පරම්පරාවෙන්ම පොත් ලියන අපේ ලේඛක ලේඛිකාවන් – Sri News

0
9

කලාව කියන දෙය ලේ උරුමයක් විදියට ඇතැම් අවස්ථාවල පරම්පරාවෙන් පරම්පරාවට හෝ එකම පරම්පරාවේ සමීප ඥාතීන් අතර සංසරණය වෙනවා. රංගන ක්ෂේත්‍රයේ මේ තත්ත්වය බහුල වශයෙන් දකින්නට ලැබෙනවා. නමුත් මේ තත්ත්වය රංගන ක්ෂේත්‍රයට පමණක් සීමා වන දෙයක් නෙමෙයි. අපි අද ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ ලේ උරුමයෙන් ග්‍රන්ථකරණයට දායක වුණ කීප දෙනෙක් පිළිබඳවයි.

 

රත්න ශ්‍රී විජේසිංහ ගැන අපේ පාඨකයන්ට හඳුන්වා දෙන්න අටුවාටීකා අවශ්‍ය වෙනවා කියලා අපි හිතන්නේ නැහැ. අපේ රටේ විශිෂ්ටතම ගේය පද රචකයන්ගේ ලැයිස්තුවේ මුදුන් මල්කඩක් විදිහට රත්න ශ්‍රී විජේසිංහව හඳුන්වන්න පුළුවන්. එතුමාගේ දියණිය වන සම්මානි විජේසිංහ තම පියාගේ අඩි පාරේ යමින් මේ වන විට ග්‍රන්ථ කීපයක් නිකුත් කොට තිබෙනවා. ඇය වැඩි වශයෙන් ළමා කතන්දර සහ ගී සින්දු හරහා කුඩා පාඨකයන්ව චමත්කාරයෙන් පිරි ලෝකයකට ගෙන යනු ලබනවා.

 

පද්මිණී සෙනවිරත්න මහත්මිය ලේඛිකාවක් විදිහට ජනප්‍රිය වන්නේ එතුමියගේ සැඳෑ සමයේදී වීම එක්තරා විදිහකට කණගාටුවට කාරණයක්. ඓතිහාසික නවකතා වෙනස්ම සන්දර්භයකින් පාඨකයාට සමීප කිරීමට ඇය සමත් වුණා. ඇගේ දියණිය වන සුමුදු නිරාගී සෙනවිරත්න ක්ෂේත්‍රය තුළ අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණේ “දුල්වල අලංකාරේ” කෘතිය සම්මානයට පාත්‍ර වීමත් සමඟයි.

 

මහාචාර්ය ජේ. බී දිසානායක කියන්නේ පසුගිය දශක කීපය තුළ අපේ රටේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුණු සිංහල මහාචාර්යවරයා විදිහට හඳුන්වා දුන්නොත් වූ වරදක් නැහැ. එතුමාගේ බිරිඳ වන කුසුම් දිසානායක මැතිණියත් සම්මානනීය ලේඛිකාවක්. එම දෙපළගේ දියණිය වන මධුභාෂිණී රත්නායක, පරිවර්තිකාවක් විදිහට සාහිත්‍ය ක්ෂේත්‍රයට තම දායකත්වය ලබා දෙමින් ඉන්නවා.

 

අර්නස්ට් වඩුගේ කියන්නේ අපේ රටේ ඉන්න ප්‍රමුඛතම සිනමා කලා මාධ්‍යවේදියෙක්. නවකතාකරුවෙක් විදිහටත් එතුමා පාඨක ප්‍රජාව අතර ජනප්‍රිය වුණා. සිය පියා අනුව යමින් පුවත්පත් ක්ෂේත්‍රයට පිවිසුණු මධාරා වඩුගේ පුවත්පත් කලාවේදිනියක් සහ නවකතාකාරියක් විදිහට තමන්ගේ ජනප්‍රියත්වයෙන් පියාවත් අභිබවන්න සමත් වුණා කිව්වොත් වරදක් නැහැ. කෙසේ නමුත් මේ දෙදෙනාගේම ජනප්‍රියත්වය අභිබවා යෑමට මදාරා වඩුගේගේ සැමියා වන සුජීව ප්‍රසන්නාරච්චි සමත් වූ බව නොකියාම බෑ.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here