නෙත් විවර කළ කාලයේ ඇවෑම… – Sri News

0
4


ඉර බැස යමින් ඇත .අහස බොහෝ හැඩවී ඇත. පරිසරයේ අමුතු සුවයක් හදවතට දැනෙයි. හුරුපුරුදු පාරකින් ගමන් කරමින් උන්නෙමි. ක්‍රීඩා පිටියේ යොවුන් වයසේ දරුවන් පිරිසක් ක්‍රීඩා කරමින් සිටී . ලකුණකට උන් රණ්ඩු වෙති. අතීත මතකයන් සිහිපත් වෙයි. මීට වසර කීපයකට පෙර මිතුරන් සමග සෙල්ලම් කල තැන මෙතැනය. අපගේ ජීවිතය මෙන්ම ක්‍රීඩා භූමිය ද බොහෝසෙයින් වෙනස්ව ඇත. එය අලුතෙන් තණකොළ වවා පිළිවෙළකට සකසා ඇත. අප ක්‍රීඩා කරන අවධියේ මෙහි තාප්පයක් තිබුණේ  නැත. නමුත් දැන් එහි වටේට තාප්පයක් බැඳ ගේට්ටුවක් දමා ඇත. හැමදේම වෙනස් වී හමාරය. කඩේ ආතා සිහිපත් වුවත්,  කඩේ ආතා අද ජීවතුන් අතර නැත. කඩේ ද අලුත් වී ඇත. හැමදේම අතීතයට එක් වී හමාරයි. පෙර දිනෙක මෙතන සෙල්ලම් කරන අවධියේ කඩේ ආතාට අප මහා වදයක් වූ ආකාරය සිහිපත් වෙයි. අපද හිතාමතාම කඩේ ආතාට වධයක් වූ හැටි සිහිපත් වෙයි. හැමදාමත් විහිළුවට ලක් කර මහ හයියෙන් හිනා වූයේ  කුමන ආස්වාදයක් පිණිස දැයි මා හට තවමත් නොවැටහෙයි . යොවුන් අවදියේ දී කළ දේ මතක් වෙද්දි හිතට මහා ලජ්ජාවක් ද උපදී. කොලුකමට  කියා කළ කැත වැඩ මතක් වෙයි. මතක් වෙද්දී ඇඟ හිරි වැටී යයි.

වැඩිහිටියන් එපා කිව්වා මතකය. සමහරු මුහුණටම බැන්නා මතකය. සමහරු නැති තැන බැන්නෝද  වෙති .කවුරු මොනවා කිව්වත් හොඳ නොහොඳ නොදත් අපේ සිත් ඒවාට නැමුණේද නැත. බොහෝ දෙනා කීවේ කොලු කාලේ ඔහොම තමයි කියා . එදාම ඒ දෙය වැරදි බව හැඟුනි නම්, අද මතක් කරන්න බොහෝ සොඳුරු මතකයන් ඉතිරි ව  තිබෙන්නට ද ඉඩ තිබිණි.

මොන වයසේදී කළත් වැරැද්ද වැරැද්දමය

ප්‍රධාන පාරෙන් පැමිණ අතුරු පාරට වැටී ටික දුරක් පැමිණ ඇතිමුත් හිත නොයෙක් නොයෙක් දේ දොඩයි.

සිතුවිලි අතර අතරමං වී ඇත. කලබල වී ඇත්තෙමි. මා මදක් නැවතුණි . සිතන්නට දෙයක් ඇත ජීවිතය ගැන ගන්නට මහා තීරණයක් ඇත. මම ගමන මදක් බාල කළෙමි. වෙනදා යාළුවන් සමග කල්ලි ගැසී උදේ හවහා නිකරුණේ කාලය කා දමන්නට එන පොල් ගස් මණ්ඩිය ඉදිරියේය.

මම සුපුරුදු තැනට ගියෙමි. කාලයකින් පාවිච්චි නොකළ නිසාද කොටයකින් සෑදූ බංකුව දිරා යමින් තිබේ. මම එය කෙළින් කොට වාඩි ගත්තෙමි. පාරේ යන හිතවතෙකු වාහනයේ නලාව ශබ්ද නොකර ගියානම් මෙහි ඇත්තේ මහා නිහඬ බවකි.

මගේ කුඩා අවධිය මතක් කරමි. ඉපදුන දා පටන් වසර හතරක් පහක් වන තුරු කළ කී දෙය ගැන මට විශේෂ මතකයක් නැත. නමුත් පෙර පාසල් අවදිය පටන් උසස් පෙළ අවසන් කරන තුරු එයින් පසුව අද දිනයේ මේ මොහොත දක්වා සිදු වූ  බරපතලම සිදුවීම් පිළිබඳව මට බොහෝ මතකයන් ඇත .

සුන්දර යැයි සිතා සිටි පාසල් කාලය දෙස බැලූ විට ඇති සුන්දරත්වයක් නොමැත. විනෝදවීමට කියා කළ කීදේවලින් අලුත් වූ සුවයක් නැත. සංගීත සංදර්ශන වලට ගියා මතකය. කකුල් රිදෙනකම් පණ කඩාගෙන නැටුවේ විනෝදයටය. එහි ඇති හරය කීම…?

රණ්ඩු කර ගහ මරා ගත්තෙමු. සමහර තුවාල කැලැල් තවමත් එසේමය. ගැහැණු ළමයින් කීදෙනෙක් සමග යාළු වූවාද ද යන්න මතක නැත. එලෙස ඇතිකරගත් සම්බන්ධකම් නිසා  හිත් රිදීමට සිදු නොවුනා නෙවෙයි.  නමුත් සිතුවේ කෙල්ලන් යනු පාරේ යන බස් වැනිම බවය. එකෙක් යනවිට එකෙක් යැයි කියාය .පුදුමය නම් එය එලෙස සිදු වීමයි.

පවක් කියා දෙයක් ගැන නොදැන සිටි සිතක මුලාව, විනෝදයට කියා කළ කී දේ වල හරය කිම…?

ලෝකයේ බොහෝ මිනිසුන්ගේ මෙන්ම මගේ ජීවිතය ද, මේ තාක් ඔහේ නිකරුනේ ම ගෙවී ගොස් ඇත. අතීතය සිහි කර පසුතැවිලි නොවන්නට මම සිතා ගතිමි. කළ වැරදි දැනගෙන යළි කවදාවත් එය නොකර සිටියි නම් හොඳ නොහොඳ ජීවිතේ යහපතේ යොදවයි නම්, ඔහු වළාකුළු වලින් මිදුණු පුන් සඳ සේ දිදුලන බව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ බව අද මා උදේ වරුවේ පටන්ම මා හට මහත් කරුණාවෙන් දහම් අවවාද කළ පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කළා මට මතකයි.

ජීවිතය වෙනස් වී ගිය අපූරුව… මට ඒ පින්වත් ස්වාමීන් වහන්සේ  සිහිවුනි…. හිස මුඩු කර සිවුරු ඇඟලා නව යොවුන් වියේදීම පැවිදි වී ඇත්තේ උතුම් අරමුණක් ඇතිවය.

උන්වහන්සේ මගෙන් වයස ඇහුවා මතකයි. උන්වහන්සේ ද මගේ වයසේම වැනිය. උන්වහන්සේ සමාජය පිළිගත් රැකියාවක් කළ උගත් තරුණයෙකි. පාසල් කාලයේ තිබුණේ එකම සිහිනයක් බව කීවා මතකයි.  ජීවිතය හොඳින් ජයගෙන දෙමව්පියන්ට සලකා සැපසේ ජීවත් වීම ඒ සිහිනේ තුළ තිබුණා.

නමුත් දිනක් පෙර පිනක් මත වූ බවක් පැවසුවේය.  ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී බුද්ධ වචනය ම දේශනා කරන කල්‍යාණ මිත්‍රයන් වහන්සේ මුණ ගැසුණි. මෙතෙක් නො අසා තිබූ දෙයක් ඇසුණි. සැබැවින්ම අපේ ජීවිත පවතින්නේ ටික කලයි. ජීවත් වන්නේ වසර සියයක් පමණ කාලයක්. යන්තමින් හරි ඊට වැඩි කාලයක් ජීවත් වුවහොත් එම පුද්ගලයාට ජීවත් වීමට සිදුවන්නේ බොහෝ දුකට පත් වෙලා මගේ ආත්මෙ කියා මේ ශරීරය පවත්වන්නට හැදුවත් මේ කිසිවක් අපට ඕනෑ ආකාරයට පැවැත්විය නොහැකි ලෝකයේ පවතින හැම දෙයක්ම අනිත්‍ය නම් ධර්මතාවයට පත්වී නැති වෙමින් පවතී.

අපි ළදරුවන් සේ ඉපදුනෙමු. උඩුබැලි අතට වැටී අසූචි ගොඩේ දුක් වින්දෙමු .බඩගිනි වුවහොත් කළේ හැඩීමයි .නිදිමත වුවද සිදු කළේ එයමයි. ප්‍රශ්නයකටද ,සීතලට ද ,වෙනත් දෙයක දී ද ,කළ එකම දෙය වූයේ ඇඩීම පමණක්මයි. මලපහ කෙරුවෙමු. මලපහ කෑවෙමු .නොදරුවන් ලෙස ඉදිමින් බොහෝ දුක් වින්දෙමු.

අපිට මතක නැත මතක් වුණත් ඒව මතක් කරන්නට අප කැමති නැත. ටිකෙන් ටික වයසින් මුහුකුරා යන්නෙමු.  දවසින් දවස තරුණභාවය දවසින් දවස වයසට යන බවක් හිතන්නට හිත කැමති නැත.  අන්තිමට මැදි වයසෙ ඉගෙන  ගෙන කෙස් ගස් සඟවන්නේ තරුණ කම පෙන්වීමට යි.

ටිකෙන් ටික වයසට යන්නෙමු. රැලි වැටෙන ඇඟ ලෝකෙන් සඟවන්න අමාරුයි .ශරීර ශක්තිය පණ නෑ. හරියට කෑමක් බීමක් ගන්න බැහැ .නොයෙක් නොයෙක් ශරීර දුර්වලතා ලෙඩ රෝග අවසානයේ මිය යන්නෙමු.

සිතන්නේ යහපත් ජීවිතයක් ගතකොට මැරුණා කියායි. මසුරුකමින් රැකගත් දේ මෙහි දමා ඔහු යන තැන කය ගොස්ය. ක්‍රෝධය ඉරිසියාව මාන්නය පිරුණු හදින් සිත වචනය මෙහෙයවා තමන් කරගන්නා දේ පමණක් ඔහු යන තැනකට ගෙනගොස් ඇත.

අප ඉපදුනේ මෙයටද…

ඉපදුනා

වයසට ගියා

මැරුණා

ජීවිතයේ අරුත කිම ….?

ආවේ කොයි සිටද නොදනිමු .යන්න වෙන්නෙ කොයි මොහොතේ කොයි ආකාරයට දැයිද නොදනිමු .කලාතුරකින් ලැබෙන බුද්ධ ශාසනයත් අත්හැර දමා හිස් අතින් ම මිය යමුද…

සම්බුද්ධ ශාසනයේ තියෙන කල්‍යාණ මිත්‍රයන් වැඩසිටින  මෙවැනි පින්වත් යුගයක් …මේ ගෞතම බුදු සසුනේ අනාගතය ලැබෙයිද යන්න නම් සිහිනයක් ….ලැබුන මොහොතේත් අන්ධයන් මෙන් නෙත් යුග පියන් සිටින්නේ කුමක් නිසාද…

මෙතරම් කාලයක් කැමැති කැමැති දේ බැලීම, කැමැති කැමැති දේ ඇසීම, කැමැති කැමැති දේ රසවිඳීම ,කැමතිම දේ ස්පර්ශය, හිතෙන හිතෙන අරමුණුවලට බැඳීයාම, ඒවායේ ඇති වීමක් වුණාද …

පින්වත් මිතුර,

නෙතු විහිදා මොහොතක් බලන්න ..

ඔය තරුණ වයස ඉක්මනින් ගෙවිලා යාවි …

ගෙවිලා ගිය යොවුන් විය මතකද

ඉක්මනින් ගෙවිලා ගියා නේද

හරියට සෙල්ලම් කරන්න වත් බැරි වුණා නේද

එදා වටකරගෙන වුණු යාළු මිත්‍රයෝ දැන්කොහෙද …පණ වුනත් දෙනවා කියපු යහළු මිත්‍රයෝ මැව්ව හීන බොඳ වෙලා ගියා නේද…. දුන්නු පොරොන්දු කැඩිලා ගිහිල්ලා නේද ….හැමදේම වෙනස් වෙලා යන හැටි බලන්න .

හොයාගන්න …

ඔබ තුළින්ම ඔබව…

හොයාගන්න කවුද මම කියන්නේ…

මොනවද මගේ කියලා ගන්න තියෙන්නෙ..

යන්න මේ බුදුන් වහන්සේගේ ධර්මය මොකක්ද කියලා හොයන්න…

ප්‍රශ්නයක් ආවොත් එන්න. ඇවිත් බලන්න මේ ධර්මයේ තියෙනවා ආශ්චර්යය . සැබැවින්ම ඒ වචන වල ඇත්තේ මහා ගාම්භීරත්වයක්. මට ඒ සියල්ලම වැටහුනේ නැති බව හැබෑය. නමුත් මෙපමණ කලක් හරිය කියා සිතා මා ගොස් ඇත්තේ වැරදි පාරක බව සත්‍යයෙන් ම පසක් වුණේය.

ඉරිසියාවෙන් වෛරයෙන් එකට එක කිරීමෙන් මගෙ හිත පිරී ඇත. මේ සිතත් සමග මේ මොහොතේ මා මරණයට පත් වුණොත් මෙපමණ කලක් අවබෝධයෙන් යුතුව දියුණු කළ ගුණ ධර්මය ද නැත.

අහෝ මම තවත් ප්‍රමාද විය යුතු නැත. බුදුන් වහන්සේ දේශනා කළේ කුමක්ද…

යන්න දැනගැනීමට,  මා දන්නා වෙනත් සමත් කෙනෙකු ද මට සිහි නොවෙයි .මම අද ගෙදර ඉන්නේ නෑ ලෝකෙ ඉන්න හොඳම යාළුවෙක් ළඟට යනවා. මම ගෙදරට පණිවුඩයක් යැවුවෙමි. ජීවිත යථාර්ථය අවබෝධ වීම පිණිස මටත් වාසනාව උදා වේවා!!

(සත්‍ය කතාවක් ඇසුරෙන්)

ජීවිත ගමන තුළ පරම සත්‍ය හොයමින්, පරම සත්‍ය දකිමින්, ජීවිතය සැනසුම කරා ළඟා  කරවීමට, අපට ශක්තිය ධෛර්යය වාසනාව උදාවන මොහොත , කුමක්ද  යන්න අප නොදනිමු .

කාලයාගේ ඇවෑමෙන් හෝ අපට එවැනි ශක්තියක් අවබෝධ වූ වහාම එකෙණෙහි ම ඒ සඳහා යොමුවීම තුල, අපට හිත සුව පිණිසම  ජීවිතයට යථාවබෝධය ලං කරවන්නක් වේවි….

මේ සදහම් පණිවුඩ බෞද්ධ සහෝදරත්වයෙන් ඔබට…



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here