ප්‍රතිශක්තියට හොඳම බෙහෙත මොකද්ද? අද උදේම ලෙඩෙක් ඇහුව දේ අනුව ඔයාලටත් මෙහ…

0
5


ප්‍රතිශක්තියට හොඳම බෙහෙත මොකද්ද?

අද උදේම ලෙඩෙක් ඇහුව දේ අනුව ඔයාලටත් මෙහෙම අත්දැකීම් ඇති කියලා හිතුන නිසයි මේක ලියන්න ගත්තේ. කෙනෙක් කිව්වලු ප්‍රතිශක්තිය වැඩෙන්න හැමදාම සීතාරාම ගුලි හතර ගානේ උදේ හවස බොන්න කියලා. එහෙම බිව්වට කමක් නැද්ද ඩොක්ර් කියලා ලෙඩා මගෙන් ඇහුවා. බොන්න කලින් මගෙන් ඇහුව නිසා හොඳයි, එහෙම දැනුවත් භාවයක් නැති කීදෙනෙක් නම් මෙහෙම නිකරුනේ බෙහෙත් බොනවා ඇත්? දැන් නිතරම බටහිර වෛද්‍යවරුත් කියනවා නේද වෛද්‍ය නිර්දේශයකින් තොරව ෆාමසි වලින් බෙහෙත් අරන් නිකරුනේ බොන්න එපා කියලා. ඒක ආයුර්වේද බෙහෙත් වලටත් ඒ හා සමානවම වලංගුයි. අත් බෙහෙත් වෙනයි ඖෂධ වෙනයි. අපේ අත්තා මුත්තා කාලෙ ඉඳන්ම උණක් හෙම්බිරිස්සාවක් හැදුනම කොත්තමල්ලි ඉඟුරු තම්බලා බිව්වේ ආයුබෝවන්ඩ. ඒ නිසා අපි නොදන්න දෙයක් නෑ.. ඔය සිංහල බෙහෙතේ කියලා හරි, මගේ මුත්තා හරි කවුරු හරි වෙද මහත්තයෙක් කියලා වෙදකම මෙලෝ හසරක් නොදන්න කෙනෙක් කියන බෙහෙත් ගැන අහලා හරි ඒ කියන බෙහෙත් බොන්න යද්දි දෙපාරක් හිතන්න. මේවා බිව්වට පස්සෙ මට මොනව වෙයිද කියලා.

කොරෝනා වලට මේ බෙහෙත හොඳයි මේක හොඳයි කියලා ගොඩක් ඖෂධ වට්ටෝරු හුවමාරු වෙනවා. ඒවා ඇත්තටම වෛද්‍යවරුන් විසින් නිර්දේශ කල දේවල් ද නැත්තම් මේ වෙලාවේ කොරෝනා වලින් මුදල් හම්බකරගන්න බලන් ඉන්න අය විසින් ප්‍රචාරණය කරන දේවල්ද කියලා හොඳට තේරුම් ගන්න.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සිද්ධාන්ත වලට අනුව රෝග ඇතිවීමට වාත, පිත, කඵ දෝෂ තත්වයන්ගේ විකෘති තාවය, ආමය ඇතිවීම හා ස්‍රෝතස් වල අවරෝධය යන කාරණා හේතුවේ. උදාහරණයක් විදියට අපි හිතමු නගරයේ අපද්‍රව්‍ය ගසාගෙන යන්න තියන කාණු පද්ධතියක් ගැන. ඒක මොනව හරි හේතුවකට අවහිර වෙලා තිබුනොත් එතනින් එහාට කුණු ගසාගෙන යන්නෙ නෑ නේද? ටික දවසක් යද්දි එතන ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය එක්ක එතන කාණුව පල්වෙලා ගඳ ගහන්න පටන් ගන්නවා නේද?

ස්‍රෝතස් කියන්නෙත් ඇඟේ එහෙම හැදුන මාර්ග පද්ධතියක් වගේ දෙයක්. අපි ගන්න ආහාර දිරවීමෙන් පසු කොටසක් ශරීරය පෝෂණය කරන්නත් ඉතිරිය මල, මුත්‍ර, දහදිය හා කාන්තාවන්ගේ නම් ආර්තව රුධිරය ලෙසත් ශරීරයෙන් ඉවත් වෙනවා. අර ශරීරයේ පෝෂණයට ඉතිරි උන කොටස විවිධ මාර්ග ඔස්සේ (ස්‍රෝතස්) රස, රක්ත,මාංශ, අස්ථි, මජ්ජා, ශුක්‍ර (මේවට ආයුර්වේදයේදී ධාතු කියලා කියනවා) බවට පත්වෙලා ශරිරය පෝෂණය කරනවා. ඒවා ගෙනියන හෝ පරිවර්තනය වෙන මාර්ග වල යම් අවරෝධයක් තිබුනොත් කලින් මම කාණුවේදී වෙනදේ පැහැදිලි කලා වගේ අපේ ශරීරය තුලත් ඊට සමාන දෙයක් වෙන්න පුලුවන්. එතකොට ශරීරය පුරාම විෂ කොටස් එකතු වෙන්න ගන්නවා. ඒ එකතු වෙන විෂ වගේ කොටසට අපි ආමය කියලා කියනවා. ඒ වාගේම අවශ්‍ය විදියට ධාතු පෝෂණය වෙන්නෙ නැහැ. මේ නිසා තමයි කෙනෙක්ගේ ප්‍රතිශක්තිය දුර්වල වෙනවා කියන්නේ. ඒ කියන්නේ එයාගෙ ශරීරයේ නිසි ක්‍රියාකාරිත්වය නැති නිසා අවශ්‍ය තැන් වලට නියමිත පෝෂණය ලැබෙන්නෙ නැහැ.

කෑම දිරවීමේ ප්‍රශ්න තියන කෙනෙක්ට, ස්‍රෝතස් අවරෝධතා ඇති අයට ඒක හරි ගස්සවන්න අවශ්‍ය දේ කරන්නෙ නැතුව මොන විදියට ප්‍රතිශක්තිය වැඩෙන්න බෙහෙත් බිව්වත් වැඩක් නෑ. අනික මේක තනි ඖෂධයකින් කරන්නත් බැහැ. වෙද පප්පගෙ අරිෂ්ඨෙ බිව්වා වගේ බෙහෙතක් බිව්වම කොරෝනා හැදෙන්නෙ නෑ කියන එක පට්ට පල් බොරැවක්. කෙනෙක්ගේ ප්‍රතිශක්තිය වැඩි කරන්න ඒක ක්‍රමානුකූලව කරන්න ඕන දෙයක්. ඒකෙදි පලමුවෙන්ම කරන්නෙ ආහාර දිරවීමේ ක්‍රියාවලියේ යම් දෝෂ තියනවනම් ඒක යථා තත්වයට පත් කරන එක. එතකොට කන බොන ආහාර ටික හොඳට දිරවලා ශරීරයට උරගන්නවා. ඊට පස්සෙ ඒ උරාගත්ත සාර කොටස ශරීරයේ පුරා ගමන් කරන්න තියෙන මාර්ග අවහිර වෙලා තියනවා නම් ඒවා සුද්ද බුද්ද කරලා දාන්න වෙනවා. එතකොට හොඳට ශරීරයට අවශ්‍ය පෝෂණය ලැබිලා හැමදේම හොඳින් වෙන්න පටන් ගන්නවා. ඒ අතරෙම අර එකතු වෙලා තිබ්බ විෂ කොටස් ශරීරයෙන් ඉවත් කරන එකත් කරන්න වෙනවා. මේකත් හරියට වාහනේ සර්විස් කරගන්නවා වගේ වැඩක්. මේ වැඩේට බෙහෙත් වගේම ආහාර, ඇවතුම් පැවතුනුත් හරි විදියට වෙන්න ඕන. ඔය ටික කරන්න හැමෝටම එකම බෙහෙත දිලා බැනේ. ගෙදර පස් දෙනෙක් හිටියොත් පස් විදියක්. ඒ ඒ අයට ගැලපෙන්න බෙහෙත් නියම කරන්න ඕන. කෙනෙක්ගෙ ප්‍රකෘතිය, වයස, දැනට තියන ලෙඩ රෝග, ආහාර දිරවීමේ ප්‍රමාණය, මල, මුත්‍ර යන සියල්ල ගැන සලකලා තමයි බෙහෙත් නියම කරන්නෙ. ඒනිසා ඒකට සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ලඟට යන්නම වෙනවා.

ආයුර්වේද ඖෂධත් නියමිත මාත්‍රාවෙන් ඕන දෙන්න. හැමෝටම හිතුන හැටියේ කඩෙන් අරන් බොන්න බැහැ. අතුරු ආබාධ එන්න පුලුවන්. අරිෂ්ඨ බීලා වකුගඩු නරක් උනා කියන චෝදනාවත් ඒ වගේ. අරිෂ්ඨ වර්ග නිර්දේශ කරද්දි අපි බොන්න ඕන මාත්‍රාවක් කියනවනේ එහෙම නැතුව කඩෙන් අරන් බොතල් ගනන් බීලා, ආයුර්වේද බෙහෙත් බීලා වකුගඩු නරක් උනා කියලා බැන බැන යනවා. සමහර බෙහෙත් වල රස ඖෂධ තියනවා ඒවා ඉතා සුළු ප්‍රමාණ වලින් කෙටි කාලයක් විතරයි බොන්න පුළුවන්. ඒකත් වෛද්‍ය නිර්දේශ මත. සමහර බෙහෙත් ඔයාල බොන සමහර බටහිර බෙහෙත් එක්ක එකට බෙන්න බැහැ. සමහර බෙහෙත් තියනවා ඒවා අධි රුධිර පීඩනය, වකුගඩු රෝග, ආසාත්මිකතා, වැනි අවස්ථා වලදී ඉතාමත් පරීක්ෂාකාරීව තමයි වෛද්‍යවරු රෝගියෙක්ට නියම කරන්නෙ. මේවා මුකුත්ම දන්නැතුව තමයි එක එක්කෙනා කියන බෙහෙත් අරන් සිංහල බෙහෙත් බිව්වම අගුණයක් නෑනේ කියලා නැති ලෙඩ හදාගන්නේ.

ආයෙ අයෙ කියන්නෙ ප්‍රතිශක්තිය වැඩෙන්න එහෙම හදපු ප්‍රතිශක්තිකරන වර්ධක ඒකීය බෙහෙත් වර්ග නැහැ. එහෙම මැජික් බෙහෙත් තියෙනවා කියන්නෙ රැවටීමක්. ඒක පුද්ගලානුබද්ධ චිකිත්සාවක්. කෙරෝනා වලට බයේ, නැති ලෙඩ හදා ගන්නේ නැතුව සුදුසුකම් තියන ආයුර්වේද වෛද්‍යවරයෙක්ගේ නිර්දේශය මත පමණක් ඖෂධ ලබාගන්න.

✍️ සටහන :- ආයුර්වේද වෛද්‍ය W.T.M ගිම්හානි උදාරි පෙරේරා

🌍 web
www.helaarana.lk
⭐ Telegram Channel
https://t.me/hela_arana
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #covid19sl



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here