පසුගිය දස වසට වෙනස්වුනු කොළඹ පෙනුම – how colombo has changed just in 10 years – Sri News

0
4

කොළඹ ඒම යනු ඈත ගම සිටින ලාංකිකයකුට අලුත් අත්දැකීමකි. කොළඹට පැමිණ තදබද සහිත මගක පැයක් දෙකක් සෙමෙන් අදින වාහනයක රස්තියාදු වන්නට වූ කල කොලොම්පුරේ පිටස්තරයින්ගේ සිත ඇඳි බොහෝ දේ හදිසියේ හුළං බැස්සාක් මෙන් නැති වීයයි. කොළඹ සිටින අයෙක්ට නිතරම දැකීම නිසා වෙනස එතරම් තදින් නොදැනුනේ වුවද කොළඹ යනු සීඝ්‍රයෙන් එහි පැහැය වෙනස්කොට ගන්නා නගරයකි. අපි ඒ වෙනස්වුනු හැඩහුරුකම් කිහිපයක් දෙස අවධානය යොමු කරමු .

අනාදිමත් කාලයක සිට ලංකාවේ උසම ගොඩනැගිල්ල ලෙස වැජඹුනේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගොඩනැගිලි යුග්මයයි. එහෙත් අද වනවිට එහි උස පරයමින් ගොඩනැගිලි කිහිපයක්ම  ඉදිවෙමින් පවතී. ඒ අතර කොළඹ සන්නිවේදන කුළුණ (නෙළුම් කුළුණ) ප්‍රධාන තැනක් ගනී. සන්නිවේදන අවශ්‍යතාවය කෙසේ වුවත් නෙළුම් කුළුන කොළඹට ඇතුළු වන සෑම මාර්ගයකටම දිස්වෙන තරම් උසකින් යුතු කුළුණකි. වසර ගණනාවක් තිස්සේ ඇදි ඇදී ගියත් දැන් නෙළුම් කුලුණේ වැඩකටයුතු හමාර වෙමින් පවතී.

ඒ නෙළුම් කුළුණට සහාය දැක්වීම පිණිස දෝ තවත් ඒ අවටම සෑදෙන තට්ටු ගොඩනැගැලි රැසකි. එයින් ඇලවෙන ස්වරූපයක් ඇති අලිටෙයාර් බිල්ඩිම අලුත් තාලේ හැඩයකි. මූද ආසන්නයේම ඇති ෂාන්ග්‍රිලා සංකීර්ණය උසැති ටවර් හතරකින් යුක්තය. ඒ ආසන්නයේම ඉන්දියානු බිල්ඩිමක්ද ඉදි වේ. ඒ ආකාරයෙන් කොළම ස්ථාන කිහිපයකම සුපිරි සාප්පු සංකීර්ණ, සුපිරි නිවාස ආදියෙන් සැදුම් ලත් ගොඩනැගිලි වෙති. අල්ටෙයාර් නිවාස සංකීර්ණයේ විශාල නිවාස ප්‍රමාණයක් මේ වනවිට විකිණී අවසන්ය. එහි එක් නිවාස ඒකකයක් ඇමරිකානු ඩොලර් ලක්ෂ 6කට ආසන්න වේ. එනම් එහි එක් නිවාස ඒකකයක් රුපියල් මිලියන සියයකට පමණ අලෙවි වී තිබේ. සුඛෝපබෝගී නිවාස නම් ඒ තරම්ම මිලෙන් අධිකය.

 

හරස්වීදී පසුකොට පිටකොටුවේ කෙළවරක වූ ශාන්ත ජෝන් මාලු වෙළඳ පොල කලකට පෙර ඒ අවට දුර්ගන්ධය නිසාම අන්ධයෙකුට වුවද පහසුවෙන් හඳුනාගත හැකි පළාතක් වූයේය. පසුගිය රජයේ වැඩපිළිවෙල අනුව ශාන්ත ජෝන් මාළු වෙළඳපොල වෙනුවට එතැන රන් ආභරණ වෙළඳ සැල් බිහිවිය. මාළු වෙළඳපොල පෑලියගොඩට ගියේය. පිටකොටුවට එළැඹි කල අද ‘පාවෙන වෙළඳ සැල’ නම් මනරම් දර්ශනයකි. ඈත බසයක සිට බලන කල දුම්රිය ගමනාගමනයද මැනවින් පෙනේ. ඇතැම් කාලවලදී දැඩි දුර්ගන්ධයක් පැතිරුණද පාවෙන වෙළඳ සැලේ දසුන පිටකොටුවේ ජනාකීර්ණ කලබලකාරී ස්වභාවයෙන් ජනයාට මඳකට හෝ ඈත්වී විවේක ගැනීමට හැකි වටපිටාවකි.

පිටකොටුවේ මැනිං වෙළඳ පොළද පෑලියගොඩට යා යුතුයැයි කලක පටන් කියන දෙයකි. එහෙත් යටත්විජිත සමයේ සිට තවමත් එය එතැනමය. බෝධිරාජ වීදියේත් අවට වීදියක දෙකකත් වසර කිහිපයකට පිහිටවූ පදික වෙළඳ සැල්ය. පෙර මෙන් පදික වෙළඳුන් සෑම සියලු තැනම සුලබ නැති අතර එම සකසා ලූ බිම්වල වෙළඳාම් කටයුතු කරගෙන යති. පිටකොටුවෙන් කොටුව දෙසට එත්ම තවත් විශාල බිල්ඩිමක් අලුතින් ඉදිවී විරාජමාන වී තිබේ. ඒ කස්ටම් බිල්ඩිමයි.

 

කෝට්ටේ දෙසට ගිය විට දියත උයනද පාර්ලිමේන්තුව අසල කලාපද බොහොමයක් තැන් ගල් අල්ලා විවේකයට ගැලපෙන ලෙස නිර්මාණය කොට තිබේ. සවසක ඒවායේ ගියහොත් කොට කලිසම් හැඳගෙන ව්‍යායාම පිණිස ඇවිදන ශෝබමාන ස්ත්‍රීන් තරුණයන් මහල්ලන් ආදී පිරිසද දැකිය හැකිය. මෙම ව්‍යායාම මංතීරු පසුගිය කාලයේ ඇති කළ සුන්දර උද්‍යාන පසුබිම්ය. නිදහස් චත්‍රරශ්‍රය ආසන්නයේද එවැනි අලංකාර මංතීරු සහිත උයනක සිරිගත් භූමිභාගයක් තිබේ.

 

නිදහස් චතුරස්‍රයට යාබද ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් විවෘත කළ දිනවල ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ආප්පය වෙබ් ගොසිප් සිසාරා පැතිර යන්නට විය. රුපියල් දෙසීයක් ආප්පයකට ගෙවීම මැජික් එකක් වූ බහුතරයක් සිටින මුත් ආප්ප වෙළෙන්දාට ආප්පේ දෙසීයට විකුණා ගත හැකි නිසා එවැනි වෙළඳාමක් ඔහු එතන සිදුකරයි. විදෙස් සංචාරකයෝ මෙන්ම දේශීය ප්‍රභූ පැලැන්තිය විඳින දේ පිළිබඳ ඉරිසියා කිරීම හොඳ නැත. මුදල් ඇත්තෝ විසින් වියදම් කරන තරමට දුප්පතුන්ට රැකියා අවස්ථාවන් ජනිත වේ. නැතහොත් ඔවුන් ඒ මුදල් වෙන රටකට ගොස් වියදම් කළහොත් ලංකාවට කිසිත් නැත.

 

අන්තර්ජාතිකව සමුළු පවත්වන්නට බණ්ඩාරණායක අනුස්මරණ ශාලාව හැරුනු කොට ඉහල මට්ටමේ රසඥතාවයකින් යුතු නාට්‍ය ප්‍රේමීන්ට සංගීත ලෝලීන්ට එකතුවිය හැකි හරිහමන් තැනක් 2000 දී කොළඹ නොවීය. ඒ අඩුව මහින්ද රාජපක්ෂ නෙළුම් පොකුණ රඟහල මගින් අද සම්පූර්ණ වේ. නෘත්‍ය ශාලා, සිනමාහල්, විනෝද උයන් යනු නගරයක තිබිය යුතු අත්‍යාවශ්‍ය අංගයෝය. චීන මාදිලියට නිර්මාණය වූ එකක් වුවද දැන් අපිට තවදුරටත් සුපිරි සංධ්වනියක් සඳහා සුගතදාස ක්‍රීඩාංගණය ලබාගැනීමට උවමනාවක් නැත. ඒ වෙනුවෙන්ම සැකසූ නෙළුම් පොකුණ රඟහල පවතී.

 

කොළඹින් එලියට ගුවන් තොටුපලට යෑම දැන් හිසරදයක් වන්නේ පෑලියගොඩ දක්වා පමණි. එතැන් සිට කටුනායක දක්වා අධිවේගී මාර්ගයක් තැනී තිබේ. එසේම කොට්ටාවට පිවිසිය හැකිනම් එතැනින් ගාල්ල මාතර යනු දැන් පැයේ හමාරේ ගමනකි. පිටත වටරවුම් මාර්ගය සම්පූර්ණ වීමෙන් පසු ගුවන් තොටින් කටුනායකට බහින අයෙකුට පැය දෙකකින් මාතරට ළඟාවීම සිහිනයක් නොවනු ඇත.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here