නූතන සමාජයෙන් සමු ගන්නා බිළිඳි යකා | Sri News

0
12


ශ්‍රී ලංකාවේ ආදි වාසී වැදි ජනතාව ද දෙවිවරුන් අදහති. එහෙත්, ඔවුන් තම දෙවිවරුන් හඳුන්වනුයේ ‘යකුන්’ නමිනි. අතීතයේ අප රටේ යක්ෂ, නාග, දේව නමින් මිනිස් කොට්ඨාස තුනක් ජීවත් වූ බව කියනු ලැබේ. ඒ වර්ගීකරණය ඔවුන්ගේ ඇදහීම් මත පදනම් වූ බව පෙනෙයි.

වර්තමාන ජන සමාජයට යකා, යක් ආදී හැඳින්වීම් බෙහෙවින් අමිහිරි වුව ද මෙහි යක් යන්නෙන් ප්‍රාතෘත භාෂා ස්වරූපය ‘යප්ජ’ බව පෙරදිග භාෂා පඬිවරුන් සහ මානව විද්‍යාඥයන් අනාවරණය කරගෙන තිබේ.එහි අරුත වනුයේ යැදීමට හෙවත් පිදුම් ලැබීමට සුදුසු යන්නය. මෙම ‘යප්ජ’ යන්න පසුව සංස්කෘත භාෂාවේ යක්ෂ ලෙසත්, පාලි හෙවත් මාගධී භාෂවේ යක්ඛ ලෙසත් හැඳින්වී ඇති අතර සිංහලයෙන් එය වර නැගෙනුයේ ‘යක්’ වශයෙනි.මෑතක සිට තමන් යක් පරපුරට අයත් බව කීම ජනප්‍රිය සම්ප්‍රදායක් දක්වා වර්ධනය වී ඇත්තේ මෙම මානව විද්‍යාත්මක කරුණ පදනම් කර ගනිමිනි.

වර්තමාන බෞද්ධ සමාජය භාවිත කරන දෙවියන්ට පින් දීමේ ගාථාව මහනුවර යුගයේ දී පමණ ප්‍රබන්ධය කරන ලද්දකි. එම ගාථාවෙන් පැවසෙන අන්දමට එමගින් තුන් කොටසකට පින් පෙත් පුද දෙනු ලැබේ. ඒ තුන් කොටස හැඳින්වෙනුයේ දේවා, නාගා, මහිද්ධිකා යනුවෙනි. මෙම ගාථාවේ අරුත සම්බන්ධ විග්‍රහයන් දෙකකි. ‘දේවා නාගා මහිද්ධිකා’ යනු මහා සමෘද්ධිමත් දෙවිවරුන් හා නාගයෝ ද යන්න ඉන් පළමු අර්ථය විග්‍රහය වන අතර දෙවන අර්ථ විග්‍රහයට අනුව දේවා, නාගා, මහිද්ධිකා යනු එකි`නෙකට වෙනස් වූ අධි මානුෂීය බලයන් සහිත කොටස් තුනකි. මෙහි මහිද්ධිකා හෙවත් මහා ඍද්ධිමතුන් ලෙස සැලකෙනුයේ යක්ෂයන් බවත් මහනුවර යුගය වන විට ‘යක්ෂ’ යන නාමය නපුරු, දුෂ්ට, අයහපත් යන අරුත පළ කළ හෙයින් මෙම ගාථාවේ ඔවුන් මහිද්ධිකා හෙවත් මහා ඍද්ධිමතුන් ලෙස හඳුන්වා දී ඇති බව ඇතැම් විද්වතුන්ගේ මතයයි.

ශ්‍රී ලංකාවට ඉන්දීය ආර්යන්ගේ බලපෑම එල්ල වීමට සාපේක්ෂව මෙරට තිබූ යක්ෂ වන්දනාව අවප්‍රමාණ වී දේව වන්දනය ඉස්මතු වූ බව පෙනෙයි.එහෙත් ඉන්දීය ආර්ය සංස්කෘතිය හා බද්ධ නොවූ ශ්‍රී ලාංකේය වැදි සමාජයේ දේව ඇදහීම් ‘නෑ යකුන් ඇදහීම’ ලෙස හැඳින්වෙන අතර ඔවුන්ගේ නෑ යකුන් යනු දුරාතීත‌යේ සිට ඔවුන්ගේ ආදර ගෞරවයට පත් ප්‍රභූන් බව වැදි සමාජය සම්බන්ධ ප්‍රශස්ත අධ්‍යයනයක් කොට 1911 වසරේ The Veddas නමින් අගනා ග්‍රන්ථයක් ලියූ සී.ජී සෙලිග්මාන් විද්වතාණන් ප්‍රකාශ කොට තිබේ.

වැදි ජනතාවගේ ඇදහීම්වලට ලක්වන යකුන් අතුරින් ප්‍රධානත්වයට පත් වනුයේ කන්දේ යකා ය. ඉන් පසුව බිළිඳි යකා සහ බමුරා යකා ප්‍රධානත්වයේ ලා සලකති. සෙලිග්මාන් අනාවරණය කරන අන්දමට මෙම ‘බිළිඳි යකා’ යනු කන්දේ යකාගේ බාල සොයුරා ය. එම බිළිඳි යකා සම්බන්ධ පුරාවෘත්තයට අනුව ඔහු සත් හැවිරිදිව සිටිය දී (මියගොස්) දේවත්වයට පත් වූ බව සෙලිග්මාන් ප්‍රකාශ කරයි.

‘අප්පුගෙ වයසත් බොහෝ අවිරිදි නැති සත් අවුරුද්දයි පසු වුණේ- සත් අවුරුද්දට එද්දි වෙලා ගොස් ඒ රන් බණ්ඩාර සාමිනේ’ යනුවෙන් සඳහන් බිළිඳු බණ්ඩාර කවි නම් පැරණි පුස්කොළ පොතක සඳහන් ඒ අව්‍යක්ත කවිය ඊට නිදසුන් ලෙස එම කෘතියේ දැක්වෙනුයේ එය හරිහැටි සාක්ෂරතාව නොමැති පුස්කොළ පිටපත් කරුවකු විසින් ලියන ලද්දක් බව අපට මනාව ඒත්තු ගන්වමිනි. නමුදු ඉන් බිළිඳි යකා සත් හැවිරිදිව සිටිය දී මියගොස් දේවත්වයට පත්ව ඇති බවට වැදි ජනතාව තුළ පැවැති විශ්වාසය වටහා ගැනීමේ අසීරුවක් අප තුළ පැන නොනගී.

හේනබැද්ද නම් වන පැරණි වැදි ජනාවාසය තුළින් උකහා ගැනුණු ප්‍රවාදයකට අනුව මෙම බිළිඳි යකා මරා දේවත්වයට පත්කර ගනු ලබනුයේ ඔහුගේම වැඩිමල් කන්දේ යකා විසිනි. තමන්ට දැනුණු තනිකම මගහරවා ගැනීම පිණිස ඔහු එසේ කළ බව හේනබැද්ද පැරණි වැදි ජනතාව අතරේ විශ්වාසයක් පවතින බව ද සෙලිග්මාන් ලියූ කෘතියේ සඳහන් වෙයි. මේ අතර තම කුඩා මලනුවන් නිතර කුසගින්නෙන් හඬමින් කරදර කළ නිසා කන්දේ යකා එම කුඩා දරුවා මරා යක් කර ගත් බවට පවත්නා විශ්වාසයක් පිළිබඳව ද සෙලිග්මාන් සඳහන් කරයි.වැදි ජනතාව මෙම නෑ යකුන් පිදීමෙන් අපේක්ෂා කරන ප්‍රධාන කරුණු දෙකකි.තම ජීවිතාරක්ෂාව ඉන් පළමු වැන්න වන අතර දඩයම් ලබා ගැනීම දෙවන කරුණ ය.

කළු පැහැති වස්ත්‍රයෙන් සැරසී වැදි ජනතාවගේ එදිනෙදා කටයුතු සඳහා පිහිටට එන බව පැවසෙන මෙම බිළිඳි යකා වැදි ජනතාව අතරේ කෙතරම් ජනප්‍රිය වී ද යත් පසු කලෙක ඌවේ සිංහල ජනතාව ද බිළිඳු බණ්ඩාර නමින් යුතුව මෙම දෙවියා අදහන්නට පටන් ගෙන තිබේ.

ඉහත සඳහන් කවි පන්තියේ එන මෙම පැරණි කවිය එම ජන ඇදහීම සිංහල බෞද්ධයන් අතර ව්‍යාප්ත වීමෙන් පසු රචනා වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

‘කන් උඩින් ඇමු සුළං නිල්ලට නුවන් කඳුළින් තෙමමිනේ

කුසේ උපන් නුඹේම මලයා මැරුවේ මොන තනි කමකට ද නයිදේ

කුසේ උපන් නුඹේ මලයන් ඇරැගෙන සෙල්ලම් කරපන් නයිදේ

අං ඇති ගවරා අල්ලා දෙත හැකි මැණික් තලාවේ බිළිඳි දෙවියෝ

කිසිදු සාහිත්‍යමය වටිනාකමක් නොමැති ඉහත සඳහන් පුස්කොළ පොත් කවිය ද හුදෙක් අවියත් ගැමි ප්‍රබන්ධයක් බව නිසැක ය. එහෙත්, කන්දේ යකා තම තනිකම දුරු කර ගැනීමට හෝ කරදරයෙන් මිදීම පිණිස තම එකම සොයුරා මරා යක් බවට පත් කොට බිළිඳි යකා, හෝ බිළිඳු බණ්ඩාර නමින් හැඳින්වෙන දෙවියන් සමග කෙළිදෙලෙන් පසු වූ බව පැවසෙයි.

අප රටේ ජනතාව අදහන දෙවිවරුන් අතරට ගැනෙන මේ දෙවියා කොත්මලේ ප්‍රදේශයේ ළමා බණ්ඩාර යනුවෙන් ද හැඳින්වෙන බව පැවසෙන මුත් මේ ළමා බණ්ඩාර සහ බිළිඳි බණ්ඩාර හෙවත් බිළිඳි යකා එකම දේවත්වයක් ද යන ගැටලුව අප තුළ පවතී.කෙසේ හෝ බහු විධ අවශ්‍යතා වලින් ව්‍යාකූල වූ නූතන සමාජයේ පැරණි සරල සමාජ අභිමථාර්ථයන් පෙරදැරි කර ගත් දේව විශ්වාස ද නූතන මානව සමාජ විද්‍යාඥයන්ගේ අවධානයකින් තොරවම ශීඝ්‍රයෙන් බිඳ වැටෙමින් තිබේ.

තිලක් සේනාසිංහ





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here