ප්‍රතිශක්තිය වර්ධනය කරන ආයුර්වේදීය ප්‍රතිකර්ම… අපේ ශරීරයට ආගන්ත…

0
17


ප්‍රතිශක්තිය වර්ධනය කරන ආයුර්වේදීය ප්‍රතිකර්ම…

අපේ ශරීරයට ආගන්තුක රෝග කාරක වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි නම් එය නිරෝගී බවට ප්‍රධාන හේතුවක් වනවා. ශරීරයේ හා මනස සතු මේ ඔරොත්තු දීමේ හැකියාව හඳුන්වන්නේ ‘ප්‍රතිශක්තිය’ නමින්.

ආයුර්වේදයේ මෙය හඳුන්වා ඇත්තේ “ව්‍යාධි ක්ෂමත්වය” යන නමින්. එනම් රෝග හෙවත් ව්‍යාධීන්ට ඔරොත්තු දීමේ හැකියාවයි. මෙහිදී වැළඳුණු රෝගයක පැතිරීම අවම කර සංකූලතාවන් අවම කිරීමේ හැකියාව සහ තවමත් නොවැළඳුන රෝගයකට එරෙහි වීමට ඇති හැකියාව යන දෙකම අර්ථ කථනය වී තිබෙනවා. මෙයට “ඕජස” සහ “බල්‍ය” යන වචනයන් ද ආයුර්වේදයේ දී යොදනවා. “ඕජස” යනු සිරුරේ මාංස, අස්ථි ආදී සියලුම ධාතු පටකයන් හි සාරවත් කොටස වන අතර එය ම ශරීරයේ ශක්තිය රඳා පවතින කොටස වන හෙයින් ‘බල්‍ය’ නම් වනවා.

මේ අනුව රෝග වලට ඔරොත්තු දීමට නම් ශරීරය නිවැරදි ධාතු පෝෂණ යාන්ත්‍රණයක් එනම් ආහාර දිරවීමේ සිට සිරුරේ සිදුවන සියලූම පරිවෘත්තීය ක්‍රියා නිවැරදිව සිදු වී අවසානයේ සෑදෙන සාරවත්ම පදාර්ථ ශරීරයට අවශෝෂණය විය යුතු බවයි ආයුර්වේදයේ දක්වා තිබෙන්නේ. මේ නිසා හොඳ ප්‍රතිශක්තියක් ඇති වීමට නම් නිවැරදි ආහාර හා චර්යා රටාවක් පවත්වාගත යුතු වනවා.

🔴 ආයුර්වේදයට අනුව ව්‍යාධි ක්ෂමත්වය/ ශරීරයේ ප්‍රතිශක්තිය හීන කරන හේතු මොනවාද ?

🔸දරුණු රෝග තත්ව, දීර්ඝ කාලීන රෝග, නිරන්තරයෙන් රෝග වලට ගොදුරු වීම ආදිය නිසා ශරීරයේ දෝෂ දූෂණය වී ශරීරය දුර්වල වීම

🔸ශරීරයේ ජලීය පදාර්ථ අඩුවීම/විජලනය

🔸බාහිර රෝග කාරක වලට ගොදුරු වීම

🔸අධික ව්‍යායාමය/කාර්යබහුල බව

🔸රාත්‍රි නිදි වැරීම

🔸භය, තරහව , ඊර්ෂ්‍යාව සහිත හැඟීම් නිරන්තරයෙන් ඇතිවීම සහ නිතර මානසික ආතතියෙන් පසුවීම

🔴 ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරන කාරණා ලෙස දක්වා ඇත්තේ මොනවාද?

🔹උපන් දේශය යහපත් දේශගුණයක් සහිත භූමියක් වීම ද හොඳ ප්‍රතිශක්තියක් හිමි වීමට හේතු වන බව දක්වා ඇත.

🔹යහපත් කාලයක/සෘතුවක ජීවත් වීම

🔹මවුපියන්ගෙන් සහජයෙන් උරුම වූ ශරීර බලය

🔹පෝෂ්‍යදායී ආහාර පාන

🔹හොඳ ශරීර ශක්තියක් තිබීම

🔹නිතිපතා ව්‍යායාම සිදු කිරීම

🔹යහපත්, උද්‍යෝගිමත් මානසිකත්වයෙන් කල්ගත කිරීම

🔴ප්‍රතිශක්තිය වර්ධනයට ආයුර්වේදය පවසා ඇති පිළියම් මොනවාද ?

🔸හොඳ නින්දක්, පෝෂ්‍යදායී ආහාර, යහපත් ඇවැතුම් පැවැතුම් ඇතිවීම

🔸ඒ ඒ කාලයට, දේශයට, සමාජයට, පරිසරයට ගැලපෙන අයුරින් යහපත් ඇවතුම් පැවතුම් ඇතිව ජීවත්වීම

🔸ශරීරයේ අනවශ්‍ය දෝෂ ඉවත් කරන පංචකර්ම ප්‍රතිකාර වැනි ශෝධන ප්‍රතිකාර
සුදුසු ලෙස සිදුකිරීම

🔸වෛද්‍ය නිර්දේශය මත සුදුසු රසායන, වාජිකරණ ඖෂධ භාවිතය

🔸හොඳින් දිරවන ආහාර ගැනීම, හොඳින් පැසවන ගුණයෙන් යුතු ආහාර, ඖෂධ සේවනය

🔸රසකිඳ, නෙල්ලි, වැල්මී, හාතවාරිය, දුහුදු, ලුණුවිල, ගොටුකොළ, අමුක්කරා වැනි ඖෂධීය ශාක ඖෂධ වශයෙන්, ආහාර වශයෙන්, පාන, කැඳ වර්ග ආදී වශයෙන් ගැනීම ශරීර බලය ප්‍රතිශක්තිය වර්ධනයට ඉතා හොඳයි

🔸අරළු, බුළු, තිප්පිලි, ගම්මිරිස්, වියළි ඉඟුරු, කුරුඳු ආදි කුළුබඩු වර්ගත් හොඳයි. විශේෂයෙන්ම රසායන ඖෂධ උදාහරණ ලෙස ච්‍යවනප්‍රාශාවලේහ, බ්‍රාහ්මී රසායන වැනි අවලේහ වර්ග සහ රත්රන්, රිදී ආදී ලෝහ වර්ග වලින් ශරීරයට හිතකර ලෙස නිපදවූ රස ඖෂධ ප්‍රතිශක්ති වර්ධනය පිණිස ආයුර්වේද ප්‍රතිකාරවලදී ප්‍රයෝග කරනු ලබනවා.

🔴 මේ සම්බන්ධයෙන් ආහාර හා චර්යා පිළිබඳව නිර්දේශ මොනවාද ?

01). ශරීර බලය වඩවන මධුර රස ආහාර පාන, පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර පාන, තමාගේ ශරීර සෞඛ්‍යට ගැලපෙන අයුරින් භාවිතය. උදාහරණ. කිරි, මී පැණි, හකුරු, බටර්, එළඟිතෙල් ආදිය. මිදි, දොඩම් ආදී මධුර අම්ල රස පලතුරු වර්ග.

02). අධිකව ලුණු මිරිස් සහිත ආහාර, තිත්ත රස ආහාර පරිභෝජනය, අධික ශීත හෝ අධික උෂ්ණ ආහාර, සකස් කරන ලද ආහාර, කෘතිම ආහාර ආදිය භාවිතය නුසුදුසු ය.

03). යෝග, ප්‍රාණයාම, භාවනා ක්‍රම ආදිය පුරුදු පුහුණු කිරීම.

04). කය, මනස මෙන්ම ආධ්‍යාත්මික සුවය සලසා ගැනීම පිළිබඳ සැලකිලිමත් වීම.

05). යහපත් ඇවතුම් පැවතුම් වලින් යුතු වීම.

ආදී කාරණා ඔබේ “ව්‍යාධි ක්ෂමත්වය” හෙවත් රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි බලපාන බව සිහි තබාගත යුතුයි.

👩‍⚕‍ සටහන :- Dr. Prabahashi Weerasinghe
B.A.M.S. ( University of Colombo )
M.A. in Buddhist Studies (Buddhist Ayurvedic Counselling and Psychiatry)
SLAMC Reg. 15204
📞 0779715240
🌍 www.helaarana.lk
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #immunity #corona #covid19 #ayurvedictreatmentsforcovid19
#ayurvedictreatmentsforcoronavirus #ayurvedictreatments #ayurvedic_treatments



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here