පරලොව දියුණුව දකින්න ගිහිගෙයත් ප්‍රමාණවත්…. – Sri News

0
14


බුදුරජාණන් වහන්සේ කක්කරපත්ත නියම් ගමෙහි දී , දීඝජානු කෝලිය පුත්‍රයාට දෙසූ ව්‍යග්ගපජ්ජ සූත්‍රය ගිහියකුට මෙලොව හා පරලොව දියුණුව සලසා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ඇතුලත් දේශනාවකි.

මෙලොව වශයෙන් පුද්ගලයකුගේ දියුණුව සලසා ගැනීමට අවශ්‍ය සම්පත් හතරක් ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි ඉගැන්වේ.

එනම්…

උට්ඨාන සම්පදාව

ආරක්ඛ සම්පදාව

කල්‍යාණමිත්තතාව

සමජීවිකතාව

යන සතරයි.

කිසියම් ධාර්මික වෘතියක යෙදී ම මෙලොව දියුණුව සඳහා අත්‍යාවශ්‍ය වේ.එය කෘෂිකර්මය, වෙළඳාම, ගවපාලනය, කිසියම් ශිල්පයක් හෝ රාජ්‍ය සේවය විය හැකියි.මේ කුමන වෘත්තියක යෙදුණත් දියුණුව ලැබිය හැක්කේ වෘත්තීය දියුනුවට අවශ්‍ය ගුණාංගයන්ගෙන් තමන් යුක්ත වූවොත් පමණි. දක්ෂ වීම, අනලස්වීම, උපාය කෞශල්‍යයන්ගෙන් අනූන වීම, විමංසක බුද්ධියෙන් යුක්තව සංවිධාන කටයුතු කිරීම, ඒ සඳහා අත්‍යවශ්‍ය ගුණාංග ලෙස සඳහන් කළ හැක.

මෙබඳු පුද්ගලයාට තමා යෙදෙන වෘත්තියෙන්, ගෘහ ජීවිතය සැපවත් ව පවත්වා ගැනීමට අවශ්‍ය වන ප්‍රමාණවත් ධනය ද උපයා ගත හැකි බව දහම් මග හෙලි කරයි.

මෙසේ ධාර්මිකව තමන් උපයා ගන්නා ධනය නාස්ති වී යන දොරටු හතරක් විවෘතව පවතී.

සල්ලාලකම
බේබදුකම
සූදුව
පවිටු මිතුරන් ඇසුර

යන මේවායින් එකක් හෝ තමා සතු නම්, කෙතෙක් ධනය ඉපයූ වත් සිදුරු වූ බඳුනකට ජලය පිරවීමක් වැනිය.

සුපිරි යස ඉසුරු විඳිමින් ජීවත් වන අද ධනවතා හෙට මහමඟට බසින්නේත්, දුප්පතා දුප්පත් කමින් ම මිරිකි මිදිය නොහැකිව සිටින්නේත්, මෙබඳු දුසිරිත් වලට ඇබ්බැහි වීම නිසාය.මෙම දුසිරිත් ධන නාශක දොරටු වශයෙන් එම සූත්‍රයෙහි දක්වා ඇත.

මේ ධන හානි පමුණුවන දොරටු වසා තබා උට්ඨාන සම්පදා වෙන් තමන් උපයාගත් ධනය රැක ගැනීම ආරක්ඛ සම්පදාව ලෙස හඳුන්වමු.

නොපසුබට උත්සාහය සහ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව දහඩිය වගුරුවා දෑතේ මහන්සියෙන් යුතුව ඉතා දැහැමිව උපයාගත් ධනය ට උවදුරු පැමිණෙන අවස්ථාද කොතෙකුත් ඇත. පාලකයන්ගෙන්, සොර සතුරන්ගෙන් ,ගින්නෙන්, ජලයෙන්, අකීකරු දූදරුවන් ආදියෙන් ධනයට හානි පැමිණෙන අවස්ථා එමටය.එම උවදුරු පිළිබඳව මනා අවබෝධයෙන් ස්වකීය ධනය ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කිරීම හා බුද්ධිමත්ව ක්‍රියා කිරීම තුළින් එබඳු උවදුරුවලින් ධනය ආරක්ෂා කර ගැනීමට අවස්ථා සලසාගත යුතුය.

අප ධනය උපයන්නේ පරිභෝජනය සඳහාය.
ධන පරිභෝජනය දෙවදෑරුම් ලෙස හැඳින්විය හැකිය. එනම් අනුන්ට දීම හා තමන් ප්‍රයෝජන ගැනීමයි.

“දත්ව ච භූතවා ච යථානුභාවං
අනින්දිතෝ සග්ගමුපේතිඨානං”

“ධනය උපයන පුද්ගලයා සුදුසු පරිද්දෙන් දීමෙන් සහ අනුභව කිරීමෙන් නින්දා නොලබා ස්වර්ග ගාමී වේ” යනුවෙන් මේ ලෙසින් බුදු දහමෙහි දැක්වෙන්නේ එම දෙවදෑරුම් පරිභෝජනය යි.

එසේම ධන පරිභෝජනය කළ යුත්තේ ද ධන උපායන යේ ප්‍රමාණයට අනුව විය යුතු බව ව්‍යග්ගපජ්ජ සූත්‍රය මැනවින් පහදයි.

එය හැඳින්වෙන්නේ සමජීවිකතා යනුවෙනි. අය-වැය සමානව පවත්වා ගැනීම මෙයින් අදහස් කෙරෙයි.

ධන පරිභෝජනයෙහි යෙදෙන ඇතැම්හු වැරදි ක්‍රම දෙකක් අනුගමනය කරති. උදුම්බර බාධක සහ අජද්ධුමරණ යනු එම වැරදි ක්‍රම දෙකයි.

තමා උපයා උපයාගන්නා ධනයෙන් ඉදිරි ප්‍රයෝජනය නොසලකා හැර උපයා ගන්නා සියලුම දේ වියදම සඳහා වැය කිරීම උදුම්බර බාධක ක්‍රමයයි.

එසේම උපයන ධනයෙන් කිසිදු පල ප්‍රයෝජනයක් නොගෙන එය ගොඩ ගසා තබා ගනිමින් තමා මිය යන තුරු ම ඒවායේ ඵල ප්‍රයෝජන නොලබන පිරිසක්ද සිටිති. ඔවුන් ධනය තමන්ගේ ප්‍රයෝජනය සඳහාද නොගන්නා අතර අනුන්ගේ ප්‍රයෝජනය සඳහා ද දීමට අකමැත්තෝ වෙති. මෙබඳු අය “නොකා මැරෙන්නෝ” යන අරුතින් වූ අජ්ජද්ධු මරණ නමින් හැඳින්වෙති.

මේ අතර තම ජීවිතය සමව පවත්වා ගන්නා පුද්ගලයා එනම් සමජීවිකතාව පවත්වා ගන්නා පුද්ගලයා තමාට ලැබෙන ආදායම පිළිබඳ අවබෝධයෙන් යුතුව වැය කිරීම සහ වැඩි ප්‍රයෝජනයක් ඇති දේට ප්‍රමුඛත්වය ලබා දෙමින් එය වැය කිරීමෙන් සමබර ගමනක් යයි. අනවශ්‍ය වියදම් මාර්ග නූතන සමාජයේ කොතෙකුත් තිබුණත් එබඳු දේ සඳහා ධනය අයාලේ වැය නොකොට අයවැය ක්‍රමවත්ව පවත්වා ගැනීම සමජීවිකතාව යන්නෙන් අදහස් කරමු .

මෙලොව ජීවිතය සාර්ථක කරගැනීම සඳහා උපයන ධනය පමණක් නොසෑහේ. යහපත් සමාජ ආශ්‍රය නිරන්තරයෙන් අවශ්‍ය ය. මෙය කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නමින් හඳුන්වමු. කළණ මිතුරා වශයෙන් සලකන්නේ තමාගේ චරිත සංවර්ධනයට උදව් වන, හොඳ මිත්‍රයාය. ශ්‍රද්ධා සම්පන්න, ශීල සම්පන්න, ත්‍යාග සම්පන්න, ප්‍රඥාසම්පන්න මිත්‍රයා, කල්‍යාණ මිත්‍රයෙකි. වරදට නොපොලඹවන, යහපතෙහි යොදවන, එබඳු මිතුරෙකු ඇසුරු කරන්නා ද සැදැහැවතෙකි. සිල්වතෙකි. පරිත්‍යාගශීලී අයෙකි. ප්‍රඥාවන්තයෙකි. එහි විවාද නැත.

දියුණුවේ පදනම දැනගත යුතු කුඩා කල සිටම මෙබඳු හොඳ මිතුරන් ඇසුරු කිරීම අවශ්‍යයෙන්ම විය යුත්තකි. ආශ්‍රය කරන්නවුන් මිත්‍ර ප්‍රතිරූපකයන් වුවහොත් තමා ළඟ ඇති විවිධ දක්ෂතා හා ගුණවත්කම් පවා විනාශ වන අයුරින් දුසිරිතෙහි පෙළඹෙනු නියතය. දියුණුව පතන්නා එබඳු මිතුරන් දුරින් දුරලීම අත්‍යවශ්‍ය කරුණකි.

ගිහි සැප විඳින ගෘහස්ථ ශ්‍රාවකයකු ලෙස මෙලොව පරලොව දියුණුවට අවශ්‍ය සම්පත් රැස් කර ගැනීමට , බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ඇදහීම, සද්ධා සම්පදා ලෙසත්, පංච ශීලය රකිමින් ස්වකීය චරිතය සංවර්ධනය කර ගැනීම සීල සම්පදා ලෙසත්, තමන් විසින් ධාර්මිකව උපයාගත් දෙයින් කොටසක් මහ සඟනට දන් දීම, මවුපියන් දරුවන්ට නෑදෑයන්ට නිසිසේ සංග්‍රහ කිරීම මගින් නිර්ලෝභීව පරිත්‍යාග කිරීමෙන් වාග් සම්පදා ලෙසත් , ජීවිතය දෙස බුද්ධිමත්ව හා යථාර්තවාදීව බැලීමට ඉගැන්වෙන ජීවිතයේ අනිත්‍ය.. දුක්ඛ.. අනාත්ම.. යන ත්‍රිලක්ෂණය වටහා ගැනීමෙන් නිවනට ලං වූවකු බවට පත්වීම පඤ්ඤා සම්පදා ලෙසත් යන ආකාරයෙන් තම ජීවිතය කෙරෙහි නිවැරදි අවබෝධයකින් යුතුව කටයුතු කිරීමට අවශ්‍ය ආකාරයන් දක්වා ඇත .

එසේ කටයුතු කරන පුද්ගලයා, අනුන්ගේ ජීවිත ගැන ද නිසි ලෙස සිතීමට හුරු වෙයි .ප්‍රඥාව බෞද්ධයකුගේ ප්‍රධාන අපේක්ෂාව වූ සත්‍ය අවබෝධ කොට නිවන් දැකීමට ඉවහල් වන්නා සේම ජීවිතයේ හැම අවස්ථාවක් සඳහා ම අත්‍යවශ්‍ය සම්පතක් ලෙස ද පෙන්වා දිය හැක .

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here