පරිසරය රකින නිර්මාංශී ආහාර පුරුදු – Sri News

0
3

 වනාන්තර විනාශය, කසළ ප්‍රශ්නය මෙන්ම අපේ පරිභෝජන රටාවන්ද පරිසරයට සෘජුවම බලපෑම් එල්ල කරනු ලබයි. කෙතරම් පරිසරයට ආදරේ යැයි පැවසුවද බටහිර රටවල ජනතාවගේ ආහාර පුරුදු සහ ජීවන රටාව පරිසරයට ඇති කරන බලපෑම දැඩිය. ඔවුන්ගේ මස් මාංශ සහ සත්ව නිෂ්පාදන භාවිතය අධික වීම මෙයට එක් හේතුවකි. දැන් ජනප්‍රිය වෙමින් යන වීගන් සංස්කෘතිය එයට හොඳ විකල්පයක් ලෙස සමහරු දකිති. අපි වීගන් එසේත් නැතිනම් නිර්මාංශික වීමෙන් පරිසරයට සිදුවන බලපෑම් ගැන කාරණා ටිකක් දැනගමු. 

 

වීගන් එසේ නැතිනම් ශාකාහාර පමණක් බුදින්නන් අතර කිරි වෙනුවට යොදාගත හැකි විකල්ප ගැන අවධානය යොමු වී තිබේ. ලංකාවේ අපිට නම් ඒ වෙනුවට මෝල්ට්මය ආහාරමය පාන ලබාගැනීම ජනප්‍රිය වී තිබේ. එසේම කිරි වලට ඉතාම සමාන රසයෙන් සහ ගුණයෙන් යුතු ශාකමය කිරි නිපදවීමට විද්‍යාඥයින් දැන් සැදී පැහැදී සිටී. ඒ පර්යේෂණ සාර්ථක වුවහොත් තවදුරටත් කිරි නිපදවීමට එළදෙනුන් අත්‍යාවශ්‍ය සාධකයක් නොවනු ඇති. එය මිල අතින් ද ඉදිරියේදී වාසිදායක සොයාගැනීමක් වන්නට ඉඩ ඇත. 

 

බටර් කේක් වලට බටර් යොදාගැනීම අපේ රටේදී කලාතුරකින් සිදුවන දෙයකි. බටර් දෙසීය පනහක් මිලදී ගැනීමට රුපියල් හය හත්සීයක් වියදම් වන නිසා රුපියල් දෙතුන් සීයකට ලැබෙන මාගරින් කේක් වලට දැමීමට අප හුරුව තිබේ. මේ හරහා නියම බටර් කේක් රසය නොඑන මුත් කිරි නිෂ්පාදන භාවිතය මේ නිසා අඩුවේ. අප භාවිතා කරනු ලබන මාගරින් බේකරි වැඩ ආදියේ බටර් අවශ්‍යතාවයට වඩාත් ගැළපෙන ලෙස සකසා ඇති අතර ඒවා පාම් ඔයිල් වලින් විවිධ ක්‍රියාවලි හරහා සකස් කරගනු ලැබේ. 

 

 

කුකුළු මස් නිපදවීමට යන කාලය අඩු වුවත් ඒ සඳහා යොදාගන්නා රසායනික සහ ආහාර ආදිය සැලකූ විට එයද පරිසරයට යම් බලපෑමක් එල්ල කරයි. ගව මස්, එළු මස්, බැටළු මස් ආදිය නිපදවීමට විශාල වපසරියක්, විශාල ආහාර ප්‍රමාණයක් වැය වේ. දැනට ලංකාවේ නම් සෝයා මීට් සෑම තලයකම ජනයා අතර ජනප්‍රිය වී තිබේ. මස් වල ඇති සපන විට එන ප්‍රමෝදය සෝයා මීට් වලින් නොලැබුණත් ඒ හරහා ඊට ආසන්න රසයක් ලබාගැනීටමට දැන් හැකියාව ලැබී තිබේ. ශාක ආහාර වලින් කෙලින්ම නිපදවන සෝයා මීට්ද පරිසරයට හිතකාමී ශාකමය නිමැවුමකි. 

 

ඉන්දියානුවෝ ශාක ආහාර බුදීමට රුසියෝ වෙති. ඉන්දියානුවෝ පෙර කල පටන්ම හින්දු ආගමික බලපෑම් නිසා මස් මාංශ වලට වඩා ශාක ආහාර වලට මුල්තැන ලබා දෙති. මේ හේතුවම ඉන්දියාවේ මෙතරම් ජනගහණයක් ජීවත් වීමට ඉඩ හසර විවර කර දී තිබේ. ඉන්දියානුවන්ද ඇමරිකානුවන් පරිදි මස් බහුල ආහාර වේලක් අනුභව කළේ වී නම් එතරම් ජනගහණයකට මස් සොයාගැනීමත්, මස් නිපදවීමත් මහත් ගැටළුවක් වනවා ඇති. 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here