නොසිඳෙන පින් සිත – Sri News

0
4


අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට පින කියන්නේ සැපයට කියන නමක්.

මේ ජීවිතයේ යම් කෙනෙක් යම් සැපයක් විඳිනවා නම් ඒ පෙර කළ පිනක පුණ්ය මහිමය නිසයි. පෙර පින් ඇති අයට පසුපස හඹා විත් පින ඵල දෙනවා.

කෙනකුට රූපය ලැබෙන්නේත් පිනට යි. දීර්ඝායුෂ ලැබෙන්නේත් පිනට යි. නිරෝගිකම ලැබෙන්නේත් පිනට යි. ධනය ලැබීම සැපයක්. ඒ සැප සම්පත් ලැබෙන්නේ සසරේ පින් කළ නිසයි.

 

ඉපදීමේ සිට මරණය දක්වා කාලය තුළ ලබන්නා වූ සියලු සැපයන් පෙරළා තමා විසින් රැස් කළ පින්කම්හි ප්රතිඵලයක්. එසේම ඇතැම් දෙනා කිසිදු දෙයක් තමා සන්තකයේ නැතිව දුක් විඳින්නේත් තමා විසින් කරගත් අකුසලයක ප්රතිඵලයක් ලෙසයි.

අප මේ මිනිස් ලොව ඉපදුණ දා පටන් මොහොතින් මොහොත ආයුෂ ගෙවී යනවා. ළදරුවිය, තරුණ විය වෙත ද, තාරුණ්යය මහලුවිය වෙත ද, මහලුවිය මරණය වෙත ද ගෙන යනවා. කල්ප ගණන් පෙරුම් පුරා සම්බුද්ධත්වයට පත් බුදුරජාණන් වහන්සේගේ පටන් සියලු සත්ත්වයන්ගේ ඉරණම මෙයයි. ඉපදෙමින්, මැරෙමින් යන සසර ගමනක් උරුම වූ සත්ත්වයාගේ සැප දුක තීරණය වන්නේ, රැස්කළ පින හා පවට අනුව ය. පවුකළ කෙනා දුක සේ ජීවිතය ගැටගසා ගන්නා අතර, පින් කළ පුද්ගලයාට ඉතා සුව සේ සැපවත් ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබෙනවා.

 

යම් කෙනකු සතුන් මරණවා නම් ඔහු අහිමි කර ගන්නේ මතුවට ලැබීමට තිබූ දීර්ඝායුෂ නම් සැපය යි.

සොරකම් කරනවා නම් අහිමි වන්නේ තම දේපළ වස්තුව ආදිය ආරක්ෂාවීමේ සැපය යි.

වැරැදි කාම සේවනය කරනවා නම් ඔහු අහිමි කර ගන්නේ විශ්වාසවන්ත ස්වාමි – භාර්යා සමඟ ගත කරන පවුල් ජීවිතයක් ලැබීමේ සැපය යි.

 

බොරු කියනව නම් අහිමි වී යන්නේ අභූත චෝදනාවලට ලක්වීමේ සැපය යි. මත්වතුර, මත්ද්රව්ය භාවිත කරනවා නම් ඔහු අහිමි කර ගන්නේ හොඳ සිහියත්, නුවණත්, ප්රඥාවත් ලැබීමේ සැපය යි.

අපගේ භාග්යවතුන් වහන්සේ ගිහි ශ්රාවක අපට පන්සිල් රැකීමට අනුදැන වදාළේ මෙලොව ජීවිතය ආරක්ෂා කිරීමටත්, පරලොව නොවරදින සුගති සැප හිමිකර දීමටත් ය.

ඉතා වේගයෙන් පිරිහී යන මේ සමාජයේ යම් කෙනෙක් සිල්පද ආරක්ෂා කරන්නේ නම් ඔහු ආරක්ෂා කර ගන්නේ මතු ලබන්නා වූ සැපයක් ම යි.

 

දිනක් අපගේ භාග්යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේ පිරිවරාගෙන වැඩම කරන විට ථූණු නම් මිත්යාදෘෂ්ඨික බමුණන්, භාග්යවතුන් වහන්සේටත්, භික්ෂූන් වහන්සේටත් කිසිදු නිවසකින් ජලය ටිකක් හෝ නො දෙන ලෙස තහංචි පනවා තිබුණා. භික්ෂූන් වහන්සේ තද පිපාසයෙන් ගම්මානය මැදින් වඩිද්දී දිය ගෙන යමින් සිටි එක් තරුණ දියණියක් අපහසුවෙන් වඩින සඟ පිරිස දැක” මේ බමුණන් මට කුමක් කළත් කමක් නැහැ. මම, මා සතු පැන් පූජා කරනවා කියා සිතා”

ජීවිතාපේක්ෂාව පවා අතහැර කළයේ තිබූ ජලය බුදුරජාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයට පූජා කළා. මේ සිදුවීම ආරංචි වූ ගමේ බමුණන් කිපී ඇයට නොයෙක් දේ පවසමින් චෝදනා කළා. පරිභව කළා. එහෙත් මේ දියණිය කිසිදු කරුණක් නිසා සිත අපහදවා ගත්තේ නැහැ. ඇය ඉතාම ප්රසන්න සිතින් යුතුව පූජා කළ පැන් ගැන සිතමින් සිත පහදවා ගෙන සිටියා. දොස් පරොස් කියා කෝපය පාලනය නොවූ බමුණෝ ඇයට පහර දුන්නා. එනමුදු ඇගේ සිත වෙනස් වුණේ නැහැ. බමුණන් කෙරෙහි වෛරයක් හෝ, පැන් පූජා කළ නිසයි මට මෙහෙම වුණේ කියලා පසුතැවීමක් හෝ හට ගත්තේ නැහැ. බමුණන් විසින් ඇයට පොලුවලින් පහර දෙනු ලබද්දී සිත සන්සුන්ව සිටියත් ඒ පොලු පහරක් වැදී ඇය මරණයට පත් වුණා. එකල බුද්ධ ශ්රාවිකාවන්ගේ පින් සිත එතරම් ම සවිමත්. ඇගේ හුස්ම පොද සිඳී යන්නට ආවත්, සිතේ පිරී ගිය පින සිඳී ගියේ නැහැ. ඇය නිදා පිබිදියා වගේ තවුතිසා දෙව්ලොව සියලු සැප සම්පත් සහිතව පහළ වුණා.

 

ඇය පිදුවේ පැන් ටිකයි. එහෙත් ඇය ඒ පැන් පිදුවේ තුන් ලෝකයේ අග්රම උතුමන්ට යි. එනිසා ඒකාන්තයෙන් ම ඇය එහි අග්ර ඵලය ලැබුවා. අනුත්තර වූ පින් කෙතෙහි වැපිරූ දෙයින් මහත්ඵල මහානිශංස අස්වැන්නක් ඇය ලැබුවා. නිල් දිය පිරි පැන් පොකුණුවලින් බබළන්නා වූ දෙවි විමන ද සමඟ දිව්ය අප්සරාවන් පිරිවරාගෙන තමා කළ පිනෙහි ආනුභාවය අන් සියලු දෙනාට ම පෙනෙන සේ පැමිණ භාග්යවතුන් වහන්සේ ගේ ශ්රී පතුල සැදැහැයෙන් ඒ දෙව්දුව වන්දනා කළා. ඒ දුටු බමුණු ගමේ බමුණෝ සලිත වී ගියා. ඔවුන් භාග්යවතුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටී සමාව අයැද සිටියා. පින නම් ඒ හා ආනුභාව සම්පන්න දෙයක්.

භාග්යවතුන් වහන්සේ පින යනු සැපය යි කියා වදාළේ පින ගැන පරිපූර්ණ වශයෙන් අවබෝධ කළේ උන්වහන්සේ ම නිසයි. ඒ මනාකොට වදාළ ශ්රී සද්ධර්මය ගැන කිසිදු අවබෝධයක් නැති අද සමාජයේ ඇතැම් පුහු අදහස් ඇති ඇතැම් දෙනා භාග්යවතුන් වහන්සේගේ සම්බුදු වදනට එරෙහි ව යමින් ඔවුන්ගේ අදහස් සමාජගත කිරීමට වෙහෙසෙනවා. පින් කළ විට සසර දිගුවන බවත්, පින නිසා තෘෂ්ණාව උපදින බවත්, පින නොව කුසල් කළ යුතු බවත් ඒ බොහෝ දෙනාගේ මතය යි.

එහෙත් අපගේ භාග්යවතුන් වහන්සේ වදාළේ එකම පින නැවත නැවත කරන ලෙසයි. උන්වහන්සේ තරම් පින වර්ණනා කළ ශාස්තෘන් වහන්සේ නමක් අපට හමුවන්නේ නැහැ.

 

එදා ජීවත් වූ බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේගේ වචනය හිස් මුදුනින් ම පිළිගත් ශ්රද්ධාවන්තයන්. අනේපිඬු සිටුතුමා, විශාඛා උපාසිකාව, විශාඛා උපාසිකාව, කොසොල් රජු, බන්ධුල මල්ලිකා වගේ පිනැති ධනවතුන් බුද්ධ ප්රමුඛ මහා සඟරුවන වෙත මෙන්ම අන් සියලු දෙනා වෙනුවෙන් තමා සතු ධනය ඉතා සතුටින් අත හැරියා. එසේ සිදු කළේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ පුණ්ය ප්රතිපදාවේ පිහිටල යි. ඒ පින නිසා ඔවුන් අද ලබන ප්රතිලාභය කාට නම් සිතා ගත හැකිද? ඔවුන් එදා සිදුකළේ කළ යුතු නියම ආයෝජනයයි. අන් අයගේ සැපය වෙනුවෙන් යමක් අතහැරීම මතු සැප සලසන, තමා වෙනුවෙන් කර ගන්නා පුණ්යවන්ත ආයෝජනයක්.

 

ඉපදීම, ලෙඩවීම, ජරාවට පත්වීම, මරණය යන සිද්ධීන් දුකක් ලෙස දකින්නට සිත සංවේදී නොවන තාක් මිනිසුන් පිනෙන් බොහෝ ඈතයි. ධර්මයෙන් ඈතයි. බුදුරදුන් වදාළ දාන, සීල, භාවනාවෙන් ඔපවත් වූ උතුම් නිවන් මඟ ඔවුන්ට බොහෝ ඈතයි. වැරැදි මාවතක් තෝරාගෙන ඔවුන් එහි ගමන් කරනුයේ පුරසාරම් ද දොඩමින්.

ඔවුන් වියපත්ව, ඔත්පල වූ දාට8 ඉතිරිවන්නේ ප්රමාදය හා පසුතැවීම පමණයි. ඒ ගැන භාග්යවතුන් වහන්සේ වදාළේ දිය සිඳී ගිය විල් ළඟටවී සුසුම් හෙළන කොකුන්, කෙකිණියන්ට ඔවුන්ට උපමා කොටයි.

භාග්යවතුන් වහන්සේ වදාළේ අත්තා හි අත්තනෝ නාථෝ – කෝ හි නාථෝ පරෝ සියා (තමාට පිහිට තමා ම ය. බාහිර කවුරු නම් තමාට පිහිට වන්න ද?

 

දානය නම් වූ අත්හැරීමෙන් රැස්වන පිනට වඩා සීලය ආරක්ෂා කිරීමෙන් රැස්වන පින මහත්ඵලයි. සිල් ආරක්ෂා කිරීමෙන් රැස්වෙන පිනට වඩා භාවනා කිරීමෙන් රැස්වන පින් මහත්ඵලයි. මහානිශංසයි. මේ උතුම් තිරවිධ පුණ්ය ක්රියාවන් තුළින් ජීවිතයට පින් රැස් කර ගනිමින් යළි යළිත් දුකම උරුම වන්නා වූ කාම සැපය අරමුණූ නොකොට නිවන් අරමුණු කර ගැනීමට භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක අප කැමැති විය යුතුයි.

අපගේ ශාස්තෘන් වහන්සේ මේ උතුම් නිවන් මඟ දෙවි මිනිසුන්ට පෙන්වා වදාළ සේ ම ඒ නිවන් මඟේ ආරක්ෂා සහිතව ගමන් කරන්නට තමා තුළ ගොඩනඟා ගත යුතු පින් බලය සහ කුසල බලය රැස්කර ගන්නා අයුරු ද මනාකොට වදාළා. මොහොතින් මොහොත විනාශය කරා යන සිත මඟ හරිමින් දියුණුවට සිත රැගෙන යන අයුරු ද උන්වහන්සේ වදාළේ අපගේ ජීවිතවලට අවශ්ය නිසි රැකවරණය සලසාලමින්.

 

එනිසා අපට නො සිතුණාට, නො දැනුනාට මේ ගෙවමින් යන්නේ අති දුර්ලභ ක්ෂණ සම්පත්තිය යි. ආරක්ෂාවීමේ මඟත්, විනාශවීමේ මඟත් විවෘතව ඇති ලෝකයක නිවැරැදි මඟ පෙන්වන්නකුගෙන් හෝ අසා මඟ තෝරා ගැනීමත් අපගේ පිනේ තරමට ලැබෙන දෙයක්. ජීවිතය නිසි මඟට හසුරුවා ගැනීමට දක්ෂ වන්නේ ධර්මය තම ජීවිතයට දායාද කරගත් ශ්රාවකයා පමණයි. භාග්යවතුන් වහන්සේ උතුම් නිවන් සැපය ම වර්ණනා කරනු ලැබුවේ අන් සියලු සැපයන් නිවන් සැපයට යටත් නිසයි. එසේ නම් අප රැස් කරන සියලු පින්වල ඒකායන අරමුණ විය යුත්තේ උතුම් නිවන් සැපය ම යි.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!

© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here