පහන් සිත ජය ගෙනෙයි ද – Sri News

0
4


මිනිසා උපදින අවස්ථාවේ ඉතා අසරණ තැනැත්තෙකි. මවගේ හෝ වෙන කිසිවෙකුගේ ආරක්ෂාව නොලැබුණහොත් ඉපදී වැඩි වේලාවක් ජීවත්වීමට නොලැබෙන තරම්ය.

සමහර විට ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට පවා ඇරඹෙන්නේ කිසිවකුගේ සහාය ලැබීමෙන් පසුවයි. ආහාරපාන වෙන අය විසින් සැපයිය යුතුයි. ආරක්ෂාව හා ආදරය ලබා දිය යුතුයි. මේ හේතුව නිසාම මිනිසා උපත ලබන්නේ පවුල නම් වූ කුඩා සමාජ ඒකකය තුල. නව සාමාජිකයින් කිහිප දෙනකුගේ සහාය මේ කුඩා දරුවාට ලැබීමේ අවස්ථාව පවුලෙන් ඉෂ්ට වේ.

මව පියා සහෝදර සහෝදරියන් හැරුනාම, සමහරවිට ආච්චි සීයා නැන්දා මාමා පවුල තුළ ඇසුරට ලැබෙන අනෙකුත් සාමාජිකයෝ වෙති. දරුවා මුල්ම සම්බන්ධතා ගොඩනගා ගන්නේ මේ පවුල් සාමාජිකයින් වන මේ අය සමඟයි. තමා වෙත ඒ අය දක්වන සැලකිල්ල , තමා ගේ සම්බන්ධය ගොඩ නැගීමට හේතු සාධක වෙයි . පවුලෙන් පිට සමාජයේ සාමාජිකයන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට ඇති වන්නා වූ පදනම ද මේ මත රැදේ.

පවුලෙන් බැහැර වූ විට ළමයාගේ ආශ්‍රයට පළමුවෙන්ම එන්නේ අසල්වාසීන් ය. මිතුරන්ය.. ගුරුවරුන්ය….
ගුරුවරුන් වන ආගමික පැවිදි උතුමන් ය… ආගන්තුකයින් ආදී වූ තවත් විශාල සංඛ්‍යාවක් සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධතා අනතුරුව ඇතිකර ගනී.

මිනිසාට සාර්ථකව ජීවත් විය හැක්කේ මේ සියලු දෙනා සමග යහපත් සම්බන්ධතා ඇතිකර ගත්තොත් පමණි. සමාජ සත්වයෙකු වන මිනිසාට මේ අයගේ ඇසුරෙන් තොරව තනිව ජීවත්වීම ගැන සිතීම පවා උගහට ය.

අන්‍යෝන්‍ය සම්බන්ධතාවය යහපත් නම්, මිනිසාට සතුට හා සැනසීම ළඟා වෙයි. දියුණු වීමට ඉඩ සැලසෙයි .අන්‍යෝන්‍ය සම්බන්ධතා අයහපත් නම්, අහිතකර නම්, අසතුට අතෘප්තිය අසහනය ඇති වේ.පරිහානිය සැලසේ.

කවර තරාතිරමක පුද්ගලයින් සමඟ වුවද ඇතිකරගන්නා යහපත් හිතකර සම්බන්ධතා කල්‍යාණ මිත්‍රත්වය නමින් බුදුදහමෙහි ඉගැන්වෙයි. කල්‍යාණ මිත්‍රත්වය මෙලොව ජීවිතය දියුණුවට පත් කරන කරුණුවලින් එකක් හැටියට ව්‍යග්ග පජ්ජ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් හඳුන්වා තිබේ.

කල්‍යාණ මිත්‍රත්වය ඇති කර ගැනීම සඳහා ආශ්‍රය කළ යුතු යහපත් පුද්ගලයින් ගැන ද අන්‍යෝන්‍ය සම්බන්ධය රැකගත හැකි කරුණුද ගැන දැනගැනීමට සමාජ ආශ්‍රය අවශ්‍ය වේ.

මහා මංගල සූත්‍රය මුලින්ම දක්වා ඇත්තේ මේ කාරණාවයි. බාලයන් ඇසුරු නොකිරීමද නුවණැත්තන් ඇසුරු කිරීම ද ගරු කළ යුත්තන්ට ගරු කිරීම ද මහා මංගල කරුණු වන බවයි .

නභජේ පාපකේ බ්මිත්තේ
භජේථ මිත්තේ කල්‍යාණේ

යන ආකාරයෙන්… ධම්ම පදයේ …පවිටු මිතුරන් ඇසුරු නොකිරීමටත්, කලණ මිතුරන් ඇසුරු කිරීමටත්, අනුශාසනා කර ඇත.

බාල හා පවිටු පුද්ගලයින්ගෙන් නුවණැති හා දැහැමි පුද්ගලයින් වෙන්කොට හඳුනා ගැනීමට සිඟාලෝවාද සූත්‍රයේ එන මිත්‍ර ප්‍රතිරූපකයන් හා කල්‍යාණ මිත්‍රයන් පිළිබඳ වර්ග කිරීමේදී පෙන්වා දෙන කරුණු ප්‍රයෝජනවත් වෙයි. ඒ අනුව තමන්ගේත් අනුන්ගේත් යහපත සලකන්නා හොඳ යහපත් මිනිසෙකි . කල්‍යාණ මිත්‍රයෙකි. තමන්ගේත් අනුන්ගේත් ද අයහපතට වැඩ කරන්නේ නම් පවිටු මිනිසෙක් වන අතර එම පුද්ගලයා ඇසුරට නොගත යුතු පුද්ගලයෙක් බවට හඳුනා ගත යුතුය.

ඇසුරු කළ යුතු , හා නොකළ යුතු අය හඳුනා ගත් පසු ,සමාජය ඇතුළු ඇසුර ශක්තිමත් කරන ධර්මතා දැනගැනීම අත්‍යවශ්‍ය කරුණකි. අන්‍යෝන්‍ය සම්බන්ධතා රඳා පවත්නේ ඒ ධර්මතා අනුගමනය කරන පමණට ම ය . මේ සඳහා ඉදිරිපත් වන බෞද්ධ ඉගැන්වීම් රාශියක් සූත්‍ර ධර්මයන්හි ඇතුළත් ය.

අනිත් අය කෙරෙහි තමන් හැසිරිය යුත්තේ කෙසේ දැයි තීරණය කිරීම සඳහා හොඳම ක්‍රමය අනිත් අය තමන් කෙරෙහි හැසිරිය යුතු යැයි තමන් බලාපොරොත්තු වන ආකාරය විමසා බැලීමයි. එනම් තමා උපමා කොට අනුන් ගැන සලකා බැලීමයි. මෙය අත්තූපනායක ධර්ම පර්යාය යනුවෙන් ධර්මයෙහි හඳුන්වයි.

මම දඬුවමට බිය වෙමි. මරණයට අකමැති වෙමි. එනිසා කිසිවෙකු මට දඬුවම් කිරීම මම නොඉවසමි. මැරීමට තැත් කිරීමට රුචි නොකරමි. මා මෙන්ම අන් අය දඬුවමට බිය වෙති .මරණයට අකමැති වෙති .දඬුවමට අකැමතිය. ඔවුහු මගේ දඬුවම ලැබීමට අකමැති වෙති. ඒ නිසා මම කිසිවකු දඬුවමින් බිය නොකරමි.කිසිවකු නොමරමි. මෙසේ සිතා ප්‍රාණඝාතයෙන් වෙන්වීම අත්තූපනායක ධර්ම පර්යාය අනුව මගේ එනම් තමන්ගේ හැසිරීම් සකස් කර ගැනීමයි.

මේ මූලධර්ම යොදමින් හොරකම ද කාමයෙහි වරදවා හැසිරීම ද බොරු කීමද රහමෙර හා මත්ද්‍රව්‍ය පාවිච්චිය ද යන දුසිරිත් අත්හැරීම පන්සිල් රැකීම නම් වෙයි. සමාජයේ යහපත් අන්‍යෝන්‍ය සම්බන්ධතා ඇති කර ගැනීමට නම් මෙ මූලික සංවරය අප සතු විය යුතුයි.

බෞද්ධයාගේ නිත්‍ය ශීලය වශයෙන් පංච ශීලය ගැනෙන්නේ නිරන්තරයෙන් රැකිය යුතු ගුණ ධර්ම පහක් එහි ඇතුළත් වන බැවිනි. මේවා සදාචාරාත්මක ජීවිතයට අවශ්‍ය පොදු මූලධර්ම බැවින් මිනිස් සංහතිය තුළ දියුණුව සඳහා ජීවිතය හැඩගස්වා ගැනීම මෙයින් වැදගත් වේ.

සමාජ ජීවිතයේදී මිනිසාට ඒ ඒ අවස්ථාවේදී ඒ ඒ ආකාරයට විවිධ කාර්යභාරයන් සපුරාලීමට සිදුවෙයි. මවක හෝ පියකු වශයෙන් දරුවන් වශයෙන් සැමියකු හෝ බිරිඳක වශයෙන් මිතුරකු වශයෙන් ගුරුවරයකු ශිෂ්‍යයෙකු ස්වාමියෙකු සේවකයෙකු දායකයකු පූජකයෙකු හෝ පූජ්‍ය යෙකු ආදී වශයෙන් මේ කාර්ය භාරයන් වෙන් වෙන් වශයෙන් හඳුනා ගත හැකිය.

මෙසේ වෙන් වූ කාර්යයන් ඉටු කිරීමට එකම පුද්ගලයාට ඒ ඒ අවස්ථාවට අනුව කාර්යභාරයන් කිහිපයක් හෙවත් වගකීම් කිහිපයක් ඉටු කිරීමට සිදුවේ. මේ ආකාරයෙන් තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් දැන හඳුනා ගෙන ඒවා නොපිරිහෙලා ඉටු කරන්නා වූ ඒ සමාජ කොටස් සමග ඉතා හිතකර සම්බන්ධතා ගෙන ගොස් ගොඩනඟා ගනී ද, එය ස්වකීය ජීවිතය සාර්ථක කර ගැනීමේ හොඳ මඟක් වෙයි.

පුද්ගලයා හා සමාජය අතර දැඩි බැඳීමක් ඇති වන කරුණු හතරක් පිළිබඳව සතර සංග්‍රහ වස්තු නමින් සිඟාලෝවාද සූත්‍රයේ විස්තර කෙරෙනවා.දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සහ සමානාත්මතාවය ,මේ සතර සංග්‍රහවස්තු හතරයි.

සමාජය කියන්නෙ ගමන් කරන්නාවූ රථයක් නම් ,එහි රෝද නොගැල වී තිබීමට හේතු වන කඩ ඇණයට මේ සංග්‍රහ වස්තු උපමා කෙරෙනවා.හේතුවක් නිසා මෙම කරුණු ඉෂ්ට නොවේ නම්, මවුපියන් හා දරුවන් අතර පවතින සම්බන්ධය පවා බිඳ වැටීමට හේතු වන බව කියවෙනවා.

සමාජයක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති විය හැකි ඉතාම කිට්ටු හා ලබැදී සම්බන්ධතාවය දැක්වීමට බුදුදහමෙහි නිදර්ශනයක් වශයෙන් ගන්නේ මව හා පුතු, පියා හා පුතු, අතර පවතින සම්බන්ධය .

මේ බැඳීම් පවා බිඳ වැටේ නම්, අන් කවර වූ හෝ සමාජ සම්බන්ධයක් වුවත් පවත්වා ගත නොහැකි ලෙස බිඳී යනු ඇත .යහපත් සම්බන්ධතා පවත්වා ගැනීමට සහ ඇති කර ගැනීමට අදහස් කරන කවරෙකු තුළ වුවත් ගුණදහම් අනුව ජීවිත හැඩ හැඩගස්වා ගත යුතු ආකාරයන් වර්ධනය කළ යුතුයි.

මිනිසුන් අතර එකමුතුකම නැති වීම හෝ බේද බින්න වීම් ඇති වීමට ප්‍රධානම මාධ්‍ය වන්නේ භාෂාවයි.

අදහසක් හරි ලෙස ප්‍රකාශ කිරීමට, සහයෝගය ලබා ගැනීමට, භාෂාව භාවිතා කළ හැකියි .ඒ අදහස නිවැරදිව ගමන් කරන්නේ හරිහැටි භාෂාව හසුරුවා ගත හොත් පමණයි .මේ භාෂාව හරි හැටි හසුරුවා ගැනීමට නම් කතාබහේ දී අසන්නා ද ලේඛනයේ දී කියවන්නා ද ප්‍රිය කරන ව්‍යවහාරයක් යොදා ගැනීම අනිවාර්යයි.

අපි බොහෝ සේ ආදරය කරන මේ වචන, අසත්‍ය නොවන හා සත්‍ය වන වචන වශයෙන්… සිටින්නවුන් භේද නොකරන හා භේදභින්න වූවන් එකමුතු කිරීමට සමත් වචන විය යුතුයි.

අමිහිරි නොවන වචන හා මෘදු හා මිහිරි වචන කාලය අපතේ නොයවනවා සේම,අර්ථවත් වචන නිසා එවැනි වචන කථා කරන්නා සමග සම්බන්ධතා ඇති කර ගැනීමටත්, පවතින සම්බන්ධතාව වැඩි දියුණු කර ගැනීමටත් කවුරුත් කැමති වෙන එක නොරහසක්. එය පුද්ගලයාගේ ද සමාජයේ ද දියුණුවට හේතු වෙනවා. ඒ නිසා ප්‍රිය ප්‍රියවචන සතර සංග්‍රහ වස්තු අතරට ගැනෙනවා .

ඒ වගේම මිනිසුන් යහපතට හේතුවන ක්‍රියාවල යෙදීම තුළ හා යහපත අයහපත තෝරා බේරා ගැනීම තුළ, පුද්ගලයින් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා වර්ධනය වීම යහපතට හේතු වන ක්‍රියාවලියක් .

අතිමානය කින් තොරව, සෙසු අය තමා මෙන් සලකා, ඇසුරු කිරීම සමානත්තතා යනුවෙන් අදහස් කරන අතර තමා උසස් කොට අන් අය පහත් කොට සලකන්නන් සමාජය විසින් පිළිකුල් කරනු ලැබේ. ඒ නිසා ඔහුට අන්‍යෝන්‍ය සබඳතා ඇති කරගැනීම ඉතා අපහසුයි.

මෙසේ තමා උපමාවට ගෙන, අන් අයට සැලකීමෙන් ද පන්සිල් ආරක්ෂා කිරීමෙන් ද යුතුකම් ඉටු කිරීමෙන් ද සතරසංග්‍රහ ක්‍රියාවන්ට නැංවීමෙන් ද ඉතා ප්‍රසන්න සම්බන්ධතා ඇති කර ගත හැකි බව පැහැදිලි වෙන අතරම මේ බෞද්ධ චර්‍යා රටාවන් ජීවිතය කරගන්නා කල්හි සමාජ සම්බන්ධතා ද නිරන්තරයෙන් ගොඩනැගීමට ගොඩනැඟීමට අවකාශය විවර වන බව ප්‍රත්‍යක්ෂ වෙයි .

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here