ප්‍රේමය දෝරේ ගලාගෙන යන විදිහට ලියන අපේ නවකතාකරුවෝ 7 දෙනෙක් – Sri News

0
3

ප්‍රේමය නම් රාගයෙන් තොර සඳඑළිය සේ අචින්ත්‍යයි අරක මේක කිව්වේ ආදි කාලේ. මල් කතා කරළියට බැස්සට පස්සේ ඕවා අදාළ නෑ. හාල්පොත වගේ ඉනේ ගහන් ඉන්නේ ඒ තරමට වැදගත් දේවල් ලියවිලා තියන නිසා. මේවා ලියන නෝනා මහත්තුරු ටික නම් අම්මපා මල් මසුරන්. ප්‍රේමය කියන්නේ කෑමක් ද බීමක් ද කියලාවත් දන්නැති උපාසකයෙක්ට ඒකේ හොඳ එකෙන්ම වැදෙනවා මේ අයගේ කතා කියෙව්වා නම්.

 

ප්‍රේමය කියන්නේ අහසක් නම් ඒකේ පියාඹන Boeing 747-8 ප්ලේන් එක තමයි මේ මහත්තයා. සීන් එකේ ඉන්න ගමන් ඒත් එක්ක සම්බන්ධ වෙන පොතක් කියවන්න හිතෙනවා නම් ඒ සම්බන්ධයෙන් අත්පොත් තියන්න කියාපු ගුරා. ටිකක් කියවගෙන යනකොට දාඩිය දාන්න, ඔටෝ කිචි කැවෙන්න, බොක්ක කැළඹෙන්න, ඔළුව කහන්න වගේ දේවල් අනිච්ඡ්ඡානුගව වෙන්න පුළුවන් විදියට පොත් ලියනවා. කොහොමින් හරි පොත්වල සාරාංශය ගත්තොත් කොල්ලා දුප්පත් කෙල්ල පොහොසත්, සත්‍ය ප්‍රේමේ ජයගන්නවා අම්බානෙකට බාධක තියෙනවා, හාල්මැස්සෝ තෙල් දාලා තියෙන කෑම වේලක් ගැන කොහේදි හරි කියවෙනවා. ලියාපු පොත් ගැන කියනවා නම් මහමෙවුනා, වර්ෂා, බොඳ මීදුම්, චායා, රන්තරු වගේ ඒවා. තව සැට් එකක් ම තියෙනවා.

 

ආරච්චිලාට ප්‍රේමය එක්ක ලොකු ගනුදෙනුවක් තියෙන පාටයි. දෙවැනියට හම්බ වෙන මේ ආරච්චි මහත්මයා සුජීව ප්‍රසන්නආරච්චිට දෙවෙනි වෙන්නේ නැහැ. ලියන රටාව මල් කතාවක තියෙන අමු බොළඳ ගතියෙන් මිදිලා ඕනෑම කෙනෙක්ට කියවන්න ආසා හිතෙන විදියට සංවේදීව ලියනවා. බූට් එකක් කාපු කෙල්ලන්ට මහේෂ් ලියපු “හැම තාත්තෙකුගේ ම සිතිවිලි” කියවන්න දෙන්න කියලා පාඨක ප්‍රජාව අතර කතාවක් තියෙනවා. නවකතාවෙන් නැවතෙන්නේ නැතුව ටෙලිකතා රචනයටත් අත ගහපු මහේෂ් එතන දී සෑහෙන සාර්ථකයි. හොයාගෙන කියවනවා නම් පූජා, සිනාසෙන්න කියාදෙන්න, සිතින් සියවර වගේ පොත් එල ම.

 

ආරච්චි මහත්තුරු දෙන්නෙකුට පස්සේ නෝනා කෙනෙක් පැත්තට හැරුණා. ඒත් ආරච්චි කෙනෙක්. ඇත්තට ම ආරච්චිලයි පෙම් පලහිලව් අතරයි මොකක් ම හරි සම්බන්ධයක් තියෙන පාටයි. කොහොමින් හරි ප්‍රේමය ගැන කතා ලියන, තවත් බොහොමයක් දෙනා කැමති කෙනෙක් තමයි මනෝරි සිලිකා කියන්නේ. ගොඩක් කතා දුකෙන් ඉවර කරන්න කැමති කෙනෙක් විදියට තමයි ප්‍රසිද්ධ. මනෝරි සිලිකාගේ පොත්වල ඉන්නේ මල් කුඩය ‘ඉහලවාගෙන’, මහා වැස්සක දිග කොණ්ඩේ පිට දිගේ ඉහිරවාගෙන යන මුවැත්තියක් වගේ තිගැස්සෙන අහිංසක කෙල්ලෝ. අකම්පා, සුලෝචනා, හන්තාන සිහිනේ, දෙනුවන් අද්දර, අගස්ති වගේ පොත් ඇයගේ.

 

යෞවන සමීන්ද්‍ර කියන්නෙත් පරපුරක් ආදරෙන් වැළඳගත්තු ප්‍රේම පුරාණයක්. වහෙන් ඔරෝ ළපටි කතා නෑ. මේ කතාවල සාරය මෙහෙමයි. ඉලඇට කූඩුව බලන් ඉද්දි ඇඹරෙන විදියේ ජෝක් සෙට් එකකුයි, ඊටම හරියන චරිත ටිකකුයි, ඇමති පුතෙක් හරි මොකෙක් හරි ලොකු පොරකගේ පුතයි, ඒ යකාගේ ට්‍රේල් බයික් එකයි, කෙල්ලෝ ටක් ගාලා ටෝක්වෙන හැකියාවයි තියන සර්ව සම්පූර්ණ සුදු චරිතයක් ඇති කොල්ලයි තමයි හැම කතාවෙම ඉන්නේ. ලියලා තියන භාෂාව නම් හරී සෝක්. පිරියක් ඇතුව කියෝගෙන යන්න පුළුවන්. දයාබර නෝටි, දුඹුරු ළමිස්සී, නිල්නෙතු ඔබේ හදවත මගේ, ආදරණීය බෙකම්, රුකී වගේ පොත් කියවලා බලන්න.

 

ප්‍රේමය ගැන ලියන තවත් කාන්තා නියෝජනයක්. ප්‍රේමය ගැන ඕනිවට වඩා ඔලුවට වද දෙන විදියට ලියවෙන එක පැත්තක දාලා බොහොම සරලව ඕනිවට වඩා ගැටලු මතුකරන්නේ නැතුව තමයි චන්දි කොඩිකාර පොත් ලියන්නේ. පොතේ අවසන් පිටුවේ බොහෝ වෙලාවට නිසදැසක් ලියන එක ඇගේ පොත්වල තියෙන ලක්ෂණයක්. සමාජයේ සිද්ධ වෙන දේවල් ප්‍රේම කතාවක් හරහා එළියට දාන්න හදන හැටි හැම පොතකම දකින්න පුළුවන්. ඉර ගිරවි, චතුමධුර, පාරමිතා, මහව කෝච්චිය ඇයගේ නිර්මාණ කීපයක්.

 

ඒ දවස්වල ඉස්කෝලවල කෙල්ලෝ කොල්ලෝ දෙයියන්ට වගේ සලකපු ලේඛිකාවක් තමයි මේ. මල් කතා කියලා නෑ හොඳ සංයමයකින් කතා ලියලා තියනවා. හොටු පෙර පෙර කියවතහැකි. බොළඳ දේවල් තියෙනවා හැබැයි ඒවා විකාර නෙවෙයි. වැදෙන්නම කියනවා. හැබැයි එහෙමයි කියලා ගුරුගීතය අරකෙ මේකේ තියෙනවා වගේ ජීවන දර්ශනයක් ලබාගන්න පුළුවන් මහාප්‍රාණ නෑ. හිරිකඩ හීතල කවියක්, පෙම් බැඳන් ආ කින්නරාවී, හද වැස්ස, ඇස් පියන් යට, පියාසලමි වගේ පොත් මරු.

 

කෙටුම ඉවර කරන්නෙත් තවත් ආරච්චි කෙනෙක්ගෙන්. ඒ ප්‍රේමය ගැන ලිවීමෙන් කප් ගහපු එඩ්වඩ් මල්ලවාරච්චිගෙන්. චාතූර්‍යා කියවපු අයට තාමත් තේමියලගේ කතාව අමතක කරන්න බැරුව ඇති. එඩ්වඩ් මල්ලවාරච්චි කියන්නේ ලියන්නන්වාලේ කතා ලියන්නෙක් නෙවේ. එක එක විෂයන් ගැන හැදෑරීමක් කරලා වදාරන්නෙක්. යන්න ඕනෑ තරම් මාවත් තියෙද්දී ජනප්‍රිය කතා කලාව තෝරාගත්තු කෙනෙක්. මෙතුමගේ පොතක් පැය එක හමාරකින් වුණත් කියවලා ඉවර කරන්න පුළුවන්. ඒ තරමට භාෂාව සරලයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here