පද්මාවතී කුමරිය ලංකාවේද..? – Was queen Padmavati from Srilanka – Sri News

0
6

ක්‍රිස්තු වර්ෂ 1540 දී මලික් මොහොමඩ් ජයසි කියන කවියා “පද්මාවත්” කියන කාව්‍යය ලියනවා. මේ කාව්‍යය ලියවෙන්නේ පද්මාවතී කියන කුමරිය ගැන. ඇය ඉන්දියානු ශිෂ්ටාචාරය තුල අතිශය වැදගත් ස්ත්‍රී චරිතයක් විදිහට හැඳින්වෙනවා. ඇය ගැන නිමැවුණු සිනේරුව “පද්මාවත්” නමින් නිමැවී දැන් ලෝකය පුරා තිරගත වනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂක සන්ජේ ලීලා බන්සාලි. පද්මාවතී කුමරියගේ චරිතයට පණ දෙන්නේ දීපිකා පදුකෝන්. ඉතින් අපි හොයලා බැලුවා කවුද මේ පද්මාවතී කියලා. ඒ අතරේ පද්මාවතී කුමරිය ලංකාවේ කුමරියක් කියලත් දරුණු මතවාදී සුළඟක් හමන්න ගත්තා. ඒ කරුණුත් අපේ මේ ලිපියට ඇතුල් කරන්න අපි අමතක කරන්නේ නෑ.

 

පද්මාවතී කියන්නේ ඉන්දියානු ඉතිහාසයේ වැඩිදුර තොරතුරු සඳහන් නොවන කුමරියක්. ඇය ඉන්දියානුවන් දැන් හඳුන්වන්නේ රාජ්පුත් වංශික කුමරියක් ලෙස. ඇය චිටෝර් වල විසූ බවත් කියවෙනවා. චිටෝර් කියන්නේ රාජස්ථානය. දැන් මේක හඳුන්වන්නේ චිටෝර්ග්‍රා කියලයි. රාජස්ථානයේ ජීවත් වූ රජවරුන් තමයි රාජ්පුත් විදිහට හැඳින්වුණේ. රතන් සෙන් කියන රජතුමා සමග ඇය විවාහ වී සිටි බවත් කියවෙනවා. හැබැයි අවාසනාවකට වගේ ඇය ගැන සඳහන් වෙලා තියෙන්නේ මේ කියන කාව්‍යයේ සහ ඉතිහාස මුලාශ්‍ර සුළු ප්‍රමාණයක පමණයි. ඒ නිසා ඇය මනඃකල්පිත චරිතයක්ද විය හැකි බව ඉතිහාසඥයින් පවසනවා.

 

පද්මාවත් කාව්‍යයේ සඳහන් වන ආකාරයට පද්මාවතී කියන්නේ අතිශය සුරූපී ලලනාවක්. ඇයගේ රූප ශ්‍රියා ලොව පුරාම පැතිර ගොස් තිබුණා. ඇය ජිවත් වුණේ “සිංඝල්” දේශයේ බවයි කවියේ කියවෙන්නේ. තවදුරටත් කිවුවොත් සිංඝල් දේශයේ රජුගේ දුව විදිහට ඇය හඳුනවනවා. රතන් සෙන් කියන රජුගේ සුරතලා වූයේ ගිරවෙක්. උගේ නම “හිරාමන්”. ඌ දිනක් පියාඹද්දී මේ පද්මාවතී කුමරියව දකිනවා. පෙරලා රජු වෙත පැමිණෙන ගිරවා මේ කුමරියගේ රුපශ්‍රිය ගැන රජුට කියනවා. ගිරවාගේ වර්ණනාවෙන් පැහැදුණු රජු පද්මාවතී ව විවාහ කරගැනීමට කැමැත්ත පල කොට විවාහ කරගන්නවා.

නමුත් චිත්‍රපටයේ මේ කතාව වෙනුවට යොදා තිබෙන්නේ වෙනත් කතාවක්. “ගිරවෙක් රුපශ්‍රිය කීමේ කතාව” තරමක් අතාත්වික නිසා පද්මාවතී කුමරිය සහ රතන් සිං සිංඝල් රටේ වනයකදී හමුවෙන දර්ශනයක් එයට ඇතුලත් කර තිබෙනවා. රතන් සිං දඩයමේ යද්දියි මේ කුමරියව මුණගැහෙන්නේ.

 

ඇත්තටම “සිංඝල්” කියලා ප්‍රාන්තයක් දඹදිව නම් නැහැ. එතකොට මේ “සිංඝල්” කියන්නේ සිංහල වෙන්න ඕන. ඒ කියන්නේ ලංකාව. ඉන්දියානු කාව්‍යයන්ට ගොඩක් දුරට ලංකාව සම්බන්ධ බව අප අමතක කරන්න හොඳ නෑ. ඉන්දියානු ශ්‍රේෂ්ට රණ කාව්‍යය වන රාමායණයේ ප්‍රධාන හතුරු දේශය වෙන්නේ ලංකාව. ඉතින් මේ සිංඝල් කියන්නෙත් සිංහල වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි. ශ්‍රී ලංකාව “සිංහලය” විදිහට හැඳින්වුණු බව ඔබ දැනටමත් දන්නවා. මොකද ඉංග්‍රීසින් ඇවිත් අපේ රට “සිලෝන්” කියල හඳුන්වන්න ගත්තෙත් මේ සිංහලේ කියන වචනයෙන් බව පේනවා.

 

ලංකාවේ ඉතිහාසඥයන් කියන ආකාරයට 1220 ත් 1345 ත් අතර තිබුණු දඹදෙණි රාජධානිය සහ රාජ්පුත් වරුන් අතර සමීප මිත්‍රත්වයක් තිබී තිබෙනවා. 1540 දි තමයි මේ කාව්‍යය ලියවිලා තියෙන්නේ. නමුත් පද්මාවතී ජීවත් වී තිබෙන්නේ එයට පෙර විය යුතුයි. එතකොට දඹදෙණි රාජ්‍ය වංශය සමග මේ කතාවේ කාලය ගැලපෙන බව අපට යම් තාක් දුරට පේනවා. පරණවිතාන මහතා කියන විදිහටනම් පද්මාවතී ලංකාවේ ජීවත් වුණු ඉන්දියානු රජ කුමරියක් වෙන්නත් පුළුවන්. ඒ පිළිබඳව සඳහන් වෙන්නේ එතුමන් පිලිබඳ ලියූ Collected articles of Paranavithana නම් කෘතියේ යි. චිත්‍රපටයේ කියවෙන විදිහටනම් පද්මාවතිගේ පියා ගාන්ධර්ව සේනා විදිහට හඳුනවනවා. එහෙම රජ කෙනෙක්නම් හැබැයි ලංකාවේ ඉඳල නැහැ.

 

 

1910 දී ජෝන් සිල්වා කියන ප්‍රකට නූර්ති නාට්‍යවේදියා පද්මාවත් කාව්‍යය ඇසුරෙන් නූර්තියක් ලියනවා.දර්ශන 22 කුත් ගීත 24 කුත් ඇතුලත් මේ නූර්තිය නිෂ්පාදනය කරන්නේ චාර්ල්ස් ඩයස්. ඒ නූර්තියේ තමයි “දැක්කොත් පද්මාවතී – ආලේ නොකරා බැරී” කියන ගීතය ඇතුලත් වෙන්නේ. මේ ගීතයෙන් පද්මාවතියගේ රූපශ්‍රිය, ගති ගුණ සහ ඇය සතු ආකර්ෂණීය බව අතිශයෝක්තියකින් යුතුව පැහැදිලි කරනවා.

ඉතින් මේ හැමදේම ගත්තම කියන්න තියෙන්නේ ඉන්දියානු චිත්‍රපටයක් නිසා ලංකාවේ ඉතිහාසය යලිත් ඇවිස්සිලා තියෙනවා කියන එකයි. ලංකාවේ ඉතිහාසය හදාරන්න, තව දුරටත් අධ්‍යයනය කරන්න පද්මාවතිය අපව පොළඹවන බවට කිසිදු සැකයක් නැහැ. ඒ වගේම චිත්‍රපටය තුල පද්මාවතිය ඉන්දියාවේම ජීවත් වූ කුමරියක් බව ඒත්තු ගැන්වීමට මුල් කතාවේ සමහර සිද්ධි වෙනස් කොට ඇති බවත් පේන්න තියෙනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here