පාපයෙන් මිදුණු සිත එතරම්ම පිරිසුදුයි – Sri News

0
3


සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධානසාසනං

 

සෑම බුදුවරයන් වහන්සේගේ ම දේශනාව වන්නේ සියලු පාපයන්ගෙන් මිදී සිත පිරිසුදු කරගෙන කුසල් රැස්කර ගැනීම යි.

එහි දි අප මුල්තැන දිය යුත්තේ ආමිස පූජාවන්ට ද, නැතහොත් ප්‍රතිපත්ති පූජාවන්ට ද යන්න විමසා බැලිය යුතුව තිබේ.

වර්තමානයේ අපට වැඩි වශයෙන් දක්නට ඇත්තේ ආමිස පූජාවන් .
ශාරීරික චෛත්‍ය, පාරිභෝගික චෛත්‍ය සහ උද්දේසික චෛත්‍ය යන ත්‍රිවිධ චෛත්‍යයන් උදෙසා සැදැහැවතුන් තම ශක්ති ප්‍රමාණයෙන් පුද පූජාවන් සිදුකරනවා. බුදුරදුන් උදෙසා ආහාර පාන, මල්පහන්,සුවඳ දුම්, ගිලන්පස ආදී පූජාකරන දේ අපමණ යි. ඒ සියල්ල ආමිස පූජාවන් ගනයට වැටෙනවා.
අසූහාර දහසේ පහන් පූජා , මල්, පහන්, සුවඳ දුම්, ඖෂධ පූජා, සිවුරු පිරිකර පූජා, තූර්ය නාද පූජා, ධජ පතාක පූජා ඇතුළු පංචේන්ද්‍රියන්ට හසුවන සියලු පූජා, තොරණ පැවැත්වීම්, පහන් කූඩු සැකසීම්, පෙරහර පැවැත්වීම්, ප්‍රතිමාකරණයන්, චෛත්‍ය ගොඩනැඟීම්, දන්සල් පැවැත්වීම් ආදී සියල්ල ගැනෙන්නේ ආමිස ගණයට .

 

 

ධාර්මිකව හරිහම්බ කිරීමේ මාර්ග අමතක කර කෙසේ හෝ මුදල් උපයා කරන විවිධ පින්කම් මෙන්ම බෞද්ධ උත්සව මුල් කරගෙන සිදුකරන විකාරී සැණකෙළි ආදිය පවා ආමිෂ ගොඩට එකතු කරන්නෝ ද සමාජයේ බොහෝමයි.

ධාර්මික ව කරන ආමිස පූජා පැවැත්වීමෙන් ශ්‍රද්ධාව වැඩෙනවා.තෘෂ්ණාව ක්ෂය වෙනවා.කාය, වාග් සහ මනෝ සුචරිතය ඇති වෙනවා. එය භාවනාමය සිතිවිලි පුහුණු කරන ක්‍රියාවලියක්…

එහෙත් සසරින් එතෙරවීමට වහ වහා ප්‍රතිපත්ති පූජාවට යොමුවිය යුතු බව බුදුරදුන්ගේ දේශනාව යි. මුල්තැන දිය යුත්තේ ප්‍රතිපත්ති පූජාවට බව බුදුරජාණන් වහන්සේ අවස්ථා ගණනාවක දී ම වදාරා තිබෙනවා.

 

‘‘යමෙක් තිසරණය, පඤ්චශීලය, දසශීලය, සම්පූර්ණ කෙරේ ද, මාසයෙහි පොහෝ දිනයන්හි පෙහෙවස් වෙසේ ද, දන් දෙයි ද, සුවඳ පූජා කෙරේ ද, මල් පූජා කෙරේ ද, මවට උපස්ථාන කෙරේ ද, පියාට උපස්ථාන කෙරේ ද, ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කෙරේ ද, ඒ තැනැත්තා ධර්මය අනුව පිළිපන්නේ නම් වන්නේ ය‘‘ යනුයි.

මේ අටුවා පාඨයට අනුව දන් දීම, සුවඳ මල් පිදීම, මව්පියන්ට ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කිරීම යන මේවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති ය.

ප්‍රතිපත්තිය
සම්‍යක් ප්‍රතිපත්ති,
මිථ්‍යා ප්‍රතිපත්ති වශයෙන් දෙයාකාර වේ. මේ ප්‍රතිපත්ති පූජා කථාවෙහි අදහස් කරන්නේ සම්‍යක් ප්‍රතිපත්තිය යි. එනම් බුදුරදුන් විසින් නො කළ යුතු යැයි වදාළ දෙයින් වැළකීමත්, කළ යුතු යැයි වදාළ දේ කිරීමත් ය. යමෙක් බුදුරදුන් විසින් කළ යුතු යැයි වදාරා ඇති දානාදී පින්කම්වලින් කුමක් හෝ කෙරේ නම්, එය ප්‍රතිපත්ති පූජාව බව දත යුතු ය.

 

වක්කලී හිමියන්ගේ කතා පුවත ද මෙයට හොඳම නිදසුනකි. වක්කලී හිමියන් බුදු රජාණන් වහන්සේගේ රූපශ්‍රීය දැකීමෙන් ආශ්වාදය ලැබී ය. උන්වහන්සේ එයින් පමණක් සෑහීමට පත්වූ අතර පිළිවෙත් පිරීමට ඉදිරිපත් වුණේම නැත. පසුව උන්වහන්සේට සිදුවන්නට ගිය විපත දුටු බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“කිං තේ වක්කලි ඉමිනාපුතිකායේන දිට්ඨෙන, යෝ ඛෝ වක්කලි
ධම්මං පස්සති – සෝ මං
පස්සති යෝමං පස්සති සෝ ධම්මං පස්සති, ධම්මංහි වක්කලි
පස්සන්තො මං පස්සති‘‘

 

‘‘වක්කලි මේ කුණු ශරීරය දෙස බලා සිටීමෙන් ඔබට ඇති ඵලය කුමක්ද? යමෙක් ධර්මය දකී නම් ඔහු මා දකින්නේ ය. යමෙක් මා දකින්නේ නම් ඔහු ධර්මය දකින්නේ ය. වක්කලී ධර්මය දකින කෙනා මා දකින්නේ ය‘‘. යන්න බුද්ධ අවවාදය විය.
වත් පිරීමත් පැවිද්දන්ගේ ශීලයේ කොටසකි. ආචාර්යෝඋපාධ්‍යාය, සද්ධිවිහාරික, අන්තේවාසික සෑම දෙනා විසින් ම පිරිය යුතු වත් ඇත්තේ ය. මහ තෙරුන් වහන්සේගේ පටන් එදින ම පැවිද්ද ලත් සාමණේර නම දක්වා ඇති සෑම දෙනා විසින් තම තමන්ට අයත් වත් සම්පූර්ණ කළ යුතු ය.
“වත්තං න පරිපූරෙන්තෝ න සීලං පරිපූරති,
අසුද්ධසීලෝ දුප්පඤ්ඤෝ චිත්තේකග්ගං න වින්දති.
වික්ඛිත්තචිත්තෝ නේකග්ගෝ සද්ධම්මං න ච පස්සති
අපස්සමානෝ සද්ධම්මං දුක්ඛා න පරිමුඤ්චති.” (විනය විනිච්ඡය
වත්තක්ඛන්ධක)

 

“වත් සම්පූර්ණ නො කරන තැනැත්තා ශීලය සම්පූර්ණ නො කරයි. ශීල ශුද්ධිය නැති නුවණ නැති, තැනැත්තා සිතේ එකඟ බවක් නො ලබයි. වික්ෂිප්ත වූ, එකඟ නො වූ සිත් ඇත්තේ ධර්මය නො දකී. ධර්මය නො දක්නේ දුකෙන් නො මිදේ.
වත් නො කිරීමෙන් සාමණේරයෝ දඬුවම් ලැබිය යුත්තෝ වෙති. භික්ෂූන්ට දුකුළා ඇවැත් වේ. චූලවග්ග පාළියේ වත්තක්ඛන්ධකයේ වත් තුදුසක් වදාරා තිබේ.

ඒවා විනය විනිශ්චයෙහි ගාථා දෙකකින් මෙසේ දක්වා තිබේ.

 

”නහි මය්හං මාලා ගන්ධාදීහි පූජං කරොන්තා මම පුජං
කරොන්තිනාම ධම්මානුධම්මං පටිපජ්ජන්තා ඒවා පන මං පූජෙන්තී
නාම “
මල් සුවඳ ආදියෙන් මට පුද පුජා පවත්වන්නෝ (නියම ලෙසින්) මා පුදන්නෝ නොවෙත්.
ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෝ (නියම ලෙසින්) මා පුදන්නෝ වෙත්.
(ධම්මපදට්ඨ කථා ධම්මාරාම වත්ථු)

 

මූලික බෞද්ධ ඉගැන්වීම් වලට අනුව ජීවිතය සකස් කර ගැනීම ප්‍රතිපත්ති රැකීම ය. එනම් ශීලයන්ගේ පිහිටා කටයුතු කිරීම ය. ගිහියන් මූලිකවම පංචශීලය රැකීම ප්‍රතිපත්තිය විය යුතු ය. පන්සිල් සුරකින සමාජයක නොසංසිඳෙන අවුල් වියවුල් ඇති නොවේ. ඇතිවන ගැටලු විසදීම පහසු ය. ජනතාවට මෙන්ම පාලකයන්ට ද අනවශ්‍ය පීඩනයන් එල්ල නොවේ.
වර්තමාන සාමාජය මේ තරම් සාහසික තත්ත්වයකට පත්ව අත්තේ පස්පව්වලින් වැළකීමේ ප්‍රතිපත්තිය නොරැකීම නිසා ය. අෂ්ඨාංග ශීලය, දස ශීලය ආදී උපෝසථ ශීලයන් මෙන්ම පැවිදි පාර්ශවය සුරැකිය යුතු සාමණේර ශීලය හා උපසම්පදා ශීලය ආදි පිළිවෙත් ප්‍රතිපත්ති පූජාවන් ය.

 

ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දීමෙන් ආමිස පූජාව අත්හළ යුතු යැයි කිසිසේත් අදහස් නොකෙරේ. මේ දෙක හරියට එක මඟ ඇති රේල් පිලි දෙකක් තරමට එකකට එකක් සමාන්තරව යා යුතු ප්‍රතිපත්ති දෙකකි.
ආමිස පූජාවලින් තොරව ප්‍රතිපත්ති පූජාව පිරීම ඉතා දුෂ්කර ය. ප්‍රතිපත්ති පූජාව යනු බුදුන් වහන්සේ දේශනා කළ නිවන් මාර්ගයේ ගමන් කිරීමයි. වහා කෙලෙස් නැසීමට ක්‍රියා කිරීමයි. නිවන් මාර්ගය වළකන ලෝභ, ද්වේෂ, මෝහ විනාශ කිරීමයි. ශ්‍රද්ධාව පදනම් ව කටයුතු කිරීමයි. බුදු ගුණ හඳුනා ගනිමින් තම මනස තුළ ප්‍රඥාව දියුණු කිරීම ප්‍රතිපත්ති පූජාව නම් වෙයි.
ඊට අවශ්‍ය යහපත් කායික මානසික පරිසරය උදාකරන්නේ ආමිස පූජාවෙන් ය. එනිසාම වර්තමානයේ රටත්, ලෝකයත් පත්ව ඇති අර්බුද හමුවේ ආම්සයට වඩා ප්‍රතිපත්ති පිරීම මේ වෛශාක්‍ය මංගල්‍ය සමයේ කාලෝචිත බව අප අමතක කළ යුතු නොවේ.

 

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here