නෙත් සඟල

0
4


“අංජනා…. මං හරීම ආසයි අනේ භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අහන්න. මට හරීම පුදුමයි, ඒ බණ අසා සිටිද්දී ජීවිතය කුමක්ද කියා පුදුම විදිහට වැටහෙනවා. ඇත්තෙන්ම ඔයාට මොකක්ද හිතෙන්නේ….? අපේ පියාණන් මට ස්වයංවරයක් සූදානම් කරන්න යනවා. අනේ අංජනා…. ඒ ගැන සිතන කොටත් මට බයයි අනේ… මේ ස්වයංවර නිසා අපි සංසාරෙ කොච්චර අතරමං වෙලා ඇද්ද? කොච්චර දුක් විඳින්න ඇද්ද…? මට හරී දුකයි අපේ අප්සරා ගැන… එයයි, සුධාරකයි දෙන්නා මොනතරම් ආදරයෙන්ද විවාහ ගිවිස ගත්තේ… ඊයේ ඔවුනොවුන් බැණගෙන නින්දා අපහාස කරගත්තේ ජන්මාන්තර වෛරක්කාරයෝ වගේ. ඇයි අංජනා… අපි සිතාමතාම මේ දුක්වල පැටලෙන්නෙ”

“ඒක ඇත්ත සුභා… මට වුණත් ධර්මයමයි උතුම්. ඒ වුණාට කුමක්දෝ අවාසනාවක් මගේ පස්සෙන් ආවා. මගේ ස්වාමියා කැමති නිගණ්ඨ නාථපුත්තටයි. ඔහු කියන්නේ නාථපුත්ත හරිලු! ශුද්ධශාඛාහාරීව සිටිමින් චතුයාම සංවරයෙන් සංවර වී සිටීම ප‍්‍රමාණවත්ලු. මට නම් ඒක විහිලුවක් අනේ… මං භාග්‍යවතුන් වහන්සේට ප‍්‍රශංසා කරන්න සූදානම් වෙද්දිම හැමෝම කියන්නේ ‘හා….! ඇති ඇති. අපි දන්නවා ඔය ශ‍්‍රමණ ගෞතමයන් ගැන’ කියලා. වැඩක් නැහැ අනේ… මං හිත හදාගෙනයි ඉන්නේ.”

අංජනා සුභාට ළං වුණා. සුභාගේ කනට ළං වී යමක් කියන්න ඇයට ඕන වුණා. ඈ දකුණු අත්ල උඩට ඔසොවා මුව ආවරණය කරද්දී ඇගේ අතෙහි තිබූ රන් වළලූ ‘සිලිං..’ හඬ නංවමින් පහතට වැටුණා.

“සුභා… මේක කාටවත් කිවයුතු නෑ. ගෙදර කවුරුවත් දන්නෙ නෑ. මං තෙරුවන් සරණ ගියා. රහසේ නමුත් මං මේ ධර්මය පුරුදු කරනවා. මට කොහොමහරි ඕන ඉක්මනින්ම සෝතාපන්න වෙන්නයි.”

සුවිශාල නිල්වන් නෙත් යුග විදහාගත් සුභා අංජනා දෙස බලා සිටියා. අංජනාගේ හිසේ අවුල් වූ කෙස් රොද සකසමින් සුභා මෙහෙම කිව්වා.

“කමක් නෑ අංජනා…. අපි අපටම පිහිට විය යුතුයිනේ. ඔයාට තෙරුවන් සරණ යන්න වාසනාව ලැබුණනේ… ඔය වාසනාව මේ ජම්බුද්වීපයේ හැමෝටම නෑ. දැන් බලන්න… කී දාහක් දෙනා නිතිපතා මේ රාජගෘහ නගරයට එනවාද? ඔවුන් ආපසු ඒ අයුරින්ම යනවා. කසී රටින්, දක්ඛිණ දේසෙන්, අංග ජනපදයෙන්, ශ‍්‍රාවස්ථියෙන් කොයිතරම් පිරිස ආවත් ඉතා ටික දෙනයි විමුක්තියක් සොයන්නේ.”

“ඒක ඇත්ත සුභා… මේ රාජගෘහ නගරයට එන ඕනෑම කෙනෙකුට දකින්නට උතුම් දර්ශනයක් තියෙනවා. රහතන් වහන්සේලා පිඬු සිඟා වඩිනවා. සෑම තන්හිම රුක් සෙවණෙහි ශ‍්‍රමණවරු බවුන් වඩනවා. තන්හි තන්හි ධර්ම සාකච්ඡාවන්හි යෙදෙනවා. මහා සඟ පිරිස් පිරිවරාගෙන භාග්‍යවතුන් වහන්සේ චාරිකාවේ වඩිනවා. මොනතරම් දුලභ දසුනක්ද!”

“ඔව් අංජනා…, මං අපේ පියාණන්ට හැම තිස්සේම තෙරුවන් සරණේ වටිනාකම කිව්වා. කොහේද, එයාල හිතන්නේ නුවණ තියෙන්නේ එයාලට විතරයි කියලා.”

එදා සන්ධ්‍යාවෙහි සුභාගේ ගෘහ මන්දිරයෙහි කිසියම් උත්සවශ‍්‍රීයක් දිස්වුණා. රන් නූලෙන් සිත්තම් කළ සුවිසල් තිර රෙදිවලින් උඩුමහල සරසා තිබුණා. බෝලිද්ද, චම්පක කුසුම් ගෙත්තමින් සැරසූ මාලා දාමයන් හාත්පස එල්ලී තිබුණා. වාසුලදත්ත බ‍්‍රාහ්මණතුමා ගංගා නදියෙන් ගෙනා ජලය පිරූ පැන් බඳුනකින් සුවඳපැන් ඉසිමින් සිටියා.

“සුභා… දියණියෙනි, අද අපේ ධනංජය පුතු එනවා නෙව. සුධාරක සිටුතුමාගේ එකම පුතණුවන්. අද ඔයා ඉතාම ලස්සනට සැරසී ඉන්න ඕන.”

සුභා නිල්වන් දෑස් විදහා ගත්තා. බියට පත්වූ එකියක මෙන් පියාණන් දෙස බලා සිටියා. සැණෙකින් සුභාගේ රත්වන් දෙතොල් සඟල වියැළී ගියා. ඕ සිටි පය නොසොල්වා පියාණන් දෙස බලා සිටියා. වේගයෙන් සුසුම් හෙලද්දී සුභාගේ ළය වේගයෙන් උස් පහත් වනු දුටු වාසුලදත්ත බ‍්‍රාහ්මණතුමා මෙසේ විමසුවා.

“ඇයි මේ…? මොකෝ දරුවෝ… ඇත්තෙන්ම බිය වෙන්නට කිසිම කරුණක් නැහැ. ඔහු හොඳයි. ඉතාමත්ම හොඳයි. භාරද්වාජ ගෝත‍්‍රයට අයත් ක්ෂත‍්‍රිය වංශිකයෙක්. උභයකුල පාරිශුද්ධ වංශවත් කෙනෙක්. වේද වේදාංගයන්ට භක්තිය ඇති කෙනෙක්. ඒ වගේම ඔහු….”

“ඇති.. ඇති… පියාණෙනි” කියූ සුභා හඬා වැටෙමින් පියාණන්ගේ පා යුග අල්ලා ගත්තා. පියාණන් පහත් වී උරයෙන් අල්ලා තම දියණිය නැගිට්ටෙව්වා.

“ඇයි සුභා… කුමක්ද ඔහුගේ වැරැද්ද?”

“නැත පියාණෙනි. එවන් දෙයක් නොවේ. මං ගෘහවාසයට අකමැතියි! අනේ පියාණෙනි, වේළුවනයට ගිය හැම මොහොතේම මට ජීවිතයේ ඇත්ත දැනෙනවා. අප වටපිටාවේම සත්‍යය දිස්වෙනවා. නමුත් පියාණෙනි, අපගේ භාග්‍යවතුන් වහන්සේ එය පවසන තුරුම අපට වැටහුණේ නෑ. මේ කාම මඩ ගොහොරුවේ ගිලුණු අය තවතවත් ගිලෙනවා මිසක් එයින් ගොඩ ඒමක් නැහැ. මං කාමයට ආසා නැතිවුණාට ධර්මයට ගොඩාක් ආසයි පියාණෙනි.”

“හෑ…! එතකොට දියණී, කාමයට ආසා නැත්තේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නිසාද?”

“එ…. එහෙමයි, පියාණෙනි. ඒ ධර්මයෙන් තමයි මා සත්‍යය දුටුවේ. ආයෙ මට මේ මායාවෙහි සිරවෙන්න කියලද පියාණන් කියන්නේ?”

“දියණී… වනගත අසපුවල බවුන් වඩනා ඍෂිවරුන්ගේ බස් නෙව ඔබ දොඩන්නේ…?”

“එහෙමයි පියාණෙනි. මං සමාධිය වැඩුවා. මට බොහෝ වෙලාවක් ධ්‍යාන සැපයෙන් වාසය කරන්න පුළුවන්.”

සුභාගේ සෑම වදනකින්ම වාසුලදත්ත බ‍්‍රාහ්මණතුමාගේ සිත නිහඬ කළා. ‘එතකොට මේ දරුවා බ‍්‍රාහ්මණ සමයෙහි උගන්වන යාග හෝමයන්ගෙන් ලබන දියුණුවටත් වඩා උදාරතර දියුණුවක් ලබලා නෙව’

සුභාගේ සෑම ඉරියව්වක්ම කෙමෙන් කෙමෙන් වෙනස් වුණා. ඈ සන්ධ්‍යාවෙහි සඳළුතලයට නගිනවා. කිසි කලබලයක් නැහැ. මනස්කාන්ත රන්වන් සිරුරක් ඇති සුභා තඹ පැහැ ගත් කෙස් කළඹ ලිහාදමා නිල්වන් දිගු පුළුල් නෙත් සඟල බිමට යොමා සඳළුතලයෙහි සක්මන් කරද්දී ඇය දිස්වන්නේ දිව්‍ය අප්සරාවක් අහසේ සක්මන් කරන ලෙසිනුයි.

රජගහ නුවර සැදැහැවතුන් අතර ප‍්‍රජාපතී ගෞතමී භික්ෂුණිය මහත් ගෞරවාදරයට පත්වී සිටියා. එනිසා බොහෝ පිරිස් ප‍්‍රජාපතී ගෞතමිය බැහැදැකීමට සැවැත් නුවර අන්ධ වනයට යනවා. දිනක් රජගහ නුවරින් පිටත් වූ සැදැහැවත් පිරිසකට සුභාගේ පිරිසත් එක්වුණා. ප‍්‍රජාපතී ගෞතමී භික්ෂුණියගේ විරාගී ජීවිතය දුටු විට සියල්ලෝම පුදුමයට පත්වුණා. එතුමිය ඉදිරියේ ඔවුන් වැඳවැටුණා. එදා සුභා ගිහි ජීවිතයෙන් සමුගත්තා. ඕ භික්ෂුණීන් අතරට එක්වී සුළු කලකින් පැවිදි උපසම්පදාව ලැබුවා.

වාසුලදත්ත බ‍්‍රාහ්මණතුමාගේ අසනීපය ඇසූ සුභා තම පියාණන් දකින්නට යළිත් රජගහ නුවරට පැමිණියා. ඒ වෙද්දී සුභාගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වෙලා. සියලු දෙනාටම පුදුමයි. ඈ අහසේ ඉගිලෙන හංසිනියක් වගෙයි. නිල්වන් දෑස් යුග ප‍්‍රීතියෙන් බබළනවා. දැන් ඈ තුළ කිසිදු කාමාශාවක් නැහැ. ද්වේශයක්, අසතුටක්, අමනාපයක් නෑ. ඈ එයින් දුක් විඳින්නේ නෑ. දැන් ඈ නිතරම භාවනාවෙන් වාසය කරනවා. ඈට හරි සතුටුයි. මේ වෙද්දී ඈ අනාගාමී වෙලා.

පියාණන්ට දහම් දෙසූ සුභා තෙරණිය ටික දිනක් ජීවක අම්බවනයෙහි වූ භික්ෂුණී ආරාමයෙහි නැවතුණා. එදා පිඬු සිඟා වැඩි සුභා දානයෙන් පසු භාවනා කිරීමට සිතා ජීවක අඹ වනය ඇතුළට ගියා. ඉතා සුවිසල් ලෙස අතුපතුර විහිදී ගිය අඹ රුක් සෙවණ දුටු සුභාගේ සිතට විරාගී සතුටක් ඇතිවුණා. සතිපට්ඨානයෙහි මනාව සිහිය පිහිටුවාගත් සුභා ඉතා සංසුන් ගමනින් එදෙසට සෙමෙන් සෙමෙන් සක්මන් කළා. සුභා ඉදිරියෙහි එකවරම කවුදෝ කෙනෙක් ඉන්නා බව ඇයට දැනුණා. ඈ හිස ඔසොවා බැලුවා.

‘මින් කවරදාකවත් නුදුටු මොහු කවුද? මා ඉදිරියේ මාගේ ගමන හරස් කරමින් මොහු සිටින්නේ මන්ද? මොහු එකල රජගහ නුවරදී මා දන්නා හඳුනන කෙනෙක්වත්ද?’ සුභා නෙත් විදහා මේ තරුණයා දෙස බලමින් සිතන්න පටන්ගත්තා.

“හහ් හහ් හා…. මොකෝ… භය වුණාද? මං දියනාථ… රජගහ නුවර ලක්ෂිත සිටාණන්ගේ එකම පුත‍්‍රයා. ඔයා මං ගැන දන්නෙ නැහැ. නමුත් දැන් දින කීපයක සිට ඔයා අල්ලගන්නයි මං හිටියේ… ඔයත් රජගහ නුවරම කෙනෙක්නේ…. මට ඕන තරම් කහවණු තියෙනවා. මගේ නම කියූ පමණින් රූබර ළඳුන් මා පිරිවරා ගන්නවා. මා වැළඳගන්නවා. මා මේ රජගහ නුවර ළඳුන් සමඟ සිතු මනාපයේ සිටි කෙනෙක්.”

සුභා සිතන්න පටන් ගත්තා. ‘මොහු දියනාථලු. සල්ලාලයෙක්ලු. අහෝ! මේ සසර සයුරේ කිමිදී යන්නට දුක උරුම මාවතක් සොයාගෙන ඇති හැඩයි.’

“ඔයා මා දෙස බලා සිටිද්දී මං ගැනත් මොනවා හරි හිතෙනවා නේද? ඔව්! ආදරය මිසක් වෙන මොනවා හිතන්නද? මේ බලන්න මගේ ශක්තිමත් බාහු යුගල. කොතෙකුත් රූබර ළඳුන් මේ බාහු යුගල වැළඳගෙන මට ආදරය දක්වා තිබෙනවා. මං වැනි රූප සම්පත් ඇති යොවුන් පුරුෂයෙක් ගැලපෙන්නේ ඔයාට නේද? ඔයා මේ ගැන නේද හිතන්නේ?”

සුභා සිතන්න පටන් ගත්තා. ‘භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඇත්තක්මයි. අහෝ! මොහු මත්වෙලා… යොවුන් මදයයි, ආරෝග්‍ය මදයයි, ජීවිත මදයයි මොහුව යට කරලා… අහෝ! ඇමක් ගිලපු මාළුවෙක් වගේ.’

සල්ලාලයා සුභා දෙස බලාගෙන ඔහු ගැන කුමක්දෝ කියමින් සිටිනවා. ඇසිපිය නොහෙලා සල්ලාලයා දෙස බලා සිටින සුභා තුළ කිසි බියක් හටගන්නේ නෑ. සුභා ධර්මය මෙනෙහි කරනවා. සල්ලාලයා ටිකෙන් ටික සුභාට ළංවෙන්න පටන් ගත්තා. සුභා පියවරෙන් පියවර පස්සට ගියා.

“හා… හා… ආයුෂ්මත. ළං වෙන්න එපා! කුමක්ද මා ඔබට කළ වැරැද්ද? මං මේ බවුන් වඩන්නට යන ගමන්. ඇයි මේ… මා යන මඟ වළක්වන්නේ? ඔබට නොපෙනේද? මා ගිහි ජීවිතය අත්හළ කෙනෙක්. බඹසර රකින කෙනෙක්. පුරුෂයෙක් ස්පර්ශ කරන්නට මට අකැපයි.”

එතකොට ඔහු කලබලයෙන් මෙහෙම කිව්වා. ”නෑ… නෑ… මං … මං…. මේ…. කියන්නේ”

“මොනවා කියන්නද? මගේ සිතේ තියෙනවා ඉතාමත් පවිත‍්‍ර වූ ලොව්තුරු ස්නේහයක්. ඒ මාගේ ශාස්තෘන් වහන්සේ ගැනයි. ඒ භාග්‍යවතුන් වහන්සේ අපව රැකගන්න හැමදේම කියාදුන්නා. සිල් පද කියාදුන්නා. ඒ තුළින් ශ‍්‍රාවක වූ අපි රැකෙනවා. මගේ සිත කය වචනය පිරිසිදුයි. එබඳු මං යන මාවත ඇයි මේ අවුරන්නේ?

අහෝ! ඔබ දුක් විඳිනවා. ඔබ තුළම හටගත් කැළඹීම නිසයි ඔබ විඳවන්නේ. හැබැයි මට නම් එහෙම ප‍්‍රශ්නයක් නෑ. රාගය කියන්නේ සිතෙහි තබාගත යුතු දෙයක් නොවෙයි. ඔබ ඒ නිසාමයි ඔය දුක් විඳින්නේ. රාගයට අයිති කිසි දෙයක් මගේ සිතේ නෑ. එබඳු මං මේ යන මාවත අවුරන්නේ ඇයි?”

“ඔයා මොනා කියනවද මන්දා? මොනතරම් සුරූපී ලස්සන කෙල්ලක්ද ඔයා…! අයියෝ… ඇත්තෙන්ම පින්වත් කෙලි පැටික්කියේ… මොනාද ඔයා ඔය කරගෙන තියෙන්නේ…? ලස්සන වරළස කෝ…? සියුමැලි පා යුග තවරන ලාක්ෂාරස කෝ…? මිණිනූපුර කෝ…? ඔය සිහින් දිගැටි රන්වන් අත්වලට ගැලපෙන්නේ රන් සළඹක්මයි. ඒක නොවෙයි…, මං ඔයාට කියන්නද වැඩක්. වීසි කරන්න ඔය කසාවත…! එන්න… එන්න…. මේ මල් පිපී ගිය සුවඳ විහිදෙන වනයේ ජීවිතයේ අරුත පසක් කරගනිමු. සැබෑම සැපය විඳගනිමු.”

සල්ලාලයා නෙත් විහිදා දෑත පළල් කොට වටපිටාවට හිස හරවමින් අමුතුම රංගනයක යෙදුණා. බොහෝ යොවුන් කෙල්ලන් වසඟ කළ මේ සල්ලාලයා දැන් ඔහුගේ සියලුම උත්සාහයන් යොදන්නේ විරාගී ජීවිතයක් සරාගී කරන්නයි. ඔහු මහා සතුටකින් සුසුම් පොද ඉහළට අදිනවා.

“ෂා…! මේ බලන්න… හ්ම්ම්ම්… හරීම මිහිරි සුවඳක් මේ සුළඟින් හමන්නේ… මේ බලන්න… ඔය… ඔය… රුක් පඳුරු තාලෙට සෙලවෙන හැටි. ඇත්තටම සොබාදහම මේ අපි දෙන්නාට ගී ගයනවා වගෙයි නේද…? ඔය… ඔය… ලා සුළඟ ඇඟේ දැවටෙද්දී හරී සනීපයක් නේද? මේ වසන්ත ඍතුව නිසා වෙන්න ඇති.

ලස්සනම ලස්සන කෙල්ලේ… මේ වසන්තය අපට අකැප නෑ. වනාන්තරයකට ඇවිත් තනිපංගලමේ කුමක් කරන්නද? ඔයාට බය නැද්ද? මේ වනය හරි භයානකයි. මද කිපුණු ඇත්තු ඉන්නවා. චණ්ඩ ඇතින්නියෝ ඉන්නවා. රෞද්‍ර සතුන් ඉන්නවා. නමුත් අපේ වාසනාවට මිනිස්සු කවුරුත් නෑ…. අපි දෙන්නා විතරයි ඉන්නේ.”

සුභාට මේ කිසිම දෙයක් වැටහෙන්නේ නෑ. ඇයගේ සිතුවිලිවලට සොබාදහමෙහි සුන්දරත්වය හොඳින් තේරෙනවා. නමුත් එයට රාගය එක්කරන්න ඇයට තේරෙන්නේ නෑ, ඈ ඉන් නිදහස්වෙලා ඉන්න නිසා. සල්ලාලයා ආයෙමත් දොඩමලු වුණා.

“මේ රජගහ නුවර කොච්චරවත් ලස්සන කෙල්ලන් මං දැක තිබෙනවා. නමුත් ඔයා තරම් ලස්සන කෙනෙක් මං දැකලා නෑ. සිනිඳු කසී සළුවෙන් සැරසූ රන් රූපයත් ඔයා තරම් ලස්සන නෑ. චිත‍්‍රරථ වනයේ සිටින දිව්‍ය අප්සරාවන්ගෙන් කෙනෙක්ද ඔයා…?

ඇත්තෙන්ම සුරූපිනියේ…. මං වසඟ වුණා. මට මෙතනින් එහාට අඩියක් වත් පස්සට යන්න බෑ. ඔයා ඔය බලන බැල්ම මොකක්ද? මං එයට ඇදිලා යනවා. ලස්සන කින්නරාංගනාවක් මඳලස බැල්මක් හෙලනවා වගෙයි. ඇත්තෙන්ම මෙතුවක් කල් මගේ සිත මේ අයුරින් වසඟ කරන්න ඔයා ඇර වෙන කවුරුවත් සමත් වුණේ නෑ.

අනේ… මං කියන දේ අහන්න… අපි ගෙදර යං. ඔයාට ආස කරන හැම දෙයක්ම මං අරන් දෙන්නම්. ඔයාට උපස්ථාන කරන්න ඉල්ලන ගණනක් කාන්තාවන් දෙන්නම්. කසී සළු, සුවඳ මල්, රන් මුතු මැණික්… මේ හැමදෙයක්ම මං ඔයාට දෙන්නම්.

ඒ අපේ නිවසේ අපේම ලස්සන කැදැල්ලක් තියෙනවා. උඩට උඩුවියන්, බිමට පාවඩ දැමූ සඳුන් ලීයෙන් කළ ඇඳක් තියෙනවා. අලුත් පුළුන් දමා සැකසූ විල්ලුද මෙට්ටයක් තියෙනවා. ඔයාට හරී සනීපෙට ඒ ඇඳේ නින්ද යාවි.”

“ආයුෂ්මත, තේරෙන්නෙ නැද්ද ඔබට… මං බ‍්‍රහ්මචාරී කෙනෙක්. කාම සේවනය කියන්නේ කෙලෙස් සහිත මිනිසුන්ගේ රෝගයක්. එය මට සනීපවෙලයි තියෙන්නේ.”

“ඒක නේන්නම්… ඔයාට තේරෙන්නෙ නෑනේ… ඔයාගේ ජීවිතේ ලස්සන මහනෙල් මල් පිපුණු විලක් වගේ. බ‍්‍රහ්මචාරී සීලය නැමැති රකුසා ඒ විලට අරක්ගෙන ඉන්නවා. ඔහොම්මම ඒ විල සිඳිලා යාවි. ඒ මල් මැලැවී යාවි. කවුරුවත් ඒ විල පරිභෝග කරන්නෙ නෑ. ඔයත් ඔය විදිහටම නාකිවෙලා යාවි.”

“ආයුෂ්මත, නිකමටවත් ඔබ අමු සොහොනකට ගිහින් නැද්ද? මේ වගේ ශරීර මොනතරම් එහි කුණු වෙවී තියෙනවාද? හරී පුදුමයි මට…. ඔබට කොහොමද මේ ශරීරයේ ලස්සනක් පෙනෙන්නේ…? මට නම් ඇතිවන්නේ පිළිකුලක්මයි.”

“මොන පිස්සුද? දැන් බලන්න…. ඔයාගෙම ඔය ලස්සන ඇස් දෙක. මේ… සත්තක්මයි කියන්නේ… මුවාංගනාවකගේ දිගු පුළුල් නෙත් සඟල ඔච්චර ලස්සන නෑ. දියඇලි අසබඩ රඟ දෙන කිඳුරාංගනාවකගේ නෙත් යුග ඔච්චර ලස්සන නෑ. ඔය ලස්සන දෑසින් මා දෙස බලා සිටිද්දී මගේ මුළු සරුවාංගයම කුමක්දෝ ආසාවකින් කිලිපොලා යනවා.

මහනෙල් පෙතිවත් ඔච්චර ලස්සන නෑ. ඔයාගෙ දෑස් හරී දිගැටියි. නිල් පාටයි. හරි පුළුල්. ඔය… ඔය බලන විදිහ… කිඳුරියකගේ මඳක් පිබිදුණු දෑසවත් ඔච්චර ලස්සන නෑ. මාව විශ්වාස කරන්න. මට ඔය දෑස අත්හරින්න බෑ…. ඔයාගේ මනස්කාන්ත නේත‍්‍ර යුගල තරම් මං මේ ලෝකයේ වෙන කිසිවකට ආසා නෑ.”

“ආයුෂ්මත, ඔබට ලොකු වැරදීමක්…! ඔබ වැරදි පාරක යන්නේ…. ඔබ හිතන්නේ චන්ද්‍ර මණ්ඩලය සමඟ ක‍්‍රීඩා කරන්නයි. මහාමේරු පර්වතය උඩින් පැනලා යන්නයි. ඔබට ඒක කරන්න බෑ. මං භාග්‍යවතුන් වහන්සේගේ දියණියක්. මා තුළ රාගය ඇතිකළ හැකි කිසිම අරමුණක් මේ දෙවියන් සහිත ලෝකයේ නෑ. රාගය කියන්නේ මොන වගේ දෙයක්ද කියා මට හැඟීමක්වත් නෑ. අමා නිවන් මග ගමන් කළ මා මුළුමනින්ම රාග රහිත වුණා.

ඇවිලෙමින් තිබූ ගින්නක් සුළඟින් නිවී ගියා වගෙයි. විස බඳුනක් විනාශ කළා වගෙයි. රාගය මගේ සිතෙහි නෑ. එහි ස්වභාවය කුමක්ද කියා වත් මට දැන් තේරෙන්නේ නෑ. රාගය නැති සිත මොනතරම් සැනසිලිදායකයිද! නිවන් මග ගමන් කරලයි මං රාගයෙන් නිදහස් වුණේ.

නුවණින් කල්පනා නොකරන කාන්තාවන් ඉන්නවා. ධර්මය තුළින් ශාස්තෘන් වහන්සේව නුදුටු කාන්තාවන් ඉන්නවා. ඔබේ ඔය දොඩමලු වීමෙන් එබඳු කාන්තාවන් පොළඹවා ගන්නට නම් පුළුවන් වේවි. නමුත් ඔබේ හැම වචනයක්ම මට මහා වධයක්!

කවුරුන් හෝ මට නින්දා අපහාස කළත්, මට වන්දනා කළත් ඒ හැම මොහොතේම මං සිහියෙන් ඉන්නවා. සත්තටම අසුභ දේ දැන් මට අසුභ වශයෙන්ම පේනවා. මං සුගතයන් වහන්සේගේ ශ‍්‍රාවිකාවක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරද්දී මගේ සිත ඇලෙන්නේ කිසිවක් නැති හිස් කුටියකට විතරයි.

ඔබ දැකල නැද්ද රූකඩ…? ඒවා එක එක විදිහට නටනවා. ඒ රූකඩ නටවන්නේ නූල් වලින්. මේ රාගයත් ජීවිතය නටවන නූලක් වගෙයි. මං ඒ නූල්, රූකඩ හදපු දර කෑලි කඩල බිඳල වීසි කරල දැම්මා. ආයෙමත් ඒ රූකඩ සංදර්ශන මගේ ජීවිතය තුළ හටගන්නේ නෑ. ඒ රූකඩ කෑලිවලින් මොකේටද ආස කරන්න තියෙන්නේ…?”

දිගින් දිගටම සුභා දහම් දෙසනවා. සිටිවනම සල්ලාලයා අසාගෙන ඉන්නවා. ඇගේ මිහිරි හඬින් අමුතුම සත්‍යයක් ඇසෙනවා. කිසිදා නොඇසූ සත්‍යයක් ඇසෙනවා. සල්ලාලයාගේ සිත්හසර තුළ අද්භූත භීතියක් ඇති කළා.

“කලාකාරයෙක් බිත්තියක අලංකාර ස්ත‍්‍රී රූපයක් අඳිනවා. ඉතින් ඒක ඇත්ත රූපයක් කියලා පිළිගත්තොත් ඒ වැරැද්ද සිදුවන්නේ එය පිළිගන්න කෙනාටමයි.

ඔබත් එහෙම කෙනෙක්. ඔබට නුවණැස නෑ… ඔබ අන්ධයි… විජ්ජාකාරයෙකුගේ මායාවකට හසුවුණ කෙනෙකු වගෙයි. සිහිනෙකින් දුටු රුවකට රැවටුණා වගෙයි. ඔබ මේ රැවටුණේ කිසි සාරයක් නැති හිස් දෙයකටයි.

ඇත්තටම ඔබ දන්නෙ නෑ. මේ ඇස කුමක්ද කියලා… ගස් බෙනයක ලාටු තියෙනවා. ඇස්වල තියෙන්නෙත් එවැනි දෙයක්. ඇස කියන්නේ කඳුළු සහිත බුබුලක්. කබ කඳුළු මුසු වූ බුබුලක්.”

“නෑ…! වෙන ඇස් නම් එහෙම වෙන්න ඇති. ඔය ඇස් දෙකට එහෙම වෙන්න විදිහක් නෑ… මට බැලූ බැලූ අත පෙනෙන්නේ මනස්කාන්ත නේත‍්‍ර යුගලක්… නිල්වන් නේත‍්‍ර යුගලක්… ඇත්තෙන්ම මං කොහොමද ඔය ඇස් දෙකෙන් ඈත් වෙන්නේ….”

සුභා කිසි කතා බහක් කළේ නෑ. ඈ ඇගේ සිහින් දිගැටි ඇඟිලි තුඩු එක්කොට එක ඇසක් වසාගත්තා. සැණෙකින් ඒ ඇස තුළට තම ඇඟිලි ඇතුළු කළා. ඇය දැඩි වීරියකින් ඒ ඇස තුළට අත දමා රුධිරය වැගිරෙද්දී ඒ ඇස එළියට ඇද ගත්තා. නහරවැල් සමඟ බැඳුණු ලේ වැකුණු ඇස දැන් සුභාගේ අත මත තිබෙනවා.

“ආයුෂ්මත, මෙන්න ඔබේ ඇස….! කරුණාකර ඉක්මනින් මෙය රැගෙන යන්න. මට මේ ඇසෙන් කම් නැත!”
සල්ලාලයා අදහාගත නොහැකි කම්පනයකට පත්වුණා. එතැනම වැඳ වැටුණා. හඬා වැළපුණා. සමාව ගත්තා.

“අයියෝ…! පින්වත් බ‍්‍රහ්මචාරී උත්තමාවිය…. මට සමාවන සේක්වා! ආයෙ කවදාවත් මෙවැනි දෙයක් සිද්ධ වෙන්න නම් එපා…! අනේ…. ඔබතුමිය ඉක්මනින්ම සුවපත් වේවා….! උදාර සිත් ඇති උතුමන් කෙරෙහි වැරදි සිතුවිලි පහල වීමමයි මට වුණු හානිය. දැල්වෙන ගින්න වැළඳගත්තා නම් මීට හොඳයි. විෂ ඝෝර සර්පයෙක් වැළඳ ගත්තා නම් මීට හොඳයි. අනේ… මට සිහි විකල් වුණා වගේ. අනේ උත්තමාවිය… මා නොදැන කියූ සෑම දෙයකටම මට සමාව ලැබේවා….!”

සල්ලාලයා දණගසා ගත්තා. සුභා තෙරණිය පිටත් වෙනකම්ම වන්දනා කරගෙන හඬ හඬා සිටියා. කිසි කතාවක් නැති සුභා ඇස අතේ රඳවාගෙන භාග්‍යවතුන් වහන්සේ සොයාගෙන ගියා.

භාග්‍යවතුන් වහන්සේට ඈතින් එන තම දියණිය පේනවා. ඇගේ දකුණු ඇසේ නහරවැල් එළියට ඇවිදින් දකුණු අත මත ඇස් බුබුල රැඳී තියෙනවා. සුභා තෙරණිය මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන භාග්‍යවතුන් වහන්සේ දෙස ඈත තියාම බැලුවා. හරිම ආශ්චර්යයක්…! සැණෙකින් ඒ ඇස් බුබුල නහරවැල් සමඟම නැවත සුභාගේ ඇසට ඇතුළු වුණා. ඇස ප‍්‍රකෘතිමත් වුණා. භාග්‍යවතුන් වහන්සේගේ මහා කාරුණික නෙත් සඟලින් අනුකම්පාවෙන් බලා සිටියේ දහමට දිවි පිදූ තම දියණියගේ නෙත් සඟල දෙසයි. සුභා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ඈට හරී සතුටුයි. විරාගී සතුටකින් සිත පිනා යනවා. කිසි බයක්, තැති ගැනීමක් නෑ. භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසුවා. ඇය අරහත්වයට පත්වුණා. අමා නිවනට පත්වුණා.

ථේර ගාථාවල සඳහන් සුභා තෙරණියගේ ගාථා ඇසුරෙනි.

රචනා කළේ  –  පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post නෙත් සඟල appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here