුන සමාජයටත් ගැටලු ඇති වෙයි. එම ගැටලුවලට පිළියම් සෙවීම පුද්ගලයා සතු කාර්යයකි. එවිට විවිධ පිළිසරණ සොයා යෑමට සිදුවෙයි. ඒ සඳහා බුදු සමය පුද්ගලයාට පිහිට වන බව වියත්හු පවා පිළිගනිති. ‘ප්‍රශ්නයක් මතු වූ විට එය විග්‍රහකොට නිරාකරණය කර ගැනීමේ ක්‍රමවත් විද්‍යාත්මක චින්තනය පිළිවෙළද බුදු සමය නිර්දේශකොට දක්වයි. ‘විද්‍යාඥයෝ විද්‍යාඤාණය තුළින් විවිධ පර්යේෂණ පවත්වති. බුදුවරු ලොව පහළවී ස්වකීය චින්තන ශක්තිය තුළින් ලොව ඇති සියල්ල පිළිබඳ යථා තත්ත්වාවබෝධය ලබා සියලු ගැටලු නිරාකරණය කර ගන්නා විධික්‍රමය මිනිසුන්ට කියා දෙති. එහි දී ලොව පවතින ගැටලු නමැති සියලු ඵල යම් යම් හේතූන් නිසාම හටගන්නා බව, අවධාරණය කර තිබේ. ඒ ඒ ප්‍රශ්නවල අදාළ ප්‍රස්තුත සොයා බලා ඒවා විභජනය කර, නිවැරැදිව දැක ගැනීම බුදුදහම, අගය කරයි. එවිට තත්ත්වාකාරයෙන් ඒවා දැක, ඒවාට පාදක වූ මූල නැතිකර ගැටලු විසඳා ගැනීමට අවස්ථාව සැලසෙයි.

කඳු මුදුනකින් ගලා එන එක් දිය බිඳුවකින් ඇරැඹෙන දිය කඩක් ක්‍රමිකව විකාශනය වීමේ දී සුවිශාල ගංගාවක් වෙයි. එසේම ලොව ජනිත වන සෑම බිළිඳෙක්ම එක් පිවිතුරු නිර්මල සිතක් සහිතව උපත ලබයි. එම බිළිඳා ක්‍රමයෙන් වර්ධනය වනවාත් සමඟ සිත ද වර්ධනය වෙයි. පුද්ගලයා ක්‍රමයෙන් සමාජානුයෝජනය වූ විට සමාජය සමග ඒකාබද්ධ වෙයි.

එමඟින් පුද්ගල සුබවාදී බව හා අසුබවාදී බව ගොඩනැඟෙයි. එය ක්‍රියාකාරීත්වයේ ස්වරූපයට අනුව සිදු උ7වන්නකි. දුශ්චරිත පුද්ගලයා අපරිශුද්ධත්වයටත්, සුචරිත පුද්ගලයා 8පාරිශුද්ධත්වයටත් යොමු කරයි. පිරිසුදු බව හා අපිරිසුදු බව පවතිනුයේ තමා තුළම ය. ගැටලුවලට විසඳුම්, පුද්ගලයා මූලික කරගෙනම ලබා දිය යුතු බව බුදු දහමේ විශ්වාසය යි. පුද්ගල ගැටලු ද, සමාජ ගැටලු ද එකිනෙක වෙලී පවතී. පුද්ගල ගැටලු විසඳීමෙන් සමාජ ගැටලු ද විසඳේ. මෙම සියලු ප්‍රශ්න ගොඩනැගෙනුයේ, මිනිස් මනසේ ය. ඉන් පසු ඒවාට විසඳුම් සොයනුයේ ද මිනිස් මනසින්ම ය. බුදු දහම නිරතුරුව මිනිස් මනස පාලනය කිරීමට, සංවර කර ගැනීමට උපදෙස් සපයයි. එමෙන්ම පෞද්ගලික ගැටලු විසඳීමට සුවිශාල පිටුබලයක් ලබා දෙයි. සමාජ ප්‍රශ්න ලෙස සලකනු ලබන්නේ වර්ණ භේදය, ජාති වාදය, ආගම්වාදය, දිළිඳුකම, විරැකියාව, පන්ති භේදය, යුද්ධය හා බලකාමය වැනිදේ ය. මේවා ශික්‍ෂණයෙන් තොර ක්‍රියාකාරකම් නිසා හටගත් උඒවා ය. ඒවාට විසඳුම් ගැන සෙවීමට පළමුව, ඒවා ඇති වීමට හේතු වූ මුල බීජ විමර්ශනය සිදු කළ යුතු ය. හේතු අනුව ඵල ඇති වන බවත්, පළමුව දත යුතු ය. ‘ඒ’ ඇති විට ‘බී’ ඇති වෙයි. ඒ නැතිවිට කොයි අවස්ථාවක නමුත් බී නැති වෙයි. මේ ඒ, බී දෙදෙනා තාවකාලික අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකින් පවතී. මෙම සාපේක්‍ෂතාව, බුදු දහම සෑම ප්‍රශ්නයක් විසඳීම විෂයෙහිම උපයුක්ත කරගනී.

ප්‍රශ්නයක්, නිරවුල් වී දැකීමට නම්, එහි ප්‍රස්තුතය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම ප්‍රාථමික අවශ්‍යතාවයි. ද්විතියිකව, එම ප්‍රශ්න ලිහා ගැනීමට ප්‍රායෝගික ක්‍රියාකාරකම් ප්‍රාගුණ්‍යයක් ද අත්‍යවශ්‍ය වෙයි. පුද්ගලයා සමාජය සමග සම්බන්ධ වනුයේ පංචේන්ද්‍රිය මඟිනි. ඇසට රූපයත්, කණට ශබ්දයත්, නාසයට ගඳ සුවඳත්, දිවට රසයත්, ශරීරයට ස්පර්ශයත් ලබා ගනියි. ඒ සෑම ඉන්ද්‍රියක්ම පංචකාම වස්තූන් සමඟ සබඳතා ගොඩනඟා ගනී.

එම සබඳතා සුබවාදී හෝ අසුබවාදී වනුයේ පවතින දැකීම අනුවය. ප්‍රශ්න පැනනැගීමට මුල් වනුයේ පවතින දෘෂ්ටියයි. මිථ්‍යා දෘෂ්ටිය තුළින් අවුල් සහිත බවත් සම්‍යක් දෘෂ්ටිය තුළින් නිරවුල් බවත් ගොඩ නැගෙයි. එනිසා නිවැරැදි දැකීමෙන් එය විග්‍රහ කර ගැනීම තමා සතු වගකීමකි. ධර්මය නිරතුරුව පුද්ගලයා මෙහෙයවනුයේ ප්‍රශ්න නිරවුල් වන මාවතකට ය.

ලොව පවතින සෑම ප්‍රශ්නයක්ම දුක පදනම්ව පවතින්නකි. සියලු දුක් නිවා ගැනීමට හේතු ඵල ධර්මයම මඟ පෙන්වයි. යමෙක් පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගනීද හෙතෙම ධර්මය අවබෝධ කර ගනියි. යමෙක් ධර්මය අවබෝධ කර ගනියි ද හෙතෙම බුදුරජාණන් වහන්සේ දකියි. ධර්මය අවබෝධ වීමත්, බුදුරදුන් දැකීමත් සියලු ගැටලු කෙළවර වීමකි. ඒ සඳහා ගන්නා ක්‍රියා පිළිවෙත ද දිනෙන් දින ප්‍රශ්න අභිබවා ඉදිරියට සාර්ථකව පියමං කරන්නකි. ප්‍රශ්නයද ක්‍රමිකව නිරාකරණය වෙයි. මෙසේ පියවරෙන් පියවර ගමන් කිරීම, බෞද්ධ පිළිවෙතේ සුවිශේෂ ලක්‍ෂණයකි.

බුදු දහම සමාජය උපමා කොට දක්වන්නේ, පද්මයෙන් ගැවසී ගත් විලකටයි. විලෙහි විවිධාකාර පද්ම දැක ගත හැකි ය. එලෙසින්ම සමාජය, නමැති විලෙහි ද විවිධ චරිත නමැති පියුම් විකසිත වෙයි. විවිධාකාර පුද්ගල චරිත ඒකරාශී වී සමාජය ගොඩනැඟෙයි.

එසේ ගොඩනැඟෙන සමාජය පාරිශුද්ධ වන්නේ ද, අපරිශුද්ධ වන්නේ ද එහි සාමාජිකයන්ගේ ක්‍රියාකාරීත්වය මත ය. පුද්ගලයා යනු සමාජශීලී සත්වයෙකි, යන මතය, බුදු සමය ප්‍රතික්ෂේප නොකරයි. එහිදී සන්තානගත සහ සංස්ථාගත දෙඅංශය කෙරෙහි බුදු දහම විමර්ශනශීලී වෙයි. සමාජ දුක නැති කිරීම පිළිබඳ බෞද්ධ මාර්ගය, පුද්ගල දුක නැති කිරීමේ මාර්ගය තුළින්ම වැටී ඇති අතර, පුද්ගල දුක නැති කිරීම පිළිබඳ බෞද්ධ මාර්ගය සමාජ දුක නැති කිරීම තුළින් වැටී ඇත. මේ නිසා පුද්ගලයාත් සමාජයත් අතර අවියෝජනීය සම්බන්ධතාවක් පවතී යැයි බුදුදහම විශ්වාස කරයි. මෙම දෙඅංශය පිළිබඳ නිවැරැදි වැටහීමක් ලබා ගැනීමට නම් ඒ පිළිබඳ බුදු දහමේ ආකල්පය විමර්ශනය කිරීම, වැදගත් ය.

සමාජයේ සාමාජිකයිනුත් සමාජයත් ඉදිරියට නිර්මලව පවත්වාගෙන යාමට පෞද්ගලික චරිත පාරිශුද්ධිය ඇති කර ගත යුතු ය. අන් අයට ආදර්ශයක් ලබා දෙමින් සිය දිවියේ ගැටලු නිරාකරණය කරගෙන උත්තරීතර තත්ත්වයට එහි සාමාජිකයන් පියමං කිරීම ඉතා වැදගත් ය. බුදු හිමියන් ද ජීවිතයේ ලැබිය හැකි උතුම්ම සැපතට ළඟා වී ඒ අවස්ථාව සෙසු අයට ද ලබා දීමට උත්සාහ දැරූහ. බුදු සමිඳුන් සිය ශ්‍රාවකයන්ට අනුශාසනා කළේ ස්වකීය අභිමතාර්ථ සාධනය සඳහා නොවේ. බොහෝ දෙනාට හිතසුව පිණිස ගම් නියම් ගම් වල චාරිකාවේ වැඩමකරවන ලෙස අනුදැන වදාරා තිබේ. එමඟින් එක් එක් පුද්ගලයාත් එසේ ඒකරාශී වූ සමස්ත සමාජයත් සුවපත් මාවතකට යොමු කරවූහ. මිනිසා සමාජ සන්දර්භයක් තුළ තබා කතා කිරීමට බුදු සමය ප්‍රයත්න දරා ඇති බව, මෛත්‍රී භාවනා, සතර බ්‍රහ්ම විහරණ, සතර සංග්‍රහ වස්තු යන ධර්ම පරියායන්හි විස්තර වන ආකාරයට දැක ගත හැකි ය. පුද්ගලයා සමාජය සමඟ ක්‍රියා කරන විට සදාචාරයට හා නීතියට එකඟව ක්‍රියා කිරීම සෑම අංශයෙන්ම සුවදායක ය.

සදාචාරයෙන් ඉවත්ව නීතියට පටහැනිව ක්‍රියා කරන චරිත වලට ආගම සහ අධිකරණය යන ආයතන දෙක සුවිශාල සේවයක් ඉටු කරයි. පුද්ග චරිතයත් සමාජ සංස්ථාවත් සදාචාරාත්මකව අර්ථවත් කිරීමට බුදු දහමේ පංචශීල ප්‍රතිපත්තිය උපයෝගී කරගත හැකි ය.

අන්‍යොන්‍ය සුහදත්වය හා ගෞරවය ආරක්‍ෂා වන පරිදි සිය චර්යා සකස් කර ගත යුතු අන්දම පංචශීල ප්‍රතිපත්තියේ නිර්දේශිත ය. බුදු දහම සමාජයේ සියලු ස්ථර සමගම සංකලනය වෙමින් සුබ සිද්ධිය ඇති කරයි. බෞද්ධ ආචාර ධර්ම දෙයාකාරයකින් පුද්ගලයා ක්‍රියාත්මක කරයි. එය නිෂේධාත්මක හා ප්‍රතිජානාත්මක ලෙස බෙදිය හැකි ය. නිෂේධාත්මක ලෙස ක්‍රියාත්මක කරන විට පන්සිල්හි සඳහන් වන්නේ පුද්ගලයාට හා සමාජයට හානිකර ක්‍රියා පහකින් ඉවත් වීමයි. මෙය ප්‍රතිජනනාත්මකව සලකා බලන විට පුද්ගලයා විසින් සමාජයේ යහපතට හේතුවන ගුණධර්ම ද ඒ සමඟම වර්ධනය කර ගත යුතු ය. තමා උපමා කරගෙන සමාජයේ අන් අය හිංසාවට, ඝාතනයට පත් නොකළ යුතු යැයි බුදු දහම උපදෙස් සපයයි.

බුදු දහම සමාජ සුබසිද්ධිය නොදකින පෞද්ගලික වැඩපිළිවෙළක් බව ඇතැම්හු ප්‍රකාශ කරති. විමුක්තිය වූ කලී, සාකල්‍යයෙන්ම තමා කෙරෙහිම විශ්වාසය පිහිටුවා ලබා ගත යුතු, පුද්ගලයාගේ

පෞද්ගලික ක්‍රියාවලියකි. වෙනත් කිසිවකුට හෝ සමාජයේ වෙනත් පිරිසකට හෝ ඔහුට උදවු කළ නොහැකි ය. නියම ගුඪ වාදයක දැකිය හැකි සමාජයීය ස්වභාවය මෙහි උපරිම තැන දියුණු කර ඇත. වේබර් එසේ ප්‍රකාශ කර ඇත්තේ, ඔහුගේ යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට නිසා වන අතර, එමඟින් ථෙරවාදී බුදු දහම නිවැරැදිව තේරුම් ගැනීමට නොහැකි වූ බව පිළිබිඹු වෙයි. දෙවියන් වහන්සේ මුල් කරගෙන ගැලවීමේ න්‍යාය, බුදු දහමට පටහැනි වන්නකි. බුදු දහම, තමාගේ වගකීම තමා වෙතම පවරයි. පරම සත්‍යය ප්‍රත්‍යෙක වශයෙන් පෞද්ගලිකව, නුවණැත්තන් විසින්, වෙන වෙනම වීර්යයෙන්ම අවබෝධ කරගත යුත්තකි.

පරම සත්‍ය අවබෝධ කරගත් පසු ඒ තත්ත්වය වෙත පියමං කිරීමට සෙසු සාමාජිකයන්ට මාර්ගය පෙන්වා දීම, පරාර්ථ චර්යාවේ දී සිදු වෙයි. සම්බුද්ධ චරිතාපදානයෙන් ද ශ්‍රාවක චරිතවලින් ද බොදු පිළිවෙතේ ගැඹුර පිළිබිඹු වෙයි. බුදු දහමේ දැක්වෙන නිස්සරණාධ්‍යාස සමාජ සේවය සම්බන්ධව සලකා බලන විට, ඒ පිළිබඳ සංකල්ප අතර සතර සංග්‍රහ වස්තු සුවිශේෂී වෙයි. පුද්ගලයාට සමාජයට සේවය කළ හැකි සංග්‍රහ සතරක්, ඒ මඟින් දැක්වෙයි.

1. දානය – පරිත්‍යාගශීලී බව

2. ප්‍රිය වචනය – සන්නිවේදනයේ දී මිහිරි තෙපුල් පරිහරණය

3. අර්ථචර්යාව – සුබසාධක ක්‍රියාවන්හි නිරත වීම

4. සමානාත්මතාව – සමානාත්මතාවයෙන් අන් අයට සැලකීම

බුදු දහම ආචාර ධර්ම ක්‍රියාත්මක කිරීමේ දී පුද්ගලයා හා සමාජය යන උභය ක්ෂේත්‍රයම නිවැරැදි මාවතට යොමු කරවයි.

අම්බලට්ඨකා රාහුලෝවාද සූත්‍රය, කර්මය පිළිබඳ බෞද්ධ ඉගැන්වීමෙන් සමාජමය, අර්ථය ඉතා හොඳින් පැහැදිලි කර දෙයි. යම් ක්‍රියාවක් තමන්ටත් අනුන්ටත් දුක් පිණිස වේද? වඩාත් දුක් ගෙනදෙන එය අකුසලයකි, ඒවා නොකරන්න. යම් ක්‍රියාවක් තමාටත්, අනුන්ටත් සැප පිණිස පවතීද වඩාත් සැප ගෙන දෙන එය කුසලයකි. ඒවා කරන්න. පුද්ගල ක්‍රියාකාරීත්වයෙන් ස්වායත්ත සංවර්ධනය මෙන්ම සමාජ සංවර්ධනය ද අපේක්‍ෂිත බව, එමඟින් අවධාරණය කරයි. බුදු සමය අපේක්‍ෂා කරන්නේ පුද්ගල පාරිශුද්ධිය තුළින් සමාජ පාරිශුද්ධියත් ඇති කිරීමයි. එම නිසා පුද්ගලයා හා සමාජය අතර පවත්නා සම්බන්ධතාව, බුදු සමය වැදගත් කොට සලකයි.

සමාජ ධර්මයේ අවශ්‍ය ගුණයක් හැටියට අප සමඟ වසන කිසිදු ප්‍රාණියකු මානසික හෝ ශාරීරික වේදනාවකට පත් නොකිරීම ද, සියලු සත්වයන් කෙරෙහි ප්‍රේමය හා ආරක්‍ෂාව පැතිරවීමද සැළකි යුතු බව ආචාර්ය සිප්විත් සඳහන් කර ඇත්තේ බුද්ධ ධර්මයෙන් සාරාංශ ගෙනහැර දක්වන්නාක් මෙනි.

බුදුසමය ලොව පවතින සෑම දෙයක් පිළිබඳව විමර්ශනශීලී වනුයේ අනිත්‍යතා සංකල්පය මත පරිණාමීය දෘෂ්ටියට අනුගත වෙමිනි.

නිත්‍ය වූ සදාකාලික වූ, අවිනශ්වර වූ කිසිදු දෙයක් භෞතික, අභෞතික කිසිවක් තුළ විද්‍යාමාන නොවන බව බුදුසමය පිළිගනියි. එහෙත් බුදු දහමේ ඇති සුවිශේෂත්වය නම්, විපරිණාමයට අධිපතිත්වය පවරා, මිනිසා අකර්මක නොවිය යුතු බවයි.

එබැවින් විශ්වය පිළිබඳ යථා තත්ත්වය තේරුම්ගෙන බුදු සමයේ පෙන්වා දී ඇති පරම නිෂ්ටාවට අනුගත වන සේ සිය ජීවිතය ගොඩනඟා ගත යුතු වෙයි. එමඟින් උභයාර්ථ සංසිද්ධියත් අවසන් විමුක්තියත් සාක්ෂාත් කරගත හැකි වෙයි.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

The post පැටලුණු තැන් ලිහන්න ධර්මයට පුළුවන් appeared first on Sri News.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here