නෙලුමක් වූ බුදුන් වහන්සේ – Sri News

0
3


 

බුදුන්වහන්සේගේ ජීවිතය පියුමක් හා උපමා කිරීමෙන් සමාජය හා නොබැඳීම නොඇලි වැඩ සිටීම දක්වන්නට පුලුවන්…

 

කෙලෙස් බරිත සමාජයේ විරාගය හා නොඇල්ම නිසා ලෝකයෙන් නිදහස්ව ලෝකය හා නොබැඳී ලෝකයෙන් ඉස්මතුව වැඩ සිටි සේක.

“සෙය්‍යථාපි බ්‍රාහ්මණ උප්පලංවා පදුමං වා
පුණ්ඩරිකංවා උදකෙ ජාත උදකෙ සංවඩ්ඩං
උදකං අච්චුග්ගම්ම ඛො අහං බ්‍රාහ්මණ
ලොකෙ ජාතො ලොකෙ සංවඩ්ඩො ලොකං
අභිභුය්‍ය වහරාමි අනුපලිත්තො ලොකෙන
බුද්ධොති මං බ්‍රාහ්මණ ධාරෙහි,”

සැදැහැති පින්වතුනි,

 

“බමුණ, සුදු,රතු,නිල් නෙළුම් මල අපවිත්‍ර ගොහොරු මඩේ හටගෙන මඩ හා ජලය අසම්බන්ධව ජලයෙන් උඩට විත් ජලය හා නොගැටී පිපී බබළන්නේ යම් සේ ද එසේම මම ද ලෝකයෙහි ඉපිද හැදී වැඩී ලෝකය හා අසම්බන්ධව ලෝකය ඉක්මවා ස්පර්ශයක්, ගැටීමක් නොමැතිව වාසය කරමි”.

 

බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පද්මාකාර වන්නේ කෙසේද යන්න අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ දෝණ සූත්‍රයේ මනාව සඳහන් වේ. දෝණ බමුණා දිනක්, උක්කට්ඨා හා සේතව්‍ය නගර අතර මහ මඟ ගමන් කරන විට සුවිශේෂී පා සටහනක් දැක විමසා වට පිට බලන විටදි බුදුරජාණන් වහන්සේ ගසක් මුල වැඩ සිටින අයුරු දැක ඒ ස්ථානයට ගොස් මෙසේ විමසීය.

 

දෝණ බමුණා – ඔබ දෙවියෙක්ද?

බුදුරජාණන් වහන්සේ- නැත, මා දෙවියෙක් නොවේ

බමුණා – ඔබ ගාන්ධර්වයෙක් ද?

බුදුරජාණන් වහන්සේ – නැත, මා ගාන්ධර්වයකු නොවේ.

බමුණා – එසේනම් ඔබ යක්ෂයෙක් ද?

බුදුරජාණන් වහන්සේ – නැත මා යක්ෂයෙක්ද නොවේ

බමුණා – එසේ නම් ඔබ මනුෂ්‍යයෙක්ද?

බුදුරජාණන් වහන්සේ – නැත මා මනුෂ්‍යයෙක් ද නොවේ.

බමුණා – දෙවියෙක්ද නොවන ගාන්ධර්වයෙක්ද යක්ෂයෙක්ද මනුෂ්‍යයෙක්ද නොවන ඔබ කවරෙක් ද?

බුදුරජාණන් වහන්සේ- බමුණ මා ඔය එක නමකින්වත් හඳුන්වන්න බැහැ. මා හඳුන්වන්න පුළුවන් සුදුසුම නම, උචිතම නම ‘බුද්ධ’ කියා ය. එසේ නම් ‘බමුණ’ මා බුදුවරයකු ලෙස හඳුනාගන්න.

 

මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන් කවර හෝ සත්ව කොටසකට අයත් නොවන බවයි. කවර හෝ සත්ව බෙදීමකට අයත් යැයි. දේශනා කළේ නම්, උදාහරණ ලෙස දැක්වුවහොත් සමිතියක සාමාජිකත්වය දැරීම හා සමාන වන බවයි. සමිතියක සාමාජිකත්වය ලබා ගැනීම තුළින් එම සමිතියේ නීති-රීති ව්‍යවස්ථාවන්ට අනුකූලව කටයුතු කිරීමට සිදුවේ. තමන් වහන්සේ යම් සත්ව කොටසකට අයත් යැයි පැවසීමෙන් ඒ, ඒ, සත්ව කොට්ඨාසයට අයත් සෙසු පුද්ගලයන්ගේ අන්ධ බාලයන්ගේ ගති ලක්ෂණ චර්යාවන්ට අනුකූලව ජීවත් වන්නට තමන් වහන්සේටත් සිදු වන බව දේශනා කළ සේක.

 

බුදුරජාණන් වහන්සේ ‘බුද්ධ’ ලෙසින්  හැඳින්වූයේ ඇයි? දැන ගත යුතු දේ දත් නිසාත් පුරුදු කළ යුතු දේ පුරුදු කළ නිසාත් වැඩිය යුතු දේ වැඩූ නිසාත් ‘බුද්ධ’ නම් වන බව යි. මෙහිදී, දැන ගත යුතු ධර්ම ලෙස දැක්වෙන්නේ දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයි. භාවෙතබ්බ හෙවත් පුහුණු කළ යුතු ධර්ම හැටියට සඳහන් වන්නේ දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍ය හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ප්‍රහීණ කළ යුතු ධර්ම ලෙස, දුක්ඛ සමුදය ආර්ය සත්‍යයත් දේශනා කොට ඇත. මෙසේ දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය මනා ලෙස අවබෝධ කරගත් නිසා ‘බුද්ධ’ නම් වන බව දේශනා කළ සේක.

 

බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයෙකි. උත්තරීතර මනුෂ්‍යයෙකි. මෙහිදී උන්වහන්සේ මනුෂ්‍යයකු බව සඳහන් නොකළේ ඇයි? බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය සමාජයේ ඉපිද හැදී වැඩුණු මුත් මනුෂ්‍යයන් තුළ විද්‍යමාන වන දුර්වලතා කෙලෙස් සහමුලින්ම සිඳලූ විරාගි ජීවිතයක් ගතකළ උන්වහන්සේ සියලු කෙලෙස් ප්‍රහීණ කළ උතුමෙකි. උත්තරීතර මනුෂ්‍යයෙකි. එමනිසා බුදුරජාණන් වහන්සේ කිසිවකුටත් සමාන කළ නොහැකි නිසා ‘අසම’ ‘අසමසම’ යනුවෙන් හඳුන්වයි. උන්වහන්සේ සමකළ හැකි කිසිවකු මිහිපිට නැත. තවත් එවැනි බුදුවරයකුට පමණ යි සමාන කළ හැකි වන්නේ.

 

යථා සංකාරධානස්මිං උජ්ඣිතස්මිං මහාපතේ
පදුමං තත්ථ ජායේථ සුචිගන්ධං මනෝරමං

 

පවිත්‍රත්වයේ හා සුන්දරත්වයේ සංකේතය නෙළුම් මල බුදුරජාණන් වහන්සේගේ විරාගි චරිතය හා සමකිරීමෙන් ගම්‍ය වන්නේ උත්තරීතර ශ්‍රේෂ්ඨ පරමාදර්ශි චරිතයකි. අපවිත්‍ර ජලයෙහි පිපෙන නෙළුම් මල සුවඳයි; පිවිතුරුයි. බුදුරජාණන් වහන්සේද අන්ධබාල ජනයා අතර සුවඳ විහිදන පියුමක් සේ ලොව බබළයි.

 

උන්වහන්සේගේ, පද්මාකාර ජීවිතය පියුමක් හා උපමා කිරීමෙන්, සමාජය හා නොබැඳී නොඇලි වැඩසිටීම දැක්වේ. කෙලෙස් බරිත සමාජයේ විරාගය හා නොඇල්ම නිසා ලෝකයෙන් නිදහස්ව ලෝකය හා නොබැඳී ලෝකයෙන් ඉස්මතුව වැඩ සිටින සේක.

 

උන්වහන්සේගේ පද්මාකාර ජීවිතයෙන් ගත හැකි ජීවිතාදර්ශය බොදු අපගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම තුළින් අපටද පද්මාකාර ජීවිතයක් ගත කළ හැකි ය. බුදුරජාණන් වහන්සේගේ පද්මාකාර ජීවිතයට ‘සියයට සීයයකින් ළංවීමට නොහැකි වුවත් අපට පුළුවන් ප්‍රමාණයට ආදර්ශමත් ජීවිතයක් ගත කළ හැකිය.

 

කවරකු වරදක් කළ ද මම කිසිදු වරදක් නොකරන කෙනෙක්මි. පන්සිල් නොරකින සමාජයක මම පන්සිල් හුරුකෙරෙන්නෙක්මි. දුරාචාරයට යොමු වූ සමාජයක මම සදාචාරාත්මකව ජීවත්වන සාධුජනයෙක්මි. අසද්පුරුෂ සමාජයක මම සද්පුරුෂ කල්‍යාණ මිත්‍රයෙක් වෙමි. විසම සමාජයක ගැටුම් ප්‍රශ්න ඇති කරවන්නන් අතර ඒවා සමථයකට පත් කරවන සමථකරුවෙක් වෙමි. මවුපියන්ට නොසලකන සමාජයක මම මගේ මවුපියන්ට සලකන යහපත් දරුවෙක් වෙමි. ඒ ආකාරයෙන් සිතා අපට කටයුතු කළ හැකිය.

 

බුදුරජාණන් වහන්සේ මුළු විශ්වයටම මෙත් සිත මුදාහළ සේක. ජාති ආගම් කුල භේද නොතකා සියලු සත්වයන්ට මෙත් සිත පැතිරවූ සේක. සැම දිනකම උන්වහන්සේ මහ කරුණා සමාපත්තියට සම වැදී ‘මා අද කවුරු හටද පිහිට වෙන්නේ යැ’යි සිතා දුක් විඳින ලෝසතුන් කොතෙක් දුරක සිටියද ඒ අය සොයා ගොස් පිහිට වූ සේක.

 

පින්වත, ඔබටද සියලු සත්ව ප්‍රජාව වෙත මෙත් සිත පතුරුවන්නට පුළුවන්නම්, කරුණාව දක්වන්නට පුළුවන් නම්, මුදිතා ගුණය ඇති කරගෙන අන් අයගේ දියුණුව දැක සතුටු වෙනවා නම් උපේක්ෂා ගුණයෙන් යුතුව මැදහත් ස්වභාවයෙන් යුතුව විඳ දරා ගැනීමට හැකිනම් දැහැමි ජීවිතයක් ගත කරමි’යි සිතා සතුටු විය හැකිය. එසේම අපවිත්‍ර සමාජයේ පවිත්‍රව ජීවත් වීමට සුදුසු පරිසරයක් ගොඩනඟා ගත හැකිනම්, ‘මම නෙළුම් මල හා සමාන පද්මාකාර ජීවිතයක් ගත කරන්නෙමි’යි සිතා පී‍්‍රතිමත් වීමටත් හැකියාව ඇත.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!

©️ Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here