නූතන ලෝකයේ විශ්වකර්ම ඉදිකිරීමේ අමුද්‍රව්‍යය – කොන්ක්‍රීට් – Concrete the creator god of modern world – Sri News

0
4

ජලය සිමෙන්ති සහ වැලි ගල් යොදා තනාගනු ලබන කොන්ක්‍රීට් ලොව වැඩිපුරම භාවිතා වන ඉදිකිරිමේ අමුද්‍රව්‍ය වේ. සිමෙන්ති සපයා ගැනීමට හැකි නම් ලෝකයේ ඕනෑම තැනකදී පහසුවෙන්ම කොන්ක්‍රීට් නිපදවාගත හැකිය. එසේම අර්ධ ඝන තත්වයේ  සිට ඝන තත්වය දක්වා ස්වභාවිකවම පත්වන බැවින් කොන්ක්‍රිට් ආධාරයෙන් ඕනෑම හැඩයක වස්තූන් නිර්මාණය කළ හැකිය. කාර්මික විප්ලවයත් සමගම කොන්ක්‍රීට් වැරගන්වා භාවිතා කිරීමේ තාක්ෂණයද දියුණු විය. ඒ සමගම වඩාත් පුළුල් ලෙස කොන්ක්‍රිට් ලොව පුරා සෑම සියලු විශාල ඉදිකිරීමක් සදහාම කොන්ක්‍රීට් භාවිතා වන්නට විය. කොන්ක්‍රීට් වලට එකතු කරන යම් යම් අමතර ද්‍රව්‍ය මගින් කොන්ක්‍රීට් වල අමතර ශක්තිය සහ ගුණාංග ලැබී තිබේ. පුරාතනයේ පැවති ලෝහ, ගඩොල්, ගල්, දැව, මැටි ආදී බොහේ ඉදිකිරීම් අමුද්‍රව්‍ය වලට වඩා කොන්ක්‍රීට් වඩාත් භාවිතයට එකතු වූයේ මෙම කොන්ක්‍රීට් වල ඇති විශ්වකර්ම ගතිගුණ නිසාම වේ.

පිරමීඩ තැනීමේදී ගල්, මඩ සහ ගිනිකඳු වල අලු ඇතුලත් මූලද්‍රව්‍යයක් භාවිතා කොට තිබේ. එය කොන්ක්‍රීට් ම යැයි සම්පූර්ණයෙන්ම කිව නොහැකි වුවත් එය කොන්ක්‍රිට් වලට වඩාත් ආසන්න මූලික ගොඩනැගීමේ ද්‍රව්‍යයක් ලෙස භාවිත කොට ඇති බැව් පුරාණ ඊජිප්තු පිරමීඩ ආශ්‍රිත කැණිම් වලින් සොයාගෙන තිබේ. ක්‍රි. පූ. 300ත් ක්‍රි. ව. 400ත් අසර ලොව ප්‍රබලතම රාජ්‍යයක් වු රෝමානුවෝද කොන්ක්‍රිට් වලින් තවමත් නොනැසී පවතින නිර්මාණ ඉදිකොට තිබේ. රෝමානුවන්ගේ අග්‍රගණ්‍ය නිර්මාණයක් සේ සැලකෙන කොලීසියම ලෙස හැදින්වෙන ක්‍රීඩාංගන සංකීර්ණ සහ ඔවුනගේ දේවස්ථාන නිර්මාණයට කොන්ක්‍රීට් භාවිතා කොට තිබේ. වර්ථමානයේද දක්නට ඇති ඉතාලියේ පිහිටා ඇති රෝමානු පංසල් දේවස්ථාන ආදී පුරාතන නටඹුන් රැසක් කොන්ක්‍රීට් වලින් නිර්මාණය කළ නිර්මාණයෝ වෙති.

 

රෝමානුවෝද ගිණිකඳු වලින් නික්මෙන පස් හුණුගල් සහ වෙනත් මූලද්‍රව්‍ය යොදාගෙන කොන්ක්‍රීට් තැනූවෝ වෙති.එහෙත් වර්ථමානයේ ලොව පුරා කොන්ක්‍රීට් තැනීමට භාවිත වන පෝර්ටලන්ඩ් සිමෙන්ති හඳුන්වා දුන්නේ 1824 දී එංගලන්ත ජාතිකයෝ විසිනි. ඉංග්‍රීසි ජාතික ජෝසප් ඇස්ප්ඩින් විසින් කොන්ක්‍රීට් වලට අවශ්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති නිපදවා තිබේ. පෝට්ලන්ඩ් සිමෙන්ති නිපදවීමත් සමගම කොන්ක්‍රීට් නිපදවාගැනීම වඩාත් පහසු කාර්යයක් විය. ඒ සමගම ගෘහ නිර්මාණ ශිල්පයේද වෙනස්කම් රැසක් ඇතිවිය.

ඇසිපඩින් විසින් සොයාගනු ලැබූයේ එංගලන්තයේ දකුණු වෙරළ තීරයේ බිමක් වූ පෝට්ලන්ඩ් හි ඇති හුණුගල් රත් කිරීමෙන් ශක්තිමත් ඉදිකිරීම් නිපදවිය හැකි බවය. එය පෝට්ලන්ඩ් වලින් කැනීම් කොට ලබාගත් හෙයින් පසුකලෙක ඒ ආශ්‍රිතව නිපදවූ සිමෙන්ති ද පෝට්ලන්ඩ් සිමෙන්ති ලෙස හැදින්වීය. එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් ඉදිකිරිම් සහ ලෝ ප්‍රකට ලන්ඩන් කුළුණ මෙම පෝට්ලන්ඩ් වෙතින් ලබාගත් හුණුගල් ආශ්‍රයෙන් නිපදවූ නිර්මාණයෝ වෙති.

 

1815 දී ලංකාව යටත් කරගන්නා සමයේ බ්‍රිතාන්‍යයෝ ලංකාව ඇතුළු ඉන්දියන් සාගරයට පිවිසීමට අප්‍රිකාව වටා යාත්‍රා කළ යුතු විය. 1869 සිට අප්‍රිකාව සහ මැදපෙරදිග අතර සූවස් ඇල ඉදිවීමත් සමගම බ්‍රිතාන්‍යය ඇතුලු යුරෝපීයයන්ට ආසියාවට ඉන්දියන් සාගරයට ඇතුළු වීම නව මගක් විවෘත විය. එයින් සති දෙකක පමණ නාවුක ගමන් කාලයක් ඉතිරි විය. ඒ සූවස් ඇල කැනීමට මැදිහත් වූ පිරිසේම කොටසක් උතුරු අමෙරිකාව සහ දකුණු ඇමරිකාව අතර වූ පැනමාවේ  ඇල තැනීමට උනන්දු විය. එහෙත් ඇමෙරිකානුවන්ගේ මැදිගත් වීමෙන් කොන්ක්‍රීට් යොදාගැනීමෙකින් තොරව පැනමා ඇලේ සිහිනය බොහෝවිට යථාර්තයක් නොවන්නට ඉඩ තිබුනි.

ස්වාභාවිකවම පැවති විල් කිහිපයක්ද එකතු කොට තැනූ පැනමා ඇල සාමාන්‍ය අත්ලාන්තික් සහ පැසිපික් සාගර මුහුදු මට්ටමට වඩා මීටර 26ක උසකින් යුක්ත වේ. මුහුදු මට්ටමට වඩා උස වූ තඩාගයක මෙන් පිහිටා ඇති පැනමා ඇල සහ ඒ විල් වලට නැවක් ඇතුළු වන්නේ ගේට්ටු ක්‍රමයකිනි. ඒ සුවිසාල ගේට්ටු ක්‍රමය සහිත කොන්ක්‍රීට් බැමි ඇතුළත් පැනමා ඇලමාර්ග පද්ධතියම කොන්ක්‍රීට් නැමැවුම් වලින් සැදි සුවිසාල ආකෘතීන් වේ. යම් ලෙසකින් කොන්ක්‍රීට් නොතිබුණේ වී නම් එවන් විශාල ඉදිකිරීම් කාර්යයක් සිදුකිරීම සැබැවින්ම අපහසු කාර්යයකි.

 

පුරාණ රජ දවස ගල් වලින් පාලම් තැනූ සුවිසාල ගල් ඔසවා සොරොව් තැනූ ඉතිහාසයක් අප සතු වුවද කාලයේ ඒ වාරිකර්මාන්තයෝ පවා අද දවසේ ප්‍රතිසංස්කරණය වන්නේ කොන්ක්‍රීට් වල ආනුභාවයෙනි. 1970 දශකයේ සිට තැනුනු සුවිසල් ජල විදුලිබලාගාර පද්ධතිය ඉදිවූයේ කොන්ක්‍රීට් මතිනි. ඒ අතුරින් වික්ටෝරියා වේල්ල ප්‍රමුඛස්ථානයක් ගනී. අද දවසේ කොළඹ නගරයේ කොතැනකට වුව දිස් වන නෙළුම් කුළුණද කොන්ක්‍රීට් මතින් ඉදිවූ මහා නිර්මාණයකි. මාර්ග නිර්මාණය, වරායයන් ගුවන්තොට ඉදිකිරීම, ගොඩනැගිලි නිර්මාණය, උමං තැනීම, ආදී ක්ෂේත්‍ර ගණනාවක ඉදිකිරීම් කාර්යය්න පිණිස ලංකාවේ වර්ථමානයේද කොන්ක්‍රීට් යොදාගනු ලැබේ. ලොවම සැලකු කළ මිනිසා විසින් නිපදවන කාබන් ඩයොක්සයිඩ් වලින් 7%ක් පමණ වැය වන්නේ සිමෙන්ති නිශ්පාදනය පිණිස වේ. ඒ අනුව කොන්ක්‍රීට් සහ සිමෙන්ති කොතරම් ලෝක ගෝලයට පවා බලපාන ද්‍රව්‍යයක් දැයි සිතාගත හැකිය.

 

කොන්ක්‍රීට් ගැන කියවෙන විට ඒ එන් එස් කුලසිංහ මහතා යනු ලාංකිකයින්ට අමතක කල නොහැකි චරිතයකි. කළුතර චෛත්‍යය ඉදිකිරීම, ඈත මුහුදට වුව පෙනෙන පරිදි වරායේ චෛත්‍ය නිර්මාණය, මාලිගාවිල පිළිමය සිටුවීම, පෙරසවි තාක්ෂණයෙන් සිල්පර සහ බෝට්ටු නිපදවීම ආදී ලක්දිව මෙන්ම ජාත්‍යන්තරයේද පිළිගත්, කොන්ක්‍රීට් ලෝකයේ කුලසිංහ ලකුණු රාශියකි. පෙර රජදවස විශාල චෛත්‍ය කර්මාන්ත සදහා යොදාගත්තේ හොඳින් තලන ලද ශක්තිමත් බිමකි. එහෙත් කුලසිංහ මහතානන්ට කළුතර චෛත්‍යය ඉදිකරන්නට ලැබෙන්නේ ගං ඉවුර අසබඩ සුළු බිම් තීරුවකි. නිර්මාණශීලී ලෙස ඇතුළුවිය හැකි ගර්භයක්ද සහිතව ඔහු එම කුඩා බිමේ සුවිසාල චෛත්‍යයක් නිර්මාණය කළේ කොන්ක්‍රීට් වල නොමඳ ශක්තියද යොදාගනිමිනි.

 

විවිධ ආකෘතීන් යොදාගනිමින් කොන්ක්‍රීට් ප්‍රමාණය අඩුවෙන් එහෙත් ශක්තියෙන් වැඩි විශාල නිර්මාණ කිරීමට ලොව පුරා සිවිල් ඉංජිනේරුවෝ වෙහෙස මහන්සි වෙති. ශක්තිය වැඩිකරගැනීමටත් අවශ්‍ය තැන්වලට සරිලන ලෙස කොන්ක්‍රිට් වර්ග තාක්ෂණයේ උපකාරයෙන් නිපදවාගනු ලැබේ. අප ලොවට  පිටසක්වලින් දියුණු ජීවියෙක් පැමිණි කල අපගේ අතේ ඇති ස්මාට්ෆෝනය, ලැප්ටොප් යන්ත්‍රයට බොහෝ කලින් ඉහළ අහසේ සිටම නූතන ලෝකයේ විස්කම් ලෙස ඔවුනට සුවිසල් කොන්ක්‍රීට් නිර්මාණ දිස්වනු ඇත. වෙනත් තාක්ෂණික ක්ෂේත්‍රයෝ ලොව කොතෙක් පැවතියද අපි දකින මනුෂ්‍යයා විසින් නිර්මිත විශාල ගොඩනැගිලි සහිත නූතන ලෝකය ඇතිකිරීමට දායක වූයේ කොන්ක්‍රීට් ම වෙති.

 
Cover Image Source – pintarest.com / trendhunter.com / archdaily.com
 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here