නුවණ අවැසිමයි .. – Sri News

0
4


නුවණ යොමා ජය ගමු….

නූපන් අකුසල් උපදවා නොගන්නටත් උපන් කුසල් පවත්වා ගන්නටත් උපන් අකුසල් ප්‍රහාණය කරන්නටත් නූපන් කුසල් උපදවන්න ටත් උපන් කුසල් වර්ධනය කරන්නටත් යම් උත්සාහයක් කළ හැකි නම් ඒක නිවැරදි වීර්යය වෙනවා. සතර සම්‍යක් ප්‍රධාන විර්ය දැන් අප විස්තර කරද්දී ඔහොම විස්තර කලාට ක්‍රියාත්මක කරනකොට එතරම් අපහසුවක් නැහැ. නූපන් අකුසල් උපදවන වීර්යය කියලා අපි කිව්වට එක මනින මිම්මක් නෑ .නූපන් අකුසල් මෙපමණ ප්‍රමාණය කළයි කියලා අපි කොහොමද තීරණය කරන්නේ .ඉපදුන අකුසලය ප්‍රහාණය උනයි කියල නම් අපිට දැනගන්න පුලුවන් .නමුත් නූපන් ඒව කොහොමද අපි ප්‍රහානය වුණා කියලා ගණනය කරන්නේ .එහෙම නම් අපට වඩාත් ප්‍රඥාව යොදවලා බලන්න ඕන මේ අකුසල් දහම් උපදින්නට ඉඩ නොදී අපි කොහොමද වීර්යය පවත්වාගන්නේ කියලා.

එක්තරා කාලයකදි ගොඩාක් දේ තියෙනවා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. ඕන අභියෝගයක් වීර්යයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න පුළුවන්. නමුත් ටික කාලයක් යනකොට මේ දහම ගැන කල්පනා කරලා බලනකොට තමයි තේරෙන්නේ වීර්යය කොයිතරම් අඩුයි ද කියලා අපි කැමති වැඩ වලින් ඉවත් හැටි මනස උදාසීන වෙනවා කුසීත වෙනවා පස්සෙ ටික ටික කල්පනා කරනකොට කුසීත බව ඇයි ඇති වෙන්නේ කියලා විශේෂයෙන් භාවනා කරන්න ගියහම කවුරුත් අත්දැකලා තියෙනවා මනස උදාසීන වෙන හැටි.

වෙලාවට අපට ඕනතරම් තියනවා භාවනා කරන්න ගියහම මේ කුසීතකම ඇති වෙන්නෙ ඇයි කියල හිතා ගන්නට බැරි වෙයි. නමුත් ඒ නිසා කාලයක් මේ ගැන හිතලා බලනකොට සිදුවෙන්නේ කුමක්ද කියලා වැටහෙනවා හැම වෙලාවෙම අපේ මනස තියෙන්නේ යම් ආවේගයක් මත හැඟීමකට වහල් වෙලා. බොහෝවිට අකුසලයක් එක්ක ගැටීමෙන්. එක්කෝ ඇලීම එක්කෝ පසුතැවීම එක්කෝ අපේක්ෂාව මොකක් හරි එක්ක පැටලිලා අපි දඟලනව.

අපට ඒ වෙලාවට ඕන දෙයක් කරන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් කියනවනේ එන අභියෝග තමයි පුද්ගලයෙක් නියම තැනට යොමු කරන්නෙ කියලා . එතකොට ඒ පුද්ගලයා තුළ වීර්යය අවදි කරන්නේ කුමකින්ද… ආත්මාභිමානය විසින්….

කොහොමද එහෙම වෙන්නේ ?කාටවත් යට වෙන්නෙ මොකටද? අපටත් පුළුවන් යමක් කරන්න? කියලා ක්‍රියාත්මක වෙනවා. එතකොට අපට හිතෙනවා කොපමණ ධෛර්යවන්ත මිනිහෙක්ද? කාටවත් යටත් නොවී ක්‍රියාත්මක වුනා නේද? කියලා

ලෞකික දියුණුවට නම් ඒ වීර්ය හොඳයි. නමුත් නිවන් දකින්නට සුදුසු එය නම් නොවෙයි. ලෝකෝත්තර ඵලයක් ලබන්න අකුසල් ප්‍රහාණය කරන්න කුසල් වඩවන්න එය ප්‍රමාණවත් නෑ .

ඒ ඇයි ඒ විදියට පදනම් වෙලා තියෙන්නේ? ආත්ම දෘෂ්ටිය . ඒවා ක්ලේශ ධර්ම. නමුත් එකවරම ඒ ගැන බිය වෙන්න ඕන නැහැ. දෛනික ජීවිතේ යම් යම් අභියෝග වලට මුහුණ දෙමින් අත්දැකීම් ලබන්න අපටත් ඒව උදව්වෙනවා දහම් මඟ හඳුනා ගන්නත් අපට ඒ හරහා සපයන මූලික ජවය ඉතාමත් වැදගත්

අවිද්‍යාව තෘෂ්ණාව ආත්මාභිමානය ආදී ක්ලේශයන් විසින් ක්‍රියාත්මක කරවනවා නමුත් දුක් විඳිනකොට සිහිකල්පනාව තියෙනවනම් දැනෙනවා ඒවායේ ආදීනව මේ පීඩාව අඩු කරගන්න ඕන කෙනෙක් උත්සාහයක් ඇති වෙනවා ඉන් පසුව ඒවායේ හේතු හොයනවා හේතු දකිනවා හේතු ඉවත් කරනවා එහෙමයි යමෙක් වැඩෙන්නේ හැබැයි දුක් විඳින හැමෝටම ඒව දැනෙන්නෙ නෑ සිහිකල්පනාව තියෙන්නටත් ඕන.

ඒක ඉතාම වැදගත්. කෙනෙකුට භාවනා කරන්න ඕන කියලා හිතෙන්නේ මොකක් නිසාද… දුක් විඳලා විඳලා මටනම් තවත් මේ දුක් විඳින්න බෑ කොහොම හරි මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් හොයාගන්න ඕන. දැන් මේ මොකක් නිසාද උත්සහ කරන්නේ මේ දුකත් එක්ක ගැටිලා වෙහෙසට පත්වෙලා ද්වේශයෙන් තමා මේ පැනලා දුවන්න හදන්නේ.

ඊට පස්සේ මේ සියල්ලෙන්ම නිදහස් වුණු සුවයක් තියෙනවා කිව්වහම අන්න ඒකට තෘෂ්ණාවෙන් බැඳෙනවා. බැඳෙන ස්වභාවයත් එක්ක ගැටි ගැටී නොලැබූ ස්වභාවය ගැන තෘෂ්ණාවෙන් අපි දගලනවා .මේක තමයි භාවනා කරන්න ආරම්භ කරනපළමු පියවර .

මෙහෙම දඟලනකොට තමයි අපට තේරෙන්නේ මේක මෙහෙම කරන්න පුළුවන් වැඩක් නොවන වග. ඊට පස්සේ හරියට කොහොමද කරන්නේ කියලා අපි හොයා ගන්නවා. ඇයි මේක අසාර්ථක උනේ කියලා බලනවා .මෙන්න මේ විදිහට හොයන කොට අපේ දුර්වලකම් අපට දැනෙනවා. ඊට පස්සේ ටිකෙන් ටික නිවැරදි කරගෙන ඉදිරියට යන්න පුළුවන් .කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්නට තමා අප වැදගත්ම දේ කළ යුත්තේ.

නමුත් කෙලෙස් ධර්මයන් සමග හිඳිමින් ම ඒක කරන්නට වෙන්නේ. මෙන්න මේවා නුවණින් තේරුම් ගන්නටයි අපට ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ. මේ ටික අරගෙන හරි ලෙස තේරුම් ගන්න බැරි උනොත්, ඒ පුද්ගලයාට වෙන්නේ මහා විනාශයක්. අතිධාවනකාරී පුද්ගලයෙක් වෙනවා. ඒ කියන්නේ පමණ ඉක්මවා ක්‍රියා කරන කෙනෙක් බවට පත්වෙනවා. එනිසාම වෙහෙසට පත් වෙලා විනාශ වෙනවා ඒක කරගන්නත් මේක කරගන්නත් බැරි තත්වයකට පත් වෙනවා.

මේ ජීවිතයේදී නිවන් දකින්න ඕන කියන උත්සාහය හොඳයි. හැබැයි ඒ සඳහා දැඟලීම අවශ්‍ය නෑ. හේතු සම්පාදනය කිරීම අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ උපමාවක් දක්වනවා කිකිලි බිත්තර දාලා ඉක්මනින් පැටව් ගන්න ඕන කියලා බිත්තර වලට කෙටුවොත් බිත්තරත් නෑ පැටවත් නෑ. එහෙම නම් කළ යුත්තේ උනන්දුවෙන් බිත්තර රැකීම. එතකොට අවශ්‍ය හේතු සම්පූර්ණ වෙද්දී පැටව් මෝරලා ඒ අයම කටුවෙන් එළියට එනවා .

ඒකට යම් කාලයක් ගත වෙන්න පුළුවන්. මේවා සහේතුකව නුවණින් දකිමින් නොගියොත් නිවන මේ ජීවිතයේ …ඊළඟ ජීවිතය… තව කල්ප ගණනක් වෙන්න පුළුවන්.

හැබැයි අවබෝධයෙන් උත්සාහ කරනවානම්, ඇතැම් කෙනෙකුට මේ ජීවිතයේදීම වුණත් නිවන් දකින්නට පුළුවන්. අනවබෝධයෙන් නොවෙයි අවබෝධයෙන් පියවරෙන් පියවර අනුපිළිවෙලින් අනුපූර්ව ප්‍රතිපදාවක් හැටියට පුහුණු කරන්නයි අපි පරිස්සමෙන් ක්‍රියා කළ යුත්තේ ….

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here